ළතෙත් ආදර හැඟුම් ගංගා – 62

*තාරානාත් දහම් වංශනායක*

“මට මේ දරුවව ඕනම කියලා එකක් නෑ. මට ඕන මගෙන් ඈත්වෙලා හරි කමක් නෑ වෙන උන්ගෙන් කරදර නැතුව ඒ දරුවටයි අම්මටයි ඉන්න පුලුවන්කමක් හදන එක. අයිතිකරගත්ත තැනක ආදරයක් නෑ කියන එක වගේම ආදරේ තියෙන තැනක අයිතිකරගැනීමක් තියෙන්න ඕන නෑ කියන එක මම දැනටම දන්නවා.

ඒ උනාට ජීවිතේ එක වතාවක් මේ දරුවව එපා කියලා දරුවගෙ අම්මට උන් හිටි තැන් නැති කරලා දාපු එකෙක්ට ආය ඇවිල්ලා ඒ දෙන්නා බොහොම අමාරුවෙන් එක්කහු කරගත්ත නිස්කලංකෙ නැති කරන්න ඉඩ දෙන්න පුලුවන්කමක් නෑනෙ. අන්න ඒ හන්දයි මට මේ කේස් එකට ලීගල් සපෝට් එකත් ඕන කරලා තියෙන්නෙ සර්” කියලා මම කිව්වෙ ඊට එහා දෙයක් කියන්න මට කිසිම දෙයක් ඉතුරු වෙලා තිබුණෙ නැති හන්දා.

මම ලෝයර්ගේ ඔෆිස් එකෙන් එළියට බැස්සට මං උන්නෙ ඇඉදගන්න තරම් පණක් ඇතුව නෙවෙයි මට දැනුනෙ නිකන් මගෙ කකුල් දෙකේ ගල් එල්ලලා තියෙනවා වගේ මහ පුදුමාකාර බරක්. එළියේ තිබිච්ච ඉර එළිය පවා ඇස්වලට වැදිච්ච එක මට දැනුනෙ හරියට වේදනාවක් වගේ. 

“ඇයි නාද්‍යා ඔයා මෙහෙම දෙයක් කරේ? එකපාර මගෙන් මෙහෙම ඈත්වෙලා යන්න තරම් මං ඔයාට කරපු වරද මොකද්ද? ඇයි ඔයා මාව විශ්වාස කළේ නැත්තේ? මම ඔයාලා දෙන්නවම බලාගන්න තිබුණා. මම තාමත් මේ කරන්නෙ ඒක. ඇයි ඔයාට ඒක තේරුම් ගන්න බැරිවුණේ” කියලා මම ඇහුවේ වාහනේ ඩ්‍රයිව් කරගෙන එන ගමන් මගෙන්මයි. වාහනේ කණ්ණාඩියෙන් මමම දැක්කා මම කොච්චර නම් පිස්සෙක් වෙලාද කියන එක. කවදාවත් නැතුව රැව්ල, කොණ්ඩෙ වවාගෙන උන්න මං දිහා බලද්දි තමයි මට තේරුණේ මෙච්චර දවසක් මං උන්න පිළිවෙල අස්සෙ තිබිලා තියෙන්නෙ නාද්‍යාගෙ ආදරේ හෙවණැල්ල කියන එක. ඒ ආදරේ හෙවණැල්ල නැතිවෙච්ච තැන මම පිස්සෙක් වෙලා කියන එක. මට නැති උනේ මගෙ ගෑනිවත් දරුවවත් විතරක් නෙවෙයි මට මාවත් නැතිවෙලා කියන එක.

“ගයාන ඇවිල්ලා ඔයාට කරදර කරන්න හැදුව විත්තිය, ත්‍රෙට් කරා කියන එක හැමදේම මම දන්නවා. ඒ උනාට ඒ කිසිම තැනකදි ඔයා ඒවට තනියෙන් ෆේස් කරන්න ඕන කියලා දෙයක් තිබ්බෙ නෑ නාද්‍යා. ඔයාට තිබ්බා මට කියන්න. මං තාම බලන් ඉන්නෙ ඔයා මට කතා කරනකම්. ඔයා මාව විශ්වාස කරාවිද නැද්ද කියන්න මම දන්නෙ නෑ නාද්‍යා ඒ උනාට කවදහරි දවසක ඔයාට මාව මතක්වෙයි ඔයාට මාව ඕනවෙයි කියලා විශ්වාස කරගෙන ඔයා මාව දාලා ගියපු තැනම ඔයා ආපහු දවසක එනකම් මම බලාගෙන ඉන්නවා”

මං කියාගත්තෙ මටමයි. රෑ පුරාවටම නින්දක් නැතුව ඇහැරගෙන ඇඳේ පෙරළි පෙරළි ඉද්දි මං එහෙම කියාගත්තෙ මටමයි.

