මෞර්යා අඳුරු කාමරයේ මුල්ලකට වී සුදු පැහැ බිත්තිය දෙස බලා උන්නාය. සවස් යාමයේ ආදිත්‍ය නැවත නිවසට පැමිණි බව අභිමන් විසින් මෞර්යා හට දැනුම් දුන්නේ කෙටි පණිවිඩයකිනි.එහෙත් මේ වනතුරු ආදිත්‍යය වචනයකින් හෝ තමාව ඇමතුවේ නොමැති වීම පිළිබඳව මෞර්යා උන්නේ ශෝකයෙනි.
” පුතේ ”
චන්දික මෞර්යා ගේ කාමරයට ඇතුළු වූයේ විදුලි පහන දල්වමිනි. මෞර්යා කාමරයේ මුල්ලක බිම වාඩි වී ඔහේ බලා හිඳින ආකාරය දුටු විට චන්දික ගේ හදවත ශෝකයෙන් කඩා වැටුණේය. නිවසට වී මේ ආකාරයට මානසිකව දැඩි ලෙස පීඩා විඳින්නේ තම එකම දියණියය. ඒ ද තමා තරුණ වියේදී දුර දිග නොසිතා බලා සිදු කළ ක්‍රියාවන් නිසාය.ඒවායේ සත්‍ය අසත්‍යතාවය ඔප්පු කර ගැනීමට හැකියාව තිබියදීත් මෞර්යා සිටින්නේ මේ වන විට බලාපොරොත්තු අත හැර බව චන්දික දැන උන්නේය.
චන්දික පැමිණ මෞර්යා අසලින් වාඩි වූයේය. මෞර්යා බැල්මකින් හෝ චන්දික දෙස නොබලා එහෙමම ඔහුට වාරු වී ගුලි වූවාය. දෑසට උනා ආ කඳුළු චන්දික පාලනය කර ගත්තේ ආයාසයෙනි.
” ආදිත්‍යය ගෙදර ඇවිල්ල තාත්තා ”
මෞර්යා මිමිනුවාය.
” ඔයා එයාට කතා කරේ නැද්ද පුතේ ? ”
” කතා කරන්න එයාගේ ෆෝන් එක වැඩ කරන්නේ නෑ තාත්තා.එයා ආව කියලා මට කිව්වේ මිස්ටර් අභිමන් ”
” ආදිත්‍යය ඔයාට හෙමිහිට කතා කරයි පුතේ.ඔයා වගේම එයත් මේ වෙලාවෙ ඉන්නෙ අවුලෙන් නේ. ඒත් මං හිතන්නේ බලන්නෙ නැතුව කරපු වැරදි නිසා ඔයා මේ විදිහට ඉන්නවා මට බලාගෙන ඉන්න බැහැ. මං මොනවද පුතේ කරන්න ඕනේ ? ”
චන්දික විමසුවේ ශෝකයෙනි. මෞර්යා සිටින්නේ හඬා හෙම්බත්ව බව ඇගේ මුහුණ දුටු විට පෙනෙන්නට තිබේ. වෙනදාට සතුටින් දිළිසුණු ඒ දෑස් දැන් ඉදිමි ගිලී ගොස් ඇත. මලානික බවකින් වෙලා ගෙන ඇති මෞර්යා ගේ සුන්දර මුහුණේ සිනහව නැවත කවදා දකින්නට වේ දැයි චන්දික කල්පනා කළේය.
” ඔයා මොනවා කරන්නද තාත්තා ”
මෞර්යා චන්දික හට තවත් තුරුළු වී දෑස් පියා ගත්තාය. චන්දික ඇගේ හිස අතගාමින් බලා උන්නේ ඊළඟ මොහොතේදී කුමක් සිදු වේ දැයි සිතන අතරේය.
දේවකට වුවමනා වූයේ ඇති වී තිබෙන ප්රශ්නය කෙසේ හෝ විසඳා ගන්නටය.ආදිත්‍යය නැවත නිවසට පැමිණීම සියලු දෙනාටම මහත් අස්වැසිල්ලක් ගෙන ආ අතර දේවක රාත්‍රියේ දී තම නීතිඥයා මුණගැසීමට ගොස් තත්ත්වය පැහැදිලි කරමින් නීතිමය උපදෙස් ලබා ගැනීමේ කටයුතු සිදු කළේය. ආදිත්‍යය ගේ මව සහ පියා කවුරුන් දැයි සැබැවින්ම තහවුරු කර ගැනීමට අවශ්‍ය කටයුතු සලසා ගැනීමට දේවක එදින රාත්‍රියේදීම පියවර ගත්තේය.
බොහෝ දිනයකට පසුව ආදිත්‍ය කෑම මේසයට වාඩි වී නිදහසේ රාත්‍රී ආහාරය ලබා ගත් අතර ආහාර ලබා ගන්නා අතරතුර වචනයක් හෝ දෙකක් කතා කළේ දේවක සහ අභිමන් පමණි. අත්‍යවශ්‍යම කාරණාවකට හැරුණු කොට අශිකා සහ ආදිත්‍යය වචනයක් හෝ පිට නොකළ අතර දේවක සහ අභිමන් හැකිතාක් උත්සාහ කළේ පවුලේ සාමය නැවත ඇති කර ගැනීමටය.
රාත්‍රී ආහාරයෙන් පසුව නිදන කාමරයට ගිය ආදිත්‍යය සූදානම් වී තරප්පු පේළිය බැස පහත මාලයට පැමිණියේ වාහනයේ යතුරද ගෙනය. ඒ වන විට දේවක උන්නේ සාලයේ වාඩි වී ව්‍යාපාර කටයුත්තකට අදාල ඊමේල් පණිවිඩයක් සටහන් කරන අතරේය.
” කොහෙද පුතා ඔයා යන්න හදන්නේ ? ”
” මං මෞර්යාව බලලා එන්නම් තාත්තා ”
දේවක මොහොතක් බලා සිටියේය. ඉදිරි දින කිහිපය තීරණාත්මක දින කිහිපයක් වන්නට බොහෝ දුරට ඉඩ තිබේ. ලැබෙන ඕනෑම තීරණයකට එකග වන්නට ඉන් පසුව සියල්ලන්ටම සිදු වනු ඇත. මෙමගින් වැඩිපුරම පීඩාවට පත්වනු ඇත්තේ මෞර්යා සහ ආදිත්‍යය ය. සමහරවිට ආදිත්‍ය නැවත පැමිණෙන්නට ඇත්තේ ද මෞර්යා වෙනුවෙනි.ඒ නිසා ඔහු මේ යාමට සූදානම් වන ගමන පියකු වශයෙන් තමා වළක්වාලිය යුතු නැතැයි දේවක සිතුවේය.
” ගිහින් ඉක්මනට එන්න පුතා. ඒ ළමයා බලාගෙන ඇති ඔයා එනකන් ”
ආදිත්‍යය මද සිනහවක් පමණක් පා වාහනයට නැග පිටත් වූයේය. ඔහු පිටව යන දෙස අශිකා බලා සිටියේ ඉහත මාලයේ බැල්කනියේ සිටය. ඇය උන්නේ නැවත නැවතත් තමාටම දොස් පවරා ගනිමිනි. ආදිත්‍යය තමා ගේ සහ චන්දික ගේ දරුවෙකු වීම සතුටට කාරණාවක් විය හැකි නමුත් මෞර්යා සහ ආදිත්‍ය ගැන සිතන විට එය එසේ විය නොහැකි නිසා ආදිත්‍ය චන්දිකගේ දරුවකු නොවේවා යැයි අශිකා කාමරයට පැමිණෙන අතරේ නැවත ප්‍රාර්ථනා කළාය.
ආදිත්‍යය මෞර්යා ගේ නිවසට පැමිණෙන විට චන්දික උන්නේ මිදුලේ ය. ආදිත්‍ය වාහනයෙන් බැස විවෘත කර තිබුණු ගේට්ටුවෙන් ඇතුළු වී චන්දික දෙසට පැමිණියේ සෙමෙන් පියවර තබමිනි. ආදිත්‍ය නතර වූයේ චන්දික ආසන්නයටම පැමිණය. චන්දික මොහොතක් තමාට පියවරක් ඉදිරියෙන් සිටින ආදිත්‍යය ගේ දෑස් දෙස බලා ඔහුගේ දෑස් තමාගේ දෑස් වලට සමාන දැයි කල්පනා කළේය.
” අංකල් මෞර්යා ගෙදර ඉන්නවා නේද ? ”
ආදිත්‍යය විමසුවේ මලානික හඬිනි.
” ඉන්නවා පුතා. එයා බලා ගෙන ඉන්නේ ඔයා එනකං.ඔයා කතා කරයි කියලත් එයා බලා ගෙන හිටියා ”
” මොනවා වෙයිද කියලා හිතා ගන්න බැරුවයි මං ඉන්නෙ අංකල්. ඒත් මෞර්යා මොන වගේ තත්වෙකද ඉන්නේ කියලා දන්න හින්දයි මං එයාව බලන්න මේ රෑම ආවේ. එයා office එකෙනුත් රිසයින් උනා කියලා මල්ලි කිව්වා ”
ආදිත්‍ය කම්පාවෙන් කීවේය. තම පෙම්වතිය ලෙස මෞර්යාව ඇසුරු කරන අවසාන දින කිහිපය සමහර විට මෙම දින කිහිපය විය හැකිය. එය මගහැර ගැනීමට ලෝභ කමක් ආදිත්‍යය ට තදබල ලෙස දැනුනි.
” මෞර්යා කියන්නේ ප්‍රශ්න ඉස්සරහ ලේසියෙන් හෙල්ලෙන ළමයෙක් නෙමෙයි කියලා ඔයා හොඳටම දන්නවනේ පුතා.ඒත් එයා ඉන්නේ මේ ප්‍රශ්නේ දරා ගන්න බැරි තැනක. ඒ නිසා එයා රිසයින් උන එක ගැන මමවත් නිල්මිනී වත් එයාට කිසිම දෙයක් කිව්වේ නැහැ.ඒත් ඉතිං ගෙදර නැවතුන දවසේ ඉඳලා ඒ ළමයා කරේ බලා ගත්ත අතේ බලා ගෙන ඉන්න එක විතරයි. මේ හැමදේටම හේතුව මම කියලා මතක් වෙනකොට මොන තරම් පව්කාරයෙක්ද කියලා හිතෙනවා ”
චන්දික පාපොච්චාරණයක් කරන ස්වරයෙන් කීවේය. කිසි දිනයක ආදිත්‍ය සමඟ මෙවන් කතා බහක් ඇති වෙතැයි තමා සිතා තිබුණේ නැත.
” මෞර්යාට කතා කරනවද අංකල් ”
ආදිත්‍යය නැවත ඇසුවේ මෞර්යා නිවසේ සිටින සේයාවක් හෝ දක්නට නොමැති නිසාය.
” ඇතුලට යමු පුතා ”
චන්දික ආදිත්‍යව කැටුව නිවස තුළට පැමිණි අතර මුළුතැන් ගෙය දෙස සිට නිල්මිණී ඉදිරියට පැමිණියේ පුදුමය මුසු වූ දෑස් වලින් ආදිත්‍යය දෙස බලමිනි.
” නිල්මිණී මේ ආදිත්‍යය ”
නිල්මිණි මොහොතක් ආදිත්‍යය දෙස ඇසිපිය නොහෙලා බලා උන්නාය. ඒ ඔහු ගේ මුහුණු වර තුළින් චන්දික ගේ මුහුණු වර යන්තමින් හෝ දැක ගන්නට ලැබේ දැයි සිතන අතරේය.
” ඔයා මෞර්යාව බලන්න ද ආවේ ? “
” ඔ.. ඔව් ආන්ටි ”
තමාගේ පැමිණීම පිළිබඳව නිල්මිණී තුළ අකමැත්තක් ඇතැයි සිතමින් ආදිත්‍යය පිළිතුරු දුන්නේ දෙගිඩියාවෙනි.
” ඔයා ආපු එක කොච්චර දෙයක්ද පුතේ ? ”
නිල්මිණි පියවරක් දෙකක් ඉදිරියට තබා ආදිත්‍යය ගේ දෑතින් අල්ලා ගත්තාය. මෞරයා කුස තුළ සිටි කාලයේ නිල්මිණී බලාපොරොත්තුවෙන් උන්නේ පුත්‍රයෙකි.එහෙත් ලැබුණේ පුත්‍රයෙකුටත් වඩා හයිය හිතක් දියණියකි. අද ඒ දියණිය තම එකම ප්‍රේමය නිසා කාමරයක මුළුගැන් වී කල් ගෙවන්නීය.
” ඔයා කොයි වෙලේ මෞර්යාව බලන්න එයිද කියලා මං හිතෙන් හිත හිත හිටිය පුතේ. මං දන්නවා එයත් මේ ගෙදරට වෙලා බලාගෙන ඉන්නෙ ඔයා කොයි වෙලාවේ හරි එනකන් කියලා. එන ඕනෙම දේකට මුහුණ දෙන්න එයා හිත හදා ගෙන හිටියත් මං දන්නවා ඒක කරන්න කොච්චර අමාරුද කියලා. මෞර්යා කාමරේ ඉන්නවා.ගිහින් කතා කරන්න පුතේ ”
නිල්මිණි ඉතා කාරුණිකව ආදිත්‍ය හට ඉඩ දුන්නාය. අනතුරුව ආදිත්‍ය චන්දික පසු පසින් තරප්පු පේළිය නැග ඉහත මාලයට පැමිණ චන්දික පෙන්වූ කාමරය අසල නතර වූයේය. ආදිත්‍යය යන්තමින් විවෘත කර තිබූ කාමරයේ දොර අතින් තල්ලු කර එයට ඇතුළු වී විදුලි පහන දැල්වූයේය.
” මෞර්යා ”