යුගාෂ්ගේ වාහනය කළුතර නගරයේ පිහිටි පුෂ්පානන්දගේ නිවසෙහි ගේට්ටුව ඉදිරිපිට නතර වූයේ පැමිණි වේගයෙන්මය. කිසිවෙකු විසින් ගේට්ටුව අරිනු බලා සිටි හැකි කමක් ඔහුට වූයේ නැත. වාහනයෙන් බැසගත් ඔහු ගෙවත්තට ඇතුළු වූයේ ගේට්ටුවත් ඇරගෙනමය. වසර ගණනාවක් සිට පුෂ්පානන්දගේ රියදුරා ලෙස කටයුතුකල සමරවීර ඉදිරියට පැමිණියේ වාහනය නැවතුනු වේගයත් ගේට්ටුව ඇරුණු කලබලයක් නිසාය.
“යුගාශ් සර්..”
“සමරවීර කෝ අප්පච්චි…”
“ඇයි සර් මොකක් හරි හදිසියක්ද..”
“හදිසිය තමුසෙට කියලා වැඩක් නෑනේ අයිසේ..කෝ අප්පච්චි..”
“මේ වෙලාවේ ප්‍රශ්නයක් ඇතිකර ගන්නනම් එපා සර්. පුෂ්පානන්ද සර් ටිකක් අසනීපෙන් ඉන්නේ නිදි..”
“අසනීපනම් ගෙවල් ඇතුලට වෙලා ඉඳලා හරියන්නෙ නෑනේ හොස්පට්ල් එකකට යනවා මිසක්. අප්පච්ච කාමරේද…”
“අනේ යුගාශ් සර්..”
“මං ආවේ ප්‍රශ්නයක් ඇති කරන්න නෙමෙයි. බලලා යන්න. මං කාමරේට යන්නම්. මෙන්න යතුර තමුන් මගේ වාහනේ ඇතුලට දානවාකෝ.”
යුගාශ් පඩිපෙළ නැග ඉහළ මහලට දිව ගියේ අඩියට දෙකටය. ඔහු පුෂ්පානන්දගේ කාමරය සොයා ගත්තේ තවත් කාමර දෙකකට එබුණාට පසුවය.
“අප්පච්චි…”
වායු සමනය කරන ලද කාමරයේ වියන් ඇඳෙහි එක් පසෙකට වී ඔහු සිටියේ කල්පනා බරවය. තමා දුටු හැටියේම ඔහු තිගැස්සෙන අයුරු යුගාශ් හොඳටම දුටුවේය.
“යුගාශ්..”
“අප්පච්චි මොකක්ද උනේ..මට ඇත්ත කියන්න අප්පච්චි.”
“මං හිතුවා කොයි වෙලාවක හරි අර කෙල්ල ගින්න දෙයි කියලා. හැබැයි ඒක මෙච්චර ඉක්මනට වෙයි කියලා මං බලාපොරොත්තු උනේ නෑ.”
“අප්පච්චි වෙන වෙන කතා වැඩක් නෑ. කරුණාකරලා මට කියන්න අප්පච්චිට මෙනවද උනේ කියලා. ලෑස්ති වෙන්න හොස්පිට්ල් එකකට යන්න.”
“මට අපහසුවක් නෑ පුතා ඔයා ගෙදර යන්න. මේක මේ පොඩි කැස්සක් විතරයි.”
“අප්පච්චි…බොරු කියන එකේ තේරුමක් නෑ. දැන්..මං ඇත්ත දැනගෙනම තමයි මෙතනින් යන්නේ”
“මං කිව්වනේ පුතා ඔයා ගෙදර යන්න කියලා. අනිත් එක මට මොන දේ වුණත් ඒක ඔයාලට කියන්න ඕනේ කියලා නීතියක් නෑ. අපි දුරස් වෙලා ඉවරයි”
“අප්පච්චි යුතුකම් නොදන්නවා වුනාට මම යුතුකම් වගකීම් හොඳට දන්නවා. කෙනෙක්ට වොමිට් වෙද්දි ලේ යනවනම් ඒක පොඩි දෙයක් වෙන්න බෑ. ප්ලීස් අප්පච්චි..”
“මම එක සැරයක් කිව්වා යුගාශ් කරුණාකරලා ගෙදර යන්න. අවුරුදු ගානක් මම මාව බලා ගත්තේ තනියම. ඉස්සරහටත් ඒක එහෙමම වෙයි. මගේ කටේ තුවාලයක්…ඒකයි ලේ ගියේ”
යුගාශ් අසල වූ පුටුවක් රැගෙනවිත් අසුන් ගත්තේ පුෂ්පානන්ද අසලින්මය. ඔහු අනිත් ඇළයට හැරෙන්නට ගියත් යුගාශ් ඒ දෙවුර හිස්වලින් අල්ලාා ගත්තේ තදින්ය. ඒ හා සමගම ඔහුගේ දෑස් යොමු වූයේ පසෙක වූ ප්ලාස්ටික් කුණු බඳුනක් වෙතය. එහි ලේ තැවරුණු පුළුන් කැබැල්ලක් විය. එක් අතකින් පුෂ්පානන්දගේ උරය අතහැරි යුගාශ් ඒ පුළුන් කැබැල්ල තම ඇඟිලි තුඩුවලින් අල්ලා ගත්තේ කිසිදු හිරිකිතයකින් තොරවය.
“යුගශ් ඕක දාපන් ඇතුලට…මොනවද උඹ කරන්න හදන්නේ?”
“අප්පච්චි මොකද වුනේ කියල කියනකල් අද මං අප්පච්චි ලඟින් හෙල්ලෙන්නේ නෑ. අප්පච්චි කියන ඔය දුරස්කමට බෑ හැඟීම් මරල දාන්න. මං ඔයාගේ පුතා. ඔයා මගේ අප්පච්චි. ඒක ඉරහඳ තියන තාක්කල් වෙනස් නොවෙන ඇත්තක්”
නිහඬව ගෙවී ගිය තත්පර කිහිපයකට පසුව පුෂ්පානන්දට සිදු වූයේ පරාජය බාරගන්නටය. යුගාශ් හිතුවක්කාරයෙකු වී ඇත. ඔහු තමාව ලෙහෙසියෙන් අතහැර දමන පාටක් නොවේ.
“උඹත් මම වගේ හිතුවක්කාරයෙක් වෙන්න එපා.”
“සමහර විට මං අප්පච්චි වගේ හිතුවක්කාරයෙක් වෙන්න ඇති. ඒකනේ සමහර තැන්වලදී මාව නවත්තන්න කාටවත් බැරි.”
“සමහර තැන් තේරුම් ගන්න උඹ තාම පුංචි වැඩියි.”
“අප්පච්චි අතීතයවත්, අනාගතයවත් නෙමෙයි. මට කතා කරන්න ඕනේ මේ මොහොත ගැන. ඇයි මේ විදිහට ලේ.”
“යුගාශ් මගේ පෞද්ගලික ජීවිතය මං ඔයා ඉස්සරහ දිගාරින්න ඕනෙ කියලා නියමයක් නැහැ.”
“අප්පච්චි….දැන් මේ හැම ආඩම්බරකමක්ම හැම ලොකුකමක්ම පැත්තකින් තියන්න. අප්පච්චි මේ ඉන්නේ අප්පච්චිගෙ පුතා ඉස්සරහ. අප්පච්චි දාලා ආවට අප්පච්චිට හැමදාම ආදරේ කරපු පුතෙක් ඉස්සරහා.”
“උඹ ඔහොම කතා කරන්නේ මාව අසරණ කරන්න හිතාගෙනද? එහෙම නැත්නම් සංවේදී අප්පච්චි කෙනෙක් කරන්න හිතාගෙනද?”
“අප්පච්චී ඒ සංවේදී මනුස්සයව මරලා දාලා.”
එසේ පැවසූ යුගාශ් නැගී සිටියේ ඔහුගේ උරහිස අතහැරය. ඇඳ ආසන්නයේම වූ තේක්ක ලීයෙන් නිමවූ කුඩා කබඩ් එකේ ඉහළම ලාච්චුව ඇරි තරුණයා ඒ තුළ වූ ලිපි ගොනුවක් පිටතට ඇද ගත්තේ පුෂ්පානන්ද යමක් පවසන්නට පෙරය.
“යුගාශ් ඔය වැඩේ නවත්තන්න දැන්. මගේ පෞද්ගලිකත්වය ගැන හොයන්න ඔයාට අයිතියක් නෑ. ඕක තියපං තිබුණු තැනම”
“අයිතියක් තියෙනවා. මොකද ඔයා තවම මගේ අම්මව ඩිවෝස් කරලා නෑ. ඒ නිසා ඔයාගේ පුතා විදිහට මට ඔයා වෙනුවෙන් පෙනී හිටින්න පුළුවන්.”
ෆයිල් කවරය තල වූ වෛද්‍ය වාර්තා කලබලයෙන් කියවූූ තරුණයා පුෂ්පානන්ද වෙත පැමිණියේ දෑස් විමතියෙන් විසල් කරගෙනය. ඒ දෑස් වල කඳුලක් වූ බව පුෂ්පානන්ද දුටුවේ නැත. ඔහුගේ නෙතු රැඳී තිබුනේ කාමරයේ ඉදිරිපස බිත්තියේ වූ සේයා රුවේය. එය වර්ණ සංකලනයක් මිස පැහැදිලි වූ චිත්‍රයක් නොවේ. යුගාශ් සමග කුඩා කලවත් ගත් පින්තූරයක් තමා සතු නොවීම ගැන ඊයේ පෙරේදා ඔහුගේ සිත්හි ඇති වූයේ තැවීමකි. එසේ වූවානම් මේ කාමරයේ සුදු බිත්තිය ඉන් සරසන්නට තිබිණ.
“අප්පච්චි..කැන්සර් එකක් ලන්ග්ස්වල….”
ඒ හඩ මදක් උස් වූ එකක් විය. එහි වූ පළවන වෛද්‍ය වාර්තාව මින් වසර තුනකට එහා එකකි. යුගාශ්ගේ දෑත් වෙවුලමින් තිබිණ.
“අප්පච්චි.. ඇයි මෙච්චර කාලයක් මේ දේවල් මටවත් කිව්වෙ නැත්තේ.”
තරුණයාගේ හඬ බිඳී යමින් තිබිණ. පුෂ්පානන්ද ඔහු දෙස බැලුවේ මුවමත මදහසක් තබාගෙනය.
“ජීවිත කාලෙම ඔයාලගෙන් ඈත් වෙලා ඉඳපු මම ඇයි අන්තිම කාලේ මගේ වේදනාව ඔයාලත් එක්ක බෙදා ගන්නේ. අනික යුගාශ් මට කැන්සර් එකක් කියලා කියල මමවත් හිතුවේ නෑ. ඒ එන්න කියපු වෙලාවට මම ගිහිල්ලා ට්‍රීට්මන්ට් කළා. එච්චරයි. ඒක එතනින් එහාට මං මගේ ඔළුවට ගත්තේ නෑ. මං මාව පරද්දන්න කැන්සර් එකට ඉඩ දුන්නේ නෑ. හෙටත් ඉඩ දෙන්නෙ නෑ යුගාශ්. හැබැයි මං දන්නවා දෛවය තවත් පොඩි කාලයක් විතරයි මට ජීවත් වෙන්න ඉඩ දීලා තියෙන්නේ කියලා. එතනදි මං මාරයා පරද්දන්න උත්සාහ කරන්නේ නෑ. මාව එක්කරගෙන යන දවසට මම යනවා. එදා වෙනකල් මේ පුෂ්පානන්ද, පුෂ්පානන්ද විදිහට ජීවත් වෙනවා.”
“අප්පච්චි ඔයා….”
“පුතේ…උඹ ගිහිල්ලා ඕක අකුරක් නෑර අම්මට කියන බව මම දන්නවා. එහෙම කියන්න එපා කියලා මං බල කරන්නේ නෑ කලත් වැඩකුත් නෑ. හැබැයි මේක මෙතනින් එහාට යන්න බෑ. මට මිනිස්සුන්ගේ අනුකම්පාව අවශ්‍ය නෑ. මානසිකව වැටෙන්න අවශ්‍යත් නෑ.”
“අප්පච්චි කියන ඔය හැමදේම මං කරනවා. හැබැයි අප්පච්චි මං ළඟට එන්න ඕනේ.”
“ඒක වෙන්නෙ නෑ යුගාශ්…”
“දැන් ඒක තීරණය කරන්නේ අප්පච්චි නෙමෙයි මම. අප්පච්ච් හොඳට මතක තියාගන්න ඔයා හිතුවක්කාරයෙක්නම් මගේ හිතුවක්කාරකම ඊට වඩා දශමෙකින් හරි වැඩියි කියලා. මට මේ ටික නිදහසේ චෙක් කරගන්න ඕන අප්පච්චි. හොඳට මතක තියාගන්න එක්කෝ මම මෙහේ නතර වෙනවා, එහෙම නැත්නම් අප්පච්චි මගේ ළඟට යනවා.”
යුගාශ් කාමරයෙන් පිට වූයේ පුෂ්පානන්ද යමක් පවසන්නට ප්‍රථමවය. ඔහු සිය වේදනාව පිට කළේ කාමරයෙන් එළියට පැමිණියාට පසුවය. සිය දකුණත මිට මොළවා සුදු බිත්තියට වැරෙන් පහර කිහිපයක් ඇසූ තරුණයා කෑ ගසා හැඬුවේ පහත මාලය පෙනෙන පරිදි සකසා තිබූ සුදු යකඩය වැටට බර වීගෙනය. තමාගේ දැනුමේ හැටියට නම් අප්පච්චි මේ සිටින්නේ ඔහුගේ ජීවිතයේ අවසන් කාලසීමාව පසුු කරමින්ය.
හදිසියේ යමක් සිහි වූ තරුණයා වෛද්‍ය වාර්තා සියල්ලෙහිම සේයා රූ ලබාගෙන මහරගම අපේක්ෂා රෝහලේ සේවය කළ විශේෂඥ වෛද්‍යවරයෙකු වූ මිතුරෙකුට යැව්වේය. ඒ සැණින්ම දුරකථන ඇමතුමක් ගෙන වෛද්‍ය වාර්තාවල සැබෑ තත්ත්වය තමාට පැහැදිලි කරන ලෙසද ඉල්ලා සිටියේය.
ඔහුගේ ජංගම දුරකථනය යළිත් නාද වූයේ අපූර්වාගේ අංකය සටහන් කරමින්ය. එය මගහරින්නට සිතුවත් අවසන තරුණයා දුරකථනය කන තබා ගත්තේ එතනම බිම ඉඳගෙනය.
“අප්පච්චිට කොහොමද..ඔයා හයියෙන් හයියෙන් හුස්ම ගන්නවා අයියේ.. අප්පච්චිට කොහොමද..”
“අප්පච්චිට කැන්සර් එකක් අපූර්වා”
“අනේ දෙයියනේ මොකද දැන් කරන්නේ…”
“රිපෝට්ස් බැලුවහම මට තේරෙන විදිහට අප්පච්චි ඉන්නේ හොඳ තත්වයක නෙමෙයි. මම යාළුවෙක්ට ඒ ටික යැව්වා. එයා බලල කියයි.”
“අයියේ පරණ හැම දෙයක්ම අමතක කරලා ඔයාට පුළුවන්නම් මේ වෙලාවේ අප්පච්චිව ගෙදර එක් කරගෙන යන්න. පේෂන්ට් කෙනෙකුට අවශ්‍ය වෙන්නේ බෙහෙත් වලට වඩා ආදරයයි රැකවරණයයි. මං හිතන්නේ නැහැ ඔයාගේ අම්මා ඒකට අකමැති වෙයි කියලා. මේ මේ ජීවිතේදි අපිට සමහර වෙලාවට බලාපොරොත්තු නොවුනු දේවල් වලට මුහුණ දෙන්න වෙනවා. ඒවායින් පැනල ගිහිල්ලා හැංගෙන්න අපිට බැහැනේ. හරියට මගේ ජීවිතේ වුණා වගේ. ඔයා සතුටු වෙන්න ඔයාට අප්පච්චි වෙනුවෙන් යුතුකමක් ඉෂ්ට කරන්න අවස්ථාවක් ලැබුණා.”
“එයා මේ හැමදේම හංගගෙන මෙච්චර කල් සිංහයෙක් වගේ ජීවත් වුණා. එහෙම කොහොමද?”
“ඒක තමයි හරි. ගොඩක් අය තමන්ට මේ වගේ ලෙඩක් තියෙනවා කියලා දැනගත්තහම ශරීරයෙන් නෙමෙයි වැටෙන්නේ මනසින්. අප්පච්ච එහෙම හිත ශක්තිමත් කරගෙන ජීවත් වෙච්ච එක ගැන ඔයා සතුටු වෙන්න යුගාශ් අයියේ. ජීවත් වෙන්නේ කෙටි කාලයක් වුණත් දිග කාලයක් වුණත් ඒ කාලෙදි ඔයත් එයාට ශක්තියක් දෙන්න. එහෙම නැතුව ඔයාගේ කඳුළු ඉස්සරහා අප්පච්චිව අසරණ කරන්න එපා. ඔයා මේ වෙලාවේ අප්පච්චිව බලන්න මම තව ටිකකින් ආපහු කෝල් එකක් ගන්නම්..හැමදේම පරිස්සමෙන් කරන්න. ඔයාටයි අප්පච්චිටයි දෙන්නටම තෙරුවන් සරණයි..”
අපේක්‍ෂා රෝහලෙහි උන් මිතුරාගේ අංකය සටහන් කරමින් දුරකථනය නාද වූයේ අපූර්වා ඇමතුම නිමා කරද්දීමය. ඒ ඇමතුම හා සම්බන්ධ වන්නට යුගාශ්ට වූයේ හදිසියකි.
“මචං අංකල් දිගටම ට්‍රීට්මන්ට් කරලා තියෙනවා. එකක්වත් වරද්දලා නෑ. අංකල්ගේ ඩොක්ටර්ව මම පුද්ගලිකව අඳුරනවා. මම දැන් ඩොක්ටර්ට කතා කළා. අංකල් සෑහෙන්න උදව් කරලා තියෙනවා ට්‍රීට්මන්ට් වලදි. ඇත්තටම කිව්වොත් අංකල් මානසිකව කඩන් වැටුණු නැති එක ලොකු දෙයක් කියලයි ඩොක්ටර් කියන්නේ. කනගාටුම දායක කාරණය තමයි බං අංකල්ට තියෙන්නේ තව පොඩිම පොඩි කාලයක් විතරයි. උඹ දන්නවනේ මේ විදිහේ කැන්සර් හොඳ කරන්න බැහැ. මචං…මේ උඹ ශක්තිමත් වෙන්න ඕන වෙලාවක්. අංකල් ජීවත් වෙන්න කැමති විදිහක් තියෙනවානම් ඒ විදිහට ජීවත් වෙන්න උඹ ශක්තියක් වෙයං. උඹ අංකල්ව වෙනස් කරන්න උත්සාහ කරන්න එපා. තේරෙනවා නේද මං කියන දේ..”
යුගාශ් විනාඩි කිහිපයක් ගතව යනතුරුම නිහඬව බලා සිටියේ මිතුරා දුරකථන ඇමතුම විසන්ධි කලාට පසුවය. කොහොමටවත් ඔහුව තනිකල හැකි කමක් දැන් යුගාශ්ට නොවේ.
පුෂ්පානන්දගේ දෑස් දෙපසින් කඳුළු දෙදෙපේළියක් ගලා යමින් තිබිණ. මේසා අසරණ වූ දිනක් ඔහුගේ මතකයේ නොවේ. කවදා හෝ මේ ඇත්ත යුගාශ්ටත් තමාරාටත් එළිවන බව ඔහු දැන සිටියේය. එහෙත් ඒ මරණයෙන් පසු සිදුවිය යුතු එකක්යැයි ඔහු විශ්වාස කළේය. තමාගේ ජීවිතයෙහි මේ අවසන් කාලය ඔවුන් හා ගෙවන්නට යටි සිතෙහි වූ උවමනාවත් ලෝබකමත් වරින් වර උඩට මතුව විත් සිත පෑරූ තරම් දන්නේ ඔහුම පමණි. ඒ සාම ඒ සිතුවිලි මියැද්දවන්නටත් ඔහුට හැකියාව විය. තමාගේ අසරණකම ඒ කිසිවෙකුට පෙන්වන්නට අවශ්‍යතාවයක් පුෂ්පානන්දට වූයේ නැත. වරින් වර පුද්ගලික රෝහලට ඇතුළු වද්දී පවා ඔහුට හිතවතුන්ට පැවසූයේ විදේශගතවන බවය. එසේත් නොමැතිනම් නිවාඩුවක් සඳහා ගම් පළාතෙන් බැහැරව යන බවය. මේ සියල්ල දැන සිටියේ රියදුරා පමණි. වසර ගණනාවක් තිස්සේ පුෂ්පානන්දගේ සහයට උන්නේත් ඔහු පමණි. මාස කිහිපයක සිට ජීවිතයේ අවසන් කාලය යුගාශ් සහ තමාරා සමග ගත කරන්නට ඔහුගේ සිතෙහි වූයේ ලෝබකමකි. එහෙත් මේ ජීවිතයේ තමා නොනවතින ගමනක් ගියා මිස ආපසු හැරී යාමක් නොවේ. සියල්ල අතහැරියේත් සතුට සොයා ආවේත් තමාය. එනිසාම ආපසු ඔවුන්ගේ දෙපා ළඟට යන්නට තරම් සිතක් නොවේ. කිසිවක් නොලැබුණු මිනිසෙකු සේ ජීවිතයෙන් නික්ම යන්නට පුෂ්පානන්ද හිත හදාගත්තේ අද ඊයේක නොවේ. මින් වසර තුනකට ඉහතදී තමා පෙනහළු පිළිකා රෝඟියෙකු බව දැනගත් මොහොතේදීය. පසුගිය දිනවල නිතර නිතර උසාවි භූමිය තුළදී යුගාශ් හමුවද්දී ඒ ලෝබකම ආසාවක්ව සිතට වද දුන් අයුරු පුෂ්පානන්ද සිහි කලේ වේදනාවෙන්ය. තමාරාගේ සුදු පැහැය ගත්තාට ඔහු තමාගේ රූපයමය. මින් මාසයකට පමණ පෙර පුෂ්පානන්ද තමාගේ සියලු දේපළ යුගාශ් නමට පැවරූයේත් ඒ අසීමිත ලෝබකම දරාගනු බැරි වූ තැනදීය.
(යළිත් හමුවෙමු ආදරයෙන්……)