රළ නගන අප්‍රමාණ සයුර මත මොහොතකට අමාගී ගේ දෑස් රැඳිණි. සිතත් ඔය සයුර වාගේම ය. අපමණ සිතිවිලි නැගී බිඳේ. යළිත් නැගේ. එහෙව් හිත දමනය කරගත හැකි නම් යමෙකුට සාමය හා සැනසීම සොයාගත හැක. නමුත් අමාගී තවමත් වෙරළෙහි සිටින්නියකි. දියඹ දිනන්නට තව බෝ පාරමිතා පිරිය යුතු වේ.
“කොහෙද යන්නෙ…ගෙදර නෙවෙයිද…”
ඔහු ගේ ආරාධනය මත තවමත් රියට ගොඩ නොවුණු යුවතියගෙන් ආර්ය එසේ විචාලේ තරමක් දැඩි ස්වරයකිනි. ඇය මුරණ්ඩු වෙන්නට හදනා වග ඔහු ට ඉවෙන් මෙන් දැනේ. කොහොමටත් අමාගී ආර්ය ඉදිරියේ මුරණ්ඩු වූයේ අද ඊයේක නොව ඇය නව යෞවනියක වන්නටත් පෙර සන්දියේ සිට ය.
“ගෙදර තමයි”
“එහෙනං නගින්න. මාත් යන්නෙ ගෙදර”
“ලොකයිය යන්න. මට බස් එකේ යන්න පුළුවන්”
ආර්ය ගේ දත් ඇඳි එකිනෙක මත තද වී හකු හිර විය. එක අතකින් රිය දොර අල්වාගත් වන අමාගී වෙතට නැඹුරු වූ ඔහු ඇගේ අතකින් අල්වා ඇද ඇය රියට ගොඩ කරවූයේ ඒකාධිපති හිතුවක්කාර කමකිනි. හිතේ එක පැත්තක් කේන්ති ගත්තා ට අමාගී ගේ හිතේ අනිත් පැත්ත ඒ සිදු වූ දේ ගැන ප්‍රීති ප්රමෝදයට පත්ව සිටියේ ය. කේන්ති ගත් පැත්ත ද ඒ බොරුවට ආර්ය ට පෙනෙන්නට කරනා රංගනයක් බව කියා නො කියා සිටියේ ය.
රියෙහි අනිත් පසින් විත් ආර්ය නිර්වාන් මහානාම එහි ගොඩ වූයේ අමාගී ගේ හෘද ස්ඵන්දනය එහෙම පිටින් ම නතර කරමිනි. ඇය අසීරුවෙන් මුව මඳක් විවර කොට හුස්මක් ගත්තා ය. නමුත් මුළු ආත්මය ම බර ය. විශේෂයෙන් ඔසවාගෙන සිටින්නා සේ බර ය. ඔහු ළඟින් හිඳගන්නට අතීතයේ දී ඇය කෙතෙක් නම් ආශා කළා ද? මහානාම පවුලේ අය එකට සිටිනා තැන් වලදී හැම විට ම ආර්ය ට ළඟින් සිටින්නට ඈ උත්සාහ කළා ය. ඒ ගෙදර අය සමග මල්වත්තගේලා ගමනක් යන අවස්ථාවක නම් ආර්ය ගේ අතකින් අල්වා ගන්නට බැලුවා ය. එතකොට ඔහු නො රිස්සුමෙන් අත ඇදගනී. අමාගී එතකොට ආර්ය ගේ කලිසම් කකුලකින් හෝ කමිස කොනකින් අල්වාගනී. අවස්ථාවක් ලැබුණ ගමන් ඔහු එයින් ද ඇයව ඈත් කරයි. එතකොට ඕ ඔහු ට සමීපව ඇවිදින්නට උත්සාහ කරයි. ඒ අතරේ පුරවා ගත් සිනහ වතකින් ඔහු දෙස හිස නගා බලයි. ආර්ය ඇයව තඹ දොයිතුවකට මායිම් කරන්නේ නැත. ඔහු හැකි තාක් ඇගෙන් ඉවත් වී ඉන්නට බලයි.
“මොන වදයක්ද මේ”
විටෙක කෝප ගෙන ඔහු ඇයට වචන වලින් දමා ගසයි.
ඉතින් මේ ළමා වියෙහි පටන් ඇගේ හදවත අතිමහත් ඕනෑකමකින් අපේක්ෂා කළ මොහොතකි. හරි අහඹු ලෙස සොබා දහම ඇයට ඒ අවස්ථාව උදා කොට දී තිබේ. සැබවින් මතක ඉතිහාසයේ කිසි දාක ඇය මේ තරම් ඔහු ට සමීප වී නොමැත. පොඩි කාලේ ඇට්ටර කමට බලයෙන් ම ආර්ය ගේ උකුල මතින් හිඳගත් වෙලාවක ඔහු ඈ තල්ලු කොට දැමුවේ ය. ඒ වෙලාවේ විසි වී ගිහින් බිම වැටී අමාගි ගේ දණහිස බිම ඇනිණ. ඒ වෙලාවේ දැනුණ රිදුමෙන් යුතුව ඇගේ අතක් මේ මොහොතේත් දණ මඬල වෙත ගියේ ය. අමාගී ලොකු සුසුමක් ගෙන, ආර්ය ට ඇසේවියි බියෙන් ඒ පිට නොකොට පපුවෙහි හිර කරගත්තා ය.
ආර්ය රිය පදවන්නේ කල්පනාවෙන් බර වී ය. ඔහු ගේ හිතට නිවනක් නැත. මීට ටික වෙලාවකට පෙර මණී කතා කොට කීවේ නිධී ගෙදොරකඩට පැමිණ ආයු බලන්නට අවශ්‍ය බව කියමින් කලබල කරනා බවයි. දරුවා මතු මහළට ගෙන ගෙදොර අගුලු ලන ලෙස ආර්ය අම්මා ට උපදෙස් දුන්නේ ය.
නිධී එලෙස කලබල වී පැමිණියේ දික්කසාදය සඳහා සිතාසි අතට ලැබීමෙන් පසුයි. ආර්ය මේ තරම් ඉක්මනින් එවන් පියවරක් තබනු ඇතැයි ඇය සිහිනෙනුදු නො සිතුවා ය. බලාපොරොත්තු වූ ලෙස සන්දේශ්ව ඇගේ උගුලෙහි පටලවා ගත නො හැකි වීම මත පසුබා සිටි ඕ, යළිත් මහානාම ගෙදරට ම යන්නට මාන බලමින් සිටියා ය. ඇගේ ඊළඟ පියවර වූයේ ආයු බලන්නට අවස්ථාවක් දෙන ලෙස ඉල්ලා සිටීමයි. ඊට පෙර ආර්ය ක්‍රියාත්මක වී තිබේ.
“දැං ඩිවෝස් කේස් එක ෆයිල් කරල තියෙන්නෙ. ආයුව ඔයාට පෙන්නන්නනං උසාවි නියෝගයක් ඕනෙ. දැන් හැම දේම වෙන්නෙ නීතියෙ හැටියට නිධී. මොකද ඔයා දැං ආයුව දාල ගිය අම්ම මිසක් තවදුරටත් ආයුගෙ අම්ම නෙවෙයි. ඔයා දැන් ඔතනිං යන්න. මං ලෝයර්ට කතා කරල තියෙන්නෙ. නඩුවක් යන වෙලාවෙ නිසා පොලීසිය එව්වොත් ඔයාට කරදර වෙයි. ඒක නිසා මං දැං ගෙදර එන්න කලින් ඔයා ඔතනිං ගිහින් ඉන්න”
මණී ගේ පණිවිඩයෙන් පස්සේ ආර්ය නිධී ගේ දුරකතනයට ඇමතුමක් ගෙන කීවේ ය. ඒ ඇය ගෙදරින් නික්ම ගියාට පස්සේ ඔහු ඒ දුරකතනයට ඇමතුමක් දුන්නා ම ය.
“ඉතිං ආර්ය… මට මගෙ පුතා බලන්න අයිතියක් නැද්ද…”
නිධී හුරතල් වෙන්නට හැදුවා ය. ආර්ය ගේ කට කොනක් සමච්චල් සිනහවකට ඇද විය.
“ඒ අයිතිය උසාවියෙන් දෙයි. අපි ඒ විදිහට කරමු”
“ඉතිං අනේ… මං කිව්වනෙ මං වැරදි හදාගන්න කැමතියි කියල. අපිට ආයෙ මුල ඉඳන් පටන් ගන්න බැරිද ආර්ය…”
“බෑ”
කියා ඔහු දුරකතන සම්බන්ධය බිඳ දැමුවේ ය. ආයතනයෙන් නිවාඩුවක් ගෙන ගෙදර යමින් සිටියදී ය ආර්ය ට අමාගී හමු වූයේ. ඔහු ගේ මෝටර් රථය සුවඳවත් ය. අමාගී ට දැනෙනුයේ ඇගේ දකුණු අත පැත්තෙහි විද්‍යුත් චුම්භක බලයක් ඇත්තා මෙනි. සිරුරේ ඒ පැත්තට අමුතු උණුහුමක් දැනේ. රිය තුළ වායු සමීකරණ තත්වයන් වලට පවා ඒ උණුහුම ප්‍රතිචාර දක්වන්නේ නැත. ස්ටියරින් වීල් එක මත වන ඔහු ගේ වැලමිට තෙක් කමිස අත් ඉහළට ඇද දැමූ නග්න බාහු ඇගේ යටැසට හසු වේ. රෝම වලින් ගහන ඒ අත් දෙස ඇය පිරුණු හදකින් බලා සිටියා ය. ආර්ය ලොකු කල්පනාවක නිමග්නව රිය ධාවනය කරයි. මේ නිහඬ බව අමාගී ට මහා අපහසුවක් දනවයි. ඔහු මොනවා ම හෝ කියනවා නම්, ඒ වචනයක එල්ලී රණ්ඩු කරන්නට හෝ පිළිවන. නිහඬ බව හිතේ නො සන්සුන් බව වැඩි කරයි.
“හෙමීට යන්නකො. ඉගිල්ලෙනවනං මාව ඔය ඉස්සරහින් බස්සල යන්න”
අන්තිමට ඇය ඒ නොරිස්සුම පිට කළේ ඒ විදිහට ය. ආර්ය රියෙහි වේගය අඩු කරමින් ම ඇදෙස බැලුවේ ය. ඒ බැල්මෙහි වූයේ අසරණ කමකි. සිදු වූයේ කුමක් දැයි ඔහු ට සිතාගත නො හැකි වූ තරමි.
“සොරි”
ඔහු වහා කීවේ ය.
“මං කල්පනා කර කර ගියේ දැං ගෙදර මොනා වෙලා ඇද්ද කියල”
ඒ වචන කිහිපය අමාගි ගේ හිතේ කොහේ හෝ අධි සංවේදී තැනෙක වැදිණ. ඈ හිස හරවා ආර්ය දෙස බැලුවා ය. ඔහු කුණාටුවක් හරහා ගමන් කරමින් හිඳිනා බවත්, ඒ කැළඹීම ගැඹුරු එකක් බවත් ඇය වහා හැඳින්නා ය.
“ඇයි ගෙදර මොනාද වෙලා තියෙන්නෙ… අනේ ආයු වැටිලවත්ද…”
එකෙනෙහි අමාගී ගේ ඇස් කෙවෙනි කඳුලු ගුලි දෙකකින් පිරිණි. ඒ තත්පරයක කාලයක් තුළ ඇගේ මනසෙහි විවිධාකාර අසුභ සිතිවිලි ඇති වෙමින් නැති වෙමින් යන්නට විය.
“නෑ එහෙම දෙයක් නෙවෙයි. නිධී ඇවිත්”
“නිධී… එහෙනං හොඳයි නේද…”
අර කඳුලු ගුලි දෙක අතරින් ඇය මන්දස්මිතයක් නගාගත්තා ය.
“හොඳයි… ඔල්මාදෙද…”
ආර්ය ගුගුළේ ය.
“හොඳයි කියන්නෙ ආයුට හොඳයි. ඔයා හිතන්නෙ අම්ම කෙනෙක්ගෙන් ලැබෙන ආදරේ දෙන්න බේබි සිටර් කෙනෙක්ට පුළුවන්ද… මේක් අප් කරල මොඩර්න් විදිහට ෆැශන් කරල හිටියයි කියල අර මේනකාට පුළුවන් කියල හිතනවද ආයුට අම්මෙක් වෙන්න…”
අමාගී කෑගැසුවේ ඉවසා ගන්නට බැරිව ය. ඇදෙස හොඳින් බැලූ ආර්ය මඳහසකට ඉඩ දුන්නේ ය.
“මේනකා ඇවිත් ඉන්නෙ ආයුව බලාගන්න උදව් කරන්න මිසක් ආයුට අම්ම කෙනෙක් වෙන්න නෙවෙයි. හිතුවද මං මේනකාව කසාද බඳින්නයි හදන්නෙ කියල…”
ඈ කී දේ ගැන අමාගී තුළ පසුතැවීමක් හෝ ලැජ්ජාවක් ඇති වූයේ ඉනික්බිති ය. ඕ හෙමිහිට බිම බලාගත්තා ය. ඒ සීත රිය තුළ පවා ඇගේ උඩුතොල මත දහදිය බින්දු නැගී තිබිණ.
“නිධී ඇවිත් ඉන්නෙ ආයුව බලන්න ඕන කියාගෙන. එයාට ආයු බලන්න ඕන වෙලා තියෙන්නෙ සිතාසි ලැබුණහම. ශුවර් එකටම ඔය එන්න ඇත්තෙ කොහොමහරි ළමයව අරං යන්න වෙන්න පුළුවං. ඉස්සරහට එයාගෙ වාසියට”
“ආයුව අරං යන්න…”
අමාගී ගේ ඇස් ලොකු විය.
“අනේ ලොකයියෙ ආයුව ගෙනියන්න දෙන්නනං එපා. මං ඔයාට වැඳල කියන්නං. අනේ එයාව ගෙනියන්න දෙන්නෙපා ලොකයියෙ. මං ආයුට හරි ආදරෙයි. එයාව ගෙනිච්චොත් එහෙම මං…”
ආර්ය ගේ හදවතට ග්ලැසියර සීතලක් දැනිණ. ඒ හැඟීම් ප්‍රවාහය විස්තර කරන්නට ඔහු දන්නේ නැත. විස්තර කරන්නට තබා එක වචනයක් හෝ කතා කරගන්නට ඔහු සමත් නොවුණේ ය. කළ හැකි වූයේ එක අතකින් සුක්කානම අල්වාගෙන ඇගේ හිස් මුදුන මත වමත තැබීම පමණකි. ඒ අත ඇගේ හිසට කෙතරම් නම් බරට දැනිණි ද? ඒ අතෙහි දැවටී තිබි සුවඳක් අමාගි ගේ නාස් පුඬු ඔස්සේ ඇතුළට ඇදිණ. ඇය ඒ සුවඳින් පෙනහලු පිරෙන්නට හුස්මක් ගත්තා ය. ඒ අත සිය දෝතින් ම ගෙන සිපගන්නට උපන් සිතිවිල්ලෙන් උමතු වන්නට පෙර ඕ සිහි එළවාගත්තා ය.