ඊළඟ දවස් ගත වුණේ හීනයක් වගේ. 

නින්දක් කියලා දෙයක් තිබ්බෙම නැති හන්දා මම හැමදාම ඉරට කලින් ඇහැරුණා. නාද්‍යාව හොයාගන්න සෑහෙන්න මහන්සි වෙන්න උනත් මම හැමදාම පොලිසියට ගිහින් නාද්‍යා ගැන මොකක් හරිම අලුත් ආරංචියක් තියෙනවද කියන එක ගැන හෙව්වා.

ඒ අතරෙම මම දැනගෙන හිටියා ගයාන් තාම වත්ත පැත්තට ගිහින් නාද්‍යා ගැන හොයනවා කියන එක. මංජුට එහෙම සද්ද බද්ද දාලා නාද්‍යා ගිය තැනක් දන්නවද නැද්ද කියලා අහලා බලන එක. ඒ උනාට මම ඒවට ඉන්ටර්ෆියර් වෙන්න ගියේ නෑ මොකද මගේ එක වැරදි අඩියක් ආයෙම කිසි දවසක නාද්‍යාටවත් අහස්ටවත් මට කිට්ටුවෙන්න තියෙන හැම පාරක්ම වහලා දාවි කියන එක මගේ හිත බය කරලා තිබිච්ච හන්දා.

“එයා මගෙන් ඈත් වෙලා හරි, ආරක්ෂිතව ඉන්න ඕනේ. මම කලබල වුණොත්, එයාට ආපහු එන්න තියෙන ඉඩත් නැති වෙයි” කියන කතන්දරේ මම මගේ හිතට හැම තිස්සෙම කිව්වා.

මට වටිනවා, මාව වටිනවා කියලා හිතුන මේ ලෝකෙ මට මගේ කියන්න උන්න එකම දෙන්නත් නැති වෙයි කියන බය මාව පුදුමාකාර විදියට ඉවසන මනුස්සයෙක් බවට පරිවර්තනය කරලා තිබුණා.

තාත්තා එයාගෙ ඔපරේශන්ස් වලින් පස්සෙ ආයෙ ලංකාවට ආවෙ ඔන්න ඔය කාලෙම වගේ. ඒ එද්දි මම තාත්තා හොඳ සිහි කල්පනාවෙන් වගේම මෙච්චර දවසක් රෝද පුටුවකට සීමා වෙලා තිබ්බ ජීවිතේ ක්ලචර්ස්වලින් යන ලෙවල් එකට අප්ග්‍රේඩ් කරගෙන උන්න හන්දා තාත්තට මම ඒ වෙද්දිත් වෙච්ච දේවල් සහ නාද්‍යා දරුවත් එක්ක අන්තරස්දාන වෙලා කියන එක මම එයාට කියලා තිබ්බා.

“ඔය කියන විදියට ඒ මනුස්සයා ඔච්චර ලොකු ෆයිට් එකක දෙනවා නම් ඔය දරුවව ආපහු තමන් ළඟට ගන්න අපිට අපේ පැත්තෙන් කියන්න වෙන දේවලුත් ටිකක් බර දාලා කියන්න වෙනවා නේද පුතා?” කියලා තාත්තා අහද්දි මම කරේ ඔලුව හොල්ලන එක. ඔලෙයියෙක් වගේ ඔලුව හොල්ලනවා ඇරෙන්න ඇත්තටම මට ඒවට දෙන්න උත්තර තිබ්බෙවත් එහෙම තිබ්බත් දෙන්න උවමනාවක් තිබ්බෙවත් නෑ. මං උන්නෙ නිකන් “මීට වඩා හොඳයි මං කෝමා එකකට ගියා නම්” කියන ලෙවල් එකකින් ජීවිතේ ගැන කලකිරිලා.

“සනා හිතන්නෙ ඇත්තටම ඔය වත්තෙ මිනිස්සු දන්නෙ නැතුව ඇතිද නාද්‍යා දරුවවත් අරගෙන ගියේ කොහෙද කියන එක?”

“දැනගත්තත් උන් ඉන්නෙ කියන්නෙ නෑම කියන ලෙවල් එකක තාත්තෙ”

“එහෙම සනාගෙන් ඕක ඔච්චර හංගගෙන ඉන්න සනාගෙ අතෙන් නාද්‍යාට හරි ඒ දරුවට හරි මොකක් හරි කරදරයක් උනාද?”

“එහෙම කරදර කරන්න නම් මං මොකටද තාත්තෙ මෙච්චර පණ දාගෙන නාද්‍යාව හොයන්නෙ? මගෙ අතෙන් කිසිම කරදරයක් වරදක් එයාට උනේ නෑ තාත්තෙ. උනා නම් වෙච්ච එකම දේ මම එයාගෙන් මැරි කරන්න අහපු එක විතරයි හැබැයි ඒක වරදක්ද කියලා මම දන්නෙ නෑ. වරදක් උනත් ඒක මේ ගෙවල් දොරවල් අත ඇරලා යන්න තරම් ප්‍රශ්නයක්ද කියන්න මම දන්නෙත් නෑ”

“සමහර විට ඒ දරුවා බයවෙන්න ඇති ඔය ගයාන් කියන මනුස්සයා ඒ දරුවට කරන කරදර වලින් සනාට කරදරයක් වෙන්න පුලුවන් කියලා. එහෙම හිතලා ගියාද දන්නෙ නෑ”

“දැන් ඉතින් නාද්‍යා නැතුවත් උගෙන් මට කරදරයිනෙ තාත්තෙ. ආය නාද්‍යා යන්නෙ නැතුව හිටියනම් සමහරවිට මගෙ හිතට අඩුම ගානෙ ඒ පැත්තෙන් හරි සැනසීමක් ලැබෙන්න තිබ්බා. දැන් අන්තිමේ මට කිසිම පැත්තකින් කිසිමාකාර සැනසීමක් නෑනෙ.

අනික නාද්‍යා මොකටද තාත්තෙ බයවෙන්නෝන මේ ඌ වගේ ලපයි සිපයියෙක්ගෙන් මට කරදර වෙයි කියලා? මොකද්ද මට වෙන්න පුළුවන් කරදරේ? මොකෝ ඌ මාව රේප් කරන්නද? නාද්‍යා හොඳටම දන්නවා ගයාන් කියන්නෙ මට සරෙන්ඩර් කරන්න බැරි ලෙවල් එකේ මනුස්සයෙක් නෙවෙයි කියන එක. එහෙම එකේ හොඳටම ඒක දැනගෙන මේ වගේ බක පණ්ඩිත තීරණයක් ගත්තෙ මං මෙච්චර ආදරේ කරපු එකට මගෙන් පළිගන්න ඇරෙන්න වෙන මොකට කියලද තාත්තා හිතන්නෙ?

එහෙම හිතෙද්දි මට පුදුම තරහක් එන්නෙ තාත්තෙ. මට ඔක්කොටම වඩා තරහා අර දරුවා එන්න එන්න ලොකුවෙද්දි, ඒ දරුවා එන්න එන්න යමක් කමක් තේරුම්ගන්න පුලුවන්කාලෙ එද්දි නාද්‍යා දරුවව මගෙන් ඈත් කර එක. කවදහරි දවසක ආයෙ හම්බුනා කියන්නකො තාත්තෙ ඒ දරුවා මමයි එයාගෙ තාත්තා කියලා පිළිගත්තෙ නැත්තම් මොකද කරන්නෙ? ඒ දරුවට මාව අමතක වෙලා තිබ්බොත් මොකද කරන්නෙ?

එදාට තාත්තා හිතනවද මට පුළුවන් වෙයි කියලා නාද්‍යාට සමාව දෙන්න?”

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles