“දරුවෙක්ව හදනවා කියන්නෙ ලේසි වැඩක් නෙවෙයි නංගි” කියලා කාන්ති අක්කා කියද්දිත් මට ඕන උනා කාන්ති අක්කට කියන්න “මම ඒක දන්නවා අක්කේ. ඒත් මට මේ දරුවව කවදාවත් ඕන උනේ නෑ” කියලා. ඒත් මම ඒක වචන වලට හැරෙව්වෙ නැත්තේ, හිතේ මෙච්චර කල් තියෙනවා කියල මම දැනගෙන උන්නෙ නැති කෙළවරකින්, මට තේරෙන්නෙ නැති කටහඬකින් හරිම හිමීට “මේ දරුවව මට ඕන, මේ දරුවව මට නැතිකරගන්න බෑ” කියලා කිව්ව හන්දා.
ඒ තමයි අර නාද්‍යා සොනාලි සල්වතුර කියන අම්මා කියන එක මට තේරුණේ ඊටත් ටික කාලෙකට පස්සෙ. ජීවත්වෙන්න සල්ලි හොයාගන්නෝන කියලා තේරිච්ච හන්දා මම රස්සාවකට ගියා. මෙච්චර කාලයක් ප්‍රමෝශන් වැඩයි, ක්ලබ්වල බීම අල්ලන මොඩ්ලින් වැඩයි කර කර උන්න මම මෙදා පාර ඇත්තටම ලැජ්ජ නැතුව ඕන මනුස්සයෙක්ට කියන්න පුළුවන් අන්දමේ රස්සාවක් හොයාගත්තා. ඒ කමියුනිකේශන් එකක. කමියුනිකේශන් එක කරේත් තව අක්කා කෙනෙක්. ඒ අක්කට උන්නා ළමයි දෙන්නෙක්.
“ඉස්සර මං නංගි තනියෙන් මේ වැඩේ කරේ. මේ දෙන්නගෙ වැඩ එක්ක දැන් මට තනියෙන් කරගන්න බැරි හන්දයි මං මේ වැඩට කාවහරි ගන්න හෙව්වේ. අනේ ලොකු ගානක් නම් ගෙවන්න විදියක් නෑ නංගි. දන්නවනෙ ඉතින් කමියුනිකේශන් කිව්වට අපි ළඟට ගොඩක් එන්නෙ ඔය රීලෝඩ් දාගන්න උදවිය නෙ. ලොකු ලාබයක් නෑ” කියලා ඒ අක්කා කිව්වට මාසෙ අන්තිමට හම්බෙච්ච විසි පන්දාහෙන්, පන්දාහක් කාන්ති අක්කට ගෙවලා, එයාගෙන්ම කෑම අරන් ඉන්න මට ඇතිවුණා.අනික ඉස්සර වගේ ෆැශන් කරන්න, අරවා මේව ගන්න උවමනාවක් මට තිබ්බෙ නැති උනත් මම මොඩ්ලින්වලින් හම්බ කරපු සල්ලිවලින් ඉතුරුවෙච්ච දරුවා වෙනුවෙන් ඉතුරු කරන්නෝන කියලා මතක් වෙන්න තරම් මම අම්මා කෙනෙක් වෙලා උන්නා.
කමියුනිකේශන් එකේ අක්කගෙ නම උත්තරා. අක්කගෙ පොඩි උන්නා දෙන්නගෙ වයස අතරෙ ගැප් එක තිබ්බෙ අවුරුදු දෙකක් වගේ. කොල්ලායි කෙල්ලයි. කොල්ලා නම් ඇත්තටම සිරිමත් වගෙ වෙද්දි කෙල්ල නම් පුංචි යස්ස පැටියෙක් වීගෙන එනවා කියලා තේරුණත් ඒ දරුවො දෙන්නාව තුරුල් කරගෙන උත්තරා අක්කා හැමතිස්සෙම “මේ දෙන්න එක්ක කිසි වැඩක් කරන්න බෑ නංගි යස්ස පැටව් දෙන්නෙක්” කියලා කිව්ව වචනෙට වඩා මගෙ හිත ඇදගත්තෙ ඒ හැම වචනෙකටම පස්සෙ තාම කිරි සුවඳ හමන පොඩි ඔලු ගෙඩි දෙකේ කෙස් කැරළි අස්සෙ උත්තරා අක්කගේ සීරුමාරුවට තිබ්බ හාදු ගංගාව. කවදහරි මගෙ දරුවා හම්බුනාම ඒ දරුවවත් ඔය විදියටම උස් මහත් කරගෙන, ආදරෙන් බලාගන්න මට පුළුවන් වේවි නේද කියන එක ඒවා දකිද්දි මට කල්පනා උනා.
“දරුවෙක් හදනවා කියන එක ලේසි වැඩක් නෙවි කියලා මං දන්නවා අක්කෙ. අනික මං වගේ තත්ත්වෙක ඉන්න කෙනෙක්ට කොහොමත් ඒක ලේසි වැඩක් නෙවෙයි කියලා මං දන්නවා. ඒ උනාට දැන් මං ඉන්නෙ ආපහු හැරෙන්න පුළුවන් තැනක නෙවෙයි අක්කේ. මං ඉස්සර හිතන් හිටියෙ මං කියන්නෙ කවදාවත් දරුවෙක් හදන්න සුදුසු කෙනෙක් නෙවෙයි කියලා. මොකෝ ඇඟේ ශේප් එක අවුට් වෙනවට, මට මං ගැන දැන් හිතන්න බැරි තැනකට එනවට මං ආස උනේ නෑ. ඒ උනාට දැන්, මගේ මේ ඇඟ ඇතුලෙ තව කෙනෙක් ඉන්නව කියලා දැනෙද්දි මට බැරි උනත් මං හිතනවා මං කොහොමහරි හොඳ අම්මා කෙනෙක් වෙනවා කියලා. මට අපේ අම්මලා තාත්තලට හොඳ දරුවෙක් වෙන්න පුලුවන් උනේ නෑ අක්කේ. ඒ හන්දම මං මගේ දරුවට හොඳ අම්මා කෙනෙක් වෙනවා.
මට දැන් ඇත්තටම මගෙ කියන්න මේ ලෝකෙ ඉතුරුවෙලා ඉන්නෙ මේ දරුවා විතරයිනෙ. මට අපේ අම්මල කොච්චර දේවල් මේ ලෝකෙ ගැන කිව්වත් මං ඒව කනකට ගත්තෙ නෑ අක්කේ. මට දේවල් ඉගෙන ගන්න තේරුම්ගන්න පුළුවන් කමක් තිබ්බෙ නෑ අක්කේ. උවමනාවක් තිබ්බෙ නෑ. ඒ උනාට දැන් මට හොඳ අම්මා කෙනෙක් වෙන්න ඉගෙන ගන්නම වෙනවානෙ. මං ඒක කරන්න පුළුවන් හොඳටම කරනවා අක්කෙ.” කියලා කියද්දිත් මගෙ ඇස් අස්සෙ කවදාවත් නැතුව කඳුළු පිරිලා තිබ්බා.
නාද්‍යා සොනාලි සල්වතුර කියන ලොකු සීන් කෙල්ල, දන්නෙම නැතුව හරිම සංවේදී අම්මා කෙනෙක්ගෙ චරිතෙ භාර අරගෙන තිබ්බා.
ඒත් ඒ සංවේදීකම අස්සෙන්ම, මගෙ දරුවා වෙනුවෙන්, මගෙ දරුවව මේ සමාජෙන් බේරගන්න, මට වෙච්ච දේවල් මේ දරුවට නොවෙන්න, එහෙම නැත්තම් මං අහුවෙච්ච පාපතරයා වගේ නොවෙන්න මගෙ දරුවව හදාගන්න මට මැණිකක් රකින නාගයෙක් වෙන්නෝන කියන එකත් මට මතක තිබ්බා.
උත්තරා අක්කගෙ දරුවො දෙන්න කමියුනිකේශන් එක වටේ දුව දුව සෙල්ලම් කරද්දි, උත්තරා අක්කා තරම් ආදරෙන් මං ඒ දරුවො දෙන්න දිහා බැලුවා. ඒ අස්සෙමා වැඩ දාහක් කරන ගමන් මහමෙරක් තරම් ආදරේ දරුවන්ට දෙන්න උත්තරා අක්කා වෙලාව හොයාගන්න එක ගැන, එයා ළඟ පිරිච්ච මව්වත්කම ගැන මං මහා පුදුමෙන් බැලුවා.
ඒ හැම වෙලාවකම මගෙ හිත කිව්වේ “අම්මා කෙනෙක් වෙන්නෙ එහෙමයි නාද්‍යා” කියලා. කමියුනිකේශන් එකේ වැඩ ඉවරවෙලා ගෙදර ඇවිත් මං හැමදාම යූටියුබ් එකට එහෙම ගිහින් බැලුවා සිංගල් මම්ලා තමන්ගෙ දරුවාව බලාගන්න හැටි. වැඩ ඔක්කොම බැලන්ස් කරන ගමන් දරුවාට මහමෙරක් තරම් ආදරේ කරන හැටි. මං කරන්නෝන දේවල් සහ කරන්න හොඳ නැති දේවල් මොනවද කියන එක. දරුවව පොඩි කාලෙ ඉඳලම ලොකු වෙද්දි හොඳ මනුස්සයෙක් කරන්න “මං හොඳ අම්මා කෙනෙක්, හොඳ යාලුවෙක්, හොඳ මනුස්සයෙක්, හොඳ ආදර්ශයක්” වෙන්නෝන මගෙ දරුවට කියන එක මම තේරුම්ගත්තෙ ඒ විදියට.
“නංගි ආස දුවෙක්ටද පුතෙක්දට?” කියන සම්ප්‍රදායික ප්‍රශ්නෙ කාන්ති අක්කා හිනාවෙවී අහද්දි “මට ඕන දරුවෙක් අක්කෙ” කියලා අසම්ප්‍රදායික උත්තරයක් දෙන්න කොච්චර උවමනා උනත් “කවුරු උනත් මං එයාව සන්තෝසෙන් භාරගන්න හිත හදන් ඉන්නෙ” අක්කෙ කියලා මං සම්ප්‍රදායික උත්තරයක් දුන්නා.
කාන්ති අක්කා කාරේ කෑම හදන බිස්නස් එකක් හන්දා මට ඇත්තටම නිතර දෙවේලෙ කන්න දේවල් ඒ ගෙදර තිබ්බා. උදේ දවල් රෑ කෑම වේලට බත් හදලා, ගේ ඉස්සරහා ලෑල්ලක් දාගෙන විකුණන එක. ඊට අමතරව කාන්ති අක්කා දාන ගෙවල්වල, කැන්ටින්වල උයන්න එහෙමත් ඉඳලා හිටලා ගියා. ඒ ගිහින් එන ගමන් හම්බෙච්ච කෑමවලින් පංගුවක් මටත් ගෙනත් දුන්නා.
“මට කියලත් ඇත්තටම කවුරුවත් නෑ නංගි. මං කොහොමත් පිරිමින්ව බෝඩ් කරගත්තෙ නෑ. මෙතන නතරවෙන්න ආව සමහර ගෑනුන්ව මට දිරෙව්වෙත් නෑ. සමහරුන්ට මාව දිරෙව්වෙත් නෑ. ඒ හන්දා ලොකුවටම එහෙමකට කියලා ඇයි හොඳැයියක් තිබ්බෙ නෑ. එහෙම එකේ නංගි ආව එකෙන් මගෙත් පාලුව මැකුණා. දරුවා හම්බුණාම බැරිය නංගි මට බලාගන්න. ඔයා දිගටම වැඩට යන්න. දරුවා උස් මහත්වෙද්දි කොහොමත් විසි පන්දාහෙන් සුමේ කරන්න බැරි හන්දා නංගිට ඕන් නම් වෙන රස්සාවකට උනත් යන්නැහැකිනෙ. මං දරුවව බලාගන්නම්” කියලා කාන්ති අක්කා හිනාවෙවී කියද්දි ගෙදරින් දුර ඈතක උන්නා උනත්, මං ජීවිතේ වරද්දගත්ත කෙල්ලෙක් උනත්, මාව ආදරෙන් පිළිගන්න, මගෙ වැරැද්ද ගැන නොහිත මට උදව් කරන්න දෙයියො දෙවනි අම්මෙක්ව මට එවලා කියලා මගෙ හිත කිව්වා.
දරුවෙක් උවමනා වෙච්ච නැති මම, දරුවට ආදරේ කරන අම්මෙක් වෙද්දි, දරුවෙක් කවදාවත් උන්නෙ නැති කාන්ති අක්කා මාව එයාගෙ දරුවෙක් කරගෙන තිබ්බා.
අම්මා කෙනෙක් වෙන්න නම් තමන්ගෙ බඩෙන්ම දරුවො බිහිකරන්න ඕන නැහැයි කියන ධර්මෙ මං ඉගෙන ගත්තෙ අන්න ඒ විදියට.