ළතෙත් ආදර හැඟුම් ගංගා – 17

“අනේ මට බෑ අක්කේ, අනේ මං මැරෙයි, අම්මේ……” කියලා මං කෑගහද්දි ඇත්තටම අපි උන්නේ මංජුගෙ ටුක් එකේ නැගලා ඉස්පිරිතාලෙ දිහාවට කඩං බිඳන් යන ගමන්.

මට දරුවා හම්බෙන්න අමාරු උනේ මහ රෑක. ඒ සා වේදනාවක් ගෑනියෙක්ට දරාගන්න පුළුවන්ද කියන එක මට කාන්ති අක්කගෙ අත අල්ලගෙන වේදනාවෙන් බෙරිහන් දෙද්දිත් කල්පනා උනා. බොරු කියන්නෝන නෑනෙ ඔය පත්තර වල පොත් වල කියෝනවා වගේ “ඒ වේදනාව හරි ආදරණීය වේදනාවක්” කියන්න පුළුවන්කමක් මට ඇත්තටම ඒ වෙලාවෙ නම් තිබ්බෙ නෑ.

මං උන්නේ මටම හිත අස්සෙන් බැන ගන්න ගමන්. කොල්ලෙක් සෙට් කරගෙන, ආදරේ කර කර, ඉගෙනගන්න ඕන කාලෙ බඩක් උස්සන් දැන් මේ මරණාසන්න වේදනාවක් දරාගන්න තරම් මෝඩ වෙච්ච එක ගැන මටම බැණ ගන්න ගමන්. “මට ඇත්තටම මේ දරුවව ඕනද?” කියලා වේදනාව අස්සෙන් හිත අහද්දි මං මටම බැණගත්තා ගෙදර සැපට ඉන්න තිබ්බ එකේ අන්තිමේ මම මාවයි මේ දරුවවයි දෙන්නවම ගොඩ එන්න අමාරු වලකට ඇදලා දැම්මා කියලා. මේක කියවන කෙනෙක්, අහන කෙනෙක් සමහරවිට “අපෝ ඔහොම උන් අම්මලා වෙන්න වටිනවද? දරුවෙක් හම්බෙන වේදනාව වැඩිවෙන තරමට තමයි අම්මගේ හිතේ දරුවා ගැන තියෙන ආදරේ, කැක්කුම වැඩිවෙන්නෙ” කියලා කියන්න පුළුවන් උනාට ඒ වේදනාව දරාගන්න තාම ජීවිතේ පොඩි වයසක උන්න මට ලේසි උනේ නෑ. අනික මං ඉස්සර ඉඳලම රිදෙනවට බය මනුස්සයෙක්. එහෙම මනුස්සයෙක් තමන්ගෙ කියල කිසිම මනුස්සයෙක් ළඟ නැති තැනක, බෝඩිමේ අක්කගෙ ඇඟට වාරුවෙලා, තමන්ව කසාද බැඳගන්න හිතාගෙන පස්සෙන් එන මිනිහෙක්ගෙ ටුක් එකක නැගලා දරුවෙක් හම්බෙන්න යද්දි ඔය වගේ දේවල් හිතන එක අතිශය සාමාන්‍යයි කියලා මං කල්පනා කරා.

හැබැයි මගේ වේදනාව, අඳෝනාව සෙකන්ඩ් උනා ඉස්පිරිතාලේ ඒ වෙද්දි දරුවා හම්බෙන්න උන්න මං වගේම තව ගෑනු විසාල ප්‍රමාණෙක සද්දෙ මැද්දෙ.

හොස්පිට්ල් එකට ගියාට පස්සෙත් වේදනාව අඩු වුණේ නෑ. “අම්මා කෙනෙක්ගෙ වේදනාව දරුවා හම්බුනාට පස්සෙ කවදාවත් අඩුවෙන්නෙ නෑ එන්න එන්න වැඩිවෙනවා මිසක්. අම්මා කෙනෙක්ගෙ වේදනාව කියන්නෙ එන්න එන්න වැඩිවෙන එකක්” කියලා අපේ අම්මා කිව්ව කතාව මට, මතක් උනේ අන්න ඒ වෙලාවෙ. අම්මා ගැන මතක් වෙච්ච හිතුවිල්ල මගෙහිතට අරගෙන ආවෙ මගෙ යටිබඩ හරියෙන් දැනෙනවට වඩා ලොකු වේදනාවක්. මාව ත්‍රී-වීල් එකෙන් එළියට ගන්නකොට මූණට වැදුණේ තද, උණුසුම් හුලං පාරක්. මට මතකයි ඉස්පිරිතාලෙ අස්සෙදි ඒ හුලඟට බෙහෙත් වල සුවඳ, ලේ වල සුවඳක් එක්කහු වෙලා තිබ්බා. නර්ස් මාව ඉක්මනට ඇතුළට අරගෙන ගිහින් කිව්වා කලබල වෙන්න එපා කියලා. ඒත් මුළු ඇඟම පණ පිටින් කෑලිවලට ඉරෙනවා වගේ දැනෙනකොට කාටද කලබල නොවී ඉන්න පුළුවන්? මං එහෙම ඇහුවෙ මගෙන්මයි.

අපේ වටේ ඉන්න අනිත් ගෑනු අය කෑ ගහන සද්දෙ මට ඇහුණා.සමහරු උන්නෙ දෙයියන්ගෙන් එක එක දේ ඉල්ලන ගමන්, සමහරුන්ගෙ මව් දෙමව්පියො උන්නෙ ඒ අය ළඟටම වෙලා “අනේ ඉක්මනට බරෙන් හෑල්ලු වෙන්න” කියලා පිරිත් කියන ගමන්. සමහරු ප්‍රාර්ථනා කරනවා, සමහරු අඬනවා. ආය ටිකක් ඇඬිල්ල නතර කරලා හුස්මක් ගන්නවා හරියට ආයෙ කෑ ගහන්න තමන්ගෙ වාරේ එනකම් බලාගෙන ඉන්නවා වගේ. ඒක හරියට වේදනාවෙන් පිරිච්ච කාමරයක් ඇතුළේ හිරවෙලා වගේ. මම තනියම හිටියෙ නැති විත්තිය ඇත්ත උනත්, ඒත් ජීවිතේට කවදාවත් නොදැනුණ තරම් තනිකමක් මට දැනුණා.

“හිත හයිය කරගන්න, හොඳට හුස්ම ගන්න” කියලා නර්ස් ඇවිත් කිව්වට ඒත් එයාගෙ වචනවල කිසි තේරුමක් තිබුණෙ නෑ කියලා තමයි මට හිතුනෙ. හුස්ම ගන්න එක රිදෙන එක තව වැඩි කරද්දි මට හිතුනෙ ඇයි මං මැරුනෙ නැත්තෙ මේ වේදනාවෙන් කියලා. හිතන එකත් රිදෙනවා. ජීවත් වෙලා ඉන්න එකත් රිදෙනවා. ඇයි මේක නවතින්නෙ නැත්තෙ? තව කොච්චර වෙලා මට මේක දරාගන්න වෙනවද? කියලා මං මගෙන්ම ඇහුවෙ වෙන කරන්න දෙයක් නැති හන්දා. අප්පෙක් නැති දරුවගෙ මූණ දකිනවට වඩා මට ඒ වෙලාවෙ ලොකුවටම ඕන උනේ ඒ වේදනාවෙන් ගැලවෙන්න.

අන්න ඒ වෙලාවෙ තමයි කවුරුහරි මගේ අතින් අල්ලගත්ත බව මට තේරුණේ. ඒ කාන්ති අක්කා. එයාගෙ අතේ තිබ්බෙ පුදුම රස්නයක්.  හැබැයි ගෑනි ඉන්නෙත් මං වගේම බයෙන් කියලා මට තේරුනේ එයාගෙ අතේ තිබිච්ච වෙව්ලීමට. මගේ අත තිබ්බෙත් වෙව්ල වෙව්ල උනාට මොකෝ මං කාන්ති අක්කගෙ අත තදට අල්ල ගත්තා. මොකෝ වෙව්ලන ගෑනු දෙන්නෙක්ගෙ අත් දෙකක් එක්කහු වෙනවා කියන්නෙ ඒ වෙව්ලීම සදාකාලෙටම නතර වෙනවා කියන එක මට එවෙලෙ තේරිච්ච හන්දා. මම බය වෙලා හිටියෙ. වේදනාවට විතරක් නෙවෙයි, හැමදේටම. ඊළඟට මොකද වෙන්නෙ කියලා, මම ජීවත් වෙයිද කියලා, මම ජීවත් වුණොත් මොන වගේ අම්මා කෙනෙක් වෙයිද කියලා.වත්ත අස්සෙ මගේ දරුවට ජීවිතයක් තියෙද කියලා. තමන්ගෙ අනාගතේ විනාස කරගත්ත අම්මා කෙනෙක් ළඟ දරුවෙක්ට අනාගතයක් තියෙද කියලා?

“අඬන්න එපා නංගියෙ” කියලා කාන්ති අක්කා කිව්වට මං ඒකට මුකුත් කිව්වෙ නෑ.

ඩොක්ටර් “පුශ් පුශ්” කියලා කියනකොට, මට ඕන වුණේ එයාට කියන්න, “පුලුවන් නම් මේ දරුවට මගේ බඩ ඇතුලෙම ඉන්න ඉඩ හදලා දෙන්න මොකද මේ දරුවා එළියට ආවොත් එයාට පුශ් කරන්න සිද්ද වෙන සමාජ බැරියර්ස් සෑහෙන බර වැඩි” කියලා. මට දැනුනෙ තවදුරටත් මගේ ඇඟ මගේ නෙවෙයි වගේ. ඒක හරියට මම වෙන කෙනෙක්ගෙ ඇඟක් ඇතුළේ හිරවෙලා ඉන්නවා වගේ. මම කෑ ගැහුවා, ඒත් ඒ සද්දෙ මගෙ නෙවෙයි වගේ මට දැනුනා.

හැම වේදනාවක්ම ආවෙ රැල්ලක් වගේ, ගැහෙනවා, මාව ගිල්වනවා, ඊළඟ රැල්ල එන්න කලින් හුස්ම පොඩ්ඩක් ගන්න මම දඟලනවා. දාඩිය මූණ දිගේ පල්ලෙහට පල්ලෙහට බහිනවා. කඳුලුයි දාඩියයි තිබ්බෙ එකට එක්කාසු වෙලා. මගේ කොණ්ඩෙ නළලට ඇලිලා, තොල් වේලිලා, මගේ හිත ජීවිතෙයි මරණෙයි අතරෙ කොහේ හරි තැනක රැඳිලා තිබ්බා.

මිනිස්සු හැමදාම මේ අම්මා කෙනෙක් වීම ගැන කතා කරන්නෙ හරි ලස්සන වේදනාවක්, සන්තෝසයක් විදියට. දිලිහෙන මූණු, සතුටු කඳුළු, පපුවට දැනෙන කිරි බර වගේ කොච්චර දේවල් අපි කතාකරනවද? ඒත් ලේ සුවඳ, බය, තනිකම ගැන එයාලා කවදාවත් කතාකරන්නෙ නෑ. එයාලා කවදාවත් කියන්නෙ නෑ දරුවෙක්ව මේ ලෝකෙට අරගෙන එන්න  කලින් ගෑනියෙක්ට හොද සිහියෙන් ගින්නක් මැදින් යන්න වෙනවා කියලා. දරුවෙක්ගෙ මූණ දැක දැක සැනහෙන්න පුළුවන්, දීර්ඝ කාලීන සන්තෝසයක් වෙනුවෙන් ගෑනියෙක් විනාඩි ගාණකට මරණීය වේදනාවක් දරනවා කියන එක කවදාවත් එයාල කිව්වෙ නෑ.

මේ හැම වේදනාවක්ම මැද්දෙ මම මං වටේ උන්න අනිත් බඩ දරු කෙල්ලො ගැනත් කල්පනා කරා. ඉක්මනින් ආදරේ කරපු කෙල්ලො. ආදරේ ජීවත් වෙන්න ඇති කියලා හිතපු කෙල්ලො. ආදරේ බර කොච්චරද කියලා නොදැන හිටපු කෙල්ලො. මට අම්මව ආයෙ පාරක් මතක් උනේ අන්න ඒ වෙලාවෙ.

එයා “ඔයාටත් දවසක තේරෙයි” කියලා කියනකොට මම ඉස්සර හිනාවෙච්ච හැටි.. මට ඕන වුණා එයාට කියන්න එයා හරි කියලා. ඒත් ඊට පස්සෙ මට මතක් උනා අම්මා නෑ නේද මං ළඟ කියන එක.

ඩොක්ටර්ගේ කටහඬ ආයෙත් දෝංකාර දුන්නා. 

“තල්ලු කරන්න. ඔයාට පුළුවන්.”

 “. එක්කෝ එයා එළියට එන්න ඕන, නැත්නම් මම මැරෙන්න ඕන. මට තවත් බෑ මේ වේදනාව දරාගන්න කියලා.” මං කියාගත්තෙ මටමයි.

හැමදේම නිස්සද්ද උනේ, කන් දෙක අඟුල් වැටුනෙ, හුස්ම හිරවෙන්න වගේ ආවේ අන්න ඒ වෙලාවෙ.

මගේ හදවත, මගේ සිතුවිලි, මගේ හුස්ම. වේදනාව හැමදෙයක්ම තත්පරයකට නැවතුණා, මම මගේ තොල් හපාගත්තා, ඒ  ලේ රස මට දැනුණා. මගේ නියපොතු මං හාන්සි වෙලා උන්න ඇඳේ මෙට්ටෙ අස්සෙට එබුණා. 

“තව පොඩ්ඩක් විතරයි, දරුවෝ. ඔයාට පුළුවන්.” කියලා ඩොක්ටර් කියනවා මට ඇහුනෙ සෑහෙන ඈතක ඉඳන් වගේ. මට ඕන වුණා එයා කියන දේ විශ්වාස කරන්න. මට ඕන වුණා මම ශක්තිමත් කියලා මටම කියාගන්න.

අන්තිම වතාවට මම හයියෙන් තල්ලු කළා. මගේ හුස්ම හිරවෙනවා වගේ දැනිච්ච වේදනාවක් එක්ක මගේ කන ළඟ කොහේ හරි මැෂින් බීප් වෙනවා මට ඇහුණා. මගේ ඇස් අස්සෙන් කවදාවත් නැති තරම් බරට කඳුළු බේරෙනවා මට දැනුණා.

තවදුරටත් මට වේදනාවක් දැනුණෙ නෑ. උණුසුමක් විතරයි දැනුණෙ. ඒක පුදුම, ගැඹුරු උණුසුමක්. පපුව පිරෙව්ව උණුහුමක්. හීතල උණුහුමක්. තප්පර ගාණකට මට දැනුණා මාව නිදහස් වෙනවා වගේ.

මම ඇස් පියාගත්තා. හැමදේම අඳුරු වුණා.

ඒ අන්ධකාරෙ මැද්දෙ මට ඇහුනා දරුවෙක් අඬනවා.

පුතෙක්ද? දුවෙක්ද?

මං ඇහුවෙ මගෙන්මයි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles