Positive parenting යනු පැහැදිලි නීති සහ සීමාවන් පවත්වා ගනිමින් දරුවන්ට ගෞරවයෙන්, සංවේදනයෙන් සහ අවබෝධයෙන් සැලකීම කෙරෙහි අවධානය යොමු කරන ප්‍රවේශයක්. එය දරුවන් හට දඬුවම් කිරීමට වඩා මග පෙන්වීමෙන් සහ ඉගැන්වීමෙන් ඔවුන්ව දිරිගන්වනවා. ඒ වගේම එමගින් දරුවන්ට විශ්වාසය සහ වගකීම පිළිබඳව ඉගැන්වීම සහ චිත්තවේගීය බුද්ධිය වර්ධනය සිදු කිරීමට උපකාරී වනවා. දෙමාපියන් හට Positive parenting යන සංකල්පය වැදගත් වන ආකාරය සහ එය දරුවන්ට බලපාන ආකාරය පිළිබඳවයි මේ ලිපිය.
එය ශක්තිමත් චිත්තවේගීය බැඳීමක් ගොඩනඟයි
දරුවන්ට කුඩා කාලයේදී ආදරය, පිළිගැනීම සහ ආරක්ෂිත බව දැනිය යුතුය. Positive parenting වලදී කරුණාව, සවන්දීම සහ දරුවන් සමග ගුණාත්මක කාලයක් ගත කිරීම තුළින් දෙමාපියන් සහ දරුවා අතර පවතින සම්බන්ධතාවය ශක්තිමත් කරනවා. දරුවන්ට මානසික වශයෙන් සුරක්ෂිත බවක් දැනෙන විට, ඔවුන් තම දෙමාපියන් විශ්වාස කිරීමට, මඟ පෙන්වීම ලබා ගැනීමට සහ ඔවුන්ගේ සිතුවිලි සහ ගැටළු විවෘතව බෙදා ගැනීමට ඉතා පහසුවෙන් පෙළඹෙනවා.
එය දරුවන්ට සෞඛ්‍ය සම්පන්න ආත්ම අභිමානයක් වර්ධනය කර ගැනීමට උපකාරී වේ
දෙමව්පියන් තම දරුවන්ට කතා කරන ආකාරය බොහෝ විට දරුවන් තමන්ටම කතා කරන ආකාරය බවට පත් වනවා . Positive parenting මගින් දරුවන්ව නිරන්තරයෙන් විවේචනය කිරීමට වඩා ඔවුන්ව දිරිගැන්වීම කෙරෙහි අවධානය යොමු කරනවා. දරුවන්ට වටිනාකමක් දැනෙන විට සහ ඔවුන්ව නිරන්තරයෙන් අගය කරන විට, ඔවුන් තම හැකියාවන් කෙරෙහි විශ්වාසය වර්ධනය කර ගන්නා අතර අසාර්ථක වීමේ බියෙන් පසුබට වීමකින් තොරව නව දේවල් උත්සාහ කිරීමට වැඩි කැමැත්තක් දක්වනවා.
එය චිත්තවේගීය හැකියාවන් වර්ධනය කරයි
දරුවන් ඉපදෙන්නේ කලකිරීම, සාංකාව, කෝපය හෝ දුක කළමනාකරණය කරන්නේ කෙසේදැයි ඉගෙන ගෙන නොවේ. Positive parenting මගින් ඔවුන්ට ඔවුන්ගේ හැඟීම් සෞඛ්‍ය සම්පන්න ආකාරයෙන් තේරුම් ගැනීමට සහ ප්‍රකාශ කිරීමට හැකියාව ලැබෙනවා. ඔවුන්ගේ හැඟීම් නොසලකා හැරීමට පැවසීම වෙනුවට, ඔවුන්ගේ හැඟීම් හඳුනා ගැනීමට, ඒවා නිසි ලෙස සන්නිවේදනය කිරීමට සහ දුෂ්කර අවස්ථාවන්ට මුහුණ දීමට ඉගෙන ගැනීමට ඔවුන්ට මග පෙන්වීම අතිශයින්ම වැදගත්.
එය ස්වභාවිකවම වඩා හොඳ හැසිරීමක් කෙරෙහි ඔවුන්ව උනන්දු කරවයි
නීති පවතින්නේ මන්දැයි දරුවන් තේරුම් ගෙන තම දෙමාපියන් විසින් ගරු කරනු ලබන බව හැඟෙන විට, ඔවුන් දෙමාපියන් සමග වඩාත් සහයෝගයෙන් කටයුතු කිරීමට වැඩි ඉඩක් තිබෙනවා. Positive parenting වලදී දරුවන්ව පාලනය කිරීමට වඩා ඉගැන්වීම කෙරෙහි අවධානය යොමු කරන බැවින්, බියෙන් කීකරු වීම වෙනුවට, දරුවන් වගකීම, ගෞරවය සහ හොඳ තේරීම් කිරීමේ වැදගත්කම ඉගෙන ගන්නේ ඔවුන්ගේ ක්‍රියාවන්හි ප්‍රතිවිපාක ඔවුන් තේරුම් ගන්නා නිසාය.
එය පවුල තුළ සන්නිවේදනය වැඩි දියුණු කරයි
දරුවන්ට ඇහුම්කන් දෙන බවක් දැනෙන නිවසක් යනු සන්නිවේදනය ඉතා හොඳින් සිදුවන නිවසක්. Positive parenting වලදී විවෘත සංවාද සහ ක්‍රියාශීලී සවන්දීම සිදු කෙරෙන බැවින් දරුවන්ට ඔවුන්ව විනිශ්චය වීමක් පිළිබඳව කරදර නොවී ඔවුන්ගේ ගැටළු, වැරදි, බිය සහ ජයග්‍රහණ දෙමාපියන් සමඟ සාකච්ඡා කිරීමට පහසු පරිසරයක් නිර්මාණය කරනවා.
එය දරුවන්ට වඩාත් ස්වාධීන වීමට උපකාරී වේ
ධනාත්මක දෙමව්පියන් දරුවන් වෙනුවෙන් සෑම දෙයක්ම ඉටු කරනවා වෙනුවට තම දරුවන්ට මඟ පෙන්වීම සිදු කරනවා .එවිට දරුවන් ගැටළු විසඳීම, තීරණ ගැනීම සහ වයසට ගැළපෙන වගකීම් දැරීම සඳහා හුරු වනවා. කාලයත් සමඟ, දරුවන්ට තමන්ගේම හැකියාවන් විශ්වාස කිරීමට, වඩාත් ස්වාධීන වීමට සහ වැඩිහිටිභාවයට සූදානම් වන විට වඩා හොඳ තීරණ ගැනීමට හැකියාව ලැබෙනවා.
නිවසේදී ආතතිය සහ ගැටුම් අඩු වේ
නිරන්තර කෑගැසීම්, දඬුවම් කිරීම් සහ මතභේදාත්මක ගැටුම් දෙමාපියන් සහ දරුවන් යන දෙපාර්ශ්වයටම ආතතියක් ඇති කළ හැකියි. Positive parenting මගින් දරුවන් තුළ ඉවසීම, අවබෝධය සහ ගෞරවනීය විනය වර්ධනය කරන අතර එමඟින් බොහෝ විට ගෘහ පරිසරය ගැටුම් අඩු කරවීම සිදු කරවනවා.
එය ජීවිත කාලය පුරාවටම ධනාත්මක බලපෑම් ඇති කරයි
ධනාත්මක දෙමව්පියන් ගෙන් දරුවන් ඉගෙන ගන්නා පාඩම් බොහෝ විට වසර ගණනාවක් ඔවුන් සමඟ බැඳී පවතිනවා . ඔවුන් සෞඛ්‍ය සම්පන්න සබඳතා වර්ධනය කර ගැනීමට, ඵලදායී ලෙස සන්නිවේදනය කිරීමට, හැඟීම් වඩා හොඳින් කළමනාකරණය කිරීමට සහ අන් අය කෙරෙහි සංවේදනය පෙන්වීමට වැඩි ඉඩක් තිබෙනවා. ළමා කාලය තුළ ඔවුන්ට ලැබෙන ආදරය, සහයෝගය සහ මග පෙන්වීම ජීවිත කාලය පුරාම ඔවුන්ගේ සතුටට හා සාර්ථකත්වයට බලපෑම් කළ හැකි වන අතර Positive parenting වලදී දෙමාපියන් හට ලැබෙන විශාල ප්‍රතිලාභයක් ලෙස එය හැඳින්විය හැකියි
Positive parenting යනු දරුවන් හට අවසර දීම හෝ දරුවන්ට තමන්ට අවශ්‍ය ඕනෑම දෙයක් කිරීමට ඉඩ දීම නොවන අතර එය මඟ පෙන්වීම සමඟ ආදරය, සීමාවන් සමඟ කරුණාව සහ වගවීම සමඟ අවබෝධය සමතුලිතව පවත්වා ගෙන යාමයි . දරුවන් හට කුඩා කාලයේ සිටