සුසුවඳ සූත්‍ර – 42

0
3955

යුගාත්ම දුරකතනය සවනට ගනිමින් අසුනෙන් නැගී සිටියේ ය. ධ්‍රැවීය සීතලකින් සිරුරේ සියලු ම සෛල සීත වෙමින් තිබෙන බව ඔහු ට දැනිණ. අතුණුබහන් වල පෙරළීමක් ද නො දැනුණා නොවේ. ඔහු ‘හෙලෝ’ කීවේ දෙතොල් වෙව්ලා යත්දී ය.

එහා ඉම තත්පරයෙන් කීයෙන් පංගුවක ද මන්දා නිශ්ශබ්ධතාවයක් රැඳී පැවතිණ..කෙල්ලට වැරදීමක් වී දැයි සිතමින් යුගාත්ම නැවත ද ‘හෙලෝ’ කීවේ ය. අන්තරා දෙතොල් තද කොටගෙන, දෑස විවර කරගෙන, අඩියක් පෙරට තැබුවා ය.

“තාත්ති”

යුගාත්ම ගේ හදවත දඩස් ගා ගැස්සිණ.

“ලොකු පුතා… කියන්න…”

“නිකං තාත්ති කතා කළේ”

දැරිය ගේ ස්වරයෙහි මඳ සබකෝලයක් වූයේ ය. ඇය මේ ඇමතුම ගත්තේ දින කිහිපයක් තිස්සේ ම හිතත් එක්ක පෙරළි කිරීමෙන් අනතුරුවයි. තාත්තා ගැන අන්තරා විසින් පවසන ලද යම් යම් කාරණා ඇගේ හිතට වද දෙමින් තිබිණ. හිතේ එක පැත්තක් ඇයව පස්සට ම ඇද්ද ද අවසන අනිත් පස ජයග්‍රහණය කළේ ය.

“තාත්තිව මතක් වෙච්ච එක කොච්චර දෙයක්ද පුතේ. දවස් කීපයක්ම මං කතා කරද්දි ෆෝන් එක ආන්සර් කළේ නෑ. අම්මි කිව්ව ඕගොල්ලො පාඩං කරනව කියල”

“ඔව්. ඒ දවස් වල ටර්ම් ටෙස්ට්”

ඇය තෙපරබාමින් කටට ආ මුසාවක් කීවා ය.

“තාත්තිත් ආසයි ඔය දෙන්නත් එක්ක කතා කරන්න. ඉඳහිටවත් ඔය දෙන්නත් එක්ක දවස ගතකරන්න. තාත්තිට ඉන්නෙත් ඔය දෙන්න විතරනෙ”

යුගාත්ම ගේ හඬ බිඳීගෙන ආවේ ය. ඔහු ගේ දෑස් දැවෙමින්  තිබිණ.

“සො… රි…”

“ඔය දෙන්නම හොඳින් නේද පුතේ…”

“ඔව් තාත්ති”

“මොනා හරි ඕනදෙයක් තිබුණොත් මට කියන්න ඕනෙ හොඳද… මං ඕගොල්ලොන්ගෙ තාත්තනෙ. පිට කෙනෙක්ට වගේ මට සලකන්න එපා… හොඳද…”

“හ්ම්”

“ඔයාලට කොහෙහරි යන්න ඕනනං… කන්න ඕනනං… මං ඉන්වනෙ… මට එක කෝල් එකක් දෙන්න විතරයි ඕනෙ… තේරුණාද…”

“හ්ම්”

“අම්මියි තාත්තියි වෙන් වුණා තමයි පුතේ… තාම ඕගොල්ලොන්ට තේරෙන්නෑ ඒව ගැන. තව ලොකු වෙනකොට තේරෙයි. ඒත් ඔය දෙන්න මගෙ දුවල. මං තමයි ඔය දෙන්නගෙ තාත්ත. ඒක වෙනස් වෙන්නෑ. ඒ ආදරේ හැමදාම තාත්තිගෙ හිතේ ඒ විදිහටම තියනව. ඔය දෙන්න කොච්චර ලොකු ගෑනු ළමයි වුණත්…”

“නංගියි මායි දවසක් දාං එන්නං තාත්තිව බලන්න”

“අනේ හා මගෙ පුතේ”

“එහෙනං මං තියන්නං තාත්ති”

“පරිස්මෙං ඉන්න දරුවො. මං ඔය දෙන්නට ගොඩක් ආදරෙයි”

දුරකතන සම්බන්ධය බිඳී ගොස් තිබියදීත් යුගාත්ම දුරකතනය සවනෙහි තබාගෙන සිටියේ ය. අන්තරා අඩියක් දෙකක් තබා ඔහු ඉදිරියට පැමිණියා ය. ඇගේ දෙතොල් තෙරපී තිබුණේ ජයග්‍රාහී සිනහවකටයි. යුගාත්ම ඇස් පිය නො සලා ඇදෙස බලා සිටියේ ය. ඔහු ගේ මුහුණෙහි සිනහවක් වූයේ නැත. නමුත් හැඟුම් කෝටි ගණනක් ඒ සෛල හරහා හමා යමින් තිබිණ.

“ඔන්න මං වැඩේ කළා. දැං මොනාද බලමුකො මට දෙන්නෙ”

ඒ බැල්මෙන් ම යුගාත්ම තවත් දෙඅඩියක් ඉදිරියට තබා අන්තරා ට සමීප වූයේ ය. ඔහු ඈ වැළඳගත්තේ ඇය සිහිනයෙන්වත් බලාපොරොත්තු නොවූ ලෙසයි. ඒ වැළඳගැනීම ඉතා දැඩි ග්‍රහණයකි. අන්තරා යුගාත්ම ගේ පපුතුර තද වී හිර වී ගියා ය. ඔහු ගේ දෑත් තව තවත් ඈ ඔහු වෙත හිර කරගත්තේ ය. නමුත් ඇයට දැනුණේ අපහසුවක් නොවේ. මිහිපිට වෙන කිසිදු තැනෙක නො දැනුණු සුවයකි. ඒ සුවය තවත් හොඳින් විඳගන්නට සෙයින් ඈ මොහොතකට සිය දෑස් පියවෙන්නට හ ය. යුගාත්ම ගේ හද ගැස්ම වඩාත් ළඟින් අන්තරා ට ඇසිණ. ඒ රිද්මය සමග සමපාත වීම තුළ මහා ශාන්තියක් ඇය අත්වින්දා ය.

පාරින්දි බලා සිටියේ දෑස් රිදෙත්දී ය. ඇගේ හිත වේදනාවෙන් ඇදුම් කමින් තිබිණ. කෑ ගසා හඬන්නට ඇයට ඕනෑ විය. වචන වලින් සම්මත කරගෙන නො තිබී ද යුගාත්ම හා අන්තරා අතරෙහි මේ සංසරණය වනුයේ ප්‍රේමය නොවේ කියා කෙසේ පිළිගන්න ද? මේසය මත වූ, සුදු පබළු ගල් හා ජලය දමා ෆිලොඩෙන්ඩ්‍රන් පැළයක් සිටවූ රවුම් වීදුරු බඳුන ගෙන පොළොවෙහි දමා ගසන්නට ඇයට ඕනෑ විය. නමුත් ඕ සීරුවෙන් සිය ආවේගය පාලනය කරගත්තා ය. බියර කෑනය මුව තබාගෙන උගුරු කීපයක් බීගෙන බීගෙන ගියා ය. ඊලඟට මේසය දිගේ දෑත් දිගු කොට නිකට වීදුරු තලාව මතින් තබාගත්තා ය. ඔවුන් ප්‍රේමයෙහි වෙළී සිටියදී පරීක්ෂණ කාමරයට කඩාවැදී සියල්ල විනාශ කොට දමන්නට තරම් ද්වේශී සිතිවිල්ලක් ඈ තුළින් නැගී සිටින්නට හැදුවේ ය. පාරින්දි දත්මිටි කමින් ඒ යක්ෂයා තමා තුළ ම මරා දැමීමේ උත්සාහයක් ගත්තා ය. ඈ යක්ෂයා හඳුනන්නී ය. යක්ෂයා නිසා සිදු විය හැකි විනාශය වඩා හොඳින් හඳුනන්නී ය. එක්කෝ යක්ෂයා ඉදිරියේ මිතුරදම් පාවා දිය හැක. නැතහොත් මිතුරුදම් වල අගය වටහාගෙන යක්ෂයා මර්ධනය කළ යුතු ය. හිස දරුණුවට රිදෙනවා වාගේ ඇයට දැනිණි. ඕ එහෙම ම මේසයෙහි හිස ඔබාගත්තා ය.

“ඔයා මහ පුදුම ගෑනියෙක් අන්තරා. දේවදාර ගහක් වගේ ගෑනියෙක්”

සිය ග්‍රහණය මුදාහල යුගාත්ම කීවේ ය.

“මට මාරවිදිහට ඔළුව රිදෙනව අප්ප”

ඒ අස්සේ ම පාරින්දි කීවා ය. අන්තරා වහා ඇය වෙතට ආවා ය.

“කොහොමද කිව්වෙ… වැටෙන්න බොන්න ඕන කියල”

යුගාත්ම විහිළුවක් කළේ ය.

“මං බියර් හතරක් ගෙනාව. උගුරු හතරක් බොනකොට මේකි වැටිලනෙ”

“හරිනෙ ඉතිං… වැටෙන්නනෙ බොන්න ඕන කිව්වෙ”

අන්තරා කිකිනි හඬින් සිනහ වූවා ය. සැබවින් ඇයට පුදුම සැහැල්ලුවක් දැනෙමින් තිබිණ. ආත්ම ගණනක් තිස්සේ හදවතින් දරා ආ බරක් බිමින් තැබුවා සේ තෘප්තිමත් හැඟීමකින් ඔද්දල් ව සිටියා ය. පාරින්දි ගේ හිස මත ද නළලත ද ඈ ඕඩිකොලෝන් ගැල්වූයේ අසීමිත ආදරයකිනි. ඉනික්බිති ඇගේ නළල දෙපස නිල අල්වා පිරිමැද්දා ය. පාරින්දි නෙතු පියාන ඒ සුවය විඳගත්තා ය.

“මටත් ඔළුවකැක්කුම හැදීගෙන එනව වගේ”

යුගාත්ම අඩ සිනහවකින් විහිළුවක් කළේ ය. අන්තරා රවා බැලුවා ය.

“ඇත්තද… එහෙනං දෙන්නටම ඩොක්ට කෙනෙක් ළඟට ගිහිං බෙහෙත් අරං එන්න වෙයි. ඊට කලින් මේ බියර්ද නැත්තං වෙන මොනාහරිද කියල කන්ෆර්ම් කරගෙන ඉන්න වෙයි”

පාරින්දි බීමත් උමතු ගැහැනියක සේ හඬනගා සිනහ වූවා ය.

“ඇත්තට අදනං මොන කැක්කුම ආවත් වැටෙන්න බොන්න ඕනෙ”

“නෑ නෑ උඹ ආයෙ බොන්න ඕන නෑ. අන්තිමට අපිට ගෙවල් වලිනුත් දොස් අහන්න වෙයි… මේ දරුවො වගේ එවුන්ට බියර් පොවල කියල”

යුගාත්ම තර්ජනයක් කළේ ය. පාරින්දි ඉන් මඳක් සැලී ගියා ය.

“මේ මට දරුවෙක්ට වගේ     සලකනවට මං විරුද්ධයි හොඳේ”

අන්තරා හඬ නගා සිනහ වූවා ය.

“පිස්සුද අනේ… මේක මොකද්ද මට… බඩගින්නක් වගෙත් එනව අප්ප”

“මොනාහරි හදල දෙන්නද එහෙනං…”

“එපා එපා අන්තරා. ඔයා මහන්සි වෙන්නැතුව ඉන්න. ඕන්නං ඕඩර් කරල ගෙන්නමු”

“ආ… මට බඩගිනියි කිව්වහම තමයි අන්තරාගෙ මහන්සිය පේන්නෙ. එයා මෆින් හදෝගන්නකොට… වොෆල්ස් හදෝගන්නකොට… තව එතකොට බයිට් හදෝගන්නකොට මහන්සි නෑ…”

“මේකි යකෝ… කටු අත්ත වගේ එල්ලෙන්නම එනවනෙ”

අන්තරා සිනහ වෙවී ස්පැගටි තැම්බෙන්නට තබා තෙම්පරාදුවට අවැසි කලමණා කපා කොටා සූදානම් කළා ය. පුංචි මේසය ළඟ හිඳ යුගාත්ම හා පාරින්දි සතුට සමරමින් සිටියහ.

“බලාගෙන යනකොට අද සෙලිබ්‍රේට් කරන්න සතුටු කාරණා දෙකක්ම තියෙනෝ නේ…”

“ඒ දෙකම අන්තරා නිසා ලැබුණ ඒව”

“අන්තරා යුගාත්ම ශේප් වෙන්න හදන්නෙ. බබාල යාළු වුණාටත් හරිනං අපිට වෙනම ට්‍රීට් එකක් ඕනෙ නේ…”

“දෙන්නං දෙන්නං”

ඔවුන් ගේ කතා වලට කන් දී සිටියා ට අන්තරා ගේ හිත තිබුණේ කවින්ද්‍යා ගැන කල්පනාවේ ය. දියණිය යුගාත්ම ට කතා කළේ කවින්ද්‍යා දැනුවත්ව නොවේ. ඇය ඒ බව අම්මා ට කීවේ කතා කිරීමෙන් පස්සේ ය. ක්ෂණික කේන්තියකින් හිස පිරෙනවා දැනුණ ද කවින්ද්‍යා එය සිය දැඩි බැල්ම තුළ සැඟවෙන්නට හැරියා ය.

“මොනාද තාත්ති කියන්නෙ…”

“එයාට මාර සතුටුයි. මං කිව්ව නංගි එක්ක දවසක එන්නං කියල තාත්ති බලන්න”

ඊර්ෂ්‍යාවේ පුළිඟුවක් හදවතේ දැල්විණ. මේ කවින්ද්‍යා ට නුපුරුදු හැඟීමක් නොවේ. වෙනදාට ඇය මේ ඊර්ෂ්‍යාවෙන් දැවෙනු රිසි වූවා ය. දියණියන් ට ඇසෙන්නට පියා ගේ වැරදි කීවේ ඔවුන් ගේ හිත් වලින් යුගාත්ම ඈත් කොට තබන්නටයි. ඇය හැම විට ම ජයග්‍රහණය බලාපොරොත්තු වූ ගැහැනියකි. පරාජයට ඕ අතිශය බිය වූවා ය. දියණියන් දෙදෙන ඔවුන් ගේ පියාට සමීප වෙනවා කියන්නේ සිය පරාජයකැයි ඇය විශ්වාස කළා ය. ඇගේ ජයග්‍රහණය වන්නේ ඔවුන්ව යුගාත්මගෙන් දුරස් කොට තැබීම යයි ඇදහුවා ය. වෙනදාට යුගාත්මගේ ඇමතුමක් හිතාමතා මගහරින ගෑනු ළමයින් අද ඔවුන් විසින් පියාට කතාකොට තිබේ. ඒ ගැන දොස් පැවරුවොත් නිසැක වශයෙන් ම ඔවුන් එය යුගාත්ම ගේ සවනෙහි තබනු ඇත. ඇය කාලයක් තිස්සේ නිර්මාණය කරගෙන පැමිණි දැරියන් ගේ හිස්, අන්තරා දිනකින් දෙකකින් වෙනස් කොට තිබේ. කවින්ද්‍යා සසල වී සිටියා ය. ඇතුළාන්තයෙන් කැළඹී සිටියා ය. එය කේන්තියක් සේ දූවරුන් පිටින් ගියේ ඔවුන්ගේ වෙන වෙන වැරදි අල්වාගෙන ය. ඒ වෙනදාට ඇයට පෙනෙන්නේ හෝ නැති වැරදි ය.

“මුන් දෙන්නත් හැදෙන්නෙ අර මහ මිනිහ වගේමයි”

කියමින් ඕ බාල දියණියගේ පිට හරහා පහරක් එල්ල කළේ ඇය පැන්ට්‍රි මේසය මත වතුර හැලූ වරදටයි. ගින්නකින් දැවෙමින් හිටියත් යුගාත්ම ට කතා කළ එකට දැරියන්ට දොස් කියන්නට ඇය පසුබෑවා ය.

පාරින්දි ව ගේ ළඟින් බස්වා, යුගාත්ම ගේ රිය අන්තරාගේ මහ ගෙදරට ළඟා වන විට ඇඳිරි වැටී තිබිණ. යුගාත්ම ගේ රිය දුටු නිසාදෝ ජිතේන්ද්‍ර හා කිශෝරි දොරකඩට වන්හ.

“පරිස්සමෙන් යන්න”

කියාගෙන අන්තරා විගස රියෙන් බැස්සේ යුගාත්ම ද බැස එනු ඇතැයි සිතා නොවේ. නමුත් ඔහු සිනහ වෙවී ජිතේන්ද්‍ර ඉදිරියෙහි සම්මුඛ වූයේ ය.

“ඔන්න අංකල් දෝණියන්දැ වැඩේ කරල. දැන් අපිට තියෙන්නෙ පේටන්ට් එක ගන්න වැඩේ තමයි. හෙට අනිද්දටම ඒකට ඇප්ලයි කරමු”

“පුතා ගෙට එන්න. අපි වාඩිවෙලා කතා කරමුකො. රෑට කෑම ටිකක් කාලම යන්න බැරියැ”

ඇයිදෝ මන්දා අන්තරා ගේ යටිපතුල් වලට සීතල වීමක් දැනිණ.

“බෑ අංකල්… දැන් මං යන්නෝනෙ. වෙන වෙලාවක එන්නංකො. අන්තරා එහෙනං ඔක්කොම ලෑස්ති කරගෙන මට කතාකරන්න”

අන්තරා සිය දෑස් ඈ වෙතට ඇද ගත්තේ ගැස්මෙනි. ඊලඟට මොන විදිහේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්නට වේවි දැයි ඇය දෙගිඩියාවේ සිටියා ය.

“මං එහෙනං ගිහිං එන්නං අංකල්. යනව ආන්ටි”

ඔහු අන්තරා ට යන්නම් කීවේ දෑසිනි. යුගාත්ම ආපසු හැරෙත්දී ම අන්තරා ගෙතුළට යන්නට පය ඉක්මන් කළා ය. ජිතේන්ද්‍රගේත් කිශෝරි ගේත් දෑස් හමු වී ඔවුන් දෙදෙනාට ම දැනුණා වූ යම් හැඟීමක් තහවුරු කරගන්නට සේ උනුන් දෙස බලා සිටියෝ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here