මේක පටන් ගන්නේ මාරම හෙමින්. හරිම සරල විදිහට. සමහර වෙලාවට ඔයාට මුලින් “එයා එහෙමයි, එයා එන්නෙ මට විස දශ්ට කරන්න” කියලා පොඩ්ඩක්වත් හිතෙන්නෙ නැති වෙන්න පුළුවන්.
මුලින්ම මේවා එන්නේ විහිළුවක් වගේ. හිනා වෙවී කියන පොඩි කතාවක් වගේ.
“අනේ බං විහිළුවට කිව්වේ, ඔච්චර සීරියස් ගන්න එපා.”
“උඹ මාර සෙන්සිටිව්නේ.”
“මම මේ උඹේ හොඳටනේ කියන්නේ.” වගේ නිකන් හරිම ලස්සන, sugar coated වචන එක්ක තමා එළියට එන්නෙ.
මුලින් මුලින් ඔයා මේවා ගණන් ගන්නේ නැහැ. මොකද මේ ඔයාගේ යාළුවා. ඔයා විශ්වාස කරන, ඔයාගේ කතාව දන්න, කාලයක් තිස්සේ ඔයා එක්ක හිටපු කෙනා. “යාළුවෝ ඉතින් ඔහොම තමයි, මම ඕනෑවට වඩා හිතනවා ඇති” කියලා ඔයා හිත හදාගන්නවා.
හැබැයි හෙමින් හෙමින් හැමදේම වෙනස් වෙනවා.
කතාව ඉවර වෙලා ගොඩක් වෙලා ගියත් එයා කියපු දේවල් ඔයාගේ ඔළුවේ කැරකෙනවා. එයා ළඟ ඉන්නකොට ඔයාට දැනෙන්නේ ඔයා හරිම “පොඩි” කෙනෙක් වගේ. ඔයාට ලැබුණු හොඳ ආරංචියක් පවා එයාට කියන්න ඔයා දෙපාරක් හිතනවා. ඒ ඇයි කියලා ඔයා දන්නේ නැති වුණත්, එයාව හම්බෙන්න කලින් ඔයා මානසිකව ලොකු ලෑස්තියක් වෙනවා.
අන්න ඒ වෙලාවට තමයි ඔයාට තේරෙන්නේ මේ යාළුකම ඇතුළේ ඔයාට දැන් ආරක්ෂිත බවක් දැනෙන්නේ නැහැ කියලා.
දන්නේම නැතුව මේක පටන් ගන්නේ කොහොමද?
ඔයාව වට්ටන යාළුවෝ මුල ඉඳන්ම නරක විදිහට හැසිරෙන්නේ නැහැ. ඇත්තටම කිව්වොත් මුල් කාලේ ඒ අය මාරම හොඳයි, හරිම ෆනී, ඔයාට ඕනෑම වෙලාවක උදව් කරනවා. ඔයාව හොඳට තේරුම් ගත්තා වගේ දැනෙනවා.
හැබැයි කාලයක් යනකොට ඒ අය කියන දේවල් වෙනස් වෙනවා.
ඔයාගේ තීරණ ගැන ප්‍රශ්න කරනවා. ඔයාගේ හීනවලට හිනා වෙනවා. අනිත් අය ඉස්සරහා ඔයාගේ වැරදි ඇදලා ගන්නවා. ඔයා නැති තැනදිත් ඔයාට අරවා මේවා කියනවා හැබැයි මූණට නිකන් දේවදූතියක් වගේ සලකනවා. ඔයාට තියෙන දේවල්වලට ඉරිසියා කරනවා. එයාටත් ඒවා ගන්න පුලුවන් “ඒත් අනේ මං ගත්තෙ නෑ” වගේ දේවල් කියනවා.
ඒ අය තමන්ගේ අගෞරවය විහිළුවක් වගේ පෙන්වනවා. තමන්ගේ විවේචනය ඇත්ත කතා කිරීමක් වගේ පෙන්වනවා.
“ඔය ජොබ් එක ඔයාට සෙට් නෑ.”
“ඔය රස්සාවෙන් අස් වෙන්න”
“ඔයාට නම් ජොබ් එකක් නැතත් අවුලක් නෑ හස්බන්ඩ් කන්න දෙනවනෙ” වගේ අමුතු අමුතු ඔයාටත් නිකන් මුලින් හානියක් නෑ කියලා හිතෙන විදියෙ කතන්දර එයා කියනවා.
මේ හැම කතාවක්ම තනි තනියම ගත්තම පොඩි දෙයක් වගේ පෙනුණාට, ඒවා දිගින් දිගටම වෙනකොට ඒක ලොකු පීඩනයක් වෙනවා.
මේ වගේ යාළුකමක තියෙන භයානකම දේ තමයි ඒකෙන් වෙන හානිය සද්දයක් නැතුවම සිද්ධ වෙන එක. ඔයා හැමදාම කතා කරලා ඉවර වෙලා අඬන්නේ නැහැ. ලොකු රණ්ඩු ඇති වෙන්නේ නැහැ. හැබැයි දන්නේම නැතුව ඔයා ඔයා ගැනම සැක කරන්න පටන් ගන්නවා. ඔයාගේ දක්ෂතා ගැන ඔයාටම විශ්වාසයක් නැති වෙනවා. ඔයාව සතුටු කරපු හීන ගැන ඔයාට තියෙන උනන්දුව නැති වෙනවා.
දවසක ඔයාට තේරෙයි එයා එක්ක ඉඳලා ආවම ඔයා ඉන්නේ මාරම තෙහෙට්ටුවකින් කියලා. මතක තියාගන්න, යාළුකමක් කියන්නේ කෙනෙක්ව Drain කරන, හිතේ ශක්තිය උරා ගන්න දෙයක් නෙමෙයි.
ඇයි අපි මේ වගේ අයගෙන් ඈත් වෙන්න බය? කියලා ඔයාට දැන් හිතෙන්න පුළුවන්.
මොකද අපේ ඉතිහාසය මාර බලවත්.
ඔයා එයාව අවුරුදු ගාණක ඉඳන් දන්නවා.
ඔයාගේ ජීවිතේ වැදගත් වෙලාවල් වල එයා හිටියා.
ඔයාගේ රහස්, මතකයන් හැමදේම එයා දන්නවා.
ඉතින් ඈත් වෙන එක ද්‍රෝහිකමක් වගේ ඔයාට දැනෙනවා. “එයා නරකක් හිතාගෙන නෙමෙයිනේ කරන්නේ” කියලා ඔයා හිත රවට්ටගන්නවා. තනියම ඉන්න වෙයි කියලා බය හිතෙනවා.
හැබැයි කෙනෙක්ට විහිළුවක් කරන එකයි, පල්ලෙහට දාන එකයි කියන්නේ දෙකක්.
ඇත්තම විහිළුවකදී දෙන්නාම හිනා වෙනවා.
අගෞරවයකදී එක්කෙනෙක් හිනා වෙනකොට අනිත් කෙනා ඉන්නේ මාරම අපහසුතාවයකින්.
ඇත්තම යාළුවෙක්ට පුළුවන් ඔයාට රිද්දන්නේ නැතුව ඇත්ත කියන්න. ඔයාව ලැජ්ජාවට පත් කරන්නේ නැතුව ඔයාගෙ වරදක් හදන්න. හැම විහිළුවක්ම කරන්නේ ඔයාව “ජෝකර්” කෙනෙක් කරලා නම්, ඒක ආදරේ නෙමෙයි ඒක හානියක්.
මේ වගේ දේවල් ගොඩක් වුනාට පස්සෙ එක Turning point එකක් එනවා.
ඔයාගේ ප්ලෑන්ස් එයාට කියන්න ඔයා අකමැති වෙනවා. එයා කොහේ හරි යන්න එන්න බැහැ කියනකොට ඔයාට දැනෙන්නේ මාරම නිදහසක්. ඔයා ගොඩක් උත්සහ කරනවා එයා එක්ක එහෙ මෙහෙ යන ඒව අඩු කරගන්න. එයා ළඟ නැති වෙලාවට ඔයාට හිතට සැහැල්ලුවක් දැනෙනවා.
ඔයා එයාට වෛර නොකරන්න පුළුවන්, තවමත් ආදරේ වෙන්න පුළුවන්. හැබැයි ඔයාගේ හිත දන්නවා මේ බැඳීමෙන් ඔයාට ලැබෙන දේට වඩා අහිමි වෙන දේ වැඩියි කියලා. ඒක පිළිගන්න එක අමාරුයි, හැබැයි ඒක තමයි ඇත්ත.
තමන්ව තෝරාගන්න එක ආත්මාර්ථකාමීත්වයක් නෙමෙයි කියන එක මේ හැම වෙලාවකම ඔයා මතක තියාගන්න ඕන.
ඈත් වෙනවා කියන්නේ ඔයා එයාට වෛර කරනවා කියන එක නෙමෙයි. ඒකෙන් ඔයා දුර්වලයි කියලා කියවෙන්නෙත් නැහැ. ඔයාව නිතරම පහත් කරන අයගෙන් ඔයාගේ සැනසීම බේරාගන්න ඔයාට අයිතියක් තියෙනවා. ඒක පවුල වුණත්, යාළුවෝ වුණත්, ආදරේ වුණත් එච්චරයි.
හොඳම දේ තමයි සද්ද නැතුවම සීමාවන් හදාගන්න එක. ලොකු ප්‍රකාශ නෑ, ලොකු පැහැදිලි කිරීම් නෑ. තමන්ගේ සැනසීම වෙනුවෙන් පොඩ්ඩක් ඈත් වෙන්න.
ඇත්තම යාළුකම කියන්නේ මොකක්ද කියන එක ඒ අතරවාරෙම තේරුම්ගන්න උත්සහ කරන්න.
ඇත්ත යාලුවෙක් කවදාවත් ඔයාගේ සතුට එක්ක තරග කරන්නේ නැහැ.
ඔයා දියුණු වෙනකොට එයා බය වෙන්නේ නැහැ.
ඔයාගේ අඩුපාඩු නිතර නිතර මතක් කරලා දාලා එයා සතුටු වෙන්නේ නැහැ.
නියම යාළුකමක් ඇතුළේ ඔයාට නිදහසේ හුස්ම ගන්න පුළුවන්. එයා ඔයාව පොඩි කෙනෙක් කරන්නේ නැතුව ඔයාට ඉස්සරහට යන්න හයියක් වෙනවා.
ඔයාගේ ජීවිතේ ළඟින් ඉන්න හැමෝම හැමදාම ඉන්න ඕනේ නැහැ. සමහර අය එන්නේ පාඩමක් උගන්වන්න. ඒ පාඩම තමයි කාවද අතහරින්න ඕනේ කියන එක.
ඇත්තම යාළුවෙක් කවදාවත් ඔයාගේ ආලෝකය නිවන්න හදන්නේ නැහැ. එයා කරන්නේ ඔයා දැනටමත් මොන තරම් දීප්තිමත් කෙනෙක්ද කියලා ඔයාට පෙන්වන එක තමයි.
ඉතින්, ඔයාට ආදරෙන් කතා කරන, ළඟින්ම ඉන්න හැමෝම ඔයාගේ දියුණුව පතන අය නෙවෙයි කියලා තේරුම් ගන්න. මොකද Nowadays, snakes don’t hiss; they call you bestie.











