කාන්තිව කොළඹ ගෙන යන ගමනට වාහනය පැමිණෙනවායැයි පැවසුවේ පස්වරු දෙකට පමණය. ඒ වන විටත් හේෂානි අපූර්වාගේ නිවසට පැමිණ සිටියාය.
“මමත් එන්න වෙයිද ළමයෝ. උඹලට තනියෙන් පුළුවන්ද මේ ලෙඩාව හේ කරගන්න…”
ආච්චී ඇසුවේ කාන්තිගේ කෙටි කොණ්ඩය එක් මිටකට එකතු කර කොණ්ඩා කටුවක් ගසමින් උන් අපූර්වා දෙස බලාගෙනය.
“ඕනේ නෑ ආච්චි. හේෂානිත් ඉන්නවනේ..”
“අනේ මන්ද බං…ඔතනින්වත් හොඳක් උනොත්…”
අපූර්වා අම්මාගේ මුහුණෙහි වත්සුණු බිඳක් තැවරූයේ කොණ්ඩය සාදා නිමවූවාට පසුවය.
යුගාෂ්ගේ අංකය සටහන් කරමින් අපූර්වාගේ ජංගම දුරකථනය නාද වූයේ එවේලෙහිය. ඈ දුරකතනයත් සවනතක තබාගෙන කාමරයෙන් පිටවූයේ හේෂානි දෙස බලමින්ය. ඒ බැල්ම තේරුම් ගත් හේෂානි කාන්ති වෙත ලං වූයේ ඇගේ උඩු ඇදුමේ බොත්තම් පියවන්නට දෑත් දිගුකරගෙනය.
“තව විනාඩි දහයකින් වෑන් එක ඔතනට එයි අපූර්වා. පරිස්සමට යන්න. එපොයිමන්ට් එකට කලින් මම හොස්පිට්ල් එකට එන්නම්. මතක ඇතුව අම්මගේ රිපෝට්ස් ඔක්කොම ගන්න. අපහසුවක් නෑ නේද අම්මව එක් කරගෙන එන්න. නැත්තං මට ඇම්බියුලන්ස් එකක් එවන්න පුළුවන්.”
“අනේ නෑ සර්..වාහනයට නැග්ගට පස්සේ අම්ම කලබල කරන එකක් නැහැ. වටපිට බල බල යයි…”
“එහෙනම් පරිස්සමට එන්න අපූර්වා. මොනවා හරි තිබුණොත් මගදි මට කෝල් එකක් දෙන්න.”
කේ.ඩී. එච් වර්ගයේ වෑන් රථය පැමිණියේ ඔහුගේ දුරකතන ඇමතුමෙන් විනාඩි දහයක් පමණ ගෙවී යද්දීය. පිටත් වීමට පෙර අපූර්වා නිවස ඉදිරිපස කොටසෙහි තබා තිබූ බුදු පිළිමය අසලට ගියාය.
“අම්මව සනීප කරලා දෙන්න බුදුහාමුදුරුවනේ තාත්තා නැති මට අම්මත් නැති කරන්න එපා…..”
ඒ මුවින් පිට වූ වදන් නිවස තුල උන් කිසිවෙකුට ඇසුණේ නැත.
“මගේ ජීවිතයේ මොන තරම් අඩුපාඩු තිබුණත් මං කවදාවත් ඒ දේවල් ඔබ වහන්සේගෙන් ඉල්ලන්නේ නෑ. මට මගේ අම්මව සනීප කරල දෙන්න. වෙලාවකට එයා දිහා බලන්න බැරි තරම් මට දුකයි බුදු හාමුදුරුවනේ……”
තත්පර කිහිපයක් ගතව යනතුරු ඕ එකම ඉරියව්වකින් දෑත් එක් කරගෙන බුදු සමිඳුන් දෙස බලා උන්නාය. ඒ දෑස්තුල උපන් කදුළු ඔහේ ගලා යන්නට විය.
“හැමදේම හරියයි..”
හේෂානි තම යෙහෙළිය ළඟට පැමිණ පැවසූයේ ඒ දෑත් වලින් අල්ලා ගෙනය.
“යුගාෂ් සර් ඔයාට හම්බවුණේ ඔයාගේ ජීවිතේ හොඳම කාලෙදි. ජීවිතේ නරක නපුරු කාල හැමදාම තියෙන්නේ නෑ.”
හේෂානි අපූර්වාගේ කොපුලක් මත අත තැබුවේ දයාබරවය.
“කාටවත් වරදක් නොකරපු ඒ කෙල්ලට හරි යන්නම ඕනේ..”
ගමේ මිනිසුන් පවා පවසන්නේ ඒ අයුරින්ය. ඒ වදන් ආශිර්වාදයක්ව ඇගේ ජීවිතයට යහපතක්ම විය යුතු යැයි හේෂානි සිතුවාය.
“අන්න අර සමන් ළමයත් එනවා…..”
ආච්චී එසේ පැවසූයේ අපූර්වා අම්මාගේ අතින් අල්ලා ගනිද්දීය. වෛද්‍යවරයා හමුවීමට යන පුවත ඇය ඔවුන් හා පැවසූයේ ඊයේ දින ත්‍රී රෝද රථ ගාලේදීය.
“වෑන් එක මේ පැත්තට එද්දී මං හිතුවා මේ ඒ වාහනේ තමයි කියලා. කොහොමත් කොළඹට යන්න පැය එකහමාරක් විතර යයි.”
ඔහු පැවසූයේ උළුවස්ස ඉදිරිපිට සිට ගෙනය.
“අපි එහෙනම් ගිහිල්ල එන්නම් සමන් මාමේ…”
“මේන් මේක තියාගනින් කෙල්ලෙ. බෙහෙත් වලට කීයක් යයිද දන්නේ නැහැනේ..”
ඔහු පැවසූයේ රුපියල් පන්දහසේ නෝට්ටුවක් අපූර්වා වෙත දිගු කරමින්ය.
“සල්ලි එපා මාමේ මං ළඟ සල්ලි තියෙනවා.”
“අරුන් දෙන්නත් මට උදේ සල්ලි දුන්නා. මේ පැත්තට හයර් එකක් වදිනකල් මං බලන් හිටියෙ. ඊට පස්සේ තමයි වාහනේ එනව දැකලා ඒ පස්සෙන් ආවේ. සල්ලි කොච්චර තිබුනත් මදි වෙන්නෙ නෑ බං..මේක තියා ගනින්.”
“අපූර්වා රුපියල් පන්දහසේ මුදල් නෝට්ටුව අතට ගත්තේ ඔහු පෙරැත්ත කරද්දීය. අතෙහි යම් මුදලක් තිබූ බව සැබෑය. එහෙත් යුගාෂ් මේ කිසිවකට වියදම් කරන්නට තමාට ඉඩක් නොදෙන බව විශ්වාසය. ඔහු මේ ජීවිතයේ හමු වූ අපූර්වතම පිරිමියාය.”
සමන් ත්‍රී රෝද රථය පණ ගන්වා ගත්තේ අපූර්වාත්, කාන්තීත්, හේෂානිත් වෑන් රථයට නැඟුනාට පසුවය.
****************
පුෂ්පානන්ද සේනකගේ නිවසට ගියේ සැඳෑවේය. සුපුරුදු මත්පැන් සාදය පටන් ගැනුනේ ඊට අඩ හෝරාවකට පමණ පසුවය. ලෝකයේ ප්‍රසිද්ධ සන්නාමයක වූ මත්පැන් බෝතලයක් කට ගැස්ම කිහිපයක් හා අයිස් කැට කෝප්පයක් සිමෙන්ති මේසය මත ගෙනැවිත් තැබුවේ සේවකයෙකි. පුෂ්පානන්ද ඌරු මස් කැබැල්ලක් ගිල දැමුවේ මහත් වූ ගිජුකමකින්ය.
“මං ලොක්කට පුෂ්පානන්ද මහත්තයා ගැන කතා කළා. ලොක්කගෙනං ඉහේ මලක් පිපුන වගේ. කවුද කැමති නැත්තේ පුෂ්පානන්ද මහත්තයා වගේ කෙනෙක් තමන්ගේ පාටි එකට එකතු වෙනවට.”
“ඇත්තටම දේශපාලනයට එන්න මගේ හිතේ අදහසක් තිබුනෙම නැහැ. සේනක මහත්තයා තමයි මට ඒ උවමනාව ඇති කලේ.”
“මේකත් හැදුනහම හොඳ කරන්න බැරි පිස්සුවක් තමයි..”
දෙදෙනාම සිනහසුනේ උස් හඬින්ය.
පුෂ්පානන්ද තවත් ඌරු මස් කැබැල්ලක් ගෑරුප්පුවකින් ඇන කටෙහි ඔබා ගත්තේය.
“මේක මට කලින් ගන්න තිබුණු තීරණයක්…..”
ඔහු එසේ පැවසූයේ සේනකගේ දෙමහල් නිවස දෙස බලාගෙනය. සේනක යනු වසර කිහිපයකට පෙර මෙම ප්‍රදේශයේ විසූ චණ්ඩියකි. ධීවර කර්මාන්තයේ නියුතු වූ ඔහු ප්‍රාදේශීය සභා මැතිවරණයකට තරග කළේ තම ධීවර ප්‍රජාව වෙනුවෙන්යැයි පවසමින්ය. මේ කිසිවක් ඔහු මහන්සි වී හරිහම්බ කරගත් මුදල් නොවන බව විශ්වාසය. සේනකගේ දේපළ මෙන් හතර පස් ගුණයක දේපළ පුෂ්පානන්දට වුවත් ඔහුට සේනකගේ දේශපාලන ජීවිතයෙන් ලබාගත් වත්කම් පිළිබඳව වූයේ ලෝබ කමකි. වර්තමානයේ ඔහු බෝට්ටු කිහිපයක අයිතිකරුවෙකි. එපමණක් නොව නගරයෙන් පිටතට වන්නට තැබෑරුම් දෙකක් ඔහු සතුය. නගර මධ්‍යයේ දෙමහල් කඩ පේළියක් සේම සමුද්‍රාසන්නයේ හෝටල් දෙකක්ද ඒ වත්කම් අතර වේ.
“ඒකත් හැම මිනිහෙකුටම හරියන්නෙ නෑ පුෂ්පානන්ද මහත්තයා. මුලින්ම කරන්න ඕනේ ලොක්කන්ව සතුටු කරන එක. ඒකට සූක්ෂම මොළේකුයි කපටි හිතකුයි තියෙන්න ඕනේ. මං හෙමින් හෙමින් පුෂ්පානන්ද මහත්තයට ක්‍රමේ කියලා දෙන්නම්කෝ..මං තුන් හතර පාරක් එහෙටත් මෙහෙටත් මාරු වෙච්ච මනුස්සයෙක්. අන්න එතනින් තමයි මං ගොඩ ගියේ..”
යළිත් ගෙමිදුල පුරා පැතිර ගියේ උස් සිනහ හඬකි. වාහනයක් පැමිණ ඔවුන් රැඳී උන්ප ස්ථානයට මදක් එහායින් නතර වූයේ එවේලෙහිය. ඉන් බැස ගත්තේ සේනකගේ බිරිඳය. ඇය ඇඳ උන්නේ ඇඟටම හිරවන ලෙගින් වර්ගයේ කලිසමක් සහ අත් රහිත ටී ෂර්ට් එකකි. නවීන විලාසිතාවකට අනුව සකසා තිබූ කෙටි කොණ්ඩය ගෙලට මදක් පහළට වන්නට වැටී තිබිණ.
“හායි… මම බැලුවා කවුද කියලා…..මිස්ටර් පුෂ්පානන්දනේ…”
රත් පැහැයෙන් දිදුලන දෙතොල් ඈත් කරමින් ඕ පැවසූයේ සිනහසෙමින්ය.
“ඔයාටත් ග්ලාස් එකක් ගේන්න කියන්නද….”
“එපා සේනක….අද ටිකක් ටයර්ඩ්. මම වොෂ් එකක් දාගෙන එන්නම්.”
අවසන ඕ නිවස තුළට ඇවිද ගියේ ලෙන්ගතු සමු ගැනීමකින්ය.
“ඔය ගෑනි ඉන්නවා නේද පුෂ්පානන්ද මහත්තයා..අම්ම තාත්තත් අතෑරලා තමයි මං ලඟට ආවේ. සල්ලි ටිකක් වියදම් කරනවා තමයි. ඒ උනාට කිසිම දේකට ඇඟිලි ගහන්නෙ නැති ගෑනියෙක්. මං ගත කරන ජීවිතේ හැටියට ඔය ගෑනි දවස ගානෙ මමත් එක්ක රණ්ඩු වෙන්න ඕනෙ පුෂ්පානන්ද මහත්තයා. ඒ උනාට කවදාවත් කිසි දෙයක් අහන්නේ නෑ. මේ ගෙදරින් එළියට යන ඕන වෙලාවක ලස්සනට ඇඳගෙන හිනා වෙලා මාත් එක්ක එනවා. ඒකනෙ පුෂ්පානන්ද මහත්තයා මිනිස්සු හිතාගෙන ඉන්නේ සේනකයි පවුලයි හරි ආදරෙන් ජීවත් වෙනවා කියලා. අන්න එහෙමයි ගෑනු ඉන්න ඕනේ..”
“ඒක හරි ….ඒක හරි……”
“දැන් පුෂ්පානන්ද මහත්තයා දයාල්ගේ වැඩේ අවුලක් වෙන එකක් නැහැ නේද. පුෂ්පානන්ද මහත්තයාගේ පුතත් ලේසියට හිතන්න පුළුවන් කෙනෙක් නෙමෙයි.”
“ඌ මෝඩයා…..මං ගිහිල්ලා උගේ අම්මටත් ටිකක් තදින් කතා කරලා ආවා. ඔය ගෑනි හරි බයයි. ඒක තමයි යුගාෂ්ව නවත්තන්න තියෙන හොඳම ක්‍රමය. ඌ නවකතා පොත් වල තියෙන සුරංගනා කතා කියෙව්වට කෝ ඒවා සනාථ කරන්න පුළුවන් සාක්ෂි. ඒ ඔක්කොම අපේ අතේනේ..මට හිතෙනවා තව වාරයක් දෙකක් ඕකව කරකවල තියන්න. මට්ටු වෙන්න ඕනේ…අම්මගෙ අස්සෙම හැදිච්ච මෝඩයා…”
“එළිපිට නොකියා හිටියට අපේ එකත් දැනගන්න ඕනේ පුෂ්පානන්ද මහත්තයා කාලෙ හැටියට වැඩ කරන්න. මේවට මීඩියා වල ප්‍රසිද්ධියක් එන්නේ නැතුව මං නවත්තගෙන ඉන්නේ බොහොම අමාරුවෙන්. ඒවට මං ලක්ෂ ගානක් වියදම් කරනවා”
“ඒක හරි.. ඒක හරි…..සේනකයි මමයි ඔය දේවල් නොකරනවා නෙමෙයිනේ. ඒ උනාට ඒවා එතනින් ඉවර කරනවා මිසක්කා ඇගේ පතේ එල්ලගෙන ලෝකෙ පුරා ඇවිදින්න යන්නේ නෑ. ඔවා හරි සුළු දේවල්. දයාල් කියන්නෙත් කොල්ලෙක්. ඌ ජීවිතේ විඳින කන බොන කොල්ලෙක්.”
“ඔය කෙල්ලත් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා මට මගේ ඩ්‍රයිවර් කෙනෙකුත් එකපාරක් කිව්වා. මූ සම්බන්ධකම් තියාගත්ත කෙල්ලෝ ගානේ හැටියට ඕක මොකක්ද කියලා මම කට කොනකින් හිනා වෙලා නිකන් හිටියා. වෙලාවකට ඕකා කෙල්ලෝ අරන් යන්නේ මගේම හොටෙල් වලට. ගිය ගමන් මට ස්ටාෆ් එකෙන් කෝල් එක එනවා. මං උන්ට කියන්නෙත් උඹලා නොදැක්ක ගානට හිටහල්ලා කියලා.”
“ඔය ටෙලිෆෝන් ගණුදෙනු හරි ප්‍රශ්න..ඕවයින් තමයි සෑහෙන්න එවිඩන්ස් එළියට එන්නේ. සේනක මන්ත්‍රීතුමා දයාල්ට ටිකක් අවවාද කරන්න.”
“අනිවාර්යයෙන් ඔය ගෑනි පස්සේ මට විරුද්ධව දඟලන එකෙක් ඉන්නවා. නඩුව ඉවර වුණාට පස්සේ මං දන්නවා පුෂ්පානන්ද මහත්තයා උන්ට කරන්න ඕන දේ. පුෂ්පානන්ද මහත්තයා මට කොහොම හරි මේ නඩුව දිනවල දෙන්න ඕනේ එච්චරයි…”
සේනකගේ දකුණු අතත් පුෂ්පානන්දගේ දකුණු අතත් එකිනෙක පැටලී ගියේ ජයග්‍රහණය සනිටුහන් කරමින් සේය. පසුගිය දිනවල දයාලුත්, සේනකත් වැඩ කළේ පුෂ්පානන්දගේ සිතැඟි අනුවය. එනිසාම දෑස් පියාගෙන මේ නඩුව ජයග්‍රහණය කරන්නට හැකි වෙතැයි ඔහු විශ්වාස කළේය.
*************
යුගාෂ් රෝහලට පැමිණියේ වෛද්‍යවරයා පැමිණෙන්නට ප්‍රථමය. අම්මාව මැදි කරගෙන අපූර්වාත් හේෂානිත් වූයේ දෙපසක වාඩි වී ගෙනය. විමසිල්ලේ දෙපස බලමින් යුගාෂ් පැමිණෙද්දී මුලින්ම නැගී සිටියේ අපූර්වාය.
“ගොඩක් වෙලා නෑ නේද ඇවිත්..”
“විනාඩි දහයක් විතර ඇති.”
“අංකල් තවම ඇවිත් නෑ අපූර්වා…ආපු ගමන් අම්මව ගනියි..”
අපූර්වා වෙත එසේ පවසමින් ඔහු හැරුණේ හේෂානි දෙසටය.
“හේෂානි නංගි..තැන්කියු ඔයාට අපූර්වත් එක්ක ආවට. මං ඔය දෙන්නට මොනවා හරි ගෙනත් දෙන්නද..නෙස්කැෆේ වගේ දෙයක්.”
“දැන් එපා නේද අපූර්වා….”
“ඔව් සර් දැන් එපා…”
හිස වනා ඇයට එකඟ වූ තරුණයා අසුන් ගත්තේ අපූර්වාට එහාපස අසුනේය. ඉන් පෙර ඔහු අම්මාගේ අත අල්ලාගෙන තත්පර කිහිපයක් ගතව යනතුරු ඈ දෙස බලා උන්නේය. කාන්තිත් උන්නේ දෑස විසල් කරගෙන ඔහු දෙස බලා ගෙනය.
දවසින් දවස අංශුමාත්‍රයකවත් ඉඩ ඉතුරු නොකරමින් තමාගේ ජීවිතයට එබෙන මේ තරුණයාගේ සෙනෙහස අපූර්වාට මහ මෙරක් තරම්ය.
අනාගතය කුමක් වුවත් ඕ මේ මොහොතේ ඒ ආදරයෙන් සිය හදවත පුරවා ගත්තේ එනිසාය.
(යළිත් හමු වෙමු ආදරයෙන්……)