පුෂ්පානන්ද යුගාශ්ට එකඟව තමාරාගේ නිවසට ගියේ ඔහුගේ වාහනයෙන්මය. මදක් කෘෂව උන්නාට ඩෙනිම් කලිසමටත් තද කොළ පැහැති ටීෂර්ට් එකටත් ඔහු තවමත් කඩවසම්ය. අප්පච්චිගේ අසනීපය සිතට වදයක්ව තිබුණත් තමාගේ වාහනයේ දකුණු පස ඔහු මේ අයුරින් තමා සමඟ ගමන් කිරීමම යුගාශ්ට ජයග්‍රහනයක් වී තිබිණ.
“අප්පච්චි දැන් ටිකක් රෙස්ට් කරමු. අප්පච්චිව බලාගන්න මං ඉන්නවනේ.”
යුගාශ් එසේ පැවසූයේ හිතා මතා නොවේ. තම සිතැඟි වදන්වලට පෙරලී එළියට පනින අපූරුව ගැන ඔහු සිටියේ පුදුමයෙන්ය.
විවර වූ ගේට්ටුවෙන් ගෙවත්තට ඇතුළු වූ වාහනයේ සිටම පුෂ්පානන්ද යුගාශ් දෙස බැලුවේය. තමාරා බුද්ධ වන්දනාවෙහි යෙදී නිවස තුළට ගියේ මින් විනාඩි කිහිපයකට ඉහතදීය. වෙනදා තමා එනතුරු නන්දනී සමග මොනවා හෝ කියවමින් ආලින්දයට වී මග බලා සිටින අම්මා ඒ පුරුද්ද අත්හැර ඇතිබව පුෂ්පානන්ද හා පවසන්නට යුගාශ් ඉක්මන් වූයේ නැත. දැන් ඇගේ පිළිවෙල ඊට ඉඳුරාම වෙනස් එකකි.
“යමු..අපි අපේ ගෙදරට ආවා.”
“අම්මා..”
“අම්මා ඇතුලේ ඇති. ඒ ගැන හිතන්න එපා.”
එසේ පැවසූ යුගාශ් රියදුරු අසුනෙන් බැසවිත් පුෂ්පානන්දට පහසු වන සේ වාහනයේ දොර ඇරියේය.
“පුතා උඹ මට ලෙඬෙක්ට වගේ සලකනවට මම කැමති නෑ. මට ඕනේ මේ ලෙඬේ අමතක කරන්න මිසක් මම ලෙඬෙක් මම ලෙඬෙක් කියලා හිත හිත ජීවත් වෙන්න නෙමෙයි. එහෙම උනානම් මම මීට කලින් මැරිලා.”
“කවුද කියන්නේ ඔයා ලෙඬෙක් කියලා. බලන්නකෝ අපි දෙන්නා එක ළඟ හිට ගත්තහම මට වඩා ඔයා හැන්ඩ්සම්.”
“ලොකු මහත්තයා…..”
යුගාශ්ගේ වාහනයේ හඬට ආලින්දයට පැමිණි නන්දනීගේ දෑස් විසල් වූයේ පිය පුතු දෙපළ එක්ව දුටුවාට පසුවය. සිය දකුණතින් මුව වසාගත් ඕ සමාරාගේ කාමරයට දිව ගියේ අඩියට දෙකටය.
“නන්දනී….”
“මේවා…සුදු මහත්තයා..”
“ලොකු නෝනා.. ලොකු නෝනා… මාර වැඩේනේ වෙලා තියෙන්නේ සුදු මහත්තයත් එක්ක ලොකු සර්රුත් ඇවිත්..
“අම්මා..”
තමාරා නැගී සිටියේ කලබලයෙන්ය. නන්දනී පසු පසින් ඕ අලින්දයට පැමිණියේත් ඒ වදන් විශ්වාස කරනු නොහැකි කමකින් සේය.
පුෂ්පානන්ද සිටියේ විසිත්ත කාමරයේ සිටගෙනය. ඔහුට මදක් ඉදිරියෙන් දැවැන්ත සෙවනැල්ලක් සේ යුගාශ් සිටියේය. මින් මාස කිහිපයකට පෙර මෙම නිවසට පැමිණ තමාරාට තර්ජනය කර ආපසු හැරී ගිය අයුරු පුෂ්පානන්දට සිහි වූයේ එවේලෙහිය. එසේ පිටව ගොස් නිවසට කිලෝමීටරයක් පමණ එහායින් වාහනය නවතා ගෙන පසුතැවුණු බවත් ඔහුට සිහි වූයේ ඒ හදිසියේමය.
“අම්මා…අද ඉඳලා අප්පච්චි මෙහේ.”
යුගාශ් පැවසූයේ මදක් උස් වූත් පැහැදිලි වූත් ස්වරයකින්ය.
“මොනවද පුතා ඔයා මේ කියන්නේ පිස්සු හැදිලද?”
සමාරාගේ හඬත් ඊට දෙවැනි වූයේ නැත.
“නන්දනී..මගේ රූම් එකට එහා පැත්තේ රූම් එක අප්පච්චිට ලෑස්ති කරන්න. වාහනේ ඇඳුම් බෑග් එකක් තියෙනවා. ඒකත් උඩට අරගෙන එන්න. අප්පච්චි, අපි උඩට යමු.”
“යුගාශ්..මේ..”
“අප්පච්චි මේ ගෙදරට ආවේ මගේ ඉල්ලීමකට. අපි උඩට යමු අප්පච්චි. අම්මා කිව්වොත් අප්පච්චිට මේ ගෙදර ඉන්න බෑ කියලා මම එනවා අප්පච්චිත් එක්ක අප්පච්චිගෙ ගෙදරට යන්න. ඒ තීරණය වෙනසක් වෙන්නෙ නෑ අපි උඩට යමු අප්පච්චි.”
තත්පර කිහිපයක් තමාරා දෙස බලා උන් පුෂ්පානන්ද උඩුමහලට නැගුනේ යුගාශ් පසු පසින්ය. පසුකාලීනව යම් යම් වෙනස්වීම් වී තිබුණාට මේ නිවස ඔහුට අමුතු තැනක් නොවේ. කාමරය සූදානම් කර දෙන තුරු තම කාමරයේ සිටින්නයැයි පුෂ්පානන්දට පැවසූ යුගාශ් ආපසු පිටතට පැමිණියේ “නන්දනී” යැයි කෑ ගසා ගෙනය.
“ප්‍රශ්න ඇති කරගන්න එපා. මං හිතන්නේ නෑ අම්මා කැමති වෙයි කියලා මං මෙහේ ඉන්නවට. මට එහෙම ප්‍රශ්නයක් නෑ. කියන එක තේරුම් ගනින් පුතා. මගේ ඩ්‍රයිවර් මාව බලා ගන්නවා. සමරවීර හැම වෙලාවකම මගේ ළඟ හිටියා. මට කිසිම ප්‍රශ්නයක් නැහැ.”
“අප්පච්..සමරවීරයි මංගේෂ්වරීයි අප්පච්චිට සලකයි, බලයි ඒත් අප්පච්චි හොඳට මතක තියාගන්න ඒ අප්පච්චිගේ කවුරුවත් නෙමෙයි. තමන්ගේ මිනිස්සු ළඟ තියෙන සැනසීම, ආදරය පිට මිනිස්සු ළඟ නෑ. එහෙම තිබුණත් ඒවා තාවකාලිකයි. මට මේ ඇත්ත අම්මට කියන්න වෙනවා. අද ඉඳලා අපි තුන්දෙනා ආපහු එක පවුලක්.”
යුගාශ් කාමරයෙන් පිටවූයේ පුෂ්පානන්දට කිසිවක් පවසන්නට ඉඩක් ලබා නොදෙමින්ය. ඔහු යුගාශ්ගේ කාමරය පුරා දෑස් යැව්වේ ඒවායේ කඳුලක් තබාගෙනය. තමා සිටි කාලයට වඩා මෙම නිවසේ සියල්ල පිළිවෙලය. තමාගේ ලෙයින් ජනිත වී තිබුනේ පුතෙකු නොව රජෙකු බව විශ්වාසය. යටි සිත සතුටු වෙමින් සිටියේ බෙර ගසා නටමින්ය. එහෙත් තමාගේ අභිමානය තමාරා අබියස බිඳ දමන්නට නොහැකි කමකින් සේ පුෂ්පානන්දගේ උඩු සිත තැවෙමින් තිබිණ.
“ඔයා මොනවද මේ කරන්නේ?. ඒ පාර මොකක්ද මේ මනුස්සයා අල්ලගෙන නටන්න හදන නාඩගම. ඔයාට ඕන ඕන දේවල් මේ ගෙදර කරන්න බෑ යුගාශ් ඒක මතක තියාගන්න.”
තමාරා මඳක් උස් හඬින් පැවසූයේ යුගාෂ් පහත මාලයට පැමිණෙද්දීමය.
“අම්මා චුට්ටක් කලබල වෙන්නෙ නැතුව ඉන්න.”
“යුගාශ් ..කට වහගෙන හිටියට ඔයා කරන හැම දෙයක්ම මං පිළිගන්නවා කියලා හිතන්න එපා. ඔයා දැන් අපූර්වගේ ප්‍රශ්නෙ විසඳගන්න කලින් ඇයි මේ තවත් ප්‍රශ්නයක් ගෙදරට දා ගත්තේ. ඔයා හරියට අප්පච්චිව අඳුරන්නේ නෑ යුගාශ්. ඔය ඊයේ පෙරේදත් ඔයාට නඩුවෙන් අයින් වෙන්න කියලා මෙහෙ ඇවිල්ලා අඩි පොළවෙ ගහලා ගියපු මනුස්සයා. යුගාශ් හොඳට මතක තියාගන්න ඔයාට වඩා හොඳට මං ඔයාගේ අප්පච්චිව අඳුනනවා..”
“අම්ම ප්ලීස් ඒ ඉන්නේ කලින් ඉඳපු අප්පච්චි නෙමෙයි.”
“යුගාශ්…කැලේ මාරු උනත් කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නෑ යුගාශ්. ඔය ජීවිතේ කිසිම තැනකදි කිසිම දේකට සංවේදී වෙච්ච මනුස්සයෙක් නෙමෙයි. ටිකක් හරි එහෙම උනානම් ඒ සල්ලියි දේපළයි ලඟදි විතරයි. කරුණාකරලා ඔය මනුස්සයාට ආපු තැනකට යන්න කියලා කියන්න. එහෙම නොවුනොත් තව එක තත්පරයක්වත් මම මේ වහල යට ඉන්නෙ නෑ යුගාශ්. මං ඔයාට එක පැයක් දෙන්නම්.”
එසේ පවසමෙන් තමාරා අඩියට දෙකට කාමරයට ගොස් දොර වසාගත්තේ මදක් ශබ්ද නැගෙනා ලෙසය.
“නන්දනී.. යන්නකෝ උඩට ගිහිල්ලා අප්පච්චිට රූම් එක ඇරේන්ජ් කරලා දෙන්න. ඊට පස්සේ සීනි අඩු තේ එකක් හදලා ගිහින් දෙන්න.”
යුගාශ් තමාරාගේ කාමරය දෙසට ඇවිද ගියේ එසේ පවසමින්ය. ඇය උන්නේ දොර වසා ගෙනය. දොර ඉදිරිපස සිටගත් තරුණයා ‘අම්මා මේ දොර චුට්ටක් අරින්න..’ යැයි පැවසූයේ මද හඬකින්ය.
“මේ දවස් කීපයේම ඔයා මගේ හිත හොඳටම රිද්දුවා පුතා. ඔයාගේ ජීවිතේ මම ඉන්නේ කොතනද කියන එක ඔයා මට හොඳටම අවබෝධ කරලා දුන්නා. ඔයා, ඔයා කැමති විදිහකට ජීවත් වෙන්න.
මං දන්නෙ නැහැ ඒ මිනිහා ඔයාව රවට්ටගෙන මොනවද මේ කරන්න හදන්නේ කියලා”
“අම්මා අප්පච්චි දැන් ලෙඬෙක්..හැබැයි..ඔයා කවදාවත් එයාට ලෙඬෙක් විදිහට සලකන්න එපා. මං කියන දේ අහන් ඉන්න. ඊට පස්සේ තීරණ ගන්න”
“මොකක්ද යුගාශ් එයාට තියෙන ලෙඩේ. එයා ලෙඬ දා ගන්නවා මිසක්. එයා ඔයා කියපු ගමන් මේ ගෙදරට ආවනම් ඒකෙ අරමුණත් හොඳ එකක් වෙන්න බෑ.”
“අම්මා…ඔයා දොර ඇරිය නැති උනාට කමක් නෑ. එකම එක පාරක් මං මේ කියන දේ හොඳට අහගෙන ඉන්න. ඊට පස්සේ අම්ම තීරණයක් ගන්න. මාව දාල ගියපු අප්පච්චිට වෛර කරන්න කියලා ඔයා කවදාවත් මට කියලා දුන්නේ නෑ. හොඳට මතක් කරන්න මටම තේරිලා මමම අහනකල් ඔයා කවදාවත් කිව්වේ නෑ අප්පච්චි අපිව දාලා ගියා කියලා. ඔයා කිව්වේ අප්පච්චි වැඩ වලට ලේසි නිසා ටවුන් එකේ නතර වුණා කියලා. මේ අප්පච්චිට අපිව ඕන කාලේ අම්මා. එහෙනම් ඔයා මාව හදල තියෙන්නේ වැරදි විදිහට. ඔයාට තිබුනා මට කියන්න අප්පච්චි දැක්ක තැන රවලා අහක බලාගනින් කියල”
“යුගාශ්….ඔය මනුස්සයා හොඳ මනුස්සයෙක් නෙමෙයි. ඔය මනුස්සයා කාට ලං උනත් ඒ හොඳකට නෙමෙයි.”
“අප්පච්චි අපිට ලංවෙන්න ආවේ නෑ අම්මා. මමයි ගිහිල්ලා අප්පච්චිව එක්කරගෙන ආවේ. අම්මා අප්පච්චිට පෙනහළු වල කැන්සර් එකක්. එයාට ජීවත් වෙන්න තියෙන්නේ තව ටික කාලයයි. ඒක පැහැදිලිවම දැනගත්තට පස්සේ තමයි අම්මා මං අප්පච්චිව එක්කරගෙන ආවේ. එයා ඔයාවයි මාවයි දාලා ගියා. ඔයාගේ ඇස් දෙකේ හිස්කමක් කඳුලක් දකින පාරක් වාරයක් ගානේ මං ඔයාට ල උනා. ඒත් මේ මං අප්පච්චිත් එක්ක ඉන්න ඕන කාලේ අම්මා. ඒක එහෙම නොවුනොත් මම මැරි මැරි උපදින මිනිහෙක් වෙයි. අම්මා අප්පච්චිට මේ ගෙදර ඉන්න ඉඩ දෙන්නෙ නැත්තං මම අප්පච්චිත් එක්ක එයාගේ ගෙදරට යනවා. මාව නවත්වන්න එපා අම්මා ප්ලීස්.”
යුගාශ්ගේ දෑස් කඳුළින් තෙත්ව තිබිණ. දොර ඇරුනේ ඔහුව මදක් පසුපසට තල්ලු කරමින්ය. තමාරා වෙව්ලමින් උන්නාය. ඔහු පැවසූ මේ කිසිවක් අදහාගනු නොහැකි කමකින් සේ ඇය උන්නේ දෑස් සේම මුවත් විසල් කරගෙනය.
“මොනවද යුගාශ් ඔයා කිව්වේ..අ..අප්ප..ච්චිට කැන්..සර් එකක්..”
“මෙහෙන් ඉඳගන්න අම්මා..”
තරුණයා තමාරාගේ දෙවුරහිස් වලින් අල්ලාගෙන පසෙක වූ ඇඳ මතින් ඉන්ද වූවේය.
“ඔව් අම්මා…ඒ රිපෝට්ස්වල හැටියට අප්පච්චිට ලොකු කාලයක් නෑ.”
“පු..පුතා..මේ..”
“අවුරුදු තුනක් තිස්සෙම අප්පච්චි කාටවත් නොකියා මේ ලෙඩේට ට්‍රීට්මන්ට්ස් කරලා තියෙනවා අම්මා. අදටත් එයා කැමති නෑ එයා ලෙඬෙක් කියලා ලෝකයා දැන ගන්නවට.”
එසේ පැවසූ යුගාශ් පංචාලිගේ දුරකථන ඇමතුමේ සිට සියල්ල තමාරාට පැවසූයේ ඉවසිල්ලේය.
“අද මේ ගමන එන්න අප්පච්චි කැමති වුණේ නෑ අම්මා. අන්තිමට මම තදින්ම කියලා හිටියා මං අප්පච්චි එක්ක නතර වෙනවා කියලා. ඒ වෙලාවේ අප්පච්චි කිව්වා අර ගෑනිගේ පපුව පැලිලා මැරෙයි කියලා. මං හිතන්නේ අප්පච්චි මෙහෙට එන්න කැමතිි වුණේ මං එහෙම තීරණයක් ගනියි කියන බයට. ඩොක්ටර්ස්ලා කියන්නේ එයා කැමති විදිහට මේ කාලෙ එයාට ජීවත් වෙන්න ඉඩ දෙන්න කියලා. සමහර විට මම මේ කලේ වරදක් වෙන්න ඇති අම්මා. ඒ උනාට ජීවත්වෙන අන්තිම කාලෙ හරි එයාව සතුටින් තියන්න ඕනේ කියලා හැඟීමක් විතරයි මට ඇති වුණේ. ප්ලීස් මට ඒක කරන්න ඉඩ දෙන්න.”
තමාරාගේ දෑස් වලින් කඳුළු කඩා වැටෙමින් තිබුණේ ඇයත් නොදැනුවත්වමය. යුගාශ් උන්නේ තමාරාගේ දෙපා පාමුල අසුන්ගෙන ඈ දෙස බලාගෙනය.
“අම්මා මොන දේ මොන විදිහට සිද්ධ වුණත් මේ ඔයා ජීවිත කාලෙම ආදරේ කරපු එකම පිරිමියා. එයාට කාත් කවුරුත් නැති විදිහට මැරිල යන්න අපි ඉඩ දෙන්න ඕනද අම්මා. උඩ බැල්කනි එකට වෙලා ඔයා අප්පච්චි එනකල් මග බලාගෙන ඉඳපු දවස් ඕන තරම් ඇති. අප්පච්චි එයාගේ වැරදි තේරුම් අරගෙන ඔයාගේ ළඟට එයි කියලා ඔයාගේ හිතේ හැමදාම බලාපොරොත්තුවක් තිබුණු බව මං දන්නවා. අම්මා මං අප්පච්චිව කියෙව්වා. එයාට ඕනෙ පුෂ්පානන්ද විදිහට මැරිල යන්න නෙමෙයි අම්මා. ඔයාගේ හස්බන්ඩ් විදිහටයි මගේ අප්පච්චි විදිහටයි මැරිලා යන්න. ප්ලීස් අප්පච්චිට සමාව දෙන්න අම්මා මම වෙනුවෙන් වත්..”
“යුගාශ්…ඇත්ත ඔයා ඔය කියන විදිහට මගේ ජීවිතෙන් බාගයක්ම ගතවෙලා ගියේ එයා එයාගේ වැරදි තේරුම් අරගෙන ආපහු එයි කියන බලාපොරොත්තුවෙන්. හැබැයි එක දවසකදි මං තේරුම් ගත්තා එයා කවදාවත් ආපහු අපි ළඟට එන්නේ නෑ කියලා. එදා ඉඳලා මං පාර බලන් හිටියේ නෑ. එහෙම කලානම් ඒ ඔයා වෙනුවෙන් විතරයි. අප්පච්චි ගැන තරහක් මගේ හිතේ කවදාවත් තිබුණෙ නෑ පුතා. ඒත් පුදුමාකාර කළකිරීමක් මගේ හිතේ තිබුණා. ඔයාට අප්පච්චිගේ හුළඟවත් වදින්න හොඳ නෑ කියන හැඟීමක් මගේ හිතේ තිබුණා.”
“අම්මා…
“ඔච්චර බැගෑපත් වෙන්න ඕන නෑ යුගාශ්. අප්පච්චි එයා කැමති විදිහකට මෙහෙ ඉඳපුවාවේ. හැබැයි මට ටික කාලයක් ඕන වෙයි.”
“ඔයා කාලය ගන්න අම්මා. හැබැයි එයා ලෙඬෙක් කියන එක එයාට දැනෙන්න දෙන්න එපා. හිතේ සැනසිල්ලෙන් එයාට ඇස් දෙක පියාගන්න ඉඩ දෙන්න ඕනේ. මේ ගෙදරින් එළියට බැහැලා එයා තවදුරටත් පුෂ්පානන්ද විදිහට මේ ලෝකයා එක්ක ගැවසේවි. හැබැයි මේ ගෙදරට ආවට පස්සේ එයා මගේ අප්පච්චි. පහුගිය කාලේ එයාව බලාගෙන තිබුනෙ සමරවීර. ඉස්සරහටත් සමරවීරගේ උදව් අප්පච්චිට ඕන වෙයි අම්මා. ඒ නිසා පල්ලෙහා ඩ්‍රයිවර් රූම් එක අස් කරලා අප සමරවීරට ඉන්න කියමු.”
“ඔයා කැමති විදිහකට ඕනම දෙයක් කරන්න. මට ආඩම්බරයි. මං හදල තියෙන්නෙ පුතෙක් නෙමෙයි. රජෙක්…
තමාරා එසේ පැවසූයේ යුගාශ්ගේ හිස අතගාමින්ය. මින් විනාඩි කිහිපයකට පෙර මුවින් නොකිව්වාට පුෂ්පානන්දත් මේ අදහසම දැරූබව ඈ දැන උන්නේ නැත. පුෂ්පානන්දට මුහුණ දීම හෝ ඔහු හා කතා කිරීම, යළිත් ඥාති සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීම ලෙහෙසි පහසු එකක් නොවන බව විශ්වාසය. එහෙත් යුගාශ් පැවසූ පරිදි ඔහුට සැනසිල්ලේ දෑස් පියා ගන්නට ඉඩ දිය යුතුය.
(යළිත් හමුවෙමු ආදරයෙන්)