ඔබෙ ආදරෙන් මා දැවේ – 23

0
813

“වන්දියක් ගන්නෙත් නැතුව ඔයාට ජොබ් එකකුත් නැති එකේ ඔයා කොහොමද ඉස්සරහට ජීවිතේට ෆේස් කරන්න ඉන්නේ?” කියා තුරුණු අහද්දී ඇත්තටම ජාන්විගේ දෙනෙත් අස්සෙන් කඳුලු බිංදුවක් ඇඳ හැලුනේ තමන්ගේ අසරණකම සිහි වී විතරක්ම නොවේ. ඒ අසරණකම තමන් විසින් අතීතයේ අසරණ කර දමන්නට ආ තරුණයෙකු ඉදිරියේ ලෙහන්නට වීම ගැන වේදනාවටය.

“රස්සාවක් හොයාගන්න ඕන. ඔයා කියන කතාව ඇත්ත විත්තිය මම දන්නවා. ඒ උනාට ඇයි කවුරුවත් මගෙ පැත්තෙන් කිසිම දෙයක් හිතන්නෙ තේරුම්ගන්නෙ නැත්තෙ? මම නේද මෙතන හොඳටම අසරණ වෙලා ඉන්න මනුස්සයා. එහෙම එකේ ඔයාලා හරිනම් මට උදව් කරන්න බැරි නම් අනුකම්පා කරන්න හරි නේද ඕන?

මට ගෙදර ඉන්න බැරි හන්දා තුරුණු මම මෙතනට ආවෙ. මට වෙන්න යන්න තැනක් නැති හන්දා. පාරිටත් පැය විසි හතරෙම මගෙ දුක් ගැනවිල්ල අහගෙන ඉන්න බැරි හන්දා. මට වෙන කරන්න දෙයක් නැති හන්දා. අඩුම තරමෙ ඔයාවත් මගේ වේදනාව තේරුම් ගනීවි කියල හිතුව හන්දා. ගිලෙන්න යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනවාලු බේරෙන්න. මම දැන් මේ කරන්නෙත් ඒක” කියා ජාන්වි හඬද්දීවත් තුරුණු තමන්ගේ දෙනෙත වීදුරුවෙන් එහා පේන්න මහ පාරෙන් මුදවගෙන ජාන්වි වෙත හැරෙව්වේ නැත. එහෙම කරා කියා ජාන්විගෙ හිත දවස ප්‍රශ්නයට විසඳුමක් නොලැබෙන බව තුරුණු දැනගෙන උන්නේය.

ජාන්වි ගැඹුරු හුස්මක් ගත්තේ ඊලඟ වචන ටික එකලස් කරගන්නට අවසරයක් මෙනි.

 “හැම උදේම නැගිටිද්දි තමන් මේ නැගිටින්නෙ කිසිම බලාපොරොත්තුවක් නැති ජීවිතේකට නේද කියලා හිතෙන එක, තමන් කියන්නෙ තමන්ගෙ කසාද මනුස්සයගෙන් පවා ප්‍රතික්ශේප වෙන්න ගෑනියෙක් නේද කියන එක ගෑනියෙක්ට ලේසියෙන් දරාගන්න පුලුවන් හැඟීමක් කියලද ඔයා හිතන්නේ? ඔයා මීට කලින් ඕන තරම් ඩිවෝස් කේසස් හැන්ඩ්ල් කරලා ඇති තුරුණු. ඒ උනාට මේ කේස් එක ඒ හැම එකටම වඩා වෙනස් කියලා ඔයා අමතක කරන්න එප. මම මැරි කරලා ඉඳියෙ මේ ලංකාවෙ ගොඩක් මිනිස්සු දන්න සිංගර් කෙනෙක්ව. මලිත් තරම්ම නැතත් මිනිස්සු ටිකක් හරි මාව දන්නවා. එහෙම එකේ මේ ඩිවෝස් එකත් එක්ක මට තව කොච්චර ප්‍රශ්න වලට, අපහසුතා වලට ෆේස් කරන්න වෙනවද කියලද ඔයා හිතන්නේ? ඔයා හිතනවද මිනිස්සු කවදාවත් මගෙ පැත්ත ගනිවී කියලා. අනික මට ගිහිල්ලා මගෙ වරදක් නෑ කියලා කියන්න පුලුවන් කීයෙන් කීදෙනාටද? මොකෝ මලිත්ට වගේ මට ලොකු ෆෑන් බේස් එකක් ඉන්නවද? නෑ. රස්සාවක් නෙවෙයි මට හැමදේම නැතිවෙනවා මේ ඩිවෝස් එකත් එක්ක.ඔයා හිතන්නෙ ඒක ලේසියි කියලද?”

ඉකි බිඳුමක් සමග කටහඬ බිඳී යද්දී ජාන්වි ඉක්මනින්ම තොල් සපා ගත්තාය. නමුත් දෙනෙත් මුලට කඳුලු තිබුනේ හෝ හෝ ගගා එක්‍ රැස් වෙමිනි.

“ඔයා රස්සායි පඩි ගැනයි කතා කරනවා,” ජාන්වි ආයෙම කතාව පටන් ගත්තෙ වඩා තියුණු හඬකිනි. “මම ඒ ගැන දහස් වතාවක් නොහිතුවා වගේ කතාකරන්න එපා තුරුණු. මම රෑට ඇහැරිලා තව කොච්චර කල් මේ විදියට ජීවත් වෙන්න පුළුවන්ද කියලා කල්පනා නොකරනවා නෙවෙයි. මම දන්නවා මම රස්සාවක් කරන්න ඕනේ කියලා. මම දන්නවා මට මගේම කකුල් දෙකෙන් නැගිටින්න ඕනේ කියලා. ඒත් මේ මගේ ජීවිතේ එක කොටසක් සම්පූර්ණයෙන්ම ඉවර වීගෙන යද්දි මම අලුතෙන් දෙයක් පටන් ගන්න හිතට හයිය හොයාගන්න ඕන කොහෙන්ද? මම මෙහෙම හිතන එක වැරදිද?”

දිගු නිහඬතාවක් ගෙවී ගියේ ඒ වචන වලින් පස්සේය.

තුරුණු වචන ගැලපුවේ ඒ දිගු නිහඬතාවයෙන් පස්සේය. නමුත් ඔහුගේ වචන තිබුනේ ජාන්වි සනසන අරමුණක නොවේ

“ ඒක වැරදිද හරිද කියන එක නෙවෙයි ප්‍රශ්නෙ. මේක තමයි ඔයාට මූන දෙන්න වෙලා තියෙන ඇත්ත. අපි කොච්චර කැමති වුණත්, අපිට කොච්චර ඕන උනත් ඇත්ත කියන දේ අපිට ඕන විදියට නැවෙන්නේ නැහැ.නවන්නත් බෑ. අපිට කරන්න වෙන්නෙ ඇත්තට මූන දෙන එක විතරයි”

“ඇත්ත? “ඔයාට ඇත්ත ගැන කතා කරන්න ඕනද? මගේ ඇත්ත තමයි මට මගේම කියලා ගෙයක් නැති එක. මගේ ඇත්ත තමයි මට තිබුණ ජීවිතේට ආපහු යන්න බැරි එක, ඒ වගේම මට අලුත් ජීවිතයක් හදාගන්න බැරි එක”

“ඔයාලා දැන දැන වැටිච්ච වලවල් වලින් ගොඩ එන එක නොදැන වැටිච්ච වලවල් වලින් ගොඩ එනවට වඩා අමාරුයි කියලා ඔයා දැන්වත් තේරුම් ගත්ත නම් හොඳයි නේද?” කියා අහද්දී තුරුණු ඒ ගෙවුණ කාලය ඇතුලත පළමු වරට ජාන්වි දෙස නෙත් හරවා බැලුවේය. ඒ දෙනෙත් වල ඇදි තිබුණේ අනුකම්පාවක්ද නොඑසේනම් සමච්චලයක්ද කියා තේරුම්ගන්නට උත්සහ කල අනතුරුව “තුරුණු මං දිහා බලන්නෙ සමච්චලෙන්. මේ ඔක්කොම මං මිනිහට කරපු දේවල්වලට ගන්න පලියක් වගේ” කියා හිතන එක ජාන්විට පහසු වුණාය.

“දික්කසාද අස්සෙ හිරවෙච්ච දාහක් ගෑනු ඔයා වගේම ඔතන මේසෙ වාඩිවෙලා මට එක එක කතා කිය කිය අඬලා තියෙනවා. ගෑනු කොහොමත් හරි ආසයිනෙ වලවල් වලට වැටිලා ගොඩ එන්න බැරි උනාම අනුකම්පාව ඉණිමගක් කරගන්න.

ඒ අය උඩට එන්න බැරි අවුලක පැටළුණාම ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, හිත රිදවීමක් වෙන්න පුළුවන්, නැතිනම් ජීවිතේ හිතන්නවත් බැරි අවුලක් වෙන්න පුළුවන් අනේ මන්දා ගෑනු මාර ලස්සනට ඒව අස්සෙන් රිංගලා යන්න දන්නවා නේද? සමහර විට ඒකත් අර හැට හතර මායම් වලින් එකක් වෙන්න ඇති.

වෙන මිනිස්සු නම් බලන්නෙ ප්‍රශ්නෙන් ගොඩ එන්න විදියක් හොයාගන්නනෙ. ගෑනුන්ට ඉතින් හරි ලේසියි අඬන්න. අඬලා හරි ප්‍රශ්නෙන් ගැලවෙන්න. ඔයාටත් ඉතින් ඒක පුරුදු ඇතිනෙ නේද? ප්‍රශ්න විසඳගන්නවා වෙනුවට මග නතර කරලා දාලා අතෑරලා නිදහස හොයන් යන එක.

පිරිමින්‍ය නොතේරෙන දේ තමයි ඒක. එයාලට කලාතුරකින් කරුණාව ලැබෙන ලෝකයක, එයාලා අනුකම්පාව වෙන කෙනෙකුගෙන් ගන්න හැටි ගෑනු හොඳට ඉගෙනගෙන තියෙනවා. එයාලා ඒක බලෙන් ඉල්ලන්නේ නැහැ. උදුරගන්නේ නැහැ. පොඩි කඳුලක් දෙකක් වැට්ටුවම වැඩේ සෙට්ල් කියලා දන්නවා. “ කියා කියද්දී මේ වචන විදියට තුරුණුගේ දෙතොල් අස්සෙන් එලියට එන්නේ අතීතයේ තමන් විසින් කරන්නට යෙදුන වරදකට පලිගැනීමක් බව තේරුම් ගන්න ජාන්විට අපහසු උනේ නැත. 

“පිරිමියෙක්ට එහෙම කියන එක ලේසි ඉතින්. අන්තිමේ හැම ප්‍රශ්නෙන්ම දුක් විඳින්න වෙන්නෙ, සමාජෙන් කතා අහගන්න වෙන්නෙ ගෑනුන්ටනෙ” කියා ජාන්වි කිව්වේ තුරුණු කියූ කිසිම වචනයක් ඇත්ත නොවන බවට අඟවන සමච්චල් සහගත හිනාවක් එක්කය.

“ඔයා කොහොමද් හරියටම එහෙම කියන්නේ?”

“මොකද්ද?”

“ගෑනියෙක්ට විතරයි හැම ප්‍රශ්නෙන්ම දුක් විඳින්න, සමාජෙන් කතා අහන්න වෙන්නෙ කියලා? කොහොමද ඔයා දන්නේ පිරිමියෙක්ට එහෙම වෙන්නෙ නෑ කියලා” තුරුණු ඇසුවද ඒ ප්‍රශ්නයට උත්තරයක් ජාන්වි ළඟ තිබුනේ නැත. තුරුණු උන්නේ ඒ බව දැනගෙන මෙන් දිගටම කතා කරමිනි.

“ඔයා කවදාවත් පිරිමියෙක් වෙලා ඉඳලා නෑනේ. එතකොට ඔයා කොහොමද කියන්නෙ ඒක එහෙමයි කියලා? පිරිමි දුක් විඳින්නෙ නෑ කියල.”

“මං හිතන්නෙ තුරුණු අපි දෙන්නා අතීතෙදි දැනගෙන උන්න එක අපේ මේ වර්තමාන ක්ලයන්ට් රිලේශන්ශිප් එකටත් ප්‍රශ්නයක්. මංජලී මාව මෙතනට එක්කරගෙන ආව මිසක් මම බලෙන් ආවෙ නැති බව ඔයා මතක තියාගන්න. මට පුලුවන් වෙන ලෝයර් කෙනෙක් එක්ක මේ ඩිවෝස් එක දාන්න. තෑන්ක්ස් මෙච්චර දවසක් වද උනාට. මට ඔයාගෙන් එක එක කතන්දර අහන්න ඕන නෑ, මම අතිතෙ කරපු එක වරදක් වෙනුවෙන්”

“ඒ කියන්නෙ ඔයා දැන් ඒක පිළිගන්නවද?” කියා අහද්දී තුරුණුගේ දෙනෙත් එක එල්ලේම රැඳී තිබුණේ ජාන්විගෙ ඇස් අස්සේය.

“මොකද්ද?” කියන වචනය ජාන්විගේ මුවින් නික්මුණේ බිඳෙමිනි. සෙමෙනි. දුර්වලවය.

“ඔයා අතීතෙ මට කරේ වරදක් කියන එක?”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here