තාදී – 59

0
3655

ධීර ජයමිණි ගේ අතින් අල්ලා ගෙන හෝටලයේ කොරිඩෝවක් දිගේ ඇවිදිමින් උන්නේය. ඒ, හෝටලයේ වෙනස්කම් කිහිපයක් සහ අලුත් වැඩියා කිරීම් කිහිපයක් කිරීමට සැලසුම් කරමිනි. වසන්ත ජීවත්ව සිටි කාලයේ  කිසි දිනක ව්‍යාපාරයේ හෝ ජීවිතයේ තීරණ ගැනීම සඳහා තමා ගෙන් විමසීමක් කලේ නැත. අඩුම වශයෙන් තමා මේ හෝටලයේ පැය දෙක තුනකට වඩා රැඳී සිටද නැත. එහෙත් වසන්ත ගේ මරණයෙන් පසුව ධීර සම්පූර්ණයෙන්ම මෙහි වගකීම් බාරගත් දිනයේ සිට තමා බොහෝ වාරයක් මේ හෝටලය පුරා නිදහසේ ඇවිද ගිය බව ජයමිණි සිතුවේ අලුතෙන් ඉදිවන පිහිනුම් තටාකය අසල වාඩි වන අතරේය.

ධීර බොහෝ විට උත්සාහ කළේ ජයමිණි ව ඇස් මානයේ තබා ගැනීමටය. ඇය නිවසේ සේවිකාව සමඟ දවස පුරාම නිවසේ රැඳී සිටිනවාට වඩා හෝටලයේ වැඩ සඳහා තමාට සහාය වන අතරේ හෝටලයේ රැඳී සිටීම ධීර ට සහනයක් ගෙන දුන්නේය. අනෙක් අතට එය ජයමිණි ගේ මානසිකත්වය යහපත් අතට හැරවීම සඳහා ඉතා හොඳ පියවරක් යැයි ධීර සිතුවේය. 

දහවල් ආහාර ගැනීම සඳහා මුහුද පේන මානයේ ඇති මේසයක් සූදානම් කරන්නට ධීර හෝටලේ සේවකයන්ට උපදෙස් දුන් අතර ජයමිණි කැමතිම සිංහල කෑම වේලක් සකස් කරන්නටද සේවකයන් හට උපදෙස් ලැබුණි.මේ සියලු උත්සාහයන් තමා වෙනුවෙන් ජීවිතයම කැප කළ මව සතුටින් තැබීම සඳහාය. සීත කරන ලද තැඹිලි වීදුරුවක රස විඳින අතරේ ජයමිණි නිවී සැනසිල්ලේ මුහුදේ රළ බිඳෙන ආකාරය බලා සිටියාය. ජයමිණි ගේ සිතේ වූ සැනසිල්ල තරම්ම සැනසීමකින් ධීර ද ජයමිණි දෙස බලා සිටියේය. 

මුහුද පෙනෙන මානයට පැමිණීමට ලී වලින් සකස් කර ඇති අඩි පාර දිගේ පැමිණෙමින් සිටියේ මිෂෙල් ය. ඇය පසු පසින් මින් පෙර මුණ ගැසී නැති තරුණයෙකුද පැමිණෙන බව ධීර දුටුවේ පසුවය. 

” අම්මා “

ජයමිණි තැඹිලි වීදුරුව මේසය මතින් තබා ධීර දෙස බැලුවාය.ධීර උන්නේ වෙන අතක් බලාගෙනය. ජයමිණි ඒ දෙස බැලුවේ ඒ අනුවය. තමන් දෙදෙනා දෙසට පැමිණෙමින් සිටින්නේ මිෂෙල් සහ තවත් තරුණයෙකි. ජයමිණි කුතුහලයෙන් බැලුවේ ධීර දෙසය.

” කවුද පුතා ඒ ? ” 

” අනේ මන්දා අම්මා. ඒ පාර මොන මරාලයක්ද දන්නෑ ” 

මිෂෙල් තාදී මුණගැසීමට ගොස් සමාව ඉල්ලූ බව ධීර දැන ගත්තේ තාදී ගෙනි. එහෙත් එයත් මිෂෙල්ගේ රඟපෑමක් බව ධීර සිතුවේය. කොයි මොහොතක හෝ ඇය තවත් කුමක්ම හෝ කරන්නට ඉඩ ඇති බව ධීර බලාපොරොත්තුවෙන් සිටියේය. ඇය මේ මොහොතේ තමාව සොයා හෝටලයට පැමිණෙන්නේ ද එවන් දෙයක් සඳහා යැයි ධීර අනුමාන කළේය . එහෙත් මිෂෙල් පැමිණියේ වෙනදා දකින්නට නොවූ තරමේ සිනා මුසු මුහුණකිනි. ආගන්තුක තරුණයා ද ප්‍රියමනාපය. වැදගත් පෙනුමකින් යුතු ඔහු මනා පෞරුෂයකින් හෙබි විය. මිෂෙල් ඊළඟට කරන්නට යන්නේ කුමක්දැයි යන කුතුහලයෙන් ධීර බලා සිටියේය.

” reception එකෙන් කිව්වා ඔය දෙන්නා මෙතන කියලා. ඒකයි අපි මෙතනටම ආවේ. කොහොමද ආන්ටි ? ” 

ජයමිණි අසුනින් නැගිටින්නට පෙර මිෂෙල් පහත් වී ඇයව වැළඳ ගත්තාය. 

” ධීර. මේ.. මේ යශාන් ” 

මිෂෙල් සමග පැමිණි තරුණයා කවුරුන්දැයි ධීර හරියටම වටහා ගත්තේ ඒ මොහොතේදීය. ධීර ඔවුන් දෙදෙනාටම අසුන් ගැනීම සඳහා අසුන් පෙන්වූ අතර මිෂෙල් සහ යශාන් අසුන් ගත්හ. 

” මොනාද බොන්නෙ මිෂෙල් ? ” 

ධීර ඇසුවේ සාමාන්‍යයෙන් අසන ආකාරයේ පැනයකි. 

” දැන් මුකුත් එපා ධීර. මං ඇත්තටම ආවේ ඔය දෙන්නට කතා කරල යන්න ” 

ජයමිණි බලා සිටියාය. මිෂෙල් ධීර කෙරෙහි දැන් බලාපොරොත්තුවකින් නොසිටින බව ජයමිණි තේරුම් ගෙන සිටියේ දින කිහිපයක් පුරාවටම ධීරට හෝ තමාට ඇයගෙන් දුරකථන ඇමතුමක් හෝ නොවූ නිසාය. 

” ධීර දන්නවනේ, යශාන් ගෙයි මගෙයි අතර තිබ්බ Affair එක ” 

මිෂෙල් කතාව පටන් ගත්තේ ධීර දෙස අඩමානයට බලාය. යශාන් ඍජුවම බලා සිටියේ ධීර දෙසය. මිෂෙල් ධීර කෙරෙහි බැඳීම සහ ඔහු පිළිබඳව බලාපොරොත්තු තබා ගැනීමෙහි පුදුමයක් නැත. ඔහු එතරම්ම කඩවසම්ය. ඉතා හොඳ පෞරුෂයක් ඔහු තුළ පෙනෙන්නට ඇත. 

” අපි ඒ ගැන කතා කළානේ මිෂෙල් ” 

” පහුගිය දවස්වල මගෙන් වෙච්ච හැමදේටම මං ඔයාලගෙන් සමාව ඉල්ලනවා. මං දන්නවා ඔයාලගේ පවුල ඇතුලෙත් මං නිසා ගොඩක් ප්‍රශ්න උනා කියලා. මොකද මේ proposal එකට කැමති වෙලා හිටියේ ඇත්තටම වසන්ත අංකල් විතරයිනේ. මට ඕන වුනේ ඔයාලගෙන් සමාව ඉල්ලන්න. ධීර දන්නවා ඇතිනේ මං තාදි වත් හම්බවෙන්න ගියා කියලා ” 

” ඔව්. මට තාදි විස්තරේ කිව්වා ” 

මිෂෙල් මොහොතක් නිහඬව මුහුද දෙස බලා සිටියාය. ඒ තමන් පැමිණි කාරණාව කොහෙන් ආරම්භ කරන්නට දැයි සිතමිනි.

” ජීවිතේ වැරදුනු මිනිස්සුන්ටත් ජීවිතේ හදාගන්න අවස්ථාවක් තියෙන්න ඕනෙ නේද ධීර ? ” 

” ඔව් ” 

ධීර පිළිතුරු දුන්නේ තනි වචනයෙනි. එය සෘජුය. ධීර මුල සිටම මිෂෙල්ට සැලකූයේ ඒ ආකාරයට නිසා මිෂෙල්ට එහි වෙනසක් දැනුනේද නැත.

” මටත් එහෙම අවස්ථාවක් හම්බුනා ධීර. ඒ යශාන් අපේ ගෙදර ආපු වෙලාවේ. වෙච්ච හැම ප්‍රශ්නයක්ම අම්මයි තාත්තයි යශාන් එක්ක කතා කරලා තිබුනා. ඉතින්..  ” 

මිෂෙල් කතාව නතර කළාය. අනතුරුව යශාන් දෙස බැලුවාය. ඒ , මුහුණේ සැනසිලිදායක මදහසක් ඇතිවය.

” යශාන් කැමතියි මට තව අවස්ථාවක් දෙන්න ” 

ධීර සැබවින්ම සතුටු වූයේය. මිෂෙල් ජීවිතය ගෙවූයේ අන්ධභාවයකිනි. ජීවිතය පිළිබඳව කිසිදු බැරෑරුම් කමක් හෝ වගකීම් සහගත බවක් ඇය තුළ තිබුණේ නැත. එහෙත් අවසානයේදී ඇය සියල්ල තේරුම් ගෙන ඇත. එයටත් වඩා ඇයට වසර ගණනාවක් ආදරය කළ පෙම්වතාම ඇයට සමාව දී ඇයව නැවත තෝරා ගෙන ඇත.

” ධීර ” 

යශාන් ධීර දෙසට හැරුනේය. 

” සමහරවිට ඔයාට හිතෙන්න පුළුවන් මං මෝඩ කමක් කරනවා කියලා “

ධීර අතින් සංඥා කරමින් යශාන්ගේ කතාව නතර කළේය. 

” මං කවදාවත් එහෙම හිතන්නෙ නෑ යශාන් .මිෂෙල් කිව්වා වගේ ඇත්තටම ජීවිතේ වැරදිච්ච කෙනෙකුට ඒක හදාගන්න අවස්ථාවක් තියෙන්න ඕනේ. එයාට ඒකට අයිතියක් තියෙනවා. මිෂෙල් ඉන්නෙ හැමදේම තේරුම් අරගෙන නම් මට ඇත්තටම සතුටුයි. අපි දෙන්නාගේ නොගැලපීම් තිබුණ එක ඇරෙන්න මං දන්නව මිෂෙල් කියන්නේ නරක කෙනෙක් නෙමෙයි කියලා ” 

” තෑන්ක්ස් ධීර. අපි දෙන්න මේ දේවල් කතා කර ගත්තට පස්සේ මිෂෙල්ට ඕන උනා ඔයාවයි ආන්ටිවයි මීට් වෙලා මේ ගැන කතා කරන්න. ඇත්තටම එයා පසුතැවෙනවා එයා කරපු දේවල් ගැන. අපි දෙන්නට දැන් ඕනේ හොඳ විදියකට සෙට්ල් වෙන්න. ඒක මුලින්ම කියන්න ඕන හොඳම අය ඔයාලා කියලයි අපි හිතුවේ ” 

මේ සංවාදය අසා සිටි ජයමිණි ට දැනුනේ සතුටකි.සැහැල්ලුවකි. මේ සියල්ල තේරුම් ගැනීමට වසන්ත ජීවතුන් අතර සිටියා නම් හොඳය. එසේ නම් අනිවාර්යෙන්ම ඔහුද මේ බැඳීම් වල සැබෑ අර්ථය තේරුම් ගන්නට තිබුනි.

” මට හරි සතුටුයි මිෂෙල්. මොන ප්‍රශ්න තිබුණත් ,ඔයා මොන වැරැද්ද කළත් ඔයාව අත අරින්නෙ නැති පාට්නර් කෙනෙක් ඔයාට ඉන්න එක ගැන මට ඇත්තටම සතුටුයි. අපි ජීවත් වෙන්න ඕනේ අපිට සපෝට් කරන , අපිව තේරුම් ගන්න , අපිට ජීවත් වෙන්න ලේසි මනුස්සයෙක් එක්ක කියලා ඔයාට දැන් තේරෙනව ඇති කියලා මං හිතනවා “

” මිෂෙල් , දැන් හැමදේම අමතක කරලා අලුතින් ජීවිතේ පටන් ගන්න පුතේ. මං ඔයාට අකමැති වුණා නෙමෙයි.මගේ පුතාගේ සතුට ගැන හිතලා එයාගේ කැමැත්තට ඉඩ දුන්නා විතරයි.මං හිතනවා ඔයා ඒක තේරුම් ගන්න ඇති කියලා. අපේ ආශිර්වාදය ඔයාට හැමදාම තියෙනවා මිෂෙල් ” 

අවසානයේදී ජයමිණි මුව විවර කලාය. මිෂෙල් දෑස් වල කඳුළු පුරවා ගෙන අසුනින් නැගිට නැවත ජයමිණි ව වැළඳ ගත්තාය. ධීර මෙන්ම යශාන් ද ඒ දෙස බලා උන්නේ බොහෝ සතුටෙනි. මෙවන් මොහොතක් උදා වේ යැයි කිසිවෙකුත් සිතුවේ නැත.එහෙත් සියල්ල සිදුවන්නේ සිදුවන්නට නියමිත හොඳම ආකාරයටය. මෙය එයට හොඳම උදාහරණයකි.

” අපිට ඔයාලත් එක්ක කතා කරගන්න තව දෙයක් තියෙනවා ධීර ” 

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here