අරුමැති ආදරයක් – 62

0
2585

යුගාශ්ගේ උදෑසනත් දහවලත් කෑම වේල කෑම පෙට්ටිවලට බෙදා නන්දනී අතට දුන් තමාරා මුළුතැන් ගෙයින් ඉවත්ව තම කාමරයට ගියාය. මේ දින කිහිපයක සිට ඇගේ පිළිවෙලය. යුගාශ් වෙනුවෙන් සියල්ල කලත් ඔහුට මුහුණ නොදී ඈ මග හැර සිටියේ හිතාමතාමය. ඔහු අප්පච්චි සේම දරදඬුය. අපූර්වා ගැන කිසිවක්ම කතා කරන්නට තමා වෙත නොපැමිණියේ එනිසාය.

“අම්මා කාමරේ ද නන්දනී…”

යුගාශ් උස් හඬින් එසේ අසන අයුරු තමාරා අසා සිටියේ කාමරයේ සිටය. 

“අම්මා…අම්මා..”

ඉන් තත්පර පිහිපයකට පසුව ඇයට ඇසුනේ අඩවල් කර තිබූ දොරට එහායින් සිට යුගාශ් කතා කරන හඬය. දෑස් මුල එකතු වී  තිබූ කඳුලක් දෑතින් පිස  දාගෙන ඕ ‘එන්න’ යැයි පැවසූයේ හැකිතාක් සාමාන්‍ය ස්වරූපයට පත්වී ගෙනය. 

සුපුරුදු ලෙස යුගාශ්  මම යනවා අම්මා යනුවෙන් පවසා සමාරාගේ දෙපා වැන්දේය. 

“ඕ ‘තෙරුවන් සරණයි..’ යැයි පැවසූයේ තරුණයාගේ හිස අතගාමින්ය. 

වෙනදා මේ සමුගැන්ම මින් එහා ගිය ආදරණීය එකකි. තමාරා තරුණයා නික්ම යනතුරු බලා සිටියේ කාමරයේ ජනේලය  අසලට වීගෙනය. මේ හැසිරීම දුකක් වේදනාවක් පමණක් වුවත් ඕ  ඉවසා දරා  සිටියාය. යුගාශ් ඔවුනොවුන් අතර වන ගැලපීම්, නොගැලපීම් වටහා ගත යුතුය. මේ සියල්ල ඔහුගේ හොඳටයැයි තේරුම් කරන්නට තරම් තවමත් ඔහු  පැසුණු බුද්ධියක් ඇත්තෙකු නොවේයැයි තමාරා සිතුවාය. දරුවන්ගේ ජීවිත වලට දෙමව්පියන්ගේ මැදිහත්වීම අවැසි තැන්වලදී මගහැර සිටීමම වරදකි. 

“ලොකු නෝනා… කාල හිටියනම්..”

“මං එන්නම් නන්දනී..”

එසේ  පැවසූ තමාරා යළිත් කාමරයෙන් පිටතට පැමිණියේ  දෑස් පිස දා ගත්තාට පසුවය. නන්දනී කෑම මේසය අසලට වී බලා සිටියේ තමාරාගේ පිඟානත් අත තබාගෙනය. 

“මං ලොකු නෝනගෙන් දෙයක් අහන්නද..?”

උදෑසනට සෑදූ හාල් පිටි පිට්ටු කැබැල්ලකුත්, කිරි හොද්දත් ඇගේ පිඟානට බෙදමින් නන්දනී ඇසුවේ මද හඬකින්ය.

“නන්දනීත් මට උත්තර දෙන්න බැරි ප්‍රශ්නනම් අහන්න එපා.”

“නෑ ලොකු නෝනා..හිත හිතා ඇහුවා නෙමෙයි.  මට මේ දැන් හිතිච්ච දෙයක්. අපේ සුදු  මහත්තයා අපූර්වා මිස්ව අමතක කරන්න කැමති උනේම නැත්නම් ලොකු නෝනා මොනවද කරන්නේ?”

“නන්දනී ඔය අහන ප්‍රශ්නෙ මං මගෙනුත් සිය වතාවකට වඩා අහලා ඇති. නන්දනී ඔය කියන දේ ඔය විදිහටම සිද්ධ වෙයි කියලා මගේ හිතේ බයකුත් තියෙනවා. කාලයා අපිට වඩා හොඳට ප්‍රශ්න විසදයි නන්දනී. ඔයත් ගිහිල්ලා කන්න.”

තමාරා එසේ පවසා කතාව නිමා කළාය. ඉන්පසු දිගු සුසුමක් මුදා හැරියාය. යුගාශ්ට මේ කිසිවක් නොතේරෙන්නේ මන්දැයි ඈ සිතුවේ මවිතයෙන්ය. මිනිසුන් ආදරයේදී අන්ධය. තීරණ ගන්නේ මේ මොහොත ගැන පමණක් සිතමින්ය. නන්දනී බෙදූ එකම එක පිට්ටු කැබැල්ලත් එහෙමම පිඟානේ ඉතිරි වන්නට හැර සමරා නැගී සිටියාය. යුගාශ් යනු අදටත් වඩා හෙට දවසේ මේ රට තුළ ජනප්‍රිය චරිතයක් වන බව තමාරා දැන සිටියාය. ඔහුගේ හදහන් පවා පරීක්ෂා කිරීමේදී පැවසූයේ ඔහුගේ දියුණුවත්, ජනප්‍රියත්වයත් කිසිවෙකුට වළක්වාලිය නොහැකි එකක් බවය. ඔහු නොනවත්වා යන ඒ ගමනේදී ඔහුගේ විවාහක බිරිඳත් ඒ සමගම ඉදිරියට යා යුතුය. ගැටුම් ආරම්භ වන්නේ එසේ නොවන තැන්වලදීය. අද දවසේ ගැලපෙන බොහෝ දේ නොගැලපෙන්නට පටන් ගන්නේ වර්තමානයේදීය. 

“උඹ මොනවද දන්නේ?…උඹ  ගෙදරට වෙලා තාත්තගෙ ගණන් හද හද කුරුටු ගගා ඉඳපු ගෑනිනේ. ලෝකෙ සිද්ධවෙන දේවල් ගැන උඹ මොනවද දන්නේ?..”

එදවස පුෂ්පානන්ද අවඥා සහගතව තමාගෙන් ප්‍රශ්න කළ අයුරු තමාරාට අද මෙන් මතකය. අපූර්වා යනු අවිහිංසක යුවතියකි. රූපයෙන්, ගුණයෙන් හෝ ගතිගුණ වලින් ඈ යුගාශ්ට නොගැළපෙන්නියක නොවේ. යුගාශ්ගේ වැටුපත් ඉඩකඩම් වලින් ලැබෙන ආදායමත් මෙම නිවසට ඕනෑවටත් වඩා වැඩි තරම්ය. දවසින් දවස බැංකු පොතේ වැඩිවන ඉලක්කම් ප්‍රමාණය ගැන හැඟීමක් හෝ ආසාවක් තමාරාට වූයේ නැත. එනිසාම ඇය යුගාශ්ගේ බිරිඳගෙන් වත් පොහොසත්කම් බලාපොරොත්තු නොවූවාය. එහෙත් ඔහුට ගැලපෙන දැනුමක්, උගත්කමක්, පවුල් පසුබිමක් ඇයට තිබිය යුතු බව තමාරා දැඩිව විශ්වාස කළාය.

                                   *************

උදෑසන තිබූ ඉඩම් නඩුවක් වෙනුවෙන් පෙනී සිටි යුගාශ් කාර්යාල කාමරයෙන් පිටවූයේ සවස දෙකට පමණය. ඔහුට දින කිහිපයකට පසුව පංචාලි හමු වූයේ  උසාවි භූමියේදීය.

“ආන්ටි තවම වෙනස් වෙලා නැද්ද යුගාශ්.”

ඈ ඇසුවේ ෆයිල් කවර කිහිපයක් සිය පපුවට තුරුළු කරගෙන ඔහු හා සමව ඇවිද යන ගමනේදීය.

යුගාශ් හිස වැනුවේ නැතැයි කියන්නටය.

“ඔයා හිතනවද ආන්ටි වෙනස් වෙයි කියලා.”

“අම්මා වෙනස් වුණත් නැතත් මගේ තීරණය වෙනස්  වෙන්නේ නෑ පංචාලි. මට කවදාවත් අපූර්වට එහෙම අසාධාරණයක් කරන්න බෑ. ප්‍රපෝසල් එකකින් මැරි කරලා අම්මයි අප්පච්චියි හිටියෙත් සතුටින් නෙමෙයි කියලා  අම්මා තේරුම් ගන්න ඕනේ.”

“ආන්ටි එහෙම හිතෙන කෙනෙක් නෙමෙයි යුගාශ්. ලොකු හේතුවක් ඇති.”

“සමහර විට. ඒත් ඒ මොනම හේතුවක් නිසාවත් මට අර අහිංසක කෙල්ලගේ ඇස් වලට කඳුලක් දෙන්න බෑ. ඊට වැඩිය හොඳයි මං මාවම නැති කරගන්න එක.”

“අනේ මන්දා. මොන දේ කලත් පරිස්සමෙන්. ඔයා වගේ සැහැල්ලුවෙන් ඉඳපු කෙනෙක් මෙච්චර ආදරේ කරනවා කියලා හිතද්දි හරි පුදුමයි.”

“ඒවා හිතා මතා වෙන දේවල් නෙමෙයි පංචාලි. අපූර්වා කියන්නේ අද මගේ හැමදේම. මං කොහොම එයාට මේ තරම් බැදුනද කියන්න මංවත් දන් නෑ”

“ඔයාලට කිසිම දුකක් වෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔයා කැමතිනම් මම හවසට ගිහිල්ලා මේ ගැන ආන්ටිත් එක්ක  කතා කරන්ද?”

“එපා පංචාලි. තැන්ක් යූ ඔයා එහෙම ඇහුවට. මේ ප්‍රශ්නේ විසඳගන්න ඕනේ අපි දෙන්නම තමයි. ජීවිතය කියන්නේ අපි බලාපොරොත්තු වෙන විදිහට ගලාගෙන යන දෙයක් නෙමෙයි. අපි බලන් ඉමු”. 

ඔහු පංචාලිගෙන් සමුගත්තේ තවත් විනාඩි කිහිපයක් කතා කරමින් සිටියාට පසුවය. යුගාශ්  දින කිහිපයක සිට දකින්නේ වෙනදා ආත්මාර්ථයෙන් කටයුතු කරන සංකර යුවතිය නොවේ. ඇගේ ඇඳුම පැළඳුම පවා වෙනදාට වඩා පිළිවෙලක් වී තිබිණ. කතා කළේ මද වශයෙන්ය. එහෙත් ඒ වදන්වල පවා වූයේ නිවීමකි. එනිසාම බයක් සැකයක් නොමැතිව යුගාශ් ඇය හා තම අදහස් හුවමාරු කර ගත්තේය. 

තරුණයා  වේලාසනින් කාර්යාලයෙන් නික්මුනේ  අපූර්වාව හමුවීමේ අරමුණින්ය. අධ්‍යන කටයුතු සඳහා අවශ්‍ය පොත් වගයක් මිලදී ගැනීමට ඈ කළුතරට පැමිණෙනවායැයි පැවසූයේ ඊයේ රාත්‍රියේය. 

යුවතිය උන්නේ බස් නැවතුම ආසන්නයේය. තවමත් මේ කිසිවක් ඔහු ඇයට පවසා තිබුණේ නැත. 

“කොහෙද අපි යන්නේ..”

ඔහු ඇසුවේ ඇය වාහනයට නැග්ගාට පසුවය. 

“කොහේ හරි කමක් නෑ. ඔයාගේ ලඟට වෙලා ගොඩක් වෙලා ඉන්න පුළුවන් තැනකට.”

“එහෙනම් මෙහෙමම ගෙදරයක් යං..”

ඔහු එසේ පැවසූයේ හිත මතා නොවුනත් අපූර්වාගේ  දෑස් කඳුළින් තෙත්ව ගියාය. 

“ඇයි මේ..”

තරුණයා ඇසුවේ නිදහස්ව තිබූ වමතින් ඇයව තමාවෙත ඇදගෙනය. 

“එහෙම දවසක් කවදාවත් එන එකක්  නෑ කියලා මට බය හිතෙනවා. මං ඊයේ පෙරේදා නරක හීනෙකුත් දැක්කා. කවදාවත් නැති විදිහට මගේ හිත බය වෙලා.”

“මිනිස්සු දකින්න ඕනේ නරක හීන නෙමෙයි මැණික. සුබ හීන. අපි ඒක අමතක කරමු. ඔයා හිනා වෙලා ඉන්න. හැමදාම වගේ කියන්නේ ඒක එහෙම නොවුනොත් මට හිතෙයි මං ආදරේ කරන්න දන්න මනුස්සයෙක් නෙමෙයි කියලා”

වාහනය නවතා තිබුනේ වෙරළ  තීරය අභියස වූ නිදහස් පොල් රුප්පාවකය. ඇය උන්නේ  ඔහුගේ උණුසුමට තුරුළු වී දෑස් වසාගෙනය. යුගාශ් ප්‍රේමය විෂයෙහි අත්දැකීම් ඇති අයෙකු  නොවේ. එහෙත් ඔහු අසීමිතව අපූර්වාට  ආදරය කරමින් උන්නේය.

“මං ඔයාට කවුන්සලින් කරන්න කියලා කිව්වේ හේතු කිහිපයක් ඇතුව අපූර්වා. ඉස්සර වෙලාම ඔයා ඔයාවම හොයාගන්න ඕනේ. ඊට පස්සේ ඔයාට පුළුවන් කඩන් වැටෙන මිනිස්සුන්ගේ හිත් උස්සලා උඩම තැනකින් කියන්න. අපේ අම්මවත් දන්නේ නැති ජීවිත කතාවක් මට තිබුණා. අප්පච්චිගේ ප්‍රශ්නෙත් එක්ක මං ඒ දවස් වල සිටියේ හොඳටම කඩන් වැටිලා. ඒ මට තිබුණේ මානසික ප්‍රශ්නයක් කියලා මටවත් තේරුම් ගන්න පුළුවන් වයසක් නෙමෙයි. හැබැයි අම්මගේ හිත සතුටු කරන්න මම හිනාවෙන්න ඕන බව  දැනගෙන හිටියා. ඒ නිසා මම මාවම දරාගත්තා. හැබැයි මට නොතේරුණු මගේ වෙනස මගේ ඉංග්‍රීසි මිස්ට දැනිලා තිබුණා. එයා තමයි මාව අපේ ඉස්කෝලේ ඉඳපු කවුන්සලර් ගාවට එක්කරගෙන ගියේ. අශෝක සර්..අද එයා ලංකාවේ නෑ අපූර්වා. අශෝක සර් හරි අපූරුවට මගේ හිත හැදුවා. යාළුවො ළඟට යන්නේ නැති කොන් වෙවී ඉඳපු මට මුළු සෙක්ෂන් එකම, මුළු ඉස්කෝලෙම යාළුවො කරගන්න පුළුවන් උනා. හැමදාම ලකුණු හතළිහක් හතළිස් පහක් අරගෙන පන්තියේ මැද මට්ටමක ඉඳපු මම හැම සබ්ජෙක්ට් එකකටම ලකුණු අනූවට එහා අරගෙන පන්තියේ පළවෙනියා උනා. කවද හරි දවසක අප්පච්චිට මගේ අතින් ලොකු අනතුරක් වෙන්න තිබුණා. ඒ තරම් වෛරයක් අප්පච්චි ගැන මගේ යටි හිතේ ඇති වෙලා තිබුණා අපූර්වා. මිනිස්සු එහෙම තමයි කියල හිතන්න මාව පෙළඹෙව්වේ අශෝක සර්. හැම ප්‍රශ්නෙකම දෙපැත්තක් තියෙනවා කියලා හිතන්න මට කියලා දුන්නේ සර්. මනුස්සයෙකුට තවත් කෙනෙක්ගෙ හිතක් සුවපත් කරන්න පුළුවන් කියලා කියන්නේ එයා දෙවියෙක්. ඒ වෙලාවේ මට අශෝක සර් හමු නොවුනනම් සමහර විට  මම රස්තියාදුකාරයෙක්, මැරයෙක්, කුඩු කාරයෙක් වෙලා ඉන්න තිබුනා. මොකද මම හිටියේ සමාජෙ හැම කෙනෙකුටම  වෛර කර කර. මේ මගේ අම්මවත් නොදන්න මගේ අතීතය අපූර්වා. ඔයාට තියෙනවා  ලස්සනට හිතන්න පුළුවන් මනසක්. කාගේවත් හිතක් නොරිදවා  ජීවත් වෙන්න පුළුවන් හිතක්. දවසක ඔයා හරි ලස්සනට මිනිස්සුන්ගේ හිත් වලට කතා කරාවි. මං කැමතියි ඔයා ඒ තැන දකින්න. ඒකට ඉස්සර වෙලාම ඔයා ඔයාව ශක්තිමත් කරගන්න. ඔයාවම ආයේ ගොඩ නගාගන්න” 

“ඇයි දෙයියනේ මට මේ තරම් ආදරේ….”

යුවතිය ඔහුව වැළඳ ගත්තේ හඬා ගෙනමය. 

“ඔයා හොඳම හොඳ ගෑනු ළමයෙක් නිසා. මේ හිත ගෑණු කෙනෙක්ගෙන් දකින්න කැමති හැම දෙයක්ම ඔයාගේ ලඟ එකතු වෙලා තිබුණ නිසා. මේ තරම් මට ආදරේ නිසා”

යුගාශ් අපූර්වාව සිප ගත්තේ එසේ පවසමින්ය. මේ ජීවිතය ඇය හා ගෙවන්නට ඔහුගේ සිතේ බොහෝ සැලසුම් විය. තමා බිංදුවටම වැටුණත් මේ ආදරය තමාව හැර නොයන බව ඔහු විශ්වාසයෙන්ම දැන සිටියේය. 

පංචාලිගේ අංකය සටහන් කරමින් දුරකථනය නාද වූයේ අපූර්වා යුගාශ්ගේ පපුවට තුරුළුව සිටියදීය. ඔහු ඇමතුම මගහැරියේ හිතාමතාමය. මේවේලෙහි දුරකථන ඇමතුමකින්වත් මේ සොඳුරු සුයාමයට බාධා කර ගන්නට ඔහුට සිතුනේ නැත. 

එහෙත් දෙවෙනි වරත් දුරකථනය නාද වද්දී යුගාශ් සිය දකුණතින් එය අල්ලා ගත්තාය. සාමාන්‍යයෙන් පංචාලි යනු එක ඇමතුමක් මගහැරි පසුව යළිත් ඇමතුම් ගන්නා අයකු නොවේ.

“අනේ යුගාෂ් ඔයා කොහෙද ඉන්නේ…”

“මම කළුතර ඉන්නේ. ඇයි..මොනවා හරි හදිස්සියක්ද..”

ඔහු එසේ ඇසුවේ ඇගේ හඬෙහි වූ හැඬුම් මුසු  බව නිසාය. 

“අනේ පුලුවන් තරම් ඉක්මනට සර්ගේ ගෙදරට යන්න. හවස ඔෆිස් එකේ මමයි, තාරකයි  සර්රුයි විතරයි හිටියේ. ඩොකියුමන්ට් එකකට සර්ගේ සයින් එක ගන්න මම සර්ගේ රූම් එකට ගියා. ඒ වෙලාවේ සර් බාත්රූම්  එකේ වමනේ කරන සද්දයක් ඇහුනා. ඒ  හින්දා මම සර්ට කතා කරලා ඇතුලට එන්නද ඇහුවා. එතකොට සර් හයියෙන් කිව්වා ‘පංචාලි එන්න එපා..’ කියලා. මම යාන්තමට දැක්කා සර් වමනේ කරනකොට ලේ යනවා..සර්ගේ ෂර්ට් එකෙත් ලේ පැල්ලම් තිබුනා..”

“පංචාලි…ඔ..ඔයා..හොඳටම දැක්කද..”

“තාරක ඇම්බියුලන්ස් එකකට කෝල් කලා.. ඒ උනාට සර් ඒ කිසිම දෙයක් ගණන් ගන්නේ නැතුව මට ප්‍රශ්නයක් නෑ ඔය ළමයි බය නොවී ඉන්න කියලා ගෙදර ගියා..මං බාත්රූම්  එකටත් ගිහිල්ලා බැලුවා..එතකොටත් ලේ පාරවල් වගේ සින්ක් එකේ තිබුණා..සර් යන්න කලින් වේලුට සල්ලි දීලා බාත්රූම් එක හෝදලා දාන්න කියනවා තාරකට ඇහුනලු..”

“පංචාලි ඇයි ඒ….”

“දන්නෙ  නෑ යුගාශ්..මං තාරකටවත් කිව්වේ නෑ ලේ දැකපු කතාවක්. සර්ගේ ඇඟට අපහසුයි කියලා තමයි ඇම්බියුලන්ස් එකට කතා කරන්න කිව්වෙත්. ඔයා පුළුවන් තරම්  ඉක්මනින් සර්ගේ ගෙදරට යන්න. සමහරවිට සර් ගියේ හොස්පිට්ල්l එකටද දන්නෙ නෑ.”

පංචාලි පැවසූයේ කලබලයෙන්ය. එවේලෙහිත් යුවතියගේ කරවටා  දමාගෙන උන් ඔහුගේ අත ගිලිහී වැටී තිබිණ. අපූර්වා දෑස් විසල් කරගෙන බලා සිටියේ ඔහුගේ ඒ කලබලය නිසාය. 

“මැණික අප්පච්චිගේ ඔෆිස් එකෙන් කතා කලේ.  අප්පච්චි ටිකක් අසනීපෙන්ලු. මට දැන් යන්න ඕනේ.”

“මමත් එන්නද….”

“එපා අපූර්වා…මං ඔයාව වෙන දවසක අප්පච්චිව  බලන්න එක්කරගෙන යන්නම්. මං ඔයාව මෙතනින් ත්‍රීවිලර් එකකට නග්ගන්න කමක් නැද්ද.”

“අනේ කමක් නෑ මට බස් එකේ යන්නත් පුළුවන්.”

“එපා ත්‍රී විලර් එකක ගිහිල්ලා මට කෝල් එකක් දෙන්න. මම මෙහෙම කලාට කමක් නෑ නේද.”

“අනේ මේ මොනවද අහන්නේ?. ඔයාව කවදාවත් මම මෙහෙම දැකලා නෑ. ඔයාගේ පපුව ගැහෙනවා. ඔයා වෙවුලනවා. මට මේ වෙලාවේ තියෙන්නේ ඔයාව තනියෙන් යවන්න බයක් විතරයි.”

“මං පරිස්සම් වෙනවා මැණික. ඔයා නිසා මම පරිස්සම් වෙනවා.”

“බය වෙන්න එපා. මොන දේ වුනත් අප්පච්චි සනීප වෙයි. පරිස්සමට ගිහිල්ලා මටත් රින් එකක් හරි දෙන්න.”

තරුණයා යුවතියව සිප ගත්තේ දෑස් වල වූ කඳුළු එලෙසම තිබියදීය.

“බුදු සරණයි…ඔයාගේ අප්පච්චිටත් තෙරුවන් සරණයි.”

ඈ එවේලෙහි මිමිනූයේ ඔහුගේ දෑත් සිප ගනිමින්ය. යුවතියව ත්‍රී රෝද රථයකට නැංවූ යුගාශ් ගාලු පාරට වාහනය අවතීර්ණ කර  ගත්තේත්  ඒ ඔස්සේ වාහනය පැද වූයේත් අන් කවරදාවකවත් නොවූ තරමේ වේගයකින්ය. 

(යළිත් හමු වෙමු ආදරයෙන්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here