ඔබෙ ආදරෙන් මා දැවේ – 29

0
1624

තුරුණු කිසිදාක තමන්ව එහෙම තැනකට එක්කරගේන ඒවියැයි ජාන්වි බලාපොරොත්තු නොවුන බව ඇත්තකි. එහෙත් ජිවීතය අපේ අතට, අපේ ළඟට ගෙනවිත් දෙන්නේ හැමවිටම අපි බලාපොරොත්තු වන දේවල්ම නොවන බව ජාන්වි දැනගත්තේ අද නොවේ. මෙයට බොහෝ දිනකට පෙර ය.

ජීවිතය සෑම විටම අප ඉල්ලන දේ ලබා නොදේ. එය ජීවිතයේ ඇති අතිශය දුෂ්කර සත්‍යයන්ගෙන් එකකි. අපි සැලසුම් සකස් කරමු, ඇතැම් මාර්ග පිළිබඳව සිහින දකිමු, අප සිතන ආකාරයටම දේවල් සිදුවීමට ප්‍රාර්ථනා කරමු. නමුත් ජීවිතයටම ආවේණික වූ රිද්මයක්, සැඟවුණු සිතියමක් ඇත. එය බොහෝ විට අපව කිසිදා නොසිතූ ස්ථාන කරා රැගෙන යන බවත් ඇතැම් විට අපි සතුට ඉල්ලා සිටින නමුත්, ඒ වෙනුවට අභියෝග ලැබෙන බවත් සමහර විට අපි ආදරය ඉල්ලා සිටින නමුත්, ඒ වෙනුවට තනිකම අපට හිමි වන බවත් ජාන්වි මෙන්ම තුරුණුද ඉගෙන ගත්තේ ජීවත් වීමෙන්මය.

මුලදී මෙය අසාධාරණයක් ලෙස කෙනෙකුට දැනෙන්නට හැක. ලෝකය අපට සවන් දීමට අකමැති බවක් හැඟෙන්නට හැක. එහෙත් කාලය ගතවන විට, ජීවිතය අපට ලබා දෙන්නේ අපට අවශ්‍ය දේ නොව, අපගේ වර්ධනයට, වෙනස් වීමට සහ ජීවිතයේ ගැඹුරු අර්ථය තේරුම් ගැනීමට අවශ්‍ය දේ බව අපට වැටහෙන්නට පටන් ගන්නා බවද අපට ඉගෙන ගන්නට හැකියාව ලැබෙන්නේ ජීවත්වීමෙන්ම පමණකි. ජීවිතය අපව හැඩගස්වන්නේ අපගේ සෑම ආශාවක්ම ඉටු කිරීමෙන් නොව, අපව පරීක්ෂා කිරීමෙන්, අපව බිඳ දැමීමෙන් සහ පසුව අප විශ්වාස කළාට වඩා ශක්තිමත් බව අපට පෙන්වීමෙනි. 

ජාන්වි උන්නේ තමන් ඉදිරියේ පෙනෙන කොළඹ කාර්‍යබහුලත්වයෙන් මිදුණ කුඩා ගම්බද ප්‍රදේශයක, තුරුණු විසින් නිස්කලංක යැයි කියන්නට යෙදුන තැනක් දිහා බලාගෙනය.

“අමරසිංහ වැඩිහිටි විවේක නිවහන” යැයි ලී පුවරුවක ලියූ ඇරඹුමක සිට ගල් ඇතිරූ පාරකුත්, දෙපස හයිඩ්‍රේන්ජියා පැල වවා තිබූ උද්‍යානයකුත් මැව්වේ සුන්දර දසුනක් නමුත් මෙවන් තැනක තනිවන්නට, නතර වන්නට එන්නට සිදුවන මේ වැඩිහිටියන්ට තිබෙන්නේ එයාකාරම සුන්දර ජිවිතයක් විය හැකිද කියන ගැටලුව ජාන්විගේ හිතට ආවෙ නැතුව නොවේ. 

කුලී රියට මුදල් ගෙවා ඒ රිය පිටත් කර හැරි තුරුණු ජාන්වි වෙත ඇවිද ආවේ ජාන්විගේ හිත අස්සේ ප්‍රශ්න බොහොමයක් ඇති බව දැනගෙනය.

“මනුස්සයෙක්ට තියෙන ජීවිතේ ලොකුම බය මොකද්ද?” කියා තුරුණු අහද්දි මෙතෙක් වේලා වැඩිහිටි විවේක නිවහන වෙත අලවාගෙන උන් දෙනෙත ඉන් මුදාගෙන තුරුණුගේ නෙත් වෙත අලවගන්නට ජාන්වි කටයුතු කරද තුරුණු විසින් අසන්නට යෙදුණ ප්‍රශ්නයට දිය යුතු පිළිතුරක් ජාන්වි දැනගෙන උන්නෙ නැත. 

ජාන්විට ඒ ගැන හිතන්නට මද වෙලාවක් දුන් තුරුණු ජාන්වි ළඟම සිටගෙන ඇගේ දෙනෙත් දෙසම බලාගෙන ඉද්දී ජාන්විට මොහොතකට අතීතය මතක් නොවුනා යැයි කියන්නට නොහැක. එදවසත් තමන්ට වඩා අඩි කීපයක් උස, කඩවසම් තරුණයෙකු වූ තුරුණු තමන් දිහා මෙයාකාරයෙන් බලා උන් නිමේශයන් අවසන් උනේ තමන් විසින් ඇඟිලි තුඩු වලින් ඉස්සී ඒ ලැජ්ජාශීලී තරුණයාගේ කම්මුල්, දෙතොල්, ගෙල හෝ රෝම පිරුණු පපුව මත තබන්නට වූ හාදුවකින් බව ජාන්විට මතක් විය. එදා මෙන්ම අදත් තමන්ගේ නහය ඔස්සේ පපුව අස්සේ ගොස් හිරවෙන්නේ ඒ සොඳුරු තුරුණු වියකට උරුම පිරිමි සුවඳ බව ජාන්විට තප්පර ගානකට මතක් විය.

දෙනෙත් තුරුණුගෙන් මිදී ආයෙම නිවහන වෙත ඇලවුනේ ඒ හැඟීමට ජාන්වි බිය වූ නිසාවෙන් ය. තුරුණු සෙමෙන් ඉදිරියට ඇවිදගෙන යද්දී ජාන්වි ඔහුට සමගාමීව ඒ මග වැටුනේ ඒ තමන්ව බියපත් කරන්නට යෙදුන සියලුම සිතුවිලි අමතක කර දමමිනි.

එහෙත් ඒ තාවකාලිකව බව ජාන්විවත් එවෙලේ දැන උන්නේ නැත. 

“ඇත්තටම මනුස්සයෙක්ට මොකද්ද ජාන්වි තමන්ගෙ ජීවිතේ තියෙන ලොකුම බය?” කියා තුරුණු අහද්දී ජාන්වි එයට උත්තර දුන්නාය.

“මට ඇත්තටම හිතාගන්න බෑ”

“මනුස්සයෙක්ට මේ ලෝකෙ තියෙන ලොකුම බය තමයි තමන් කවදහරි තනිවෙයි කියන බය ජාන්වි”

ඇවිදගෙන ගිය තුරුණු හයිඩ්‍රේන්ජියා මල් ගොන්න මැද්දේ තනිව තිබුන හිස් ලී බංකුවක වාඩි උනේ ජාන්විට අතෙන් තමන්ට එහා පසින් වාඩිවෙන්න යැයි කියමිනි. ජාන්වි එහි වාඩි උනේ අවට නිහඬ වත්ත දෙස බලමිනි. සවස හිරු බැස යමින් තිබූ අතර, සෙවණැලි තණකොළ හරහා විහිදී යනයුරු බලාගෙනම ජාන්වි උන්නේ තුරුණු කතාව කියන තුරුය. එහෙත් තුරුණු නැවත කතා කිරීමට පෙර දිගු නිහැඬියාවක් ගත්තේය. ඒ වචන වඩා ප්‍රවේසමෙන් තෝරාගන්නටය.

“ජාන්වි… මම ඇයි එහෙම කිව්වේ කියලා දන්නවාද? මිනිස්සු හිතන්නේ එයාලගේ ලොකුම බය සල්ලි නැති වෙන එක, රැකියාවක් නැති වෙන එක, නැත්නම් මැරෙන එක කියලා. හැබැයි හොඳට බැලුවොත්, අපිව බය කරන ඇත්තම බය ඒක නෙවෙයි. ඕනම මනුස්සයෙක්ගෙ හිතේ තියෙන ලොකුම බය තමයි තනි වෙන බය.”

ජාන්වි ඇස් පහත් කරගෙන නිහඬව සිටියේ, කල්පනා කරමිනි.

“හැබැයි… තනි වෙන එකත් සමහර වෙලාවට සාමකාමී වෙන්න පුළුවන් නේද? සමහර මිනිස්සු ඒක තෝරා ගන්නවා.”

තුරුණු හෙමින් හිනාවෙලා, ඔළුව වැනුවේය.

“ඒකේ වෙනසක් තියෙනවා. ඔයා තෝරාගන්න නිශ්ශබ්දතාව කියන්නෙ එක්තරා විදියක සාමයක්. ඔයාව තෝරාගන්න නිශ්ශබ්දතාව කියන්නේ තනිකමක්. එකක් නිදහසක් වගේ දැනෙනවා. අනිත් එක දඬුවමක් වගේ දැනෙනවා. හිතලා බලන්න ඇයි මිනිස්සු සබඳතා, යාළුකම්, පවුල් බැඳීම් පස්සේ දුවන්නේ, සමහර වෙලාවට ඒක අවුල් වුණත්, වේදනාවක් වුණත්? ඒක මොකද, හදවතින්ම කවුරුවත් මේ ලෝකේ තනියම ඉන්න කැමති නැති නිසා.”

“එතකොට… ඔයා කියන්නේ අපි හැමෝම ජීවත් වෙන්නේ තනිකම මගහරින්න කියලාද?”

“හරියටම එහෙම නෙවෙයි. අපි ජීවත් වෙන්නේ ආදරය කරන්න, බෙදා හදාගන්න, මතකයන් හදන්න. හැබැයි ඒ හැමදේම යටින් බැලුවොත්, ඔව් අපේ ආදරය හොයන එක, යාළුකම්වලට තියෙන අවශ්‍යතාවය, දරුවො එහෙම නැත්තම් පවුලෙ අය, ආදරේ කරන අය අතඇරලා දාලා යන්න තියෙන බය ඒ හැමදේම එන්නේ ඒ හන්දා. ඒකයි මහලු මිනිස්සු දරුවන් එනකම් බලන් ඉන්නේ. ඒකයි තරුණ අය ෆෝන් එක අස්සෙම එබිලා ඉන්නේ. මොකක් හරි තනි නොවෙන සම්බන්ධයක් හදාගන්න. ඒකයි ආදරේ කරන අය රණ්ඩු වෙලා ආයෙත් එකතු වෙන්නේ. ඒක දුර්වලකමක් නෙවෙයි. ඒක තමයි මිනිස් ගතිය. මිනිහෙක් වෙනවා කියන්නේ අනිත් අය අවශ්‍ය වෙනවා කියන එක. අමතක වෙන එක මැරෙනවට වඩා නරකයි කියලා හිතන ඒ බය තමයි අපිව රිලේශන්ශිප්ස් හදාගන්න පොළොඹවන්නේ”

“එහෙනම් සමහරවිට අපිට කරන්න පුළුවන් නිර්භීතම දේ ඒක පිළිගන්න එක වෙන්න ඇති. තනිකම අපිව අල්ලගන්නවා කියලා දැනගෙන, හැබැයි ඒකට අපේ ජීවිතේ විනාශ කරන්න නොදී ඉන්න එක.”

“ඇත්ත ඒත් ඔයා හිතනවද ඒක කරන්න ලේසි දෙයක් කියලා?” තුරුණු අහද්දී ඒකට පිළිතුර නෑ කියන එක බව ජාන්වි කිව්වේ හිස වනාය.

“නිස්කලංක තැනකට එක්කරගෙන යන්නම් කියල මං ඔයාව මෙතනට එක්කරගෙන ආවෙ මේ ඇරෙන්න වෙන නිස්කලංක තැනක් මට නැති හන්දා ජාන්වි. මං සතියකට පාරක් මෙතනට එනවා. මම ඇත්තටම මෙතන මෙම්බර් කෙනෙක් ජාන්වි” කියා තුරුණු කියද්දී හිත ගැස්සුන වේගයට ඇස් ද ගත ද ගැස්සුණ බව ජාන්විට ස්ථිරය.

“මෙම්බර් කෙනෙක්? ඔයා? ඇයි ඒ?”

“මම කවදහරි මගෙ අම්මයි තාත්තයි නැති දවසක තනිවෙනවා කියල මම දන්නව ජාන්වි. මේක අර අපි දන්න දරුවො දාලා ගිය අම්මල තාත්තල ඉන්න එල්ඩර්ස් හෝම් එකක් නෙවෙයි. මෙතන ඉන්න ගොඩක් අය මැරි කරේ නැතුව, දරුවො, වෙන රෙලටිව්ස් ලා කවුරුවත් නැතුව තනිවෙච්ච අය. එයාලව බලාගන්න, එයාලට ඉන්න වෙන තැනක් නැහැ. මේක ඔස්ට්‍රේලියන් කම්පනි එකකින් තමයි ෆන්ඩ් වෙන්නෙ ලංකාවෙ එන් ජී ඕ එකක් එක්ක පාට්නර් වෙලා. 

අපිට පුලුවන් මෙතනට ඩොනේශන්ස් දෙන්න. මමත් මාසෙකට පාරක් සල්ලි, වියලි ආහාර ද්‍රව්‍ය වගේ ගෙනත් දෙනවා. මම මගෙ නම ලිස්ට් එකට දාලා තියෙන්නෙ. කවදහරි බැරිකාලෙක මෙතනට එන්න පුලුවන් නෙ” කියා කියද්දී තුරුණුගේ මුව අග තිබුනේ සිනාවක් බව ඇත්තක් නමුත් ඒ සිනාව කෙලවරක තනිවිම ගැන මහ වේදනාබර කතාවක් ලියවී තිබෙන අයුරු හඳුනාගන්න ජාන්විට අපහසු උනේ නැත.

“අනේ තුරුණු” කියා කියද්දී දෙනෙත් පුපුරවමින් කඳුලු කැට කම්මුල් දිගේ වැගිරෙද්දේ ජාන්වි අඬාගෙනම හයිඩ්‍රේන්ජියා ගොන්න මැද්දෙන් ආයෙම වතාවක් වැඩිහිටි නිවාසයේ පිවිසුම් මාර්ගය වෙත දුව ගියාය.

ඒ තවත් එතන උන්නොතින් තමා තුරුණුගේ පපුව මත හිස තබාගෙන අඬා වැලපේ යැයි බියක් හිත කීරිගස්සන්නට හේතු වූ නිසාවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here