හසිනි ගේ ඔලුව යකාගේ කම්මල වගේ වෙලා තිබුනේ. ඒකට ලොකුම හේතුව වුණේ නිමන්ත පහුගිය දවසක මිතුරන් එක්ක තිබුන සාදයක මිතුරියක එක්ක නටපු වීඩියෝවක් සමාජ මාධ්‍ය වල හුවමාරු වෙන්න ගත්ත එක. ඒ මදිවාට නිමන්ත ඒ ගැන කිසිම වගකීමක් වගවීමක් නැතුව ඉන්න විදිය හින්දා හසිනි උන්නේ පීඩනය දරා ගන්න විදියක් නැතුව.
” ගොඩේ ගෑණියෙක් වගේ එකම සිද්දිය අල්ලගෙන ආයේ ආයේ කෑ ගහන්න එපා හසිනි … ඒක පාර්ටි එකක් …. එවෙලේ එතන උන්න ඔක්කොමලා පාර්ටි එකේ උන්නේ… ඒ මූඩ් එකේ උන්නේ…. එහෙම නැතුව මම ප්ලෑන් කරලා කල එකක් නෙවෙයි….. ඒ නැටුම විතරක් නෙවෙයි, එවෙලේ එතන රෙකෝඩ් කලේ…. ඔක්කොම උන් නටපු පිස්සු රෙකෝර්ඩ් කලා එක එකා… ඔය නැටුම වයිරල් ගියේ අරකි ගින්දර වගේ නටන නිසා……”
නිමන්ත එහෙම කිව්වාම නම්, හසිනිගේ ඉවසීමත් ක්ෂය වෙලාම ගියා.
” ඒකි ගින්දර වගේ නටනවා නම්, ඔයා කරන්න තිබ්බේ පාඩුවේ පැත්තකට වෙලා ඉන්න තිබුණ එක නෙවෙයිද නිමන්ත …? ඔයා අඩුම ගානේ ඔයාගේ තත්වේ තරාතිරම හිතුවද ? හරි.. ඒවා අතාරින්නකෝ… ඔයා ඒ නටන විදිය හරිද?..”
” නැටුම් වල හරි වැරදි බලන්න මම දන්නේ නෑ අනේ හසිනි .. ඔයා කැමැත්තක් හිතාගන්න …”
නිමන්ත කලේ හසිනිගේ කෝපය ගණනකය නොගෙන උන්න එක. ඒ හින්දාම සතියක් දෙකක් යනකොට තත්වය සාමකාමී වුණා. සමාජ මාධ්‍ය වීඩියො යටපත් වෙලා ගියා.
ඒත් හසිනිගේ හිතේ නිමන්ත ගැන ඇති වුණ පැල්ලම නැත්තටම නැති වුනේ නම් නැහැ. ඇය අසීරුවෙන් ඒ පැල්ලම මත සුදු හුණු ගාගෙන ජීවිතේ ඉස්සරහට ගෙනියන්න උත්සාහ කලා.
ඒත් ඒ උත්සාහයත් ව්‍යර්ථ වෙලා ගියේ, කාර්යාලයේ සගයන් එක්ක යන බව කීව විනෝද චාරිකාවක සමාජ මාධ්‍ය පලකරලා තිබුණ සේයාරු කිහිපයකම, නිමන්ත අසලින්ම උන්න කාන්තාව දැකීම නිසා. ඒ ඔහු සමඟ නර්තනයේ යෙදුන කාන්තාවම බව හසිනි ආයේ ආයෙම බල බලා තහවුරු කර ගත්තා. ඉන් පස්සේ දිගින් දිගටම නිමන්තට ඇමතුම් ගත්තා.
ඒත් ඒ එක ඇමතුමකටවත් නිමන්ත පිළිතුරු නොදී ඉන්නකොට හසිනි උමතු වුණා. ඇය තනිවම නිවසින් පිටත් වෙලා අම්මලාගේ ගෙදරට ආවා. ඒ වෙද්දිත් හසිනි සහ නිමන්ත අතරේ යම් යම් අහුකොන් තියෙන බව දැනගෙන උන්න නිසාම හසිනිහේ ගෙදර අය හසිනිව පිළිගත්තේ සීරුවට.
” සමහරවිට ඒ ගෑණු කෙනත් අය්යලගෙ ඔෆිස් එකට ඇවිල්ලද දන්නේ නෑනේ හලෝ… චුට්ටක් අපි හොයලා බලමුකො…”
නංගි එහෙම කිව්වේ ඒ වෙලාවට හරි හසිනිව අස්වසන්න බලාගෙන.
” නෑ චූටි නෑ….මම ගිය සතියේ හොයලා බලනකොටත් ඒ මනුස්සයා වැඩ කලේ වෙන තැනක.. .. අනෙක, ෆේස්බුක් බයෝ එකේවත් එහෙම අප්ඩේට් එකක් නෑ..”
“හරි ඕයි අක්කේ… ඔහොම අඬලා බැහනේ..”
“ආයේ අඬන්නේ නෑ චූටි මම.. ආයේ අඬන්නේ නෑ…. අද ඉඳන් ඉස්සරහට ආයේ කවදාවත්ම මම අඬන්නේ නෑ…. අඬන උන් ගැන වග වෙන්නෙත් නෑ..”
හසිනි එදා රෑ කෑම මේසේ ඉඳගත්තේ හිනා වෙවී. අම්මයි, තාත්තයි වගේම නංගිත් හසිනි ගේ මේ හැසිරිම ගැන උන්නේ විමසිල්ලෙන්.
පහුවෙනිදා හවස් වෙනකොට නිමන්ත හසිනිව හොයාගෙන ගෙදර ආවා ඒත් හසිනි නෙවෙයි කාමරෙන් එලියටවත් ආවේ.
” මට කියන්න තියෙන දේවල් ටික මම එයාට වට්සැප් කියලා ඇති කියන්න සාක්ෂි එක්කම .. ආයේ මට කතා කරන්න කිසිම දෙයක් නෑ කියන්න …”
හසිනි නංගිට කිව්වා. නංගී ඇවිල්ලා අම්මටයි තාත්තටයි ඇහෙන්නත් එක්කම ඒ පණිවිඩය කිව්වා.
” පිස්සු නැතුව එන්න කියන්න නංගී … හෙට ඔෆිස් යන්නත් ඕනි…. අනෙක මේ හසිනිගේ ඔලුවේ තියෙන්නේ සම්පුර්ණෙන්ම මනස්ගාත…”
නිමන්ත ටිකක් තදින් එහෙම හැසිරෙනකොට අම්මයි, තාත්තයි නිමන්ත ගේ දිහා පුදුමෙන් බලාගෙන උන්නා. ඒ බව වටහාගෙන වගේ නිමන්ත ස්වරූපය වෙනස් කරගන්නඋත්සාජ කලත්, හසිනි එතැනට ඇවිල්ල්ලා කතාව පටන් ගන්නකොට නිමන්තගේ වචනත් ඇවිස්සුණා.
” මගේ ඔලුවේ තියෙන්නෙ මනස්ගාත නම්, මනස්ගාත ඔලුවේ තියෙන පිස්සු ගෑණියෙක් ගෙදර අරන් යන්න ඔයා මහන්සි වෙන්න ඕනි නෑනේ නිමන්ත මහත්තයා… ප්ලීස් ඔයා යන්න …. ආයේ එන්න ඕනි නෑ මෙහෙ …”
“විකාර කියන්නෙපා මේ අම්මලාගෙත් ඉස්සරහ හසිනි.. ඔයා මේ නංගිට දෙන්නෙත් සුලු පටු නරක ඉම්ප්‍රෙශන් එකක් නෙව්යි…”
” අනේ අනේ මේ….මම මගෙ නංගි ගැන බලාගන්නම්.. ඔයා ගිහින් ඔයාගේ පෙම්වතීව බලාගන්නකෝ…”
හසිනි මනෝ ලෝක වල සැරිසරමින් තමන්ව සැක කරන බව කියලා නිමන්ත ඊට පස්සේ හසිනිගේ අමවයි තාත්තවයි දෙන්නාවත් පොඩ්ඩක් නිවා ගත්තා.
ඒත්, හසිනිව නිවීමක් නිමන්ත ලඟ තිබුනේ නැහැ.
අවුරුදු එක හමාරක් ගියා.
අද හසිනිගේ දික්කසාදය ලැබෙන දවස. නිමන්ත තවම උත්සාහ කරන්නේ හසිනිගේ තීරණේ වෙනස් කරන්න
” මගේ අතින් පොඩ් මග හැරීමක් වුනා.. ඒක මිස්ටේක් එකක් … අපි ඒක අමතක කරමු හසිනි.. මම මේ කිසිම දෙයක් පටලවාගන්නේ නෑ..”
“ආයේ මට කතන්දර අවශ්‍ය නෑ නිමන්ත… අපිට කතා ගොතාගන්න තිබ්බ දවස් වල ඔයා කලේ වටේ ඉන්න අය එක්ක කතා ලීව එක..”
“ඒ ගෑණි මාව අල්ලගත්තා හසිනි..”
හසිනි කලේ හිනා වෙලා නීතීඥවරයා එක්ක ඉදිරි වැඩ ගැන කතා බහට ගිය එක. අවසානෙ ඇය අවශ්‍ය වුන සැනසීම ඇය ලබා ගත්තා. නිමන්ත ජීවිතේම පටලවාගෙන සැනසීම පේන මානේකවත් නැතිව, බලාපොරොත්තුවක් එක්ක බලාගෙන ඉන්නවා…!!!
සමහර වෙලාවව ජීවිතේම සැනසීම වෙනුවෙන් වැඩිපුර ලෝබකම් කරපු දේවල් අතැරෙනවා .. එහෙම අත් හරින්නම වෙනවා..!