සමේ ලප කැළැල් නැතිකරන නොවරදින සත්කාර

අපේ ලස්සන ගැන කතා කරද්දි සමට හිමිවෙන්නෙ ගොඩක් වැදගත් ස්ථානයක්නෙ. අන්න ඒ නිසයි සමේ නීරෝගි බව, පෝෂණය සහ නඩත්තුව ගැන අපි නිරන්තරයෙන්ම අපේ අවධානය යොමු කරන්න ඕන.

සමේ ලස්සන සහ දීප්තිමත් බව නැති කරන්න විවිධ හේතු නිසා සමේ ඇතිවෙලා තියෙන ළප කැලැල් වලට පුළුවන්. සම කොච්චර දීප්තිමත් වුනත් අපේ අවධානය එක්වරම යොමුවෙන්නෙ ළප කැළැල් වලට නිසා මේ කැළැල් නැති කරගන්න අපි බොහෝදෙනෙක් සැළකිලිමත් වෙනවා.

කෙමිකල් පීල්ස් (chemical peels), ලේසර් තෙරපි (laser therapy), සිලිකන් ජෙල් (silicone gel) සහ මයික්‍රොනීඩ්ලින් (microneedling) වගේ සාර්ථක ලෙස සමේ ළප කැළැල් ඉවත් කරන නවීන බටහිර වෛද්‍ය ප්‍රතිකාර අද වෙද්දී හඳුන්වල දීල තියෙන නිසා සුදුසුකම්ලත් වෛද්‍යවෘ හමුවෙලා ඒ පිළිබඳ අවබෝධයක් ලබා ගන්නත් ඔබට අවස්ථාව තියෙනව.

නමුත් එවැනි ප්‍රතිකාර ක්‍රම සඳහා යොමුවෙන්න අකමැති සහ අපහසු ඔබට සමේ ළප කැළැල් ඉවත්කර ගන්න නිවසේදීම හරිම පහසුවෙන් කරන්න පුළුවන් සත්කාර කීපයක් ගැන කියල දෙන්නයි අපේ අද මේ සූදානම. 

කෝමාරිකා

කෝමාරිකා වලට තුවාල සුවකිරීමේ සහ කැළැල් ඉවත් කිරීමේ සුවිශේෂි හැකියාවක් තියෙනව කියල පර්‍යේෂණ මඟින් තහවුරු වෙලා තියෙනවා.

මේ සඳහා,

මුලින්ම ඔබේ දෑත් හොඳින් සෝදා පිරිසිදු කරගෙන කෝමාරිකා පිත්තේ තද කොළ පාටින් තිබෙන පොත්ත හොඳින් පිරිසිදු කරගත් පිහියක් භාවිතයෙන් ඉවත් කරගන්න අවශ්‍යයි.

ඊලඟට, ලා කොළ පාට විනිවිද පේන ජෙල් වගේ කොටස පිරිසිදු දීසියක් එහෙමත් නැත්නම් තැටියක් මත තියල අඟලක එක හමාරක වගේ කොටස් වලට වෙන්කර ගන්න. 

දැන් මේ එක කොටසක් අරන් කැළැල් ඇති ස්ථානයේ සම මත රවුමට සෙමින් සම්බාහනය කරන ගමන්ම  ආලේප කරගන්න. 

පැය භාගයකට විතර පස්සෙ පිරිසිදු සීතල වතුරෙන් මුහුණ හොඳින් සෝදා පිරිසිදු කරගන්න ඔබට පුලුවන්. 

දිනකට දෙවරක් මේ සත්කාරය කරන්න පුලුවන් නම් වඩාත් හොඳ ප්‍රතිකාර ලබාගන්න ඔබට අවස්ථාව ලැබෙනවා.

ඔබ භාවිත නොකර ඉතුරු වුන කෝමාරිකා කොටස් පිරිසිදු භාජනයක දමා හොඳින් වසා ශීතකරනයේ තබා නැවත භාවිතයට ගන්නත් හැකියාව තියෙනවා. 

පොල්තෙල්

පොල්තෙල් කියන්නෙ ශ්‍රී ලාංකීය අපිට නුහුරු නුපුරුදු දෙයක් නෙමෙයිනෙ.

බැක්ටීරියා සහ විවිධ විශබීජ වලින් සම ආරක්ෂා කරන්න, සමේ කොලැජන් තන්තු වල බැඳීම් නිසි ආකාරව පවත්වගෙන යන්න වගේම සමට හානීවීම් යථා තත්වයට පත් කරන්නත් පොල්තෙල් වලට හැකියාව තියෙනවා. 

මුලින්ම පොල්තෙල් මේස හැන්ඳක් හෝ දෙකක් පිරිසිදු භාජනයකට දමා පොල්තෙල් යන්තම් උණුසුම් වනතුරු රත්කර ගන්න ඕන.

ඊලඟට පුළුන් කැබැල්ලකින් එහෙමත් නැත්නම් හොඳින් පිරිසිදු කරගත් ඇඟිලි භාවිතා කරල කැළැල් මත පොල්තෙල් ආලේප කරමින් විනාඩි 10 ක් පමණ හොඳින් සම්බාහනය කරගන්න ඕන.

පොල්තෙල් සමට උරාගන්න තුරු අවම වශයෙන් පැයක්වත් තබා පිරිසිදු ජලයෙන් සෝදා හරින්න අවශ්‍යයි.

මේ පොල්තෙල් සත්කාරයත් දිනකට දෙවරක් කරන්න පුළුවන් නම් වඩා සාර්ථක ප්‍රතිඵල ලබාගන්න ඔබට පුළුවන්. 

ඔබේ මුහුනේ කුරුළෑ සහ තෙල් සහිත ස්වභාවයක් තියෙනව නම් පොල්තෙල් සත්කාරය මුහුණේ සමට කිරීමෙන් වැළකී ඉන්න කියලත් මතක් කරන්න කැමතියි.

විටමින් E

විටමින් E කුරුළෑ සුවකරන්න වගේම ළප කැළැල් ඉවත් කරන්නත් උපකාරී වෙන බව පර්‍යේෂණ මඟින් සනාථ කරගෙන තිබෙනවා.

ඔබට ඔසුසලකින් විටමින් E කරල් මිලදී ගන්න පුළුවන් නිසා මේ සත්කාරය අත්හදා බලන්න ඔබට පුලුවන්. 

මුලින්ම, විටමින් E කරල් කීපයක් අරන් මදින් කපා ඒවගේ ඇති විටමින් E තෙල් පිරිසිදු දීසියක් මතට දමා වෙන්කර ගන්න.

දැන් ඔබේ අත් හොඳින් සෝදා විටමින් E තෙල් ඇඟිලි වලින් කැළැල් මත ආලේප කරගන්න.

විනාඩි 10 කට පසු විටමින් E ආලේප කරගත් ස්ථානය හොඳින් සම්බාහනය කරගන්න.

නැවත විනාඩි 20 ක් පමණ තබා මඳ උණුසුම් ජලයෙන් සෝදා හරින්න.

දවසකට තුන් වතාවක්වත් ඔබට මේ සත්කාරය කරන්න පුළුවන් නම් කැළල් ඉක්මණින් ඉවත්කර ගැනීමට එය වඩා උපකාරී වෙනවා. 

රෝස් හිප්ස් තෙල් ( Rose hips oil) 

Rosh hips තෙල් ළප කැළැල් ඉවත් කිරීමේදී ඉතාම හොඳ ප්‍රතිපල ලබාදෙන බව පර්‍යේෂණ මඟින් සනාථ වෙලා තියෙනව. 

නමුත් වෙළඳපොලෙන් රෝස් හිප්ස් පලතුරේ තෙල් මිලදී ගනිද්දි හොඳ ප්‍රමිතියකින් යුතු නිෂ්පාදන මිලදී ගන්නත් ඔබ වඩා සැළකිලිමත් විය යුතුමයි.

රෝස් හිප්ස් තෙල් ඔබේ සමේ ලප කැළැල් මත ආලේප කරල විනාඩි 45 කට පමණ පසු මඳ රස්නෙ උණු වතුරෙන් සෝදා හරින්න ඔබට පුළුවන්. 

දිනකට තුන්වරක් මේ සත්කාරය කිරීම වඩා හොඳ ප්‍රතිඵල ඔබට ලබා දෙනවා.

එහෙමනම් මේ සත්කාර ඔබේ සමේ ඇති ළප කැළැල් ඉවත් කරන්න ඔබට උපකාරී වේවි යැයි අපි විශ්වාස කරනවා.

මෙවැනිම තවත් ලිපියකින් අපි නැවත හමුවෙමු.

සටහන – දුලානි නවෝද්‍යා

Related Articles

Don't Miss


Latest Articles