අරුමැති ආදරයක් – 5

0
2075

සමනුත්,  උපාලිත් උන්නේ සමන්ගේ ත්‍රී රෝද රථයේ බඳට හේත්තු වී ගෙනය.

අපූර්වා ඇගේ ත්‍රී රෝද රථයේ රියදුරු අසුනෙහි පැත්තට හැරී  වාඩිවී කකුල් පිටතට දමාගෙන සිටියාය. මේ පිරිමින් දෙදෙනා ඇයට ආරක්‍ෂාව සැපයූයේත්, ඇගේ ප්‍රශ්න වලට හැකි පමණින් පිළිතුරු සොයා දුන්නේත් එය තම යුතුකමක් සේ සලකා ගෙනය. 

“ කාන්තිට ඒ දවස්වලම හරි හමන් වෛද්‍ය ප්‍රතිකාරයක් කෙරුණනම් අපට ඔය ගෑනිව ගොඩ දාගන්න තිබුණා දුවේ. සිද්ධ වෙච්ච ප්‍රශ්නත් එක්ක  අපිත් බලාගෙන හිටියනේ අද හරියයි හෙට හරියයි කියලා…”

“ තමන්ගේ මිනිහා ඒ වගේ එල්ලිලා මැරිලා ඉන්නවා මොන ගෑනිටද බං ඉවසන්න පුළුවන්..කාන්ති පිස්සියක් වෙච්ච එක අරුමයක් නෙමෙයි..”

ඔවුන් අදහස් දක්වද්දී අපූර්වා කළේ නිහඩව සිටීමය. මේ උත්තර පෙනෙන තෙක් මානකයවත් නොවන ප්‍රශ්නය.

“ ඈ බං දුවේ.. දැන් දොස්තර මහත්තය මොකක්ද කියන්නේ..”

“ හොඳ වෙයි. කල් යයි කියලයි කියන්නේ..”

“ මුන් තවත් යහතින් ජීවත් වෙනවනේ බං..”

එවර සමන් පැවසුයේ අපූර්වාගේ බාප්පා සිහිපත් කරමින්ය. 

“ කල හොඳ කල් හොඳයි ඉතින්. අපිත් ඉන්නේ මේ ගමේනේ. මනුස්සයෙක් තමන් ආශ්‍රය කරන්න අකමැති වෙද්දි මිනිහෙක් හිතන්න ඕනේ තමන් ජීවත් වෙන පිළිවෙල වැරදියි කියලා. සල්ලි ඉඩ කඩං වතුපිටි යාන වාහන ඕව යනකොට ගෙනියන්නෙ නෑ  කියලා තණ්හාවෙන් හම්බ කරන කාලෙට මතක් වෙන්නෙ නෑ. තමන්ගේ සහෝදරයාට උන් හිටි තැන් නැති කරලා දරු පවුල පාරට ඇදලා දාලා ඔය පර්චස් ගානක ඉඩමයි ගරා වැටෙන ගේකුයි අයිති කරගෙන ඔය මනුස්සය ඔය පිරිමැහුවේ  මේ ආත්මෙ තරහක් නෙමෙයි. තමන්ගේ හතුරොත්  සහෝදරයෝ, දරුවෝ වෙලා උපදිනවා කියලා කියනවානේ…

සමන් හිස වැනුවේ උපාලි එසේ පවසද්දීය. අදටත් නිශ්ශංක අබේසිංහව මගදී  හමුවූවත් මුහුණ බලන්නට සිතෙන්නේ නැත. ඒ තරමටම බොහෝ ගම්වැසියන්ට ඔහුව පිළිකුල්ය.

“ සමන් මල්ලි…ඉත්තෑපානට  ගිහිල්ලා එමුද..වැඩි වෙලා ඉන්නෙ නෑ. විනාඩි දහයයි අනිත් පැත්තට හැරෙනවා…”

සමන් පිටුපස හැරුනේත් අපූර්වා හිස ඔසවා බැලුවේත් ඒ හඬටය.ඊළඟ ගමන් වාරය නියමිතව තිබුණේ උපාලිට වුවත් සමන් බැලුවේ අපූර්වා දෙසය.

“ අනේ යශෝධා අක්කේ අපූර්වා දුවත් එක්ක යමුද..”

“ ඒකට කමක් නෑ..කවුරුත් එක්ක ගියත් මම යන්නේ හයර් එකක් නේ. අර උඹේ  ත්‍රීවිල් එක ඉස්සරහම තිබුන නිසයි මං උඹට  කතා කළේ.”

“ මේකිව  වේලාසනින් ගෙදරට යවන්න ඕන බං..හිතේ හයියට කලාට කෙල්ලෙක්ට මේ රස්සාව සුදුසු එකක් නෙමෙයි. අපිට ඔය චුට්ටක් රෑ වෙනකං මෙතනට වෙලා ඉන්න බැරියැ..”

එවර සමන් පැවසූයේ තමා අසල සිටින උපාලි දෙස බලමින්ය. ඔහු හිස වැනුවේත්  තම මිතුරාව අනුමත කරමින්ය. 

****-======***–======*****-========

උදැසන නඩු වාර දෙකකට පෙනී සිටීමට තිබුණත් යුගාෂ්ගේ සිත නිරවුල් වූයේ නැත. එහෙත් මේ ගණුදෙණු කරන්නේ අසරණ සේවා දායකයන්ගේ මුදල් සමඟය. එනිසාම ඔහු හැකි තරම් සාධාරණයක් ඉටු කරන්නට අවැසි කරුණු ගොනු කර ගත්තේය. යුගාෂ්ට අප්පච්චීව හමු වූයේ උසාවි භූමියේදීය. ඔහු උසාවි සංකීර්ණය තුළට පැමිණියේ අලුතින් පත්වීමක් ලබා ආ තරුණ නීතීඥවරියක සමගින්ය. දෑසින් දැක නොතිබුනාට ඔහුගේ පැවැත්ම ගැන මිනිසුන් පවසන්නේ එතරම් හොඳ කතා නොවේ.

“ ආ…ඉලංදාරියා…මොකෝ අද පාරේ වාහනේක ඇවිල්ල බහිනවා දැක්කේ..”

මගහැර යන්නට නොහැකි කමෙන් අප්පච්චි ඉදිරියට ආ යුගාෂ් නතර වූයේ බිම බලාගෙනය.

“ඊයේ වාහනේ පොඩි බ්‍රේක් ඩවුන් එකක් උනා. තවම ගරාජ් එකේ…”

“ ඉතින් මට කිව්වානම් කාර් එකත් එක්ක පියසිරිව එවනවනේ..”

පියසිරි යනු  ඔහුගේ රියදුරාය. කුමක් දෝ හේතුවකට අප්පච්චිගේ අඩි පාරේ ගොස් නීතීඥ වෘත්තිය තෝරා ගත්තත් ඔහුගෙන් උපදෙස් පතන්නට හෝ උදව් ලබාගන්නට යුගාෂ් කැමති වූයේේ නැත.

‘වරෙක අප්පච්චි උඹත් උඹලගේ අම්මා වගේම මාන්නක්කාර ගෑනියෙක්’  යැයි පවසමින් බැණ වදින්නේ එනිසාය. 

“ මම ටිකක්  යුගාෂ් එක්ක කතා කරන්න හිටියේ. සෙව්වන්දි  යන්නකෝ මම එන්නම්…”

ඔහු එසේ පැවසූයේ තම පුතණුවන් දෙස බලාගෙනය. ඔහුට වූයේ තම රුව නොවේ. උස්මහත් කඩවසම් සිරුරක් වූවාට ඒ මුහුණ තමාරාගේමය.

“ යුගාෂ්..අර සේනක මන්ත්‍රීතුමාගේ පුතාගේ නඩුව ගැන මීට වඩා හිතන්න ඕනේ. සාධාරණේ මොකක් උනත්  අපිට හැමතිස්සෙම සාධාරණය වෙනුවෙන්ම පෙනී හිටින්න බෑ. සේනකලා  වගේ මිනිස්සු තරහ කරගන්න එක නුවණට හුරු දෙයක් නෙමෙයි. අනික ඒ කෙල්ල ගාමන්ට් යන කෙල්ලෙක්..සේනකගේ පුතා කියන්නේ කවද හරි දවසක මේ රටේ ඇමති කෙනෙක් වෙන්න ඉන්න කොල්ලෙක්.”

අප්පච්චි මේ පවසන්නේ කුමක්දැයි යුගාෂ්ට හොඳින් වැටහේ. ඔහු මෙම වෘත්තියේ නමක් දරාගෙන සිටියාට ඒ වෘත්තියේ ගෞරවය ආරක්ෂා කරමින්ම නොවේ. වර්තමානයේ තමා දන්නා අයුරින් අධික මිල ගණනක් අය කරන නීතිඥවරු කිහිපදෙනා අතර අප්පච්චී සිටින්නේ ඉදිරියෙන්මය. ඔහු සැබෑම දක්ෂයෙකි. සාක්‍ෂි මවන්නට විරුද්ධ පාර්ශවය අඩපණ කරන්නට ඔහු තරම් සුදුසුකම් ඇත්තෙකු දකුණු පළාතේම නොවන බවට ප්‍රසිද්ධය. ඔහු නඩුවක් බාරගන්නේ තමාට  ජයග්‍රහණය ලැබිය හැකිදැයි හොඳින් සොයා බැලුවාට පසුවය. නීතිඥ පුෂ්පානන්ද ධීරසේකර කතා කරන නඩුවක් නොපරදිනවායැයි ප්‍රසිද්ධ වූයේ එනිසාය. ඔහු මිනිසුන්ට තම ගාස්තුව පවසන්නේත් ලක්ෂ ගණනින්ය.

“ ලෝයර් කෙනෙක් වෙච්ච පලියට මේ ෆීල්ඩ් එකේ  නමක් තියාගෙන ඉන්නවත් දියුණු වෙන්නවත් හැම මිනිහෙක්ටම බෑ යුගාෂ්. ඒකට මොළේ තියෙන්න ඕන. ඔය අම්මගේ භාවනා තියරිය මේක ඇතුලට ඇප්ලයි කරන්න එපා. තමුන් ධීරසේකර කියන නම රකින්න ඕනේ. දෙකයි පනහේ නඩුවලට පෙනී හිටලා තමන්ගේ නම නැති කරගන්න එපා යුගාෂ්..”

මඳක් දැඩි හඬකින් එසේ පැවසූ පුෂ්පානන්ද ඉවත් වූයේ යුගාෂ් ඒ අයුරින්ම සිටියදීය. අප්පච්චී ඉදිරිපිටදී මේ සා ඉවසන්නට සිත පුරුදු පුහුණු වූයේ කෙලෙසකදැයි  ඔහුට නොතේරේ.

මිතුරාගේ මෝටර් රථය රැගෙන යන්න යැයි දෙතුන් වරක්ම පැවසුවත් යුගාෂ් ත්‍රී රෝද රථයක නැගී මතුගමට ගියේ සිතා මතාමය. යුගාෂ් උඹට මේ මොකද වෙලා තියෙන්නේ?…යටි සිත කිහිප වරක්ම ප්‍රශ්න කලත් ඔහුට දීමට පිළිතුරක් වූයේ නැත. විටෙක මේ සිත ඔහුටත් අවනත නොවන තරමට හිතුවක්කාරය. 

ගරාජයට යන්නට පෙර ඔහු යුවතියගේ දුරකථනයට ඇමතුමක් ලබා ගත්තේය. 

“ මම යුගාෂ්..මේ අර ත්‍රීවිලර් එකේ නංගි වෙන්න ඇති..”

“ ආ ..ඔව් සර්. සර් ගරාජ් එකට ඇවිල්ලද ඉන්නේ…”

“ මම තවම එන ගමන්..මම මෙතන වැඩ ටික ඉවර කරගෙන ඔයාට කතා කරන්නම්. ඔයාට පුළුවන් නේද මාව අදත් අලුත්ගමට බස්සවන්න..”

“සර් ගොඩක් රෑ වෙයිද…”

“නෑ ..නෑ…පුළුවන් තරං ඉක්මනින් මං මෙතනින් පිට වෙනවා..”

යුගාෂ් දුරකථනය විසන්ධි කළේ එසේ පවසමින්ය. අද ඔහු ගරාජයට පැමිණියේ වුවමනාවකටම නොවේ. ගරාජයේ හිමිකරුවා වාහනය දෙන්නට පොරොන්දු වූයේ හෙටය.

“ මහත්තයා අද ආවේ….”

ඔහු යුගාෂ්ව දුටු හැටියේම ප්‍රශ්න කළේ එනිසාය.

“ අදත් මං අර වැඩේට මේ ළඟට ආවා. ඒ ගමන් නිකමට බලලා යන්න හිතුනා. මොකද තත්වේ..”

“ වැඩේ කෙරීගෙන යනවා මහත්තයා. හෙට පොරොන්දු වෙච්ච වෙලාවට මහත්තයට වාහනේ ගන්න පුළුවන්.”

“ ඒකනම් ලොකු දෙයක්…මේ…පොඩි දෙයක් දැනගන්න පුළුවන්ද..”

“ කියන්න මහත්තයා….”

“ අර ඊයේ මට කතා කරලා දීපු ත්‍රී වීලර් එක එලෙව්වේ ගෑණු ළමයෙක්..”

“ ආ… ඔව් මේ අපේ අපූර්වා නංගි.”

“ එයා ටිකක් අමුතුයි. ඒකයි මං ඇහුවේ..”

“ වැඩිය කතා කරන්න එහෙම නෑ මහත්තයා..”

“ නෑ… නෑ ඒ අමුත්ත ගැන නෙමෙයි මං කතා කළේ. මමත් එයා එක්ක  වැඩිය කතාවට ගියේ නැහැ. ඔය වයසේ තරුණ ගෑනු ළමයෙක් ඔය වගේ ජොබ් එකක් කරනවා කියන එකම අමුත්තක්නේ..”

“ අපූර්වා  නංගි ඔහොම වැඩක් කරන්න බලාගෙන හිටපු කෙනෙක් නෙමෙයි මහත්තයා. ඔය ළමයා මේ ළඟ ඉන්ටර්නැෂනල් මොන්ටිසෝරියක   ටීචර් කෙනෙක් විදිහට තමයි වැඩ කළේ..ඉංග්‍රීසි එහෙමත් වතුර වගේ..ඒ උනාට  ඉතින් ගෙවල්වල සිද්ධ වෙච්ච ප්‍රශ්නත් එක්ක අන්තිමට සිද්ධ වුණේ හීනෙකින්වත් බලාපොරොත්තු නොවිච්ච රස්සාවක් කරන්න..”

“ මං ඇහුවට කමක් නැත්තං..ඔයා කිව්වට කමක් නැත්තං මං කැමතියි ඒ කතාව අහන්න. ඇත්තටම කිව්වොත් ඊයේ ඉඳලා මගේ හිතේ ලොකු පුදුමයක් තිබුණා.”

“ ඒක පුදුම කතාවක් තමයි මහත්තයා. ඔය ළමයගෙ තාත්තා මනුස්සකම්වලින් උපරිම ගියපු මනුස්සයෙක්. මට මේ ගරාජ් එක පටන් ගන්නත් සෑහෙන්න උදව් කළා. නන්දිසිරිය අයියා අවුරුදු එකොළහක් තිස්සේ තමන්ගේ  මහ ගෙදරට තමන්ගෙම සහෝදරයත් එක්ක නඩු කිව්වා. අන්තිමට අපූර්වා නංගිගේ බාප්පා ඇල්ලුවේ පුෂ්පානන්ද ලෝයර්ව මහත්තයා ලෝයර් කෙනෙක් හින්දා පුෂ්පානන්ද මහත්තයව අඳුනන්නේ නැති වෙන්න බෑනේ..පුෂ්පානන්ද මහත්තයා නඩුව කනපිට පෙරළුවා. වාර හතරයි නැත්නම් පහයි ගියේ මහ ගෙදරයි ඉඩමයි දෙකම අපූර්වගේ  බාප්පට අයිති වුණා. ඕව හරි හමං ඔප්පු තිරප්පු තිබුණු ඉඩම් නෙමෙයි. ඒ උනාට ඉතින් හරි නං දෙන්නට සම සමව බෙදෙන්න ඕනේ..”

“ ඊට පස්සේ..”

“ ඔය ඉඩමේ පදිංචි වෙලා ඉඳගෙන බලා කියාගෙන හිටියටයි වන්දියක් විදිහටයි ලක්ෂ දෙකක් හම්බවුණා. එතකොටත් නන්දසිරි  අයියා නඩු කියන්න හතර වටේ ණය වෙලා හිටියේ. තමන්ට මේ වගේ අසාධාරණයක් වෙයි කියල නං මිනිහා කීයටවත් බලාපොරොත්තු  උනේ  නෑ. අන්තිමට මිනිහා බීමට වැටුණා. නැති වෙන්න බිව්වා.  හරියටම ඔය නඩුවේ තීන්දුව දීලා මාස එකහමාරකට පස්සේ නන්දසිරි  අයියා මහ ගෙදර වත්තෙම තිබුණු කජු ගහක එල්ලිලා මැරුණා..”

“ ඕ මයි ගෝඩ්….එයාට තිබුණානේ ඇපිල් එකක් දාන්න..

“ ඒවා ගැන ඔය මනුස්සයා දන්නෙත් නැතුව ඇති මහත්තයා. ඔය නිශ්ශංක අත දිග ඇරලා නඩුවට සල්ලි වියදම් කළා. පස්සෙ කාලේ මිනිහට තිබුණේ මහ ගෙවල් අයිති කරගන්න වුවමනාව නෙමෙයි තමන්ගේ සහෝදරයාව පරද්දන්න උවමනාවක්..මිනිහා මහ එක විදිහක මිනිහෙක්. මේ ගමේ උන් එක්කවත් බජනයක් නෑ..”

“ මට තේරෙනවා…”

“ එහෙම තමයි මහත්තයා වෛරක්කාරයොත් එක බඩවැල කඩාගෙන එක කුසේ ඉපදෙනවා කියලා කියනවනේ..උදේ පාන්දරම නන්දසිරි  අයියා හොයාගෙන ගියපු කාන්ති අක්කා  තමයි දැකලා තිබුනේ නන්දසිරි අයියගේ  මිනිය කජු ගහේ එල්ලි එල්ලි තියෙනවා. ඒ ගෑනිට දැන් පිස්සු…අන්තිමට මේ කෙල්ල මොන්ටිසෝරි ගමන නවත්තලා ඔය තාත්තගේ ත්‍රීවිල් රස්සාව පටන් ගත්තා..”

අවසන ගරාජ්  හිමියා එසේ පවසද්දී යුගාෂ් වූයේ වෙනමම කල්පනාවකය. 

ඒ සිතෙහි වූයේ කම්පනයකි.

( යළිත් හමු වෙමු ආදරයෙන්…..)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here