බ්‍රිතාන්‍යයේ “World’s Strictest Parents” කියන රූපවාහිනී වැඩසටහනෙන් නපුරු, කාටවත් කීකරු නැති බ්‍රිතාන්‍ය තරුණ ළමයි දෙන්නෙක්ව ලංකාවේ බෞද්ධ පවුලකට එවුවා.
ඇත්තටම ඒ වගේ දඟකාර, නීති රීති රුස්සන්නේ නැති කෙල්ලෝ දෙන්නෙක්ව අපේ ලංකාවේ සාම්ප්‍රදායික, ආගමික පරිසරයක් තියෙන ගෙදරකට දවස් 8කට දැම්මොත් මොන වගේ දෙයක් වෙයිද?
අන්න ඒ ගැන තමයි අද මේ ලිපියෙන් අපි ඔයාලා එක්ක කතා කරන්න හිතුවෙ.
මේ අත්හදා බැලීම පටන් ගන්නෙම තමන්ගේ පවුල් ජීවිත සම්පූර්ණයෙන්ම වනසලා, දෙමාපියන්ව අන්ත අසරණ කරපු, කාටවත් පාලනය කරන්න බැරි බ්‍රිතාන්‍ය තරුණියන් දෙන්නෙක්ව හඳුන්වලා දීලා.
ඒ දෙන්නගෙන් එක්කෙනෙක් තමයි 17 හැවිරිදි නිකී ස්ටයිල් . එයා තමන්ගේ ජීවන රටාව ගැන පොඩ්ඩක්වත් පසුතැවෙන්නේ නැති, කිසිම ලැජ්ජාවක් නැති කෙල්ලෙක්. එයා කියන්නේ, “මට ඕන විදිහට මං ජීවත් වෙනවා, මට ඕන විදිහට මං පාටි දානවා,” කියලා විතරයි.
එයාගේ අම්මා, කැරොල් , තමන්ගේ දුව නිසා හදවතින්ම අඬන අම්මෙක්. කැරොල් කියන විදිහට නිකී කියන්නේ “අන්තිම දරුණු, හීනයකින්වත් හිතන්න බැරි තරම් නපුරු ශාපයක් වගේ දරුවෙක්.” හැබැයි අම්මා මොන නීතියක් දැම්මත්, මොන සීමාවක් පැනෙව්වත් නිකී කරන්නේ හිනාවෙලා, “ඔව් ඔව්, මොකක් වුණත් මට කමක් නෑ” ( කියලා දොරත් වහගෙන ගෙදරින් පිටවෙලා යන එක විතරයි.
නිකීගේ කතාව එතනින් ඉවර වෙන්නේ නෑ, එයාට මාරම දරුණු, ප්‍රචණ්ඩකාරී අතීතයක් තියෙනවා:
ඉස්කෝලේ යන කාලේ දිගටම රණ්ඩු සරුවල් කරපු නිසා, ගුටි බැට හුවමාරු කරගත්තු නිසා එයාව ඉස්කෝලෙන් අයින් කරලා තියෙනවා. එයා හරිම ආඩම්බරෙන් කියන්නේ, “රණ්ඩු වෙන එක ගෑණු ළමයෙකුට ගැලපෙන්නේ නෑ තමයි, හැබැයි කවුරු හරි මගේ මල පැන්නුවොත් මං ඉතින් අත අරින්නේ නෑ, දෙනවා වැඩේ” කියලා. එයාගේ කේන්තිය කොච්චර දරුණුද කියනවා නම්, එයාම කියනවා, “මාව කේන්තිය පාලනය කරන පන්තිවලට යැව්වා… හැබැයි එතනදීත් මට මල පනපු නිසා මුන් මාව ඒ පන්තියෙනුත් එලෙව්වා!” කියලා.
හැබැයි මේ හැමදේටම වඩා හිතට වද දෙන, ඛේදජනකම දේ තමයි මේක. නිකී දෙන මානසික පීඩනය, ආතතිය දරාගන්න බැරුව එයාගේ අම්මාට හෘදයාබාධයක් පවා හැදිලා තියෙනවා. ඒ වගේ වෙලාවකවත් මේ කෙල්ලගෙ හිත උණුවෙලා නෑ. නිකී හරිම සීතල විදිහට, කිසිම හැඟීමක් නැතුව කියන්නේ, “ඕවා ගැන හොයලා බලන එක මං සෑහෙන කාලෙකට කලින්ම නතර කරලා දැම්මා” කියලා.
අනිත් පැත්තෙන් ඉන්නේ 18 හැවිරිදි ජෙරී මැක්සි . එයා එසෙක්ස් ප්‍රදේශයේ ජීවත් වෙන, බාහිර රූපලාවන්‍යයයි, සල්ලිවලට ගන්න පුළුවන් සුඛෝපභෝගී දේවල් විතරක්ම ඔළුවේ තියාගෙන ඉන්න කෙනෙක්. එයාට කිසිම රස්සාවක් කරන්න උනන්දුවකුත් නෑ. තමන්ගේ ඉල්ලීම් හැමදේටම ඔව් කියන, සල්ලි දෙන තමන්ගේ තාත්තාව එයා දකින්නේ නිකන්ම නිකන් ඇවිදින බැංකුවක් විදිහට විතරයි. තාත්තා හරි මොහොතක හරි සල්ලි දෙන එක ප්‍රතික්ෂේප කරපු ගමන් ජෙරී සම්පූර්ණයෙන්ම යක්ෂණියක් වෙනවා. එයාම කියන්නේ, “මට සල්ලි නොදුන්නොත් මං මාරම නපුරු වෙනවා” කියලා.
මේ කෙල්ලෝ දෙන්නගේ අනාගතය බේරගන්න තියෙන අන්තිම සහ එකම බලාපොරොත්තුව විදිහට, මේ පවුල් දෙකම එකතු වෙලා මේ දෙන්නගේ බෑග් ටික පැක් කරලා හැතැප්ම 5,000ක් ඈතින් තියෙන ශ්‍රී ලංකාවට පිටත් කරලා හරිනවා.
හැබැයි ලංකාවට කකුල තියපු ගමන්, අනුන්ව සතෙකකට මායිම් නොකරන ජෙරී අපේ රටට අන්ත විදිහට අපහාස කරනවා. කොළඹ නගරය දැකපු ගමන් එයා කියන්නේ, “මේක නිකන් පැල්පත්වාසීන් ඉන්න මුඩුක්කුවක් ” කියලා.
ඔන්න ඔහොමයි මේ දෙන්නා ලංකාවට එන්නේ. හැබැයි මේ දෙන්නව බාර වෙන්නේ ලෙහෙසි පහසු කෙනෙකුට නෙවෙයි; දැඩි බෞද්ධ සිරිත් විරිත් අදහන බ්‍රින්ඩ්ලි සහ මනෝජා (මෑන්ඩි) ද සිල්වා කියන යුවළට.
බ්‍රින්ඩ්ලි කියන්නේ ලංකාවේ ඉන්න කෝටිපති මුල්‍ය විධායකවරයෙක් (. හැබැයි එයා සල්ලි තිබ්බා කියලා තමන්ගේ දරුවන්ව නරක් කරලා නෑ. එයා තමන්ගේ දක්ෂ, විනයගරුක දරුවන්ව හදන්නේ හරිම චාම් පරිසරයක. ඒ ගෙදර රූපවාහිනී නෑ.අන්තර්ජාලය නෑ.අතට දෙන පොකට් මනි නෑ.
ඉතින් බටහිර සැප විඳපු කෙල්ලෝ දෙන්නට මේක මාරම කෝපයක් සහ කම්පනයක් වෙනවා. බ්‍රින්ඩ්ලි ගෙදර නීති රීති ටික මුලින්ම මේ අයට කියනවා: “හැමෝටම උපරිම ගෞරවයෙන් සලකන්න ඕනේ, මේක ඇතුළේ මේකප් දාන්න බෑ, සහ දුම්පානය සම්පූර්ණයෙන්ම තහනම්!”
මේ නීති ටික ඇහුව විතරයි, අර බ්‍රිතාන්‍ය කෙල්ලෝ දෙන්නා එතනම කැරලි ගහන්න පටන් ගන්නවා!
දුම්පානය කරන්න ඕනේ කියලා මේ දෙන්නා මල පැනලා ගෙදරින් එළියට යන්න හදද්දී, බ්‍රින්ඩ්ලි හරස් වෙලා ඒක නවත්වනවා. එතනදී ලොකු වචන හුවමාරුවක්, මාරම රණ්ඩුවක් සිද්ධ වෙනවා. නිකී තමන්ගේ පුරුදු කුණුහරුප වචනවලින් බ්‍රින්ඩ්ලිට බනිද්දී, බ්‍රින්ඩ්ලි සෙල්ලම් දාන්න එන්නේ නැතුව කෙලින්ම රතු ඉර මාක් කරනවා. එයා කියනවා, “මේ ගෙදර නීතිවලට ගරු කරන්නේ නැත්නම්, මේ ප්‍රෝග්‍රෑම් එක මෙතනින් ඉවරයි. ඔයාලට යන්න පුළුවන්” කියලා.
වෙන කරන්න දෙයක් නැති තැන, අසරණ වුණු කෙල්ලෝ දෙන්නා අන්තිම මොහොතේ මෙන්න මෙහෙම ඩීල් එකක් දානවා: “අනේ අපි දවසට සිගරට් දෙකක් විතරක් බොන්නම්” කියලා එයාලගේ සිගරට් පැකට් ටික බ්‍රින්ඩ්ලි අතට දෙනවා එයාගේ පාලනය යටතේ තියාගන්න. ලංකාවේ සංස්කෘතියට, සිරිත් විරිත්වලට මේ කෙල්ලෝ දක්වන අගෞරවය දැකලා මෑන්ඩි සම්පූර්ණයෙන්ම කම්පනයට පත්වෙනවා.
මෑන්ඩි තීරණය කරනවා මේ දෙන්නගේ තියෙන කම්මැලි කමයි, උඩඟුකමයි කුඩු කරලා දාන්න කැලෑවක් මැද තියෙන කුරුඳු වත්තක දවසක් තිස්සේ දහඩිය හලලා වැඩ කරන්න යවන්න.
එතනට ගියපු ගමන් මේ අයට දැනුණු අපහසුතාවය නිසා එතනම මහා කලබැගෑනියක් ඇතිකරගන්නවා. මඩ ගොඩට කකුල තියන්න බෑ කියලා ජෙරී වාහනය ඇතුළේ ඉඳන් කෑගහද්දී, නිකී කරන්නේ “මට බෑ, මං ආපහු යනවා, මට කොහොමටවත් බෑ” කියලා කෑගහගෙන ආපහු වෑන් එකටම දුවන එක. සෑහෙන වෙලාවක් මුරණ්ඩු විදිහට මේ දෙන්නා රණ්ඩු කරල කරලා, අන්තිමේදී වෙන කරන්නම දෙයක් නැති තැන කුරුඳු තලන මඩුව ඇතුළට යන්න එකඟ වෙනවා.
එතනදී දේශීය සේවකයෝ කොච්චර සියුම් විදිහට කුරුඳු පොතු අරිනවද කියලා මේ දෙන්නට බලාගන්න ලැබෙනවා. ඒ වගේම ඒ දුප්පත් මිනිස්සු “උදේ 6:00 ඉඳන් සමහර දවස්වලට රෑ 11:00, 12:00 වෙනකම්” මරාගෙන වැඩ කරලා සතියකටම හොයන්නේ පවුම් 15ක් (රුපියල් කීපදාහක්) විතරයි කියලා දැනගත්තහම කෙල්ලෝ දෙන්නා හොල්මන් වෙනවා.
ජීවත් වෙන්න සටන් කරන, පෙනුමෙන්ම අතිශය විඩාපත් වුණු ලංකාවේ වයසක ආච්චි අම්මා කෙනෙක් කුරුඳු පොතු අරින දිහා බලාගෙන ඉද්දී නිකීගේ හිත ඇතුළේ තිබ්බ මහා රළු, දරුණු මානසික පවුර සම්පූර්ණයෙන්ම කුඩුපට්ටම් වෙලා යනවා. එකපාරටම උපන්න අනුකම්පාව නිසා නිකී හරිම මෘදු විදිහට මෙහෙම කියනවා: “මගේ අම්මාත් ඔය වයසේ ඉද්දී මේ වගේ තැනක වැඩ කරා නම්, මං මගේ අම්මා වෙනුවෙන් ඇවිත් මේ හැම වැඩක්ම කරලා දෙනවා.”
තමන්ගේ ජීවිතේ පළවෙනි වතාවට එයාගේ හිතුවක්කාර කම බිඳිලා යනවා: “මං අද දැනගත්තා මට අඳුරන්නේ නැති කෙනෙක් ගැන වුණත් ඇත්තටම දුක හිතෙන්න පුළුවන් කියලා.මගේ ඇතුළේ ඉන්න මෘදු කෙනා අද එළියට ආවා, මට ඒක පුරුදු නෑ.”
මෙන්න මේ වෙනස දැකපු බ්‍රින්ඩ්ලි, නිකීත් එක්ක තනියම වාඩිවෙලා එයාගේ ප්‍රචණ්ඩකාරී හැසිරීම් ගැන කතා කරනවා. බ්‍රින්ඩ්ලි හරිම ආදරයෙන් එයාට කියලා දෙනවා, එයාගේ ඔය කේන්තිය කියන්නේ නිකන්ම නිකන් බොරුවක් විතරයි කියලා. ඒක තමන්ගේ හිතේ තියෙන අනාරක්ෂිත බව සහ තමන්ව තනිවෙයි කියන බය වහගන්න හදාගත්තු බොරුවක් විතරයි කියලා බ්‍රින්ඩ්ලි වටහා දෙනවා.
නිකීගේ හිත සුවපත් කරන්න බ්‍රින්ඩ්ලි එයාව රැගෙන යන්නේ හරිම නිහඬ, ශාන්ත බෞද්ධ පන්සලකට. එතනදී එයාලට හමුවෙන්නේ මාරම කරුණාවන්ත හිමිනමක් වෙන පූජ්‍ය ඕලන්දේ ආනන්ද ස්වාමීන් වහන්සේව .
පන්සලට ඇතුළු වෙද්දී සෙරෙප්පු ගලවන්න ඕනේ කියන නීතිය නිසා නිකී මුලින්ම එතනත් රණ්ඩුවක් දාගන්න හදනවා. හැබැයි ඒ ඉවසිලිවන්ත හාමුදුරුවෝ එයාට තරහ ගන්නේ නැතුව, “කමක් නෑ, මේ එක වතාවකට විතරක් සෙරෙප්පු දාගෙන ඉන්න” කියලා අවසර දෙනවා.
ඒ ලැබුණු ආරක්ෂිත, ආදරණීය පරිසරය නිසා නිකී තමන්ගේ මුළු ජීවිත කාලෙම හිත යට හංගගෙන හිටපු, තමන්ව යක්ෂණියක් කරපු ඒ මහා වේදනාව හාමුදුරුවෝ ඉස්සරහා දිග හරිනවා.
නිකී කියනවා එයාට වයස 13ක් වෙද්දී, එයාගේ සීයගේ මළගෙදරදී අහම්බෙන් තමයි එයා දැනගෙන තියෙන්නේ තමන්ගේ ඇත්තම ජීව විද්‍යාත්මක තාත්තා කවුද කියලා. එයාගේ අම්මා ඒ රහස එයාගෙන් සඟවලා තිබ්බ නිසයි එයාට ඒක දැනගන්න ලැබුණේ. මේ මහා පාවාදීම නිසා “මගේ හිතේ තිබ්බ විශ්වාසය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගියා” සහ අම්මා කෙරෙහි මහා වෛරයකින් හිත පිරුණා කියලා නිකී අඬ අඬා කියනවා.
මෙන්න මේ තුවාලය තමයි එයා මෙච්චර කල් කුණුහරුපවලින් සහ ගුටි කෙළිවලින් පිට කරලා තියෙන්නේ!
හාමුදුරුවෝ නිකීව එයාගේ ජීවිතේ පළවෙනි සිහිබුද්ධියෙන් යුත් භාවනාවට යොමු කරනවා. තමන්ගේ හිත එකඟ කරගෙන, “මම තරහෙන් සහ බයෙන් නිදහස් වෙම්වා” කියන සුත්‍රය හිතින් මතුරන්න උගන්වනවා. ඒකෙන් සිද්ධ වෙච්ච වෙනස මාරම පුදුමාකාරයි! පන්සලෙන් එළියට එන්නේ මූණ පුරාම අවංක, ලස්සන හිනාවක් දාගත්තු නිකී කෙනෙක්. එයාටම අදහාගන්න බෑ: “මට මගේ කේන්තිය පාලනය කරන්න පුළුවන්. මං අද මාරම සතුටින් ඉන්නේ, දිගටම හිනාවෙලා. මේක මගේ හැටියක් නෙවෙයි” කියලා එයා පුදුම වෙනවා.
මේ මානසික වෙනස්වීම තවත් තහවුරු වෙන්නේ එයාගේ ඇත්තම අම්මා එවපු ලියුමක් කියවන්න ලැබුණහම. ඒ ලියුමෙන් අම්මා හරිම ආදරයෙන් ඉල්ලනවා තමන් වටේ හදාගෙන තියෙන ඔය නිතර තරහෙන් ඉන්න ගතිගුණක බිඳලා දාන්න කියලා. ලියුම කියවලා නිකීට එකපාරටම ඇඬුම් යනවා. එයා අඬ අඬා මෙහෙම කියනවා: “මට තවත් කේන්තියෙන් ඉන්න ඕනේ නෑ, මට සතුටින් ඉන්න ඕනේ. මට දැන්ම අම්මව බදාගෙන සමා වෙන්න කියන්න විතරයි ඕනේ.”
මේ අතරේ, මෑන්ඩි ජෙරීගේ තියෙන මහා උඩඟුකම, ආත්මාර්ථකාමීකම කුඩු කරන්න එයාව රැගෙන යනවා විශේෂ අවශ්‍යතා සහිත අය ඉන්න චෙෂයර් නිවාසයට ස්වේච්ඡාවෙන් වැඩ කරන්න.
එතනට ගියපු මුල්ම වෙලාවේ එතන හිටපු අසරණ රෝගියෙක් හරිම ආදරයෙන් ජෙරීගේ අත අල්ලන්න හදනවා. ඒකෙන් ජෙරී මාර විදිහට බය වෙලා , “මට බෑ, මට කොහොමටවත් බෑ. මේවා දැක්කහම මාව පිස්සු වැටෙනවා” කියලා කෑගහගෙන, අඬාගෙන එළියට දුවනවා. එයා කියනවා “මං මේ වගේ තැන්වලට අන්තිම අකමැතියි” කියලා.
හැබැයි මෑන්ඩි අත අරින්නේ නෑ. එයා ජෙරීව වාඩි කරවලා මාරම වටිනා අවවාදයක් දෙනවා. ඇත්තම ලස්සන කියන්නේ බාහිර පෙනුම නෙවෙයි, හදවත ඇතුළෙන් එන දෙයක් කියලා වටහා දෙනවා. ඒ වගේම ජෙරී උපතින්ම කොච්චර වාසනාවන්ත, සැප සම්පත් තියෙන කෙනෙක්ද, ඒත් මේ මිනිස්සු කොච්චර අසරණද කියලා කියලා දෙනවා.
ඒ වචන ටික ජෙරීගේ හිතට තදින්ම වදිනවා. ධෛර්යය උපදවාගෙන පස්සේ දවසේ ජෙරී නිකීත් එක්ක ආපහු ඒ නිවාසයට යනවා.
එතන ඉන්න අය ළඟින් වාඩිවෙලා, ජෙරී එයාලගේ නියපොතු පාට කරලා දෙනවා (. එයාලත් එක්ක හදවතින්ම හිනාවෙනවා. එතනදී ජෙරී තමන්ගේ ජීවිතේ ලොකුම රහසක් කියනවා; එයාගේම නංගීත් විශේෂ අවශ්‍යතා සහිත කෙනෙක් කියලා. ඒ නිසා මේ අය සහ තමන් අතර ලොකු සමානකමක් එයා දකිනවා. ඒ අයගේ මූණුවල තිබ්බ සතුට දැකලා ජෙරී තමන් එසෙක්ස් වලදි කරපු කැත හැසිරීම් ගැන මෙහෙම පසුතැවෙනවා: “ගෙදරදී මං මාරම ආත්මාර්ථකාමී, මාරම කම්මැලි කෙනෙක්. හැබැයි අද මෙතනදී අනුන් වෙනුවෙන් මොනවා හරි කරද්දී හිතට මාරම සතුටක් දැනුණා.”
කැමරාව දිහා බලලා, තමන්ගේ මුළු ආඩම්බර කමම නැති කරගත්තු ජෙරී මෙන්න මෙහෙම කියනවා: “මිනිස්සු පෙනුමෙන් කෙට්ටු වුණත්, මහත වුණත්, ආබාධිත වුණත් හැමෝම සමානයි. හැමෝටම හැඟීම් තියෙනවා, අපි හැමෝම මනුෂ්‍යයෝ.”
අන්තිම දවසේ රෑ, මේ කෙල්ලෝ දෙන්නා තමන්ගේ ඇස්වලින් කඳුළු පෙරාගෙන ද සිල්වා පවුලේ අයට ස්තූති කරන්න ලංකාවේ සාම්ප්‍රදායික කෑම වේලක් තනියම උයනවා. තමන්ගේ ජීවිත සම්පූර්ණයෙන්ම වෙනස් කරපු එකට එයාලට වැඳලා ස්තූති කරනවා.
කතාවේ ලොකුම හැඟීම්බර කොටස වෙන්නේ මේ දෙන්නා ආපහු එංගලන්තයට කකුල තියන මොහොතේ.
රටින් පිටවෙලා ගියපු අර මුරණ්ඩු, නපුරු කෙල්ලෝ දෙන්නව දැන් අඳුරගන්නවත් බැහැ!
ජෙරී ගුවන් තොටුපලේදී තමන්ගේ අම්මාව දැකපු ගමන් දිවගෙන ගිහින් අම්මාගේ ඇඟට කඩා වැටිලා, පාලනයකින් තොරව අඬන්න ගන්නවා. අඬන ගමන් එයා කියනවා, “මං කොච්චර ආත්මාර්ථකාමීද කියලා මට කලින් තේරුණේ නෑ අම්මේ. මං දැන් මගේ පවුලට මාරම ආදරෙයි, එයාලව මට මාර වටිනවා” කියලා.
අනිත් පැත්තෙන්, නිකීගේ අම්මා කැරොල් මාරම බයකින් සහ පීඩනයකින් බලන් ඉන්නවා තමන්ගේ දුව එනකම්. හැබැයි නිකී දොරෙන් එළියට එන්නේ වෙනදා වගේ ඇස් උඩ දාගෙන, කට ඇද කරගෙන, රණ්ඩු වෙන්න බලාගෙන නෙවෙයි. නිකී කෙලින්ම දුවගෙන ඇවිත් තමන්ගේ අම්මාව හයියෙන් බදාගන්නවා! අම්මාගේ කනට කරලා මෙහෙම කොඳුරනවා: “අම්මේ මං ලංකාවේදී භාවනා කරා, ඒකෙන් මගේ හිත හැදුණා. මේ අවුරුදු ගාණෙම මං අම්මට මාරම කැත විදිහට, සැලකුවේ. මට සමා වෙන්න අම්මේ.”
කැරොල්ට මේක අදහාගන්න බැරි හීනයක් වගේ. එයා තමන් අතින් වුණු වැරදිවලටත් දුවගෙන් අඬ අඬා සමාව ඉල්ලනවා.
අර හැම වෙලේම මල පැනලා, කුණුහරුප කියාගෙන, ගුටි කොටාගන්න ලෑස්ති වෙලා හිටපු දරුණු වෙස් මූණ සම්පූර්ණයෙන්ම දියවෙලා ගිහින්!
ඒ වෙනුවට ඉතිරි වෙලා ඉන්නේ හරිම නිහතමානී, ආදරණීය, සතුටින් ඉන්න පුංචි දුවෙක්. තමන්ට සදහටම අහිමි වුණා කියලා හිතපු තමන්ගේ ආදරණීය දුවව ආපහු ලැබීම ගැන ඒ අම්මා පුදුමයෙන් සහ සතුටින් අඬනවා.
සල්ලිවලට ගන්න බැරි ජීවිතේ ඇත්තම සතුට සහ පවුලේ වටිනාකම මේ දරදඬු දියණියන් දෙන්නා ඉගෙන ගත්තේ හැතැප්ම දහස් ගණනක් ඈතින් තියෙන අපේ පුංචි ලංකාවෙන්.
ලෝකය ජය ගන්න මහා විශාල දේවල් ඕනේ නෑ, තමන්ගේ වැරදි වටහාගෙන අම්මා කෙනෙක්ගේ, තාත්තා කෙනෙක්ගේ කකුල් දෙක ළඟ දණනමන්න තරම් හිත නිහතමානී කරගන්න පුළුවන් නම් අන්න එතනයි මනුෂ්‍යත්වයේ නියම ලස්සන තියෙන්නේ!











