යුවතිය කුලීරියට නැංවූ බිනර ආපසු හැරී ගොස් අසල වූ සිමෙන්ති බංකුවකින් අසුන් ගත්තේ සිත්හි උපන් වේදනාව මදකට හෝ සමනය කරගන්නා අටියෙන්ය. කොතරම් උත්සහහ කළත් සමහර දේවල් වෙනස් කරන්නට නොහැකි බව ඔහු දැන සිටියේය. විනාඩි කිහිපයක් බේරේ වැවේ රඟන සුදු පැහැ හංසයන් දෙස බලා සිටි තරුණයා සුලක්ෂාට දුරකථන ඇමතුමක් ලබා ගත්තේ තවදුරටත් හදවතට වද දෙන මේ සිතුවිලි නිරවුල් කරගත යුතු වූ නිසාය.
“මේ කොල්ලා නම් දැන් මට කරදරයක් වෙලා.”
එහා පසින් ඇසුණේ සොඳුරු නෝක්කාඩුවකි. මේ ඔහු වසර කිහිපයකට පෙර හඳුනාගෙන උන් දඟකාර සැහැල්ලු යුවතිය නොවේ. මෑතක සිට ඔහු සුලක්ෂාගෙන් දුටුවේ සිය වෘත්තීයත් සමඟ පරිණත වූ තරුණියකි.
“අපෝ නහයෙන් අඬන්න එපා. මම මේ ඔක්කොටම එකපාර ගෙවන්නම්.”
“ඔව්..මම ණය පොත ලියාගෙන ඉන්නේ..ජයවර්ධනලා සල්ලි නැති මිනිස්සු නෙමෙයිනේ.”
“අක්කේ ඇත්තටම ඔයා මේ වෙලාවේ වැඩකද?”
“නෑ මල්ලි. සෙන්ට්‍රල් එකේ ඉඳල ඇවිල්ලා කාර් එකට නැග්ග විතරක්. කමක් නෑ ඔයා කියන්න මං කාර් පාක් එකේ ඉන්නේ. විනාඩි පහක් දහයක් ඔයාට ඇහුම්කන් දෙන්න පුළුවන්. කෙල්ල දැන්ද ගියේ..”
“ඔක්කොටම ඉස්සර වෙලා මට කියන්නකෝ ඔයා සාස්තර කියනවද කියලා.”
“බැරි කමකුත් නෑ ඉතින් ට්‍රයි කළොත්. දැන් ඔයාට මගෙන් දැනගන්න ඕනේ ඉසුරි මොනවද කිව්වෙ කියලා නේද..”
“අන්න හරි ඔයාට තේරුණා.”
“ඒ ළමයා එයාට පුංචි කාලේ වෙච්ච දේවල් එක්ක මේ සමාජෙට බයෙන් ජීවත් වෙන කෙනෙක්. ඒක පුදුම වෙන්න දෙයක් නෙමෙයි මල්ලි. ඔයාට තේරෙනවනේ තාත්තා ඒ පවුලෙන් වෙන් වෙන්න කලිනුත් වෙන් උනාට පස්සෙත් ඒ ගෙදර තිබිලා තියෙන්නේ සාමකාමී යහපත් පරිසරයක් නෙමෙයි. ඒ හේතු නිසා යම් තරමකට අහල පහළ මිනිස්සුන්ගෙන් එයාලා කොන් වෙන්නන ඇති. කොළඹ දිස්ත්‍රික්කයේ උනාට ඒවා තවමත් ගම්. අනිත් එක ඉස්කෝලෙදි වුනත් මේ දේවල් ගැන යාලුවෝ ගුරුවරු කතාවෙන්න ඇති යම් තරමකට හරි. ඔය ලොකු අයියා කියන පුද්ගලයා එයාට නොගැලපෙන කෙනෙක් කියලා එයාගේ හිත හොඳටම දන්නවා. ඒ පුද්ගලයා හරි වෙන කෙනෙක් හරි ඉසුරිගෙ හිතේ අම්මා ගැන ලොකු වැරදි ආකල්පයක් මවලා තියෙනවා. අපි දන්නේ නැහැ මල්ලි සමහරවිට ඒ ගෑනු කෙනා හොඳම කෙනෙක් වෙන්නත් පුළුවන් වරදට යොමුවුණු කෙනෙක් වෙන්නත් පුළුවන්. මමත් අම්මා වගේ වෙයි, වෙන්න පුළුවන් කියන මෙන්න මේ වචන කිහිපය සමාජය විසින් හෝ කවුරුන් විසින් හෝ එයාගේ ඔළුවට තදින්ම කා වද්දලා තියෙනවා. ඇත්තටම කිව්වොත් ඉසුරි ඉන්නේ අන්න එතනින් එළියට එන්න බැරුව.”
“එතකොට එයාට මොකද වෙන්නේ?…..”
“ටික කාලයක් අරගෙන අපි එයාගේ හිත සන්සුන් කරන්න ඕන මල්ලි. අපිට කාගෙවත් ජීවිතවලට බලපෑම් කරන්න බැහැ. හැබැයි එයාට හරි තීරණයක් ගන්න නිවැරදි මාර්ගය පෙන්නන්න අපිට පුළුවන්. ඉසුරි කැමති උනොත් එයාව ලබන සතියේ බදාදා සෙන්ට්‍රල් එකට එක්කරගෙන එන්න. රෑ නමයහමාර වෙනකල් මම ඉන්නවා.”
“අක්කා එයා….”
අනිත් සාමාන්‍ය අය වගේ ජීවත් වෙන්න එයාගේ යටි හිතේ ලොකු උවමනාවක් තියෙනවා මල්ලි. අපි බලමු. ඊට ඉස්සරවෙලා මට ඔයාගෙන් මං මේ අහන දේට පැහැදිලි උත්තරයක් ඕනේ. ඇත්තටම ඇයි ඔයා ඉසුරිට උදව් කරන්නේ.”
“මං එයාගෙන් හොඳ දේවල් ගොඩක් දැක්කා අක්කා. අනිත් එක එයාගේ අහිංසකකම අන්න ඒක මට අමතක කරන්න බැරුව ගියා. එයා සමහර වෙලාවට ඇස් දෙකේ කඳුළු පුරවගෙන කල්පනා කරනවා මම දැක්කා. එහෙම විශේෂයක් තිබුණෙ නැහැ. කොහොම හරි අපි දෙන්නා හොඳ යාලුවෝ උනා. ඊට පස්සේ එයාගේ ජීවිතයේ සමහර සමහර තැන් ගැන මට කිව්වා.”
“දැන් ඔයාගේ හිතේ යාළුකමට එහා ගිය දෙයක් තියෙනවද. විශේෂ හැඟීමක්.”
“ඒක මට තේරුම් ගන්න බෑ අක්කා. අක්කා දන්නවනේ මම ඔහේ සැහැල්ලුවෙන් හිටියට එහෙම විශේෂයෙන් කියලා කිසිම ගර්ල් කෙනෙක් ආශ්‍රය කරපු කෙනෙක් නෙමෙයි. හැබැයි ගර්ල්ෆ්රෙන්ඩ්ස්ලා මට හිටියා. සමහර දේවල් මට හිතාගන්න බෑ. එයත් එක්ක ඉඳලා එයා යන්න යද්දි නිකං මට මහා පාළුවක් දැනෙනවා. සමහර වෙලාවට මොන දේ කරන්න ගියත් මට එයාව මතක් වෙනවා. ෆෝන් එක දකින දකින සැරේට මැසේජ් එකක් දාන්න හිතෙනවා. ඒක විශේෂ හැඟීමක් වෙන්න ඇති. ඒ උනාට මේ වෙලාවේ මට ඕනේ එයා සතුටින් ඉන්නවා දකින්න විතරයි.”
“මල්ලි….සමහර විට ඉසුරිට ඒ ලොකු අයියා කියන පුද්ගලයා මැරි කරන්න වෙයි. මොකද එන්ගේජ්මන්ට් එකකට දින නියම කරගෙන ඥාතීන්ට, යාළුවන්ට, හිතවත් අයට කියලා හැමදේම ඩිසයිඩ් කරගත්තට පස්සේ එහෙම දෙයක් නවත්වන එක ලේසි නෑ. මොනවා උනත් දරාගෙන හිනාවෙලා බලන් ඉන්න ඔයාට සිද්ධ වෙනවා. ඉසුරිව සතුටින් තියලා ඔයා දුකින් ඉන්න බෑ මල්ලි.”
සුරක්ෂා පැවසූයේ පැහැදිලිවය.
“ඔයා අංක එකට අවබෝධ කරගන්න ඕනෙ මල්ලි යාළුවෙක් විදියට හරි වෙනත් විශේෂ හැඟීමකින් හරි ඔයාට මුණගැහුනේ ජීවිතය ගැන යම්කිසි තීරණයක් අරගෙන ඉඳපු කෙනෙක් කියලා.”
“අක්කා කියන දේ මට තේරෙනවා.”
විනාඩි දහයක්යැයි පැවසූ දුරකථන සංවාදය නිමා වූයේ විනාඩි විස්සක් පමණ ගෙවී ගියාට පසුවය. ඒ වනතුරුත් සුලක්ෂා රැඳී සිටියේ පුද්ගලික රෝහලේ රිය අංගනයේය.
**************
යළි නිවසට ගියත් සුරංග සිටියේ කල්පනාවේය. සොහොයුරියත් පාරින්දත් ඉසුරිට කතා කළ අයුරු නිවැරදියැයි ඔහුට සිතුනේ නැත. දෙදෙනා අතර එතරම් ඇගෑලුම්කමක් වන පාටක්ද නොවේ. රෝහලට පැමිණි වේලේ සිට ආපසු එනතුරුත් ඔහු දුටුවේ දියණියගේ කඳුළු පමණි. ඒවාට කඩා හැලෙන්නට ඉඩ නොදී රැක ගන්නට උත්සහ දරනා අයුරු ඔහු බලා සිටියේ මහත් වූ වේදනාවක් දරාගෙනය. සොහොයුරියට ත්‍රී රෝද රථයක් කතා කර දුන් ඔහු ඉසුරිව යතුරුපැදියෙන්ම නිවස අසලට ඇරලවූයේය..
මදාරා බටර් ගෑ පාන්පෙති දෙකකුත් කිරි කෝපි එකකුත් වූ බන්දේසිය තම සැමියා අසලින් ගෙනැවිත් තැබුවේ එවේලෙහි. ඔහු තවමත් කල්පනාවේය. නිවසට පැමිණි හැටියේම පාරින්ද ගැනත් ඉසුරිගේ දුක්මසු පෙනුම ගැනත් ඔහු ඈ හා පැවසුවාය. මදාරා ඒ සියල්ල අසා සිටියත් පිළිතුරක් ලබා දෙන්නට ඉක්මන් වූයේ නැත. අද ඔහු හා සියල්ලෙන් තෘප්තිමත් විවාහ ජීවිතයක් ගත කළත් දොස්නඟන හෘද සාක්ෂියෙන් සැඟවී සිටිය හැකි කමක් ඇයට වූයේ නැත. මදාරා කිසි විටකත් ලෝකයාගේ ඕනෑ එපා කම්වලට අනුව ජීවත් වූ ගැහැණියක නොවේ. ඇය කවදත් බිය වූයේ මේ හෘද සාක්ෂියටය.
“ලොකු පුතාගෙන් උනත් ඊට වඩා වෙනස් පිළිගැනීමක් මං බලාපොරොත්තු උනි මධාරා. අද උදේ ඒ දෙන්න අතර ඇතිවෙච්ච ප්‍රශ්නෙ උනත් ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි. ලොකු පුතාට බැහැ එහෙම බලපෑම්කරන්න. අනිත් එක ඉසුරි මොකක්දෝ ලොකු දෙයක් මමත් එක්ක කියන්න උත්සාහ කළා කියලා මට හිතෙනවා.”
“ඔයා ඉසුරිත් එක්ක කතා කරන්න සුරංග. මොනව උනත් මේ වෙලාවෙ ඔයා ඉසුරිත් එක්ක ඉන්න. ඒක හරි වටිනවා.”
අවසන මධාරා එපමණක් පැවසුවාය. දරු තිදෙනා ගැන ඔහුගේ සිතෙහි හැමදාමත් වූයේ දුකක් වේදනාවක් බව විශ්වාසය. ඔහුත් දරුවනුත් අතර සිදුවන ගණුදෙනු වලට තමා කිසිදා හවුල් වන්නේ නැතැයි මධාරා තමාටම පොරොන්දු වී සිටියේ අද ඊයේක නොවේ. එනිසාම සුරංග හැකි අයුරින් තම යුතුකම් ඉටුකළ තාත්තා කෙනෙකු වූයේය.
***********
“අද අරුන් දෙන්නම ගිය එක ගැන මට පොඩි සැකයකුත් තියෙනවා.”
සහන් පැමිණ අශිකා ඉදිරිපස වූ පුටුවෙන් අසුන් ගත්තේ එසේ පවසාගෙනය. මේ කාර්යාලයේ සේවක සේවිකාවන් කඩිමුඩියේ සේවය අහවරව යන වේලාවයි. අශිකා කොහොමටත් අඩ හෝරාවක් පමණ කාර්යාලයේ රැඳී සිටින්නේ තාත්තා එනතුරුය.
යුවතිය තිගැස්සෙන අයුරු සහන් බලාගෙනය. ඇගේ දෑස් සෑම විටකම බිනර පසුපස දිව යන බව ඔහු හොඳටම දැන සිටියේය.
“නෑ…අරය අසනීපෙන්ලු හිටියේ. බිනර ගිහිල්ල තියෙන්නේ එයාගේ වෙනන වැඩකට.”
“කවුද දන්නේ ඉතින් දෙන්නා දෙජාතියේ බොරු කියල මෙතනින් පිටවුනාද කියල”
“ඔයා හිතන්නේ බිනරයි ඒකියි අතරේ..”
“සමහරවිට මොනවා හරි තියෙන්න පුළුවන්. එහෙම සැක හිතන්න ඕන තරම් හේතු තියෙනව. එහෙනම් එයාට පුළුවන්නේ බිනර ආශ්‍රය කරන විදිහට මාව ආශ්‍රය කරන්න. අපිත් එක්ක දවසකට වචන දෙක තුනකට වඩා කතා කරන්නේ නෑ. කොහොමද එයා බිනර ගාවදි නංස්ටොප් කියවන කියවිල්ල. මං කියන්නේ බිනරයා එයයාව ආශ්‍රය කරන විදියට ඔයාව ආශ්‍රය කරනවද..ඉතිං එතන මුකුත් නෑ කියලා අපි හිතන්නේ කොහොමද”
“අනේ මන්ද සහන් ඔයා කියන දේවල් ඇහුවට පස්සේ මගේ ඔලුව අවුල් වෙනවා.”
“අපි දෙන්න මේ දේවල් හංග හංග කතා කරන්න ඕනෙ නෑනෙ අශිකා. මං දන්නවා උඹ බිනර ගැන හෝප්ස් තියන් ඉන්නවා කියලා. එහෙමනම් ඉතින් දැම්ම මේ උරචක්‍ර මාලයෙන් එයාව ගලවගන්න මොනවා හරි කරපන්. මොකද මට ඒ හැමදේම කියන්න බෑ. මම මෙයා ගැන හෙව්වා. එච්චර හොඳ කෙනෙක් නෙමෙයි. හොඳ ෆැමිලි එකක කෙනෙකුත් නෙමෙයි. ගමේ චාටර් වෙලා ඉන්නේ”
“ඒක මමත් එක්ක කියන්න බෑ කියලා දෙයක් කියලා කුතුහලයක් හිතේ ඇතිකරලා නතර කරන්න එපා සහන්. මට කියන්නකො විස්තර. බිනර බේර ගන්න හරි, අපි බේරිලා ඉන්න හරි එයා ගැන විස්තර හරියට දැනගන්න එපැයි.”
“පොඩි කාලෙම තාත්තා දාලා ගිහිල්ලලු. ඊට පස්සේ හිඟා නොකා හිඟා කාලා ජීවත් වෙලා තියෙන්නේ. අම්මත් එච්චර හරි නෑලු. තාත්තා ඉන්න කාලෙත්, පස්සෙත් එයාට වෙන වෙන සම්බන්ධකම් සෑහෙන්න තිබිලා තියෙනවා. එයත් මේ පොඩි කාලේ ඉඳලම එයාගේ නැන්දගේ පුතත් එක්කලු හිටියේ. ඒවා ඉතින් සෑහෙන්න දුරදිග ගිහිල්ලා. ලිවින් ටූ ගෙදර් ජීවත් වෙනවා වගේ තමයි ලු.”
“ඔයාට කවුද අනේ එච්චර විස්තර කිව්වේ..”
“මං ටිකක් හෙව්වා. ඒ පැත්තෙ මගේ යාලුවෙක් ඉන්නවා.”
“අම්මෝ අහිංසකකමට හිටියට මාර භාණ්ඩයක්නේ. ඕව මේ ඔෆිස් වල කවුරුවත් දන්නෙ නැද්ද අනේ”
“දන්නේ නැතුව ඇති මං හිතන්නේ”
“ඒ වුනාට සහන් අපි එයා ගැන කියන්න තියෙන්නේ. මං බිනර එක්ක කියනවා. හදිසියේ බිනර ඔයාගෙන් ඇහුවොත් ඔප්පු කරන්න සාක්ෂි තියෙනවනේ.”
“නෝ ප්‍රොබ්ලම්…එක්කන් ගිහිල්ලා උනත් පෙන්නන්න පුළුවන්..කෝකටත් පරිස්සමෙන්..”
සහන් යුවතිය අසලින් නැගී සිටියේ එසේ පවසමින්ය. අශිකා සිය මේසය මත වූ පරිඝණකය නිමා දැමුවේ ජයග්‍රාහී සිනහවක් සමඟය..
( යළිත් හමුවෙමු ආදරයෙන්)











