ඉඩෝරයක මල් වැස්සක් – 29

ඉසුරිට පාරින්ද හමුවූයේ බස් නැවතුමෙන් බැස නිවස කරා එන ගමනේදීය. ඔහු ඉසුරිගෙන් යමක් අසන්නට පෙර බැලුවේ තමා බැඳ උන් අත් ඔරලෝසුව දෙසය. ඕ වෙනදාට වඩා පැයක් පමණ ප්‍රමාදය. එහෙත් වෙනදා සේ  යුවතිය පමාවට හේතු පහදන්නට නොගියාය. ඒ වෙනුවට ඔහු දෙස බැලුවේ සිනහසීගෙනය.

“ග්‍රවුන්ඩ් එකටද යන්නේ..”

“ඔව්..මොකද පරක්කු?”

“එක බස් එකක් යනකල් ඉඳල ආවේ. ඒකෙ සෙනග හිටියා. ගෙදරට ගියා නං තේ එකක් බීලා එන්න තිබුණා.

“ඕනේ නෑ දැනටමත් පරක්කුයි..”

ඉසුරිට වුවමනා වූයේත් එයමය. නිවසට යමුයැයි ඈ පාරින්දට පැවසූයේ යුතුකමක් සේය. ඕ හිමින්  ගමනේ ඇවිද ආවේත් බිනර හා ගත කළ අඩ හෝරාවක තරම් වූ කාලය ගැන සිහි කරමින්ය.  ඔහු එක විනාඩියක්වත් නිහඬව සිටීමට දැන උන් තරුණයකු නොවේ. 

සොහොයුරාත් සොහොයුරියත් දෙදෙනාම නිවසේ නොසිටි නිසා  කාමරයට වී ඈ ඔහු රැගෙන දුන් ගවුම ඇද බැලුවේ පුදුමාකාර හදිසියකින්ය. එහෙන් මෙහෙන් අල්ලා කටු ගසන්නට හෝ මැහුම් පහරවල් ගසන්නට තැනක් වූයේම නැත. එය තමාම ගොස් ෆිටෝන්කර රැගෙන ආ එකක් සේ සිරුරේ හැඩයට මනාව ගැලපුණි. මිල සඳහන් ඉස්ටිකරය ඉවත් කර තිබුණත් අඩුම තරමේ මෙම වර්ගයේ ගවුමක් රුපියල් පන්දහසක්වත් වන්නට ඇතැයි ඇය අනුමාන කළාය. 

තාත්තාගේ අංකය සටහන් කරමින් යුවතියගේ දුරකථනය නාද වූයේ ඇය යළිත් ඇඳුම් මාරු කරමින් සිටියදීය. 

“ඉසුරි..ගෙදර නේද. මට ටිකක් අම්මට කතා කරන්න ඕනේ..”

අම්මාගේ දුරකථන අංකය දැන සිටියත් එදාවත් අදවත් තාත්තා ඊට ඇමතුමක් ලබාගන්නේ නැත. හදිසි උවමනාවකට පවා කතා කරන්නේ ඉසුරිගේ ජංගම දුරකථනයටය. ඇය තුවාය පිටින්ම ගොස් අම්මා වෙත ජංගම දුරකථනය දිගු කළාය. 

රාජිනී යළිත් දුරකථනය ගෙනැවිත් ඉසුරි අත තැබුවේ ඈ නාන කාමරයේ සිට පැමිණ සැහැල්ලු ගවුමකට මාරුවද්දීය. 

“ඉසුරි නැන්දා ඔය දෙන්නගෙ හඳහන් බලලා දින නියම කරගෙන.”

අම්මා එසේ පැවසූයේ මද හඬකින් වුවත් ඒ වදන් ඊතල පහරවල් සේ දෙසවනෙහි ඇමිණී දෝංකාර නංවන්නට විය. ඉසුරි දෙපා අවසඟව ගිය රෝගියෙකු පරිද්දෙන් සිය යහන මතට කඩා වැටුණේ රාජිනී බලා සිටියදීමය. තමාත් ලොකු අයියාත් අතර විවාහය කෙදිනක හෝ සිදුවන බව දැන සිටියත් එය මේ මොහොතේ සිදුවන්නාක් සේ ඉසුරි කලබලව උන්නාය. ඇගේ දෙතොල් පවා ගැහෙමින් තිබිණ. ගත දහඩියෙන් තෙත්ව තිබිණ. ඇය මෙවේලෙහි උන්නේ මරණයට නියමිත වූ සත්වයෙකුගේ ස්වරූපයෙන්ය. 

“තාත්තට මං කිව්වා ටිකක් ඒ වැඩේ ඉක්මන් කරන්න කියලා නැන්දට කියන්න කියලා. ඒ උනාට ලබන මාසේ විසි  වෙනිදා වෙනකම්ම ඔයාලගේ හදහන් වල හැටියට දින නැහැලු. යාන්තමට ගලපලා විසි හත් වෙනිදාට තමයි වැඩේ දාගෙන තියෙන්නෙ. මං කලින් හිතාගෙන හිටියේ මේ ගෙදරම ඔය වැඩේ කරන්න. අපේ ගෙදර හතර පස් දෙනයි තාත්තයි ඒ ගෙදර හතර පස්දෙනයි ඇරෙන්න වෙන කවුරුත් නැහැනේ. මංගල්ලයක් සිද්ධ වෙනවා නෙමෙයි නේ. ඒ වුනාට නැන්දා ඒකට කැමති වෙලා නෑ. තාත්තා දන්නවා මං එහෙට යන්න කැමති නෑ කියලා. ඒ නිසා එලිගන්ට් එකේ පොඩි උත්සවයක් ගමු කියලා තාත්තා යෝජනා කළාලු.” 

ඉසුරි යන්තමින් හිස ඔසවා අම්මා දෙස බැලුවේ එවේලෙහිය. එලිගන්ට් යනු හෝමාගම නගරයෙන් මදක් එහාට වන්නට පිහිටි කුඩා හෝටලයකි. කොහොමටත් උපන්දින උත්සව විවාහ ලියාපදිංචි කිරීම් වැනි උත්සව කටයුතු සඳහා එය ප්‍රසිද්ධය. 

“තාත්තා අද  ඒකත් බලලා..අපේ පැත්තෙන් විස්සකටයි ඒ පැත්තෙන් විස්සකටයි කෑමවලට යන වියදමයි  තාත්තා ගෙවන්නම් කියලා කිව්වා. ඔයාට ඔෆිස් එකේ කාට කාට  හරි කියන්නත් පුළුවන්. මේ අහල පහල ගෙවල් දෙක තුනේ එක්කෙනාට, එක්කෙනාට හරි කියමු. එතකොට  ඔය දෙන්නා රෙජිස්ට්‍රර් වෙලා ඉන්නෙ කියලා ගමේ ගොඩේ මිනිස්සුත් දැනගන්නවා. අපිට තියෙන්නේ ඇඳුම් පැළඳුම් ටික හදාගන්න.”

රාජිනී කියවා ගෙන ගියේ අලුත් පනක් ලැබුනා සේ සතුටින්ය. එහෙත් වදනක්වත් පවසාගත නොහැකි තරමට යුවතිය ගොළු වී උන්නාය. 

“ඒ ගොල්ලෝ තාම ලොකු පුතාට කිව්වෙ නෑ කියලා කිව්වා. අද කියයි.  ඒ පැත්තෙන්නම් හෝටලේ වියදමටවත් කීයක්වත් ලැබෙන එකක් නෑ. නැන්දා කොහොමත් හැම තිස්සෙම නැතිවාදම කියාගත්ත ගමන්මනේ. තාත්තා මේකට වියදම් කරපුවාවේ. එයාටත් යුතුකමක් තියෙනවා. මඟුල් ගේ  ගන්න මං සල්ලි එකතු කරගන්නම්. ඔයා බලන්නකෝ හොඳ සාරි එකක්. අපිත් අපේ අඩුපාඩු කාටවත් පෙන්නන්න නරකයි ඉසුරි. එහෙම උනහම තමයි මිනිස්සු අපේ ඔළුවට අත හෝදන්න ගන්නේ.”

රාජිනී එසේ පැවසූයේ දිගු සුසුමක් මුදා හැරියාට පසුවය. ඉසුරිගෙන් පිළිතුරක් නොලද නිසාම ඕ කාමරයෙන් පිටව ගියේ ඉක්මනින්ය. කෑ ගසා හඬන්නට වුවමනාවක් වුවත් යුවතිය සිටියේ පාෂාණ භූතවය. කෙළ බිඳක් ගිල ගැනීමට නොහැකි තරමටම ඇගේ මුව වියළී තිබිණ. 

“හැමදාම අනිත් අයගේ සතුට ගැන හිතලා ඔයාගේ සතුට නැති කරගන්නද හදන්නේ. ලොකු අයියා කියන්නේ ඔයාට ආදරේ කරන ඔයාව ආදරෙන් බලා ගන්න කෙනෙක්නම් ඔයා දෙපාරක් ඒ ගැන හිතන්න ඕනෙ නෑ ඉසුරි. හොඳට හිතලා බලන්න ඔයා එයාගේ ළඟ සතුටින් ඉඳපු එකම එක දවසක් මේ මෑත කාලෙ තියෙනවද කියලා. විනාඩි  පහක් එක තැනක වාඩිවෙලා ඔයාට දැනෙන දෙයක් ගැන හිතෙන දෙයක් ගැන එයත් එක්ක කතා කරපු දවසක් තියෙනවද කියලා. විනාඩි පහක් එයාගේ උරහිසේ ඔළුව තියාගෙන අඬපු දවසක් තියෙනවද කියලා. ජීවිතේ හැම ප්‍රශ්නෙකදිම හිතලා, අඬලා කල්පනා කරලා තනියෙන් මුහුණ දීපු ඔයා ඒ ප්‍රශ්න එයත් එක්ක බෙදාගෙන උත්තර හෙව්වද කියලා. පොඩි කාලේ එයා ඔයාගේ ළඟින් ඉන්න ඇති. අදටත් එයාගේ ජීවිතේට ඔයා ඕන ඇති. සමහර විට ඔයාට දීපු වචනයක් නිසා මගහරින්න බැරිකමට එයා ඔයා එක්ක ඉන්නවා ඇති. ෆැමිලි ලයිෆ්  එකක් ගතකරන්න ඒ පොරොන්දුවයි  වචනෙයි  ඇද්ද ඉසුරි…”

බිනර එක් දිනක් තමාගේ දෑස් වලට එබී ඇසූ අයුරු ඇයට සිහි වූයේ එවේලෙහිය.

“ආදරේ කියන්නේ ඔයාගේ අත්තටු කපල දාන එක නෙමෙයි ඉසුරි. ඔයාට නිදහසේ පියාඹන්න ඉඩ දීලා ඔයාගේ පස්සෙන් ඉඳගෙන ඔයාව රැක ගන්න එක. අද ඔයා අත්තටු කපල දාපු කිරිල්ලියක් ගානයි. ඇස් ඇරලා වට පිට බලන්න ඉසුරි. මිනිස්සුන්ට ඕන තරම් ප්‍රශ්න ඇති. හැබැයි ගොඩක් මිනිස්සු හරි ලස්සනට හිනා වෙලා ජීවත් වෙනවා. එයා කෝල් එකක් ගන්න එක තත්පරේට ඔයාගේ ලයින් එක බිසී වෙද්දි එයාට කේන්ති යනවනම් කෝ ඉසුරි එතන ඉවසීමක්. ඔයාගේ ජීවිතේ හැම තැනකදිම එයාගේ කේන්තිය විතරක් දැකලා ඇද්ද ඉසුරි..”

ඔහු සමහර විටක ඇගෙන් අසන්නේ එවන් සැහැල්ලුවෙන් ජීවත්වන තරුණයෙකුගේ මුවින් පිටවේයැයි සිතිය නොහැකි තරම් දාර්ශනික වූ වදන්ය. ඒ ප්‍රශ්න හමුවේ ඈ නිරුත්තරය. 

“තමන්ට අයිති තැන තමයි මිනිස්සු වැඩිපුර පරිස්සම් කරන්න ඕනේ. වැඩිපුර ආදරේ කරන්න ඕනේ. වැඩිපුර රැක ගන්න ඕනේ.”

යුවතියගේ දෑස් මුල කඳුලක් විත් එකතු වූයේ එවේලෙහිය. ඇයට කෑ ගසා හඬන්නට තරම් දුකක් දැනෙමින් තිබිණ. වෙනදා ඕනෑ දෙයක් සිදුවේවායි සිතා සියල්ල අතහැර දමා උන් ඇය ඊයේ පෙරේදා  සිට තම ජීවිතයට ආසා කරමින් උන්නාය. හිනහෙන්නට ආසා කරමින් උන්නාය. සිහිනවලට බිය වූ ඈ මෑතක සිට දෑස් පියා ගන්නේ සොඳුරු සිහින දහසක් පෙනේවායි ප්‍රාර්ථනා කරගෙනය. යළිත් ඒ සිහිනවලට සමුදෙන්නට තරම් සිතක් ඇයට වූයේ නැත.

                                    ************ 

සහන්ට හංසිකා හමු වූයේ ඔහු උඩුමහලේ සිට පහළට බසිද්දීය. මුව පුරා ඇය හා සිනහසුණු ඔහු පඩිපෙළේ කෙළවරකට වූයේ ඇයට ඉඩ දෙමින්ය. 

“අද සහන් පරක්කු වෙලා…”

ඔව් මැඩම් පොඩි වැඩ වගයක් තිබුණා. ඒක ඉවර කරලම යනවා කියලා හිතුවා. 

“ඒක හොඳයි…සහන් ඉන්නේ ගම්පහ නේද..”

“ඔව් මැඩම්..”

“ට්‍රේන් එකේද යන්නේ..”

“ඔව්.. මෙතනින් කොටුවට හරි මරදනට හරි යනවා.”

“සහන්ට පරක්කු වෙන්නෙ නැත්තං විනාඩි පහක් ඉන්න මට පුළුවන් කොටුවට දාන්න. මොකද මම අද ඒ හරහා තමයි යන්නේ. මං මේ ඩොකියුමන්ට් එක  තාත්තට දීලා එන්නම්.”

“මැඩම්ට කරදරයක් නැත්නම් ඒක මට ලොකු දෙයක්..”

“මොන කරදරයක්ද සහන්. ඉන්න..”

සහන් අමුත්තන් පිළිගැනීමේ ශාලාවෙහි වූ සුවපහසු අසුනේ කෙළවරකට වූයේ ඇය එනතුරු කාලය ගෙවා දැමීමටය. ජයවර්ධන සර් මඳක් ආඩම්බර  අයෙකු වුවත් හංසිකා එසේ නොවේ. ඈ ආයතනයේ සැමට හිතවත්ය. හවසට ඇය කාර්යාලයෙන් පිටවෙද්දී කිහිප දෙනෙකු ඇගේ වාහනයේ නැගී ගොස් මගින් බසින අයුරු සහන් දැක තිබේ. එනිසා මේ ඇරයුම සහන්ට අමුත්තක් වූයේ නැත. ඔහු උන්නේ ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නේ කෙසේදැයි සිතමින්ය. අද දහවලේත් බිනර හා ඔහු අතර ඇතිවන්නට ගිය මත ගැටුමක් දුර දිග නොගියේ බිනර සිනහමුසුව ඔහු අසලින් ඉවත්ව ගිය නිසාය. ඔහු ගැන හංසිකා හා යමක් කතා කරන්නට යළිත් මෙවන් අවස්ථාවක් හමුවේයැයි සිතිය නොහැක. 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles