තුසිතයෙහි ගෙවෙමින් තිබුණේ මරණයක් වී මුල් ම සතිය වන් ශෝකී නිස්සාර දින කිහිපයකි. කාගේවත් මුහුණු වල සතුටු සිනහවක් රැඳුණේ නැත. කෑම සීතල වී යනතුර කුසගින්නක් දැනුණේ නැත. තේ වෙලාවේ රසවත් බවක් වූයේ නැත. නිලූකා හිතුණ ගමන් පරල වූවා ය. නැවත සන්සුන් වූවා ය. යසස්වී හැකි හැම අවස්ථාවක ම ඇයට ඇගේ පවුලෙහි වන වටිනාකම් ගැන ද ඇය පුතුන් ගේ අනාගතයට කරමින් සිටිනා අයහපත ගැන ද පැහැදිලි කළා ය. චේතිය කෙරේ මෘදු ලෙස හැසිරෙන හැටි කියාදුන්නා ය. උදයෙන් ම රෑ ඇඳුම උනා දමා වෙනත් ඇඳුමකින් සැරසෙන්නට මතක් කළා ය.
සමහර දේවල් සිදුවන්නට කල් ගත වනු ඇත. ගමන හෙමිහිට වූවත් ඉදිරියට ඇවිද යන එක වැදගත් වන්නේ එබැවිනි. තුසිතය කළු කුහරයක ගිලී යනු වෙනුවට මඳින් මඳ යළි යථා තත්වයට පත් කිරීම ඇගේ ඒකායන අරමුණ විය. ඒ වෙනුවෙන් තනිව ම කටයුතු කරන්නට සිදු වූයේ ඇයටයි. එබැවින් ඇය වෙනදාටත් වැඩියෙන් ප්‍රබෝධවත් වූවා ය. ජවසම්පන්න වූවා ය. සනුක කෙරේ පමණකුදු නොව ඇය ඒ තරම් කැමති නැති දිල්නුක කෙරේ ද මෘදු කාරුණික බවකින් හැසිරුණා ය. ඈත නුවරකින් පැමිණි සිලිබිලි කිරිල්ල තුසිතය පුරා දුව පැන ඇවිදිමින් සියල්ල සොයා බැලුවා ය. ඇගේ පොඩි අත් දෙකෙන් කළ හැකි සියල්ල කළා ය. හැම මුහුණකට ම මඳ සිනහවක් හෝ ගෙනෙත හැකි විහිළුවක් කළා ය. ඇතැම් විට විහිළුවක් වුව අකැප යයි සිතෙනා තරමට, තුසිතයෙහි වාතය හුස්ම හිර කරවන බැර ලෝහ වලින් ගහණ වූයේ ය. නමුත් යසස්වී සිය උපරිමය කිරීමේ උපරිම වෙහෙසක් දැරුවා ය.
‘අර කෙල්ල නොහිටියනං අපිට පිස්සු හැදෙන්න තිබුණ’
විජිත වතාවක් වජිරා සමගින් කීවේ ය. නමුත් වජිරා ට සිනහ වෙන්නට බැරි අසීරුවක් දැනිණ.
‘ඒ වුණාට මට තවත් බයක් දැනෙනව’
‘බයක්… ඒ මොකද්ද…’
‘අපි කවුරුත් යසස්වි දුවට ඇබ්බැහි වෙලා වගේ නේද… ඒ ඇබ්බැහිය ගැනයි දැං මට බය. ඒ ළමය තුසිතෙං ගිය දවසක…’
‘හ්ම්’
හ්ම් කීවාට විජිත ගේ සිත්හි වූයේ යසස්වි තුසිතයෙන් නො යන්නට කටයුතු සැලසෙනු ඇති බවට හැඟීමකි.
‘ඒ දරුව කැමති නැති වුණාට ගෙදරින් කතාබහ කරපු කටයුත්තක් තියනව කියන්නෙ… ඒව ඉතිං නොකෙරී තියෙන එකක් නෑනෙ’
ඒ වතාවේ නම් විජිත හ්ම් කිවේවත් නැත. එහෙම කරන්නට තරම් හයියක් ඔහු ට වූයේ නැත. නමුත් ඔහුටත් නො දැනී ම සුසුමක් ගිලිහී ගියේ ය.
අස්විද සූරියබණ්ඩාර ද යසස්වී වෙහෙරගොඩ කෙරේ ඇබ්බැහි වෙමින් සිටියේ සුළං සීනුවකට හෝ නො දැනෙන අයුරිනි. ලොකු පුතා ගේ සිදුවීම නිසා හිතෙන් ගිලන් වූ වජිරා අතින් අතපසු වූ චූටි පුතා ගැන බැලුවේ යසස්වී ය. කල්පනා කරමින් උදයට වජිරා බතක් උයමින් හොද්දක් ඒදුව ද, අස්විද ගේ බත්පත ට අඩුවක් නොවුණේ යසස්වි ගේ කඩිසර බව නිසාවෙනි. සේදුම් යන්ත්‍රයට වුව විජිතගේත් වජිරාගේත් අස්විද ගේත් ඇඳුම් එකතුකොට සේදෙන්නට දැම්මේ ඇයයි. ඒවා වේලා නවා කාමර වලින් ගිහින් තැබුවේ ද ඇයයි.
‘නිලූපා අක්කට වගේ මට කෑගහගෙන ආවොත්නං ගිහිං දානව ආයෙ රෙදි ටික වතුරට. ඕන වෙලාවක හෝදගන්න එකයි කියල’
ඇය අස්විද ගේ යහන මතින් රෙදි ටික තබන්නේ එවන් තර්ජනයකිනි. නැගෙන්නට එන සිනහවට අවසර නොදී බලා ඉන්නවා මිස එතකොට අස්විදට කියන්නට යමක් සිහි නොවේ.
‘මෙහෙම බත් උය උය විසිකරන එක මොන අපරාදයක්ද අනේ… මොකද මේ ගෙදර අයට කන්න බැරි… මරණයක් වෙලා නෑනෙ. මේවද ගෙවල්වල තියන ප්‍රශ්න…’
වතාවක් ඇය කාටත් ඇහෙන්නට කෑගැසුවේ බත් රයිස් කුකරයක් ම පිළුණු වී තිබෙනු දුටු විටයි. තුසිතයට මත්තෙන් වන අඳුරු වලාකුළු පළවා හරින්නට ඇය කුඩා දේවල් අල්වාගෙන බොරුවටත් සිනහ වූවා ය. හඬ නගා කතා කළා ය. තනිව ම ගී පද මිමිණුවා ය. සනුක ට විහිළු කළා ය. නිලූකා ට තරවටු කළා ය. විජිත ට හා වජිරා ට ආදරය පෑවා ය. තුසිතයෙහි වන එක ම ජීවී සලකුණ ඇය සේ අස්විද ට දැනිණ.
රයන් පැමිණියේ එහෙව් සති අන්තයකයි. අයිය මලෝ දෙදෙනා ද රයන් ද මිදුලේ සිමෙන්ති බංකුව ළඟ වට වී සල්ලාපයේ යෙදී සිටිය දී ඔවුන් වෙතට වජිරා සෑදූ තේ බන්දේසිය ගෙන ගියේ ඇයයි.
‘සීනි වැඩියෙන් දාපු එකද මන්දා මං ගත්තෙ’
යි පවසමිනි රයන් තේ කෝප්පය ගත්තේ.
‘ඇයි අයිය වැඩි සීනිද බොන්නෙ. මං ගේන්නං සීනි එක’
කියමින් යසස්වී හැරෙන්නට ගියේ ඒ සරදම නො තේරුණ ගානට ය.
‘මේ මේ පිස්සුද එපා. ඔහොම ඉන්න’
කියමින් රයන් ඈ වලකා එහි මොහොතකට රඳවාගත්තේ ය.
‘නෑ මං කිව්වෙ… මෙතන ස්පෙශල් ටී එහෙම තියනවද දන්නෑනෙ… ඒකයි’
‘ඒකනං ආන්ටිගෙන් තමයි අහන්න වෙන්නෙ. එයා තමයි තේ හැදුවෙ’
එවර ද ඇයව කොටු කරගත හැකි වූයේ නැත. බන්දේසිය ඒ මේ අත කරකවමින් පොඩි දැරියක ගේ දාංගලයෙන් හිඳිනා ඇය දෙස අස්විද අඩ සිනහවකින් බලා සිටියේ ය. මේ වෙලාවේ ඔහු ගේ ඇස් වල නො පැටලෙන්නට යසස්වි වගබලා ගත්තා ය.
‘දැන්නං… මේව නෙවේ බොන්න ඕන නංගි’
‘ඕ… එහෙනං මේ වටෙං වටෙං ඇවිත් තියෙන්නෙ ඒකට’
‘නෑ ඉතිං ඉඳල හිටල කොල්ලො ටික සෙට් වෙන දවසට… දන්නැද්ද ඉතිං…’
යසස්වි ගේ ඇස් ඇසිල්ලකින් අස්විද මත නතර වූයේ ඒ වෙලාවේ ය. ඔහු ගේ අර අඩ සිනහව ඒ වෙලාවේත් නො වෙනස්ව එහෙම ම පැවතිණ.
‘කොල්ලෙක් වෙලා බියර් එකක් එහෙම බිව්වට පස්පව් කැඩෙන්නෑ නංගි’
‘කොල්ලො…’
යසස්වී සිනහවක් නගා ගත්තා ය.
‘කොයි කාලෙ කොල්ලොද දන්නෑ’
කියාගෙන ඈ හැරෙත්දී ය ඔවුන්ට ඒ ඇනුම පදයෙහි අරුත පසක් වූයේ.
‘අඩෝ’
රයන් කෑගැසුවේ ය. ඇය සිනහ වෙවී පිටුපස බලා නො නැවතී ගෙතුළට වැදුණා ය.
ඒ මධුවිතක් පුරන්නට ගැලපෙන ම දවස යයි පස්මහ බැලුම් බැලීමෙන් තිදෙනා තීරණය කරගත්හ. අස්විද වහා රියෙහි නැගී ගොස් සුපිරි වෙළෙඳ සැලෙන් බීර බෝතල කිහිපයක් ද කටගැස්මට අඩුවැඩිය ද ගෙනාවේ ය. අස්විද ඒ බෑග් එක මුළුගැන්ගෙට රැගෙන යත්දී වජිරා ද යසස්වි ද දිවා ආහාර සූදානම් කිරීමට සැරසෙමින් සිටියහ. නිලූකා හා නිලූපා පිටත මුළුතැන්ගෙයි දොරකඩ කොස් කපමින් සිටියහ.
‘මේ ටික ඔය මොනාහරි කරල දෙනවද…’
කියා ඔහු අඩුවැඩිය සහිත මල්ල දුන්නේ යසස්වි ගේ අතට ය. ඇය තරවටු බැල්මක් හෙළුවා ය.
‘දන්නැද්ද ඉතිං… අයියයි තාත්තයිත් චුට්ටක් අවුලෙන්නෙ ඉන්නෙ’
වචන කතා නො කළා ට යසස්වි ගේ ඇස් කියවාගන්නට අස්විද සමත් වූයේ ය.
‘ආ… අංකල්ටත් දෙන්නද හදන්නෙ…’
‘දෙන්නෑ… එයා බොයි ඉතිං… බියර් එකක් අනේ. පිරිමි කතාකරන්නෙ ඇල්කොහොල් ටිකක් වැටෙනකොට තමයි’
‘ඇල්කොහොල් ටිකක් නිසා හරි කතා කරනවනං ලොකු දෙයක්’
තව එක සැරයක් අවකාශයේ එක අක්ෂයක සිව්නෙත් නාභිගත විය. අස්විද හැරී ගියේ ය.
‘මේ ගෙදර සිද්ද වෙලා තියෙන්නෙ පාටි දාන්න දේවල්නෙ. අපේ මිනිහ දෙවනි කසාදයක් කරගන්න යන එකට සතුටට වෙන්නැති පාටි දාන්නෙ’
නිලූකා මුළුතැන්ගෙයි සිට ම කීවා ය. වජිරාත් යසස්විත් මූණෙන් මූණ බලාගත්හ.
‘බයිට් හදල සපෝට් කරන්නත් අය ඉන්න එකනෙ වැඩේ’
ඒ ඇනුම්පදය නිලූපා වෙතිනි. යසස්වී යටිතොල් පට සපාගත්තා ය. ඒ කතා දුර දිග නොයා යුතු යයි වහා තීරණය කළ වජිරා කුස්සිය මිදුලට බැස්සා ය.
‘නිලූකා මේ. තමුන්ට පිස්සු වුණාට මේ ගෙදර අනිත් මිනිස්සුන්ට පිස්සු නෑ. මගෙ ගෙදර මගෙ ළමයි පොඩ්ඩක් විනෝද වුණා කියල මට ප්‍රශ්නයක් නැත්තං නිලූකා ඒ ගැන කලබල වෙන්න ඕන නෑ. නිලූකාට මිනිහව මෙහෙ කියන්නත් බෑ වගේනං අරං යන එකයි තමුංලගෙ ගෙදරට. මේ ගෙදර මගෙ කොල්ලගෙ නිදහස නැති කරන්න හදන්නෙපා’
නිලූකා එතැනින් නිහඬ වූයේ පවුල පිටින් මේ ගේ අතැර කුළියට දී ඇති ඔවුන් ගේ ගෙදරට යන්න වෙතැයි සිතා මිස පහන් සිතකින් නොවේ.
‘ඒකි මරු කෙල්ල බං’
චේතිය එහෙ මෙහෙ වූ වෙලාවක රයන් යසස්වී ගැන ඔහුට හිතුණ ඇත්ත ම කීවේ ය.
‘මේ දවස් ටිකේ මේ ගෙදර බැලන්ස් කරන්නෙ ඒ ළමය. මට හිතාගන්න බෑ ඒ වගේ පොඩි කෙල්ලෙක් කොහොම එහෙම කරනවද කියල’
‘කැම්පස් එකේ එකෙක් ඇම දාන්න කලින් මොනාහරි කරගනිං සිරිපාල’
‘පිස්සුද ඕයි…’
‘අතට ආපු ටොපිය කටේ දාගන්න පින නැත්තං තෝ ගෙදරටම නාකි වෙයං. දැක්කනෙ ඒ කෙල්ලත් නෝන්ඩියක් දාං ගියා’
‘කොහොමත් කොල්ලෙක් ඇති ඉතිං’
‘අහපං’
‘පයිත්තියන්ද…’
යසස්වී කටගැස්ම සහිත දීසි දෙක දෑතින් ගෙන පැමිණියේ ඒ වෙලාවේ ය.
‘හිටපංකො මං අහන්න’
‘මේ රයන්…’
‘දවසක නංගි බඳින කොල්ලනං හෙන වාසනාවන්තය ඈ’
දීසි දෙක දෑතින් ගනිමින් රයන් උගුර පෑදුවේ ය.
‘අනේ බටර්නං ඕන්නෑ හොඳේ’
‘බටර් නෙවෙයි. සීරියස්ලි… කොල්ලෙක් ඇති නේ…’
ඕනෑ ම දේකට ක්ෂණික පිළිතුරක් එන යසස්වි ගේ මුවට කිව යුතු යමක් ගැන අදහසක් හෝ පැමිණියේ නැත. ඔව් කියන්නට ඇයට ඕනේ නැත. නෑ කියන්නට සිතුණේත් නැත. එතැන ප්‍රශ්නාර්ථය ම ඉතිරි ව තිබියදී ඇය මඳහසක් නගාගත්තා ය. අස්විද දෑස් නො පියවා, ඉක්මන් ඇස්පිය සලනා ඇදෙස බලාගෙන ම සිටියේ ය.
‘කොල්ලට චුට්ටක් බොන්න ඕනෙ කිව්වහම නාහෙන් අඬන්නැතුව බයිට් එක හදල දෙන කෙල්ලෙක් ඉන්නව කියන්නෙ… ෆැමිලි ලයිෆ් එක රන් රස වගේ තමයි හරිද…’
චේතිය ද එතැනට පැමිණියෙන් යසස්වි ට කුතුහලයක් ඉතිරිකොට තබා නික්ම යා හැකි විය. තවත් ටික වෙලාවක් ගෙවෙන තෙක් ම අස්විද ගේ හිතේ මැවි මැවී පෙනෙමින් තිබුණේ පිළිතුරක් නැති යසස්වි ගේ දිළිසෙන ඇස් දෙකයි!
දවල් බත ඉදී බෝ වෙලාවක් ගතවෙන තෙක් ද ගෙදර පිරිමි තිදෙනා හා රයන් ගෙතුළට පැමිණියේ නැත. අන්තිමට ඔවුන් සින්දුවක් දෙකක් ද කීවෝ ය. විජිත සමග මිස කෑම නො ගන්නා වජිරා යසස්වි ට කෑම ගන්නැයි කී වරක් කීව ද ඇයටත් කුසගින්නක් ලොකුවට නො දැනිණි. දැනුණත් එය ඉවසාගන්නට ඕනෑ විය. කටගැස්ම නිමවීම මත වරින් වර අස්විද ඇය සොයා පැමිණියේ ය. ඒ බීර පුසුඹ හදගැස්ම වැඩි කරන්නේ කොහොමද කියා ඇයට වැටහුණේ නැත.
ඇල්කොහොල් දේහගත වීම මත අමුතු දිස්නයක් දුන් අස්විද ගේ ඇස් වල වැදී, පළඟැටි ආත්මයක් සේ ඈ පිච්චෙන බවක් යසස්වි ට නො දැනුණා නොවේ. නො දන්නවා සේ සිටීමේ අමුතු රසයෙන් මත් වෙන්නට ඈ වඩාත් රිසි වූවා ය!