අරුමැති ආදරයක් – 1

0
1871

අපූර්වා යුවනි අබේසිහංගේ සැම්සුන්ග් වර්ගයේ ජංගම දුරකථනය නාද වූයේ ඇය ත්‍රී රෝද රථ නැවතුම්පොළෙහි සිටියදීය. කියවමින් උන් දිනපතා පත්තරය පසෙක තැබූ ඈ ජංගම දුරකථනය අතට ගත්තාය. ඇමතුමෙහි නම සඳහන් වූයේ ‘ගරාජ් අයියා…’ යනුවෙන්ය. ඕ  දෙවරක් නොසිතාම දුරකථනය කන තබා ගත්තාය.

“ නංගී අලුත් ගමට හයර් එකක් තියෙනවා.

මේ මං දන්න මහත්තයෙක්. උඹට වැඩිපුර කීයක් හරි ගෙවයි. එන්න පුළුවන් තැනකද ඉන්නේ…”

අපූර්වා තම කුඩා අත් ඔරලෝසුවට එබුණේ අලුත් ගමට ගොස් ආපසු පැමිණීමට පැය එකහමාරක්වත් ගතවන නිසාය. දෙක පසුවී ගතවී තිබුණේ මිනිත්තු කිහිපයකි. ඇය ගරාජ් සුමනේට හා යැයි පැවසූයේ අද එතරම් සුබ වූ දිනයක් නොවූ නිසාය. ත්‍රී රෝද රථ  ගාලෙහි වූයේ ත්‍රී වීලර්  හතරකි. ගමන් වාර හතර දෙනා අතර බෙදී යන්නේ පිළිවෙලටය. ඒ අතරේ දන්නා හඳුනන අයෙකුගෙන් ගමන් වාරයක් ලැබුණහොත් ඒ පිළිවල වෙනස් වේ. 

පුවත්පත පිළිවෙලකට නවා එහා පසු ත්‍රී රෝද රථයේ උන් සමන් වෙත දිගු කල අපූර්වා තම රථය පණ ගන්වා ගත්තාය.

“ සමන් මාමේ….අලුත් ගමට හයර් එකක් ආවා. මම එහෙමම ගෙදර යනවා..”

එවේලෙහි රථ ගාලෙහි වූයේ ත්‍රීරෝද රථ දෙකක් පමණි. චින්තන අයියාගේ විවාහය අනිද්දාට  යෙදී තිබිණි. එනිසා ඔහු දින කිහිපයක සිටම පැමිණෙන්නේ නැත. උපාලි ගමන් වාරයක් සඳහා පිටත්ව ගියේ මින් විනාඩි කිහිපයකට ඉහතදීය.

මේ අපූර්වාගේ මිතුරන් නොව තාත්තාගේ මිතුරන්ය. ඔහු මිය ගිය දා පටන් අපූරුවාගේ මිතුරන් වූයේත් උපාලි, චින්තන හා සමන්ය.

“ පරිස්සමෙන් දුවේ….”

ඇය ගමන් වාරයක් සඳහා ත්‍රී රෝද රථය පණ ගන්වන සෑම විටකම ඒ ආශිර්වාදය ඔවුන් දෙදෙනාගෙන්ම ලැබේ. මාස තුනක් පුරා කිසිදු අතුරු ආන්තරාවකින් තොරව ඇය මේ රැකියාව කරන්නේත් එනිසා විය යුතුය. 

චින්තන අයියානම් පවසන්නේ උවමනාවක් උනොත් කෝල් එකක් දියන් යනුවෙන්ය.

අදටත් ඈ යන එන මගදී දෑස් විසල් කර බලාගෙන සිටින්නෝ බොහෝය. ත්‍රී රෝද රථ රැකියාවත් අප රටෙහි පිරිමින්ට පමණක් සුදුසුයැයි නම් කර තිබූ රැකියා අතරින් එකකි. වරෙක අපූර්වා  පවා රතුව තිබෙන තම සියුමැලි දෑත් දෙස බලන්නේ වේදනාවෙන්ය. මේ ඈ පැතූ ලෝකය නොවේ. 

සිහින දකිමින් ජීවත් වනවාට  වඩා ඇයට වර්තමානයට මුහුණ දීමට සිදුව තිබේ. 

ධම්මික සිටගෙන සිටියේ ගරාජය ඉදිරිපස පාර දෙස බලමින්ය.තමා  ත්‍රී රෝද රථය නවතද්දීම  ඔහු ඇතුළත සිටින අයෙකුට යමක් පවසනු අපූර්වා  බලාගෙනය. ගතව ගිය තත්පර කිහිපයකට පසුව ත්‍රී රෝද රථය වෙත පැමිණියේ කළු පැහැ කලිසමකිනුත් සුදු පැහැ අත්දිගු කමිසයකිනුත් සැරසුණු තරුණයකි. ඔහු අත  කාර්යාලීය බෑගයක් සහ කළු පැහැ ලෝගුවක් ද  විය. 

‘ සර් යන්න ඕන තැනට මේ නංගි ගිහින් දායි. අපේ අනිත් මිනිස්සුන්ට වඩා මට මේ නංගිව විශ්වාසයි. නංගි උඹ බලලා මහත්තයාගෙන් හයර් එක ගනින්. මේ අලුත්ගම උසාවියේ ලෝයර් මහත්තයෙක්..මහත්තයාගේ කාර් එක මේ යන ගමන් හදිස්සියේ කැඩිලා ගරාජ් එකට දැම්මා..”

සමන් කියවා ගෙන ගියේ ඔහු ත්‍රී රෝද රථයට නගිද්දීය. පැති කන්නාඩියෙන් ඇතුළත බැලුවත් තරුණයාගේ මුහුණ හරි හැටි දැකගැනීමට අපූර්වාට හැකි වූයේ නැත. හයර් එක යනවා හැරෙන්නට ඔහුගේ වගතුග ඇයට වැදගත් වූයේද නැත. කොහොමටත් නීතිඥයන් ගැන කිසිදු පැහැදීමක් ඇගේ සිතෙහි නොවේ. තමාට අතීතයත් අනාගතයත් වර්තමානයත් තුනම අහිමි කළේ නීතීඥයෙක්ය යන හැඟීම ඈ සිතේ අදටත් වේ.

“ උන් මේ පාර නඩුවට ඇල්ලුවෙ පුෂ්පානන්ද මහත්තයා. පුෂ්පානන්ද මහත්තයා කියන්නේ ඉඩම් නඩු අර පැත්ත මේ පැත්ත ගහලා දිනවල දෙන මනුස්සයා. ගානත් ඒ වගේමනේ..”

එක් දිනක උසාවියේ සිට නිවසට පැමිණි තාත්තා වෙහෙසකර අයුරින් එසේ පැවසුවා අපූර්වාට මතකය. 

“ එක නඩුවකට ලක්ෂ දෙකක් විතර ගන්නවලු…”

යළිත් ඔහු එසේ පැවසූයේ අම්මා හෝ ආච්චී ඇසූ පැනයකට පිළිතුරු ලබාදෙමින් විය යුතුය. අපූර්වා  උන්නේ සිය පෙර පාසල් ඩිප්ලෝමාවේ අවසන් විභාගයට සූදානම් වෙමින්ය.

“ බුදු අම්මෝ බං ඔය මිනිහා කොහේ සල්ලි තියල ඇත්ද…”

ඒ හඬ ආච්චිගේය…

තාත්තා සැක කළ විලසින්ම ඔහු නඩුව ඒ පැත්ත මේ පැත්ත ගැසුවේය. සියල්ල කණපිට පෙරලුණේ එතැන් පටන්ය.

“ නංගි උඹට ඇහුනද…සාධාරණ ගානක් ගනින් මහත්තයාගෙන්..”

අපූර්වා  තිගැස්සුනේ යළිත් සමන්ගේ හඬ තමන්ගේ දෙසවන් අසලින්ම ඇසෙද්දීය. එවර ඕ කිසිත් නොකියා ත්‍රීරෝද රථය පණ ගන්වා ගත්තාය. තමාගේ සේවය ලබාගන්නට පැමිණෙන සියල්ලෝම ඇයට එකය. ඒ නීතිඥයෙකු වේවා, වෛද්‍යවරයෙකු වේවා, ගුරුවරයෙකු හෝ කුලී වැඩ කරුවෙකු වේවා ඇයට කවුරුත් එකය.

යුගාෂ් අබේසූරිය මතුගමට පැමිණියේ තම සේවා දායකයෙකුගේ අවශ්‍යතාවයක් සඳහාය. තම විසෙල් වර්ගයේ ජීප් රථය හදිසියේ මග නතර වූයේ ඔහු ආපසු එන ගමනේදීය. 

ධම්මිකගේ ගරාජය හොඳයැයි පැවසූයේ උදව්වට ආ ගම් වැසියෙකි.

එය හදිසියේ සාදා ගතහැකි  කාර්මික දෝෂයක් නොවන බව ඔහු පැවසූයේ පැය බාගයක් පමණ පරීක්ෂා කිරීමෙන් පසුවය. 

“ මෙහේ පික් මී අනං මනං හොයන්න නෑ සර්. ග⁣මේ ත්‍රී වීලර් එකක් කතා කරලා දෙන්නද..”

ඔහු යළිත් පැවසූයේ තම ගමන් පහසුව ගැන විමසද්දීය. 

එහෙත් සිය ජංගම දුරකථනය කන තබාගෙන ඔහු ‘නංගී’..යැයි පවසද්දී යුගාෂ්ගේ සිතෙහි ඇති වූයේ කුතුහලයකි.

ගම්වල ත්‍රී රෝද රථ පදවන ගැහැනු උදවිය ඔහු ඕනෑ තරම් දැක ඇත. එහෙත් ඒ දෛනික ජීවිතයේ අවශ්‍යතාවයන් උදෙසාය. පොළට යාම, කඩයට යාම , දරුවන් පාසල් වලට ඇරලවීම වැනි කටයුතු ඔවුන් අතින් සිදු වේ. එහෙත් 

එය රැකියාවක් හෝ ව්‍යාපාරයක් ලෙස කරන්නේ කලාතුරකින් පිරිසකි.

යුවතිය දුටුවාට පසුව ඒ සිතෙහි වූ කුතුහලයට අත්තටු ලැබ පියඹා යන්නට විය. ඒ සොඳුරු රුවකි. නිල් පැහැති ඩෙනිම් කලිසමට ඕ ඇද උන්නේ රතුත් කලුත් මිශ්‍ර වූ කොටු සහිත බ්ලවුස් එකකි.

කැප් තොප්පියක් පළඳාගෙන උන් නිසා ඒ මුහුණ යුගාෂ් දුටුවේ යාන්තමින්ය. වයසත් බැලූ බැල්මට අවුරුදු විස්සක් පමණ විය යුතුය.දිගු කෙස් කළඹ තනි කරලට ගොතා තිබිණ. ඈ වන් සියුමැලි යුවතියක මෙවන් කටුක රැකියාවක් කිරීම පුදුමය උපදවන එකකි. කිසිවක් නොඅසා සිටියාට යුගාෂ් වූයේ කුතුහලයේ උපරිම තැනකය.

“ ඉස්සරහ වතුර බෝතලයක් ගන්න පුළුවන් තැනකින් ටිකක් නතර කරන්න..”

යුගාෂ් එසේ පැවසූයේ කලින් සිතා මතා සැලසුම්කර නොවේ. කොහොමටත්  තමාට කුතුහලයක් දැනුණු තැනකදී නිහඩව සිටීමේ පුරුද්දක් යුගාෂ්ට වූයේ නැත. ඔහුට වූයේ යුවතිය හා කතාබහක් ගොඩ නගා ගැනීමේ අවශ්‍යතාවයකි.

තවත් කිලෝමීටර් බාගයක් පමණ ඉදිරියට ඇදී ගිය ත්‍රී රෝද රථය නතර වූයේ තුන් මං හන්දියක් ආසන්නයේය. වම් පස වූයේ පසුකරගෙන ආ වෙළඳසල් වලට වඩා විසල් වූ එකකි. කාර්යාලීය බෑගයත් කබායත්  ත්‍රී රෝද රථයෙහි අසුන මත තැබූ යුගාෂ් බැස ගියේ වතුර බෝතලයක් මිලදී ගන්නටය.

වෙළදසැල තුළ කිහිප දෙනෙකුම වූ නිසා ඔහුට තත්පර කිහිපයක් බලා සිටින්නට සිදුවිය. අවසන වතුර බෝතලයක් ඉල්ලා කලිසමෙහි පිටුපස සාක්කුවෙහි වූ පසුම්බිය අදිද්දී යුගාෂ් දෑස් විසල් කර ගත්තේ,  තමාගේත් ඇඟේ හැපී ඉදිරියට දිව යන්නට ගිය කුඩා දරුවෙකු ත්‍රී රෝද රථය දෙසට ඇඟිල්ල දිගු කර අම්මේ ටීචර්… අම්මේ ටීචර්….යනුවෙන් කෑ ගසද්දීය. 

“ ඔව්  පුතේ ටීචර් තමයි….”

දියණියගේ අත තද කොට අල්ලාගත් තරුණිය එසේ පැවසූයේ වටපිට බලමින්ය.

“ අනේ අම්මේ..ටීචර්ගෙන් අහන්නකෝ ඇයි දැන් එන්නේ නැත්තේ කියලා….”

‘  මේ වෙලාවේ අපි ටීචර් එක්ක කතා කරන්න ගියොත් ටීචර් අපහසුතාවයට පත් වේවි. අපි හවසට කතා කරලා අහමු..එන්නකො පුතේ..මං ඔයාට චොක්ලට් එකක් අරන් දෙන්න..”

කුඩා දියණිය ආපසු හැරුණත් වරින් වර ඈ ත්‍රී රෝද රථයේ සිටින යුවතිය දෙස බලන අයුරු යුගාෂ්  දුටුවේය. අවසන ඔහු වතුර බෝතලයක් වෙනුවට දෙකක් මිලදී ගත්තේය. ඒ එකක් ඔහු යුවතිය වෙත දිගු කළේ යළි ත්‍රී රෝද රථයට නැඟුනාට පසුවය.

“ බොහොම ස්තුතියි සර් මට එපා.මගේ ළග වතුර තියෙනවා..”

“ කමක් නෑ මේක ගන්න.මේ රස්නෙට දැන් ඒ වතුර එක රත් වෙලා ඇති…”

අවසන අපූර්වා ඔහු දිගු කරගෙන උන් වතුර බෝතලය සිය දකුණතින් අල්ලා ගත්තේ නිහඬවය. 

එහෙත් ඈ එය පානය නොකරම ඉදිරිපස අසුන යට්න් තැබුවාය. ඉඳ හිට දිනක ත්‍රී රෝද රථයේ ගමන් කරන මගියෙකු බීම බෝතලයක් කිරි පැකට්ටුවක් රැගෙන දීම අරුමයක් නොවේ. ගම්වැසියෙකුගේ නිවසකට ගියහොත් තේ කෝප්පයක් පානය නොකර එන්නට ලැබෙන්නේ කලාතුරකින්ය.

“ තරහා වෙන්න එපා මං මෙහෙම ඇහුවට…ත්‍රී වීලර් එලවන ගෑණු අය ගැන මං අහලා තියෙනවා. ඒ උනාට මෙච්චර අඩු වයසක කෙනෙක් ජොබ් එකක් විදිහට මෙහෙම දෙයක් කරනව දැකපු පළවෙනි වතාව..”

යුගාෂ් තම හඬ අවදි කලේ ත්‍රී වීලරය  පණ ගන්නවා තවත් මඳ දුරක් ගියාට පසුවය. කඩය තුළදී කුඩා දියණිය ටීචර් යනුවෙන් ඇයව හැඳින්වීම ඔහුගේ කුතුහලය තව තවත් තීව්‍රර කරවන්නට සමත් වී තිබිණ. ඒ සියල්ලටම වඩා දියණියගේ මව ටීචර් අපහසුතාවයට පත්වෙනවායැයි පැවසූයේත්, දියණිය ටීචර්ට ආපසු එන්න කියන්නයැයි පැවසූයේත්  ඒ කුතුහලය උපරිම තැනක රඳවමින්ය..

“ එහෙම කරන්න උනා…”

ඇය පැවසූයේ නිහඬව ගෙවී ගිය තත්පර ගණනාවකට පසුවය. ඒ හඬෙහි වූ දුකත්, කෝපයත්, කලකිරීමත් හඳුනා ගන්නට දක්ෂ නීතිඥවරයෙකු වූ යුගාෂ්  අසමත් වූයේ නැත. කෙසේ හෝ යුවතියගේ ඒ තතු දැනගන්නවා යැයි ඔහු සිතුවේ ඉන්පසුවය.

( යළිත් හමු වෙමු ආදරයෙන්…)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here