ඔබ තනිව ජීවත් වන කෙනෙක් නම් හෝ තනිව ජීවත් වීමට සැලසුම් කරන කෙනෙක් නම් ඔබේ ආහාර පිළිබඳව සැලසුම් කිරීම ඔබට එතරම් අපහසු වන්නේ නැහැ. නමුත් එය නිසි ආකාරයෙන් සිදු නොකළහොත් විශාල ලෙස මුදල් අපතේ යාමක් සිදු විය හැකියි. පෝෂණය ගැන සැලකිලිමත් වන අතරතුරම මේ කාර්යය සිදු කරගන්නා ආකාරය ගැනයි අද අපි ඔබට කියන්නේ.
සිල්ලර බඩු එකවර මිලදී ගැනීම
සිල්ලර බඩු මිලදී ගැනීමේදී ඔබ සතුව ආහාර පිළිබඳව සැලසුමක් තිබීම එම කාර්ය වඩාත් පහසු කරවනවා.ඉදිරි සතිය සඳහා ඔබ පිසීමට සැලසුම් කරන ආහාර මොනවාදැයි ඔබ දැනටමත් දන්නා නිසා ඔබට අවශ්‍ය දේවල් පමණක් ඇතුළත් කර සිල්ලර බඩු ලැයිස්තුවක් සකස් කරන්න. සමහර අවස්ථාවලදී තොග වශයෙන් බඩු මිලට ගැනීමේදී මිල ගණන් අඩුවන නිසා මෙහිදී ඔබට එම වාසිය ද අත් වනු ඇත.
හොඳ ආහාර සැලැස්මක්
ඔබ තනිව ජීවත් වන කෙනෙක් නම් ඔබට පිටතින් ආහාර ගැනීම පහසු බව සිතන වාර ඕනෑ තරම් ඇති. නමුත් ඔබ සතුව විවිධත්වයකින් යුතු හොඳ ආහාර සැලැස්මක් තිබෙනවා නම් ඔබට ඒකාකාරී බවකින් තොර ආහාර රටාවක් අනුගමනය කරන්නට පුළුවන්. මෙහිදී ප්‍රධාන ආහාර වේලක් සඳහා අනිවාර්යයෙන්ම බත් සමග ව්‍යාංජන ආහාරයට ගත යුතු බවට නියමයක් නැහැ. ඒ වෙනුවට ඔබට මස් සහ එළවලු වර්ගයක් ඇතුළත් කල පැස්ටා , නූඩ්ල්ස් ,බත් වර්ගයක් හෝ සලාද වර්ගයක් වුවත් සකස් කරන්නට පුලුවන්.
ඉතිරි වන ආහාර ප්‍රයෝජනයට ගන්න
ඔබ ඉතිරි වන ආහාර නිසි ලෙස ශීතකරණය ගබඩා කර නැවත ප්‍රයෝජනයට ගැනීමට සැලසුම් කරනවා නම් එය වඩාත් ඵලදායි වන බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඒ වගේම මෙම ආහාර දින කිහිපයක් ඇතුළත වෙනත් ආහාර සමග මාරු කරමින් ආහාරයට ගත හැකියි. පිසින ලද බත් ඉතිරිව ඇත්නම් ඒවා ප්‍රයෝජනයට ගනිමින් විවිධ බත් වර්ග සකස් කිරීම හෝ රස කැවිලි සකස් කිරීමත් ඔබට සිදුකළ හැකියි. මෙහිදී ඔබේ ආහාර රටාව ඒකාකාරී බවින් මිදී විවිධත්වයක් ගන්නවා.
මස් වර්ග කොටස් කරන්න
ඔබ මිලදී ගන්නා මස් වර්ග එකවරම පිසීම අවශ්‍ය වන්නේ නැහැ. ඒවා දින කිහිපයක් අධි ශීතකරණයේ තබා භාවිතයට ගත හැකි නිසා එක් වේලකට අවශ්‍ය වන මස් ප්‍රමාණය නිසි ලෙස කොටස් කර තබා දිනකට හෝ දෙකකට අවශ්‍ය මස් ප්‍රමාණය පමණක් පිසීමට ගන්න. මෙයින් ඔබ අනවශ්‍ය ලෙස ආහාරයට ගැනීම සහ අපතේ යාම වැලක්වෙනවා.
දිනපතා ආහාර පිසීම
ඔබ තනිව ජීවත් වන කෙනෙක් නම් දිනපතා ආහාර පිසීම අත්‍යවශ්‍ය වන්නේ නැහැ. ඔබට ආහාර පිසීම දින දෙකකට හෝ තුනකට වරක් සිදු කළ හැකියි. ව්‍යාංජන වර්ග දෙකක් හෝ තුනක් සමග මස් වර්ගයක් දින තුන හතරකට ප්‍රමාණවත් ලෙස පිස තැබීම මගින් ඔබට ඒවා මාරු කරමින් ප්‍රයෝජනයට ගත හැකි වනවා. ඔබට අවශ්‍ය ප්‍රෝටීන ලබා ගැනීම සඳහා පිසූ මස් වර්ගයට අමතරව බිත්තර , සෝයා හෝ වෙනත් ආහාරයක් එකතු කර ගත හැකියි.
නව වට්ටෝරුවක් උත්සාහ කරන්න
ඔබේ ආහාර සැලසුම සෑම සතියකම එක ආකාරයේ විය යුතු නැහැ. එය ඔබේ ආහාර රටාව ඒකාකාරී කරවන නිසා සතියෙන් සතිය ඔබේ ආහාර සැලසුම වෙනස් කරන්න. ඒ අතරතුර සරල සහ නව ආහාර වට්ටෝරු උත්සාහ කර බලන්න.
Pre-Cut Veggies සහ Pre-Packaged Ingredients
කපා සකස් කරන ලද එළවළු පැකට් සහ තුන පහ එකතු කරන ලද මස් වර්ග පවා දැන් වෙළඳපළේ විකිණීමට තිබෙනවා. සමහර අවස්ථාවලදී මේවා ඉතා අඩු මිල ගණන් යටතේ තිබෙනවා. ඔබ කාර්යබහුල වන දිනවල ඔබේ කාලය ඉතිරි කර ගැනීම සඳහා වගේම මුදල් ඉතිරි කර ගැනීම සඳහා මෙවැනි දේ ප්‍රයෝජනයට ගැනීමට හැකියාව තියෙනවා.
තනිව ජීවත් වන විට ආහාර පිළිබඳව ඉතා හොඳ සැලසුමක් තිබීම ඔබේ කාර්යයන් ඉතා පහසු කරවනවා වගේම ඔබේ කාලය සහ මුදල්ද ඉතිරි කරවනවා. මේ සැලසුම් කිරීම ඉතා නුවණැතිව සිදු කළ යුතු වන අතර ආහාර පිසීම පිළිබඳව එතරම් වද විය යුතු නැති බව ඉන් පසුව ඔබට සිතේවි.
ReplyForwardAdd reaction |