මේ ඒ වසන්තයයි – 29

0
2990

ධනුක ඉසිනිගේ කැබිනය තුළට ඇතුලු වූයේ අවසරයකින් පවා තොරවය. ඉසිනි අසීරුවෙන් සිනාසී ඔහු දෙස බැලුවාය. ඔහු නුරාන් මෙහි පැමිණි බව දන්නවාද නැතිද යන්න වටහා ගන්නට තරම් හැඟීම් ඔහුගේ මුහුණේ වුවත්, එවෙලෙහි ඉසිනි උන් කලබලය නිසා ඇයට ඒ හැඟීම් කියවා ගැනීම පහසු වූයේ නැත. ඕ උන් ඉරියව්වේම උන්නාය.

” දෙයියන්නේ නාමෙන් නුරාන්ගෙ ජීවිතෙන් අයින් වෙලා ඉන්න බැරිද ඒඩී මිස් ….”

ධනුක අසුන පසෙකට කර දෑත් මේසය මත තබා නැඹුරු වී විමසුවේය. ඉසිනි ඔහුට පිළිතුරු දෙන්නට උත්සාහ නොකලාය.

එහෙත් නුරාන් මෙහි පැමිණි වග ධනුක දැනුවත් බව අසීරුවෙන් වටහා ගත්තේය.

” බොහෝම බැගෑපත්ව මං එදා ඉල්ලුවානේ ඒඩී මිස් ..මගේ මල්ලිගේ ජීවිතේන් ඈතට වෙලා ඉන්න කියලා … ඒඩී මිස්ට මගේ ඒ ඉල්ලීම අසාධාරණයි කියලා හිතෙන්නවත් විදියක් නෑ නේ ? ඒඩී මිස් දිව්‍යලෝකයක් හොයාගෙන ගියේ, මගේ මල්ලිව අපායකට දාලා කියලා ඒඩී මිස් නොදැන ඉන්නවා වෙන්නත් බෑනේ .. අපි මිනී මරාගන්න සහෝදරයෝ වෙලා උන්නේ නෑ ඒඩී මිස් .. ඒත් ඒඩී මිස් මේ නටන්න යන නාඩගම හින්දා මම දන්නවා ඒකත් වෙනවා …ඒ විතරක් නෙවෙයි, නුරාන් අම්මාවත් රිද්දවනවා…. ඒඩී මිස් මේ ආත්මෙට කරගෙන තියෙන පවු ඇති කියලා  හිතෙනවා නම්, මගේ නුරාන්ගේ ජීවිතෙන් ඈත් වෙලා ඉන්න ඒඩි මිස් ….”

ධනුක බෑගයේ වූ ලිපිය මේසය මත තැබුවේය.

” මේකේ ඇති ශක්‍යතා අධ්‍යනය. මම හවස  ට්‍රේනින් එකක් දාගෙන තියෙන්නේ ඒඩී මිස් .. ඒකට යනවා ….”

ධනුක ආපසු හැරුනේය.

” ධනුක අයියේ ….”

ඉසිනි අසුනෙන් නැගිටින අතරේ එලෙස ඔහු ඇමතුවාය. ධනුක ඉසිනි දෙස බැලුවේය.

” මට ආයේ ජීවත් වෙන්න අවස්තාවක් ලැබෙන්නේම නැද්ද ධනුක අයියේ ….”

ඕ වඩා සැලකිලිමත්, එහෙත් හැඬුම මුසුවූ හඬකින් ඇසුණාය. ඉන් ධනුකගේ හදවත හෙල්ලුනේවත් නැත.

ඉසිනිගේ අසාධාරණ බවට ධනුක විශ්වාස කරන හැර යෑම නිසා නුරාන් මීට වඩා දුක් පසු කලේය.

” ඒක මගෙන් අහන්න ඕනි ප්‍රශ්නයක් නෙවෙයි ඒඩී මිස් ..  ඒඩී මිස් ඒක ඒඩී මිස්ගේ ඉනර් සර්කල් එක එක්ක බේරගන්න ..  මම කියන්නේ ඒ ඉනර් සර්කල් එකට මගේ මල්ලිව දාගනන එපා.. එච්චරයි ඉල්ලනේ මම ….  ඌ හිඟන්නෙක් වගේ පාරවල් ගානේ, පබ් ගානේ බිබී වැටිලා අඬනකොට උස්සන් ආවේ මේ අත් දෙකෙන් ඒඩී මිස් … ඌ හූල්ල හූල්ල ඒඩී මිස්වම ඉල්ලපු විදිය මට අමතක කරන්න බෑ… ගෑණු, පිරිමි කියලා නෑ ඒ ඩී මිස් … මිනිස්සුන්ගේ කඳුලු හරි බරයි …  ඌ මගේ මල්ලි වෙච්ච නිසා උගේ කඳුලු මට කොහොමටත් බරයි …. ඒ නිසා,  ඌ උස්සගෙන ආව ගිය අත් දෙක එකතු කරලා මේ ඉල්ලනේ, ඒඩී මිස්ගේ රාජකාරිය විතරක් අම්පාරේ කරන්න ….”

ඉසිනි අසුනට වැටුණාය. තමා මෙතරම් අසරණ විය යුතුද ?. ඕ ධනුක දෙස බලා හිස සැලුවාය.

“ඕකේ ධනුක මහත්තයා … මට තේරුණා..”

” කලින් වතාවේ කිව්වෙත් ඕකමයි ඒඩී මිස් … “

” අයිම් සොරි …”

” මල්ලිව ඒඩී මිස් පස්සෙන් ගෙන්න ගන්න එපා … “

ඉසිනි තිගැස්සුණාය. තමා යටහත් පහත් බව පෙන්නා සිටියදී ඔහු වඩා උඩඟුව නැඟෙන්නේය.

” මං කාවවත් පස්සෙන් ගෙන්නගත්තේ නෑ ධනුක මහත්තයා ,….”

ඉසිනි කැඩී ඉහිරී යන සිත එක් කරගනිමින් එලෙසින් කීවාය. ධනුකගේ මුවෙහි මැවුනේ සරදම් සිනහවකි.

” හරි ඒඩී මිස් … එහෙම නැත්නම් ඉතින් කිසිම ප්‍රශ්නයක් නෑ…”

ඔහු ඉන් එහා කිසිවක් නොපවසාම පිටව ගියේය. ඉසිනි අසුනට වැටුනාය.

” මං මොකක්ද දෙයියනේ කරන්නේ … මං කොහෙන්ද මේ නූල් බෝලේ ලිහා ගන්නේ ….?”

ඉසිනි දෑතින්ම නළලත තෙරපවා ගත්තාය. සිතට  දැනෙන කලබලය සහ නොසන්සුන්කම නිසා රාජකාරි කටයුතු මඟ හැරෙන්නට දිය නොහැකි බව සිහිපත් කර ගත්තාය. තමා දිනය පුරාම සිටියේ යම් නොරිස්සුමකින් බවද ඉන් පසුව සිහි විය.

” මේ ගින්දර මට සොබාදහමින්ම ලැබෙන ගින්දර වෙන්නෝනි …”

ඕ දිවා ආහාරය ගත්තාය. නුරාන්ගෙන් ආ ඇමතුමට පිලිතුරු දී ආහාරගත් බවද කීවාය. නුරාඅන් යලි කාර්‍යාලයට පැමිනීම කෙලෙසකින්වත් සිදු නොවිය යුතුය. එහෙත් නුරාන් සමග වැඩි කතාබහකට නොගොසින්ම ඇමතුම විසන්ධි කලාය.

ඇය ඉක්මනින් ඇමතුම විසන්ධි කිරීම නුරාන්ට නුහුරක්ව දැනුණි. ඔහු යලි ඕ ඇමතුවේය. එහෙත් පිළිතුරු ලැබුනේ නැත.

” අයියා මොනවා හරි කිව්වාද තාරා …”

නුරාන් කෙටි පණිවිඩයක් යවා බලා උන්නේය. අයියාගේ යතුරු පැදිය කාර්‍යාලය දෙසට පැමිනෙන බව ඔහුද දැක තිබුණි.

ඉසිනි කෙටි පණිවිඩය දෙස බලා උන්නාය. කිසිවක් නුරාන්ගෙන් සඟවා සිටීම තුල ඇතිව ඇති තත්වය විසඳා ගැනීම පහසු නොවන්නේය.

” ඔව් …”

ඕ පිළිතුරු යැව්වාය.

සැනින් ඇමතුමක් ආවේය. ඉසිනි එය විසන්ධි කලාය.

” මම වැඩ .. මේ සල්ලි  මම ට්‍රාන්සර් කරන්නම් .. අකවුන්ට් නම්බර් එකක් එවන්න ..”

” අපි හම්බෙන්නේ කොහේදිද ?..”

නුරාන්ගෙන් පිළීතුර ලෙස ලැබුන කෙටි පණිවිඩය එලෙසින් විය.

” කොහේදිවත් නැහැ…”

” මං රෑ වෙලා ඇනෙක්ස් එකට එන්නම් …?”

නුරාන් දෙවරක් නොසිතාම විමසුවේය. දැන් තමන් දෙදෙනාම තනි තීරණ ගත හැකි වැඩිහිටියන් ය

” එපා …. “

” එහෙනම් අපි ටව්න් එකේදි මුණ ගැහෙමු …”

” මට එන්න වෙන්නේ නෑ ….”


” එහෙනම් කිව්වේ එන්නම් කියලා…”

” පස්සේ මම ඒ අදහස වෙනස් කරගත්තා …”

” අපේ අයියා මොනවාද කිව්වේ ?…”


” ඒක ඔයා ධනුක මහත්තයාගෙන් අහගන්න නුරාන් …”

ඉසිනි වේගයෙන් පද ගැලපුවාය. ඇගේ දෑස් ජංගම දුරකතන තිරය වෙත පහත් වී තිබුනේය.

නුරාන් යළි ඇමතුමක් ගත්තේය. ඉසිනි එය විසන්ධි කලාය. නුරාන් යළි ඇමතුමක් ගත්තේය. ඉසිනි  ගැඹුරු සූසුමක් සමඟ එය පිලිගත්තේය.

” අයියා මොනවාද කිව්වේ ??..”

“ඔයාව මගේ පස්සෙන් ගෙන්නගන්න එපා කිව්වා …”

ඉසිනි කෝපය තවරාගත් හඬකින් එලෙස කීවාය. නුරාන් වමතින් දකුණතට ජංගම දුරකතනය මාරු කරගත්තේය. අයියා සිදුවීම තුලට මෙතරම් බැස ඇතැයි සිතුවේ නැත.

” මොකක් ?…”

ඔහු විමසුවේ ඇයට කතා කරන්නට ඉඩ දෙමිනි.

” මගෙන් ඈත් වෙලා ඉන්න නුරාන් . දැනට මට මගේ කියලා උපයාගත්ත දේකට තියෙන්නේ මේ ජොබ් එක විතරයි … ඒත් මේ යන විදියට ධනුක මහත්තයා මට සැනසීමෙන් ජොබ් එක කරන්න දෙන එකකුත් නෑ … එයා කැබින් එක ඇතුලටම ඇවිල්ලා අද මට කතා කරේ බොහෝම හෙමින් .. ඒත් ඊළඟ දවස එහෙම වෙන්නේ නෑ කියන අනතුරු ඇඟවීම එයාගේ හඬේ තිබුනා …”

” එතකොට ජොබ් එක විතරක් තිබුනම තමුසේට ඇතිද තාරා ?.. හරි ලේසියෙන් ඔහොම කියන්නේ ?…”

” මට ජොබ් එකත් නැතිව ගියොත් කොහොම වේවිද නුරාන් ?…”

” එහෙම ජොබ් නැති කරන්න අපේ අයියා දුන්න පත්වීමක් නෙවෙයිනේ … තමුසේත් ඔහොම පත්තු වෙන්න ගත්තම මම දෙපැත්තක් නිවන්න එපැයි තාරා… නිවිලා ඉන්නවා.. අයියා නෙවෙයි, සක්කරයා කිව්වත් තමුසෙව අතාරින්න බෑ තාරා මට .. මං ඊයෙත් කිව්වනේ.. මට දැන් ලෝකයක් එක්ක වුනත් සටන් කරන්න හයිය තියෙනවා….”

නුරාන් අවධාරණය කලේය. ඉසිනි සිතට දැනෙන සැනසීම සඟවා ගන්නට උත්සාහ කලාය. මේ සැනසීමට යටින් මහා ගින්නක පුපුරු සැඟවී ඇතැයි ඇයට සිතුණි.

” තාරා…”

ඉසිනිගේ නිහඬවීම නුරාන් නොසන්සුන් කලේය. ඉසිනි අසුනේ උන් ඉරියව්ව වෙනස් කලාය. කවුරුන් හෝ තමා දෙස අවධානයෙන් සිටිනවාදැයි බැලුවාය. 

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here