ඒ ගිනි බෝම්බය ධර්මවර්ධන නිවසට කඩා වැටුණේ සියල්ලන්ම නිවසේ උන් සති අන්තයේ දවසකය. අම්මා හදන කෑම කන්නට ආසාවෙන් ආන්‍යාව ගෙදරට එක්කරගෙන ඇවිත් උන් නිසල් උන්නේ ඉස්සරහා සෙටියෙ හාන්සි වී අනිල් ධර්මවර්ධන එක්ක පරණ සිංහල චිත්‍රපටයක් බලන ගමන් ය.
හිටි හැටියේ කිසිත් පෙර දැනුම් දීමක් නැතිව ගේ මැද්දට කඩං පැන්න ඒ බෝම්බයට නිසල් සහ අනිල් ධර්මවර්ධන මුහුණෙන් මුහුණ බලාගනිද්දී මනෝරමාත්, ආන්යාත්, ජාන්විත් කුස්සියේ සහ උඩු මහලේ සිට පහලට ආවේ දුවගෙන මෙන් ය.
“මොකද්ද මේ දික්කසාද වෙන්න යනවය කියන කතාව? ඔය දරුවා ඔහොම කලබලේ තමන්ගෙ තනි මතේට තීරණ ගන්න යන්න කලින් හරිනම් හිතන්න ඕන නේද මොක උනත් මේ තමන් කසාද බැඳලා ඉන්නෙ නිකන්ම නිකන් පිරිමියෙක් නෙවෙයි ලංකාවෙ ජනප්‍රිය කොල්ලෙක් කියන එක? මොන ලැජ්ජාවක්ද ඒ දරුවට වෙන්නෙ කියලා මේ දික්කසාද නඩුවක් දාගත්තම. අනික මේ ජනප්‍රිය වෙලා ගොඩ එන්න ප්ලැන් එකක් ගහන් ඉන්න වෙලාවෙ ඒ ළමයා” කියා මලිත් ගේ අම්මා ගෙයි මැද සාලයේ සිටගෙන ඉණට අත් දෙක තියාගෙන අහද්දී ජාන්වි උන්නේ කරකියා ගන්නට දෙයක් නැතුවය. අක්කාගේ හිතේ ඇති වූ තිගැස්ම තේරුම්ගත් ආන්යා අක්කා ළඟට කිට්ටු වී ඇගේ එකාතකින් අල්ලගත්තේ “කලබල වෙන්න එපා අක්කේ” යැයි නොකියා කියන්නට මෙනි.
මලිත්ගේ අම්මා වන චිත්‍රා තමන් සහ මලිත් අතර ප්‍රේමය ඇති උන යුගයේදීත් තමන් සහ තමන්ගේ පවුලේ අය දිහා බැලුවේ තමන්ට වඩා පහල ස්ථරයක ඉන්නා අයකු දෙස බලන මානසිකත්වයෙන් වග ජාන්විට අමතක නොවේ. එහෙත් ඒ කාලයෙත් “මම මලිත් එක්ක වෙනමනෙ ජීවත්වෙන්නෙ” කියා හිත කියු සිතුවිල්ල මලිත්ගේ අම්මලාගේ හැසිරීම් රටා ගැන නොසිතා හිඳින්නට තමන්ව මෙහෙය වූ බව ජාන්විට අමතක නැත.
“දික්කසාදෙකින් ලැජ්ජ වෙන්නෙ කොල්ලෙක්ට විතරක් ය” කියා අම්මා වෙච්ච මනෝරමාගේ මුවින් නික්මුණේ මලිත්ගේ අම්මා විසින් කියන්නට යෙදුන කිසිත් වචනයකට විරුද්ධව කිසිම දෙයක් කියාගන්න පුලුවන්කමක් එතන උන් කිසිවෙකුට නොතිබූ නිසා බව තේරුම් ගන්න ජාන්විට අපහසු උනේ නැත. අනෙක් අතට ජාන්වි දුක් උනේ අම්මා කෙනෙක්ට මේ උහුලන්නට වූ දුක් කන්දරාව දෙන්නට හේතු උනේ තමන් වීමය.
“කියන්න ලේසියි ඉතින් එහෙම නේද? ලැජ්ජාව වෙන්නෙයි, සෑහෙන කතන්දර අහගන්න වෙන්නෙයි ඒවට උත්තර දෙන්න වෙන්නෙයි අපෙ එකාට හන්දා ඔහොම කියන එක හරි ලේසි. අම්මා කෙනෙක් විදියට මං එපාය උහුලන්න අපෙ දරුවට වෙන ප්‍රශ්න කරදර?
අනික ළමයො ඔය ළමයම නේද විශ්ව විද්‍යාලෙ යන කාලෙ ඉඳලා මේ අපෙ එකාගෙ පස්සෙන් ඇවිල්ලා කසාදයක් ඉස්සර කරගත්තෙ? එහෙම එකේ ඒ කසාදෙ කටුගාන්න යනවා නම් දෙපැත්තෙ මව් දෙමව්පියො ඉස්සර කරගෙන ඒකට උත්තර හොයාගන්න ඔය දරුවට තේරුම්කමක් තියෙන්න ඕන නේද? ඉගෙන ගත්තෙ නැති ළමයි නෙවෙයිනෙ. ඔය දරුවා විශ්ව විද්‍යාලෙ එහෙම ගිහින් මොන මොනවාහරි ඉගෙන ගන්න ඇති නේද?
අනික හොඳටම දන්නවනෙ අපෙ එකා ඔය අනිත් කොල්ලො වගේ නෙවෙයි කියලා. ඔය ළමයා ඒව දැනගෙන වෙන්නැතිනෙ මේ කසාදෙ කරගන්න ඇත්තෙ. එහෙම එකේ දැන් මලිත්ගෙ පිට වරදක් දාලා මෙහෙම දික්කසාදයක් කරගන්න යන එක මොන ලැජ්ජාවක්ද? මලිත් මටවත් කොටින්ම ඔහොම කතාවක් කිව්වෙ නෑ. මේ අපේ නුවර අක්කා මොකද්ද ෆේස් බුක් එකේ ගිය වීඩියෝ එකක් දැකලා මට කෝල් කරලා අහනකම් මම හාංකවිසියක් දැනන් උන්නෙ නෑ මෙහෙම කතාවක්. අනික කසාද බැන්දයින් පස්සෙ අපෙ එකා වෙනදා වගේ ගෙදර එන්නෙත් නෑනෙ.
අනේ ළමයො කසාද බැඳලා මුල් කාලෙ ගැනු පිරිමි දෙගොල්ලෙ අතරෙ ඕන තරම් ප්‍රශ්න එනවා. ඒවට මේ තියෙන එකම උත්තරේ දික්කසාද වෙන එක නෙවෙයි. කතා බස් කරලා විසඳගන්න ඕන ප්‍රශ්නවලට පවා ඔය ළමයි කලබල වෙලා දික්කසාද වෙන්න යන එකනෙ කරන්නෙ? අනික මොකද්ද දැන් මේ මලිත් ඔය කියන කතාව? ඔය ළමයා රණ්ඩුවෙලා ගෙයින් එලියට බැස්ස බැස්සමයි ආයෙ කතාකරන්නවත් කැමති නෑ ආයෙ එක්කහු වෙන එකක් ගැන කියලා.
එහෙම පුලුවන්ද මං අහන්නෙ? ගෑනියෙක් උනාම පොඩ්ඩක් නැමෙන්න කරන්න එපාය. මොක උනත් මේ වෙලාවෙ ඔය ළමයා හිතන්න ඕන නේද මලිත් ගෙ පැත්තෙනුත්? ඒ ළමයට කොච්චර ප්‍රශ්න වලට මූණ දෙන්න වෙනවද කියලා මේ වගේ කතන්දර පැතිරෙන්න ගත්තම මේ ඔලුව උස්සගන්න පටන් ගත්ත ගමන්” කියා චිත්‍රා කියාගෙන කියාගෙන යද්දීවත් ජාන්වි උන්නේ එයට උත්තර දෙන්න පුළුවන් තැනක නොවේ.
මලිත්ගේ අම්මා වෙන චිත්‍රා කොහොමත් පුතා ලංකාවෙ ජනප්‍රිය සංගීතකාරයෙකු වීම ගැන උන්නේ එක්තරා දුරක ආඩම්බරයකින් බවත්, එය ඇගේ නෑයන් මැද්දේ ඇයව මදක් ඉහළ ස්ථරයක තබන්නට හේතු වුන බවත් ජාන්වි දැනගෙන උන්නාය. කොහොමත් සාමාන්‍ය, ඉහළට ඉගෙන ගත්තේ නැති ගැමි කාන්තාවක වූ මලිත්ගේ අම්මාට පිම්බෙන්නට තිබුණ එකම කාරණාව උනේ මලිත් මංචනායක ලාංකේය සංගීත කලාවට අලුතෙන් පෑයූ තරුවක් වීමය. ඒ තාරකාවේ දිස්නයෙන් දිළිසුණේ මලිත් පමනක් නොවන බවත්, ඒ දිස්නය තමන්ටත් උරුම බවත් චිත්‍රා එදා මෙදාතුර හිතාගෙන උන් බව ජාන්විට නොරහසකි. බිරිඳ සමග සහභාගි විය යුතු වැඩසටහන් කොතෙක් මග හැරියද, අම්මා සමග සහභාගි වන්නට තිබෙන මව්වරුන්ගේ දින වැඩසටහන්වලට අම්මා සමග සහභාගි වූ මලිත් මංචනායක චිත්‍රාගේ ඒ අදහස්වලට පොහොර දැමීම සිදු කල බවද ජාන්වි නොදන්නවා නොවේ.
එහෙත් මලිත් වනාහී අම්මා ඔය හිතාගෙන ඉන්නා අන්දමේ සීනි බෝල බබෙක් නොවන බව කියන්නට ජාන්විට හිත් දුන්නේ නැත. මොක උනත් අම්මා කෙනෙකු ඉස්සරහා “අම්මගෙ මහ ලොකු පුතා මේ දවස්වල නිදාගන්නේ අම්මාගෙ වයසෙ ගෑනියෙක් එක්ක” කියා කියන්නට ජාන්වි අධ්‍යාපනයෙන් මෙන්ම ජීවත්වීමෙන් ලද වැදගත්කම වැට බැන්දාය.
“වාඩිවෙලා කතාකරන්න ඕන කාරණානෙ මේව. චිත්‍රා නෝනා වාඩි උනා නම්” කියා තාත්තා කියද්දී නිසල් සහ ආන්යා උඩු මහලට ගියේ වැඩිහිටියන් අතර විය යුතු මේ කතන්දරේට තමන් කිසිසේත්ම මැදිහත් නොවිය යුතු බව තේරුම්ගත් නිසාවෙනි. ජාන්වි වැඩිහිටියන් මැද්දට වී උන්නේ දියෙන් ගොඩගත් මාලුවෙක් මෙන් ගැහෙමිනි. වචනෙන් නොකිව්වාට තමන්ගේ අම්මා හිඳින්නේද මලිත් ගේ අම්මා හා සමාන සිතුවිලි දහරාවක් අස්සේ කිමිදෙමින් බව තේරුම්ගන්නට ජාන්විට අපහසු උනේ නැත.
“පුතේ ඔයා ගිහිල්ලා තේ ඩිංගක් වක්කරන්නකො මේ අම්මට බොන්න” කියා තාත්තා කියද්දී ඒ තමන්ට හිතන්නට දෙයක් තිබේනම් එය හිතන්නට දුන් මද ඉඩ විරාමයක් බව තේරුම්ගන්න ජාන්විට අපහසු උනේ නැත.
කුස්සියට ගොස් තේ වතුර උණු වෙන්නට තබා ඉද්දිත් ජාන්වි උන්නේ මේ කතාබහ කුමනාකාරයකින් අවසන් කරන්නට සිදුවේද යන චකිතයකිනි. අම්මාගේ මේ ගමන ගැන මලිත් දන්නවා ඇතිය යන කාරණාවත් චිත්‍රාගේ මේ ගමන පිටිපස්සෙ මලිත් විසින් මෙහෙයවන්නට යෙදුන සම්පූර්ණ බොරුවක් සහිත කතාවක් තියෙන්නට හැකි බවත් තේරුම්ගන්න ජාන්විට හැකි විය. තේක උණුවෙන තරමටම හිත තිබුනෙ පිච්චි පිච්චීය.
එහෙත් ඒ පිච්චීම වනාහී තමන් විසින්ම ඇතිකරගන්නට යෙදුණක් බව ජාන්වි දැන උන්නාය. වක්කරගත් තේක ට්‍රේ එකක තබාගෙන සාලය දිහාවට යද්දීත් සෙටියේ වාඩි වී උන් දෙමව්පියන් ගේ මුහුණවල රැඳී තිබුනේ බැරෑරුම් හැඟූම් විනා හිත නිසසල කරගන්නට හැකි අන්දමේ සිතුවිලි දහරාවක් නොවන බව ජාන්වි දුටුවාය.
“කසාදයක් ඉස්සරහට අරගෙන යන සම්පූර්ණ වගකීම තියෙන්නෙ ළමයො ගෑනියෙක් අතේ.
හිතුමනාපෙ ගෑනියෙක්ට බෑ කසාදෙකින් මේ දෙයක් වෙච්ච ගමන් එළියට බහින්න” කියා තේ උගුරක් බී අවසානයේ බිම බලාගෙන උන් ජාන්වි දෙස බලාගෙන චිත්‍රා කියද්දී අනිල් මෙන්ම මනෝරමා එයට එකඟ වන ලෙස හිස සැලූහ. ඒ වනාහී තමන් මෙතන නොඋන්න මද විරාමයේ දෙතුන් දෙනා අතර සිදු වූ කතාබහක් බව තේරුම්ගන්න ජාන්විට අපහසු උනේ නැත.
“තාම ඔය දික්කසාදෙ උසාවි නොදැම්ම හන්දා මං කියන්නෙ ආයෙ වතාවක් ඔය ළමයි මේ විත්තිය කතා බස් කරලා බලන්න නේද?” කියා චිත්‍රා අහද්දී මනෝරමා එයට එකඟ වන ලෙස හිස සැලුවද අනිල් ධර්මවර්ධන බලා උන්නේ තමන්ගේ දුවගේ මුහුණ දෙසය.
වැඩිහිටියන් ලෙස තමන් මොකක් කිව්වද අන්තිමේදී විවාහ ජීවිතයක් අස්සේ එන යන හැම ප්‍රශ්නෙකටම මූන දෙන්න ඕනා ඒ විවාහයෙන් බැඳුණු දෙදෙනා බව අනිල් දැනගෙන උන්නෙය. එහෙම එකේ දෙමව්පියන් ලෙස තමන්ටවත් ඒ ප්‍රශ්නවලට තීන්දු තීරණ දෙන්න බැරි බව අනිල් දැනගෙන උන්නේය.
ජාන්වි උන්නේ එයට උත්තර දෙන්නට දෙතොල් මෑත් කරගෙන නමුත් එය හරස් කරමින් අතේ රැඳී තිබුණ දුරකතනයට කෙටි පණිවිඩයක් ආවේ ඒත් එක්කමය.
ඒ පණිවිඩය පිටිපස්සේ සැඟවී තිබුන රහස් කතාව තේරුම් ගන්න ජාන්විට අපහසු උනේ නැත.
තමා තෝරා ගත යුත්තේ කුමන අනාගත තීරණයද කියන අතීරණය එක්ක ජාන්වි අම්මාගේත්, තාත්තාගේත්, චිත්රාගේත් අනතුරුව දුරකතනයේත් මුහුණුවර මාරුවෙන් මාරුවට බැලුවාය.