ජිනාදරී බලාපොරොත්තු වූ පරිදි ම සාරධා වෙනුවෙන් තුන් වරුවක් අංගුලිමාල පිරිත කියවා ආශිර්වාද ලබා ගැනිණි. ඒ කටයුතු වලදී නාලිනී හා සාලිය ද සිටීම ඔවුන්ට ලොකු ශක්තියක් සේ දැනිණ. පුංචි පවුල රත්තරන් යයි කීවාට පුංචි පවුල් ඇතුළේ වන හුදෙකලාව දැනෙනුයේ සතුටේදී ට වඩා විපත් හිදී ය. වැටෙන්නට නොදී හයියට අල්වාගෙන ඉන්නට තමන්ගේ ය යන හැඟීම දෙන පිරිසක් වටේට නොවත්දී ය. මේ සිදුවීමේ දී ජිනාදරී ට සේ ම නිශ්ශංක ට ද ඒ හයිය දැනිණ. නිශ්ශංක වැඩිපුර ඥාති ඇසුරට කැමති මිනිසෙකු නොවේ. ඥාතීන් සිනහ වෙන්නේත් මූනිච්චාවට කියා ඔහු විශ්වාස කරයි. ඔවුන් බලා සිටින්නේ වැරදෙනතුරු සිනහ වීමට යයි ඔහු ට සිතේ. එබැවින් නිශ්ශංක ඥාති ඇසුරෙන් දුරස් වී සිටියේ ය. එබඳු මූණිච්චාවකින් ඔහු ට සතුටු විය හැකි වූයේ ද නැත. ආදියා යනු තාත්තා ගේ වචන දේව වාක්‍ය සේ අදහන්නියක නිසා, ජිනාදරී ට තනිව ඥාතීන් වෙනුවෙන් සටන් කළ නො හැකි විය. ගෙදරට පැමිණි විටෙක උපරිම ලෙස ආගන්තුක සත්කාර කොට පිටත් කොට හරිනු හා මගුලකට මරණයකට හෝ වෙනත් ඇරයුමකට සිය සහභාගීත්වය ලබාදෙනු විනා නිශ්ශංක පවුල බඩ බැඳගෙන ඥාතීන් ඇසුරු කළ අය නොවේ. ඉතින් මේ අලුත් මිතුදම් ඔවුන් ගේ හදවත් වලට සුව පහසුවක් දනවන ලදී.
නාලිනී ට ද අනුරාධපුරේ ගෙදර යන්නට මුල දී තිබූ හදිසිය අමතකව ගොස් තිබිණ. ගොවිතැන් කටයුතු බලා අදාල අයට අළෙවි කටයුතු පවරා එන ලෙස ඇය වතාවක් සාලිය ව ගමේ යැව්වා ය. ඔහු පාන්දර නික්ම ගියේ “මදැයි දවසක් දෙකක් ඉඳල ගෙදර යන්න ආව” යි පවසමිනි.
දැන් ඇතැම් හවසක ආදියා රැකියාවෙන් පසු ගෙදර එන්නේ දෙව්රම් සමග ඔහු ගේ රියෙනි. කිසිවෙකු එය විශේෂයක් කොට තැකුවේ නැත. ඒ නිසා ම ආදියා ට සේ ම දෙව්රම් ට ද එය පහසුවක් විය.
“අපේ අම්ම ඔයාට හරී කැමතියි. ඒත් එයා හිතන්නෙ ඔයාගෙ ගෙදරින් ඔයාව එයාගෙ ලේලි විදිහට දෙන්න කැමති වෙන්නෑ කියලයි. ඒක නිසා එයාට දැන් ඔයාව වටිනව වැඩියි”
“පව් අම්ම”
“එහෙම දැනෙන එක හොඳයි කියලයි මන්නං හිතන්නෙ. මිනිස්සුන්ට දේවල් වැඩියෙන්ම වටින්නෙ ඒව තමන්ට අයිති කරගන්න බෑ කියල හිතෙන සීමාවෙදි. ඔයාවත් ලේසියෙන් ලැබෙනව කියල හිතුවොත් අම්මට ඔයාගෙ අගේ අඩු වෙයි. මං කැමතියි මට වගේම මගෙ ගෙදර අයටත් ඔයාව වටිනවනං. මං ආසයි ඔයාගෙ පවුලයි මගෙ පවුලයි අතරෙ දැන් මේ තියෙන ආදරේ හැමදාම තියනවනං. එහෙනං අපි දෙන්නටත් ප්‍රශ්න නැතුව හිතේ සැනසිල්ලෙන් ඉන්න පුළුවන්”
“අපේ අම්මයි තාත්තයිනං කොහොමත් ඔයාට වශී වෙලා ඉන්නෙ. මං හිතන්නෑ ඒ ආදරේ වෙනස්වෙයි කියල”
“එහෙම වුණොත් අපි හරිවාසනාවන්තයි. ඇත්තටම අපි දෙන්න විතරක් නෙවෙයි අපේ අම්මල තාත්තල පවා”
සමහර දේවල් දැනි දැනී නො දැනී තිබෙනා එක සොඳුරු ය. හරියට ම එසේ යයි සිතනවාට වඩා එසේ ද නො එසේ ද කියා කුතුහලයක් තිබෙනා එක මිහිරි ය. ආදියා හා දෙව්රම් අතරේ ද කවරාකාර සබඳකමක් වෙත්දැයි කිසිවෙකුට නිශ්චිත වූයේ නැත. ඒ ගැන අදහසක් ගත හැකි ඉඟියකුදු ඔවුන් විසින් ඉතිරි කරනු ලැබුවේ ද නැත.
“ඔයාට හිතෙන්නැද්ද අපේ පුතයි ආදියායි අතරෙ මුකුත් සම්බන්දයක් තියනව කියල”
සිය සිත මෙහෙයවා සාධාරණ පිළිතුරක් ලබාගත නො හැකි වූ තැන නාලිනී සාලිය විමසුවා ය.
“එහෙම ඉස්තීර කරගන්න දෙයක්නං මට දැනිල නෑ. ඒ ළමයි දෙන්න බොහොම මිත්‍රශීලී විදිහට කතාබහ කරනව ආශ්‍රය කරනවනං පේනව. සමහර විට… අපේ ඉලන්දාරියගෙ හිතේ ඒ ළමය ගැන අදහසක් තියනව වෙන්න පුළුවන්”
“ඉතිං පුතා ඇයි ඒක හරියට කතා බහ කරල ස්තීර කරගන්නෙ නැත්තෙ… හරි දෙයක් දැනගත්තනං අපිටත් ලේසියිනෙ”
“ඇයි දැං අපිට මොකද්ද තියන අමාරුව… අනික පුතා කිව්වනෙ එයා බැඳල ඩිවෝස් වුණ කෙනෙක් නිසා නිශ්ශංකල දුවව දෙන්න කැමති වෙන එකක් නෑ කියල. පුතාට එහෙම දැනිල ඇති”
“ඉතිං එහෙනං අපි කතා කරමුකො මේ ගැන ඒ අම්මයි තාත්තයි එක්ක…”
“අනේ මන්දා නාලිනී… ඒ දරුවන්ගෙ හිතකවත් නැති දෙයක්ද දන්නෑ මේ… ඔයා නිකං කලබල වුණාට”
“අනේ මන්නං ඒ කෙල්ලට හරි ආසයි අනේ. අපේ පුතාට ගැලපෙන්නෙ එහෙම කෙල්ලෙක් කියල ඔයාට හිතෙන්නැද්ද…”
“මට හිතුනට වැඩක් නෑනෙ ඉතිං”
“නිකං කතාකරන ගමං මට හිතෙනව ජිනාදරී ට වචනෙ දාල බලන්න”
“ඔයා ඔය හදන්නෙ පුතාව කේන්ති ගස්සන්න තමයි නාලිනී”
නමුත් ඇගේ හිතේ ගිනි පුළිඟුවක් තිබිණි. එය අළු යට දැල්වී නො දැල්වී තිබිණ. ගැහැනු හදවතකට එවැන්නක් වැටුණ විට එය පහසුවෙන් නිවී යන්නේ නොවේ.
සාරධා පිටතින් සන්සුන් වී සිටියා ය. නමුත් ඇතුලාන්තයෙහි වූයේ කුණාටු සයුරකි. ගිලෙනවාට වැඩිය පිහිනීම පහසු බැව් සැබවි. නමුත් පිහිනන්නට වුව අත පය සොලවාගත නො හැකිව පරඬැල් වී යන ඍතු ජීවිත වලට උදා විය හැකි ය. සාරධා ට ගිලීම හෝ පිහිනීම අතරේ වෙනසක් දැනුණේ නැත. ඒ දෙක ම ඇයට එක වාගේ අසීරු ය. නොහොත් කිසිදු අසීරුවක් නැත. ඇය ඔහේ බලා උන්නා පමණකි. එක්කෝ ගිලිය හැක. එක්කෝ අදෘශ්‍යමාන බලවේගයක් විසින් නො ගිල්වා රැකගනු ඇත. පිහිනන අයුරු ඕ නො දැන සිටියා ය. ඇයට ඒ අමතක වී තිබිණ.
එක් රැයෙක ඇයට යම් වේදනාවක් දැනිණ. ඒ වේදනාව දරාගන්නට බැරිව ඇයට කෙඳිරි ගෑවී තිබිණ. සාරධා වේදනාත්මක කෙඳිරියකින් යහනේ වැතිර කොට්ටයක් බදා සිටියා ය. දරුවා බිහි වීමට ආසන්න වෙමින් ඇති බවට හෝ අදහසක් ඇයට වූයේ නැත. ඇය ඒ වේදනාව තුළ මුසපත් වෙමින් ද වේදනාවේ කොටසක් වෙමින් ද සිටියා ය. කාමරය අසලින් ගමන් කරමින් සිටි ජිනාදරී ට ඒ හඬ ඇසිණ.
“ලොකු දුව”
අම්මා ගේ හද ගැස්ම වැඩි විය.
“ඇයි මේ ඔයාට අමාරුද…”
සාරධා ඒත් හරි පිළිතුරක් දුන්නේ නැත. තීව්‍රතාව අඩු වැඩි වෙමින් කෙඳිරිගෑවා පමණකි. ජිනාදරී වහ වහා සැමියා දැනුවත් කොට ඊලඟට දෙව්රම් ට ඇමතුමක් ගත්තා ය.
“අම්මට දෙන්න පුතේ”
ඇගේ ඒ කලබලය කුමක්දැයි නො තේරුණෙන් දෙව්රම් සිය දුරකතනය නාලිනී ට දී අම්මා අසලට ම වී ඇදෙස බලා සිටියා ය.
“අනේ අක්කෙ ලොකු දුව හොඳටම කෙඳිරිගානව. අමාරුද කියල ඇහුවට මුකුත් කියන්නෙත් නෑ. හම්බවෙන්න දින දීල තියෙන්නෙනං තව සති දෙකක් විතර ඉස්සරහට. ඒ වුණාට හොස්පිට්ල් ගෙනියන්න වෙයි නේද අක්කෙ…”
“ඔව් ඔව්. අමාරුයි වගේනං ගෙදර තියං ඉන්න බෑනෙ. ඉක්මනට ගෙනියමු. දිනනං වැරදිලා වෙන්නත් පුළුවන්නෙ”
“ඒක තමයි. එහෙනං මං තියන්නං අක්කෙ”
“දුවව ලෑස්ති කරගන්නකො. හොස්පිට්ල් බෑග් එකත් ගන්න ගෙනියන්න. අපි පුළුවන් තරං ඉක්මනට එන්නං”
“කරදර වෙන්න ඕන නෑ අක්කෙ. ළඟපාත වාහනයක් කතා කරගන්න පුළුවන්”
“හරි හරි. පිට වාහන වලට කතා කරන්නෙ මොකටද… නංගිල ලෑස්ති වෙනකොට අපි එතන”
දුරකතන සම්බන්ධය බිඳී ගිය ගමන් නාලිනී වහ වහා දෙව්රම් හා සාලිය සූදානම් කොටගෙන ආදියා ගේ ගෙදරට ගියා ය. ඔවුන් එහි ළඟා වන විට සාරධා රෝහල කරා ගෙන යාමට සියල්ල සූදානමේ තිබූ අතර ඇගේ වේදනාව තවත් උග්‍ර වී පැවතිණ. සාරධා සමග නාලිනී හා ජිනාදරී රියෙහි පසුපස අසුනට ගොඩ වූ අතර නිශ්ශංක ඉදිරි අසුනට ගොඩ වූයේ ය.
“ඔයා ආදියා දුවවයි සිත්මි බබාවයි බලං ඉන්නකො එහෙනං අපි හොස්පිට්ල් එකට ගිහිං එනකල්”
ගෙදර මුර කිරීමේ වගකීම සාලිය වෙත පවරන්නට නාලිනී දෙවරක් සිතුවේ නැත.
ආදියා සිටියේ තරමක් තැතිගෙන ය. සාරධා ගේ විලාශය ඇය බියපත් කොට තිබිණ. කලින් වතාවේ සිත්මි බිහි කිරීමට නම් සාරධා දින ආසන්න වෙත්දී රෝහල්ගත වූවා ය. එබැවින් මෙහෙම අසීරුවක් ආදියා ට දැකගන්නට ලැබුණේ නැත.
“දුව බයවෙන්න එපා. දරුවෙක් හම්බ වෙද්දි ඉතිං ඔහොම තමයි හුඟක් අම්මලට. වේදනාවක් විඳගන්න වෙනව”
ආදියා ගේ භීතිය දැනී වාගේ සාලිය ඇගේ හිත හදනා උත්සාහයක් ගත්තේ ය.
“අක්කට කරදරයක් වෙන එකක් නෑ නේද අංකල්…”
“මොන පිස්සුද දරුවො… මේ ලෝකෙට දරුවො බිහි වෙන හැටියට අම්මලට එහෙම කරදර වෙනවනං ගෑනු ඉතුරුවෙන එකක් නෑනෙ. එහෙම නෑ. කලාතුරකින් කෙනෙක්ට එහෙම වෙලාවක කරදරයක් වුණොත් මිසක්…”
ඒ කලාතුරකින් අය අතරට සාරධාත් අයත් වේවිද යන අනියත බිය ආදියා ගේ හදවත පුරවා දමා තිබිණ. සාරධාව රෝහල් ගත කොට නික්ම එන්නට ජිනාදරී ලාට සිදු විය. ඔවුන් පැමිණෙන විටත් ඇයව ප්‍රසූතිකාගාරයට ගෙන තිබුණේ නැත.
“කෙල්ල ටිකක් අමාරුවෙන් හිටියෙ. මන්නං හිතන්නෙ ඉක්මනට බබා හම්බවෙයි”
අම්මලා දෙන්නා ගේ අදහස එය විය. එදා මැදියම් රැය ද ඉක්ම යන තුරු දෙව්රම්ලා නිශ්ශංක නිවසෙහි සිටියහ. අම්මලා දෙදෙනාත් තාත්තලා දෙදෙනාත් ඔවුන් දන්නා විවිධ විෂම දරු ප්‍රසූති ගැන කතා කරමින් ආලින්දයේ සෝෆා කට්ටලයෙහි සිටියදී, ආදියා තේ එකත් ගෙන බරාඳයට ගියා ය. දෙව්රම් ද ඇය වෙතට ගියේ ය.
“සාරධාට කරදරයක් වෙන්නෙ නෑ. ඔයා බය වෙන්නැතුව ඉන්න”
“හැමෝම එහෙම කිව්වට මට මහ අමුත්තක් දැනෙනව. ඒ මොකක්ද කියල ඇත්තටම මට තේරෙන්නෑ”
“ඔයා මේක ගැන හිතනව වැඩියි. ඒකයි ඒ”
“අක්ක ලොකු ප්‍රෙශර් එකක් එක්ක ඉන්නෙ. කලින් එයා හිටිය විදිහයි දැන් ඉන්න විදිහයි අහසට පොළොව වගේ වෙනස්. ඒ වෙනස ගැනමයි මටනං බය”
“ඒක හරි. ඒ ඔක්කොම බබා ලැබුණට පස්සෙ හරියයි”
“බඩක් උස්සගෙන ඇවිදින බබෙක් හම්බවෙන්න ඉන්න ලේඩි කෙනෙක් කොහොමත් හැමදාම මගෙ හිතේ ගැස්මක් ඇති කරනව. එයාල දැක්කහම මාර පව් කියල මට හිතනව. කොච්චර අමාරු කාලයක්ද ඒ ගෙවාගන්නෙ… ඇවිදගන්නෙ වුනත් කොච්චර අමාරුවෙන්ද… තනියම පාරෙ යන ජොබ් වලට යන ප්‍රෙග්නන්ට් ලේඩීස්ල දැක්කහම මට හිතෙනව දෙයියනේ බැලන්ස් නැතුව වැටෙයිද කියලත්. අපේ අක්කට එහෙම කාලෙක ආදරෙං වචනයක් කතා කරන්නවත් මනුස්සයෙක් නෑනෙ. හිරේ නොගියත්… ගෙදර හිටියත් දිනේශ් කියන්නෙ එහෙම මිනිහෙක් නෙවේනෙ. ඒ අතිං පව් අක්ක”
“ඔයාට කවදාවත් එහෙම වෙන්නෑ”
“ඒක මං දන්නව. ඒක මට දැනෙනව”
ගෙදර දුරතතනය හැඬවුණේ ඒ වෙලාවේ ය. මේ මැදියම් රැයෙහි කවුරුන්ද? ආදියා වහා ගොස් රිසීවරය සවනට ගත්තා ය.
“හොස්පිට්ල් එකෙං කතා කරන්නෙ”
කකුල් දෙක පණ නැති වී ගොස් දණහිස් එකිනෙක වැදෙනවා වාගේ ආදියා ට දැනිණ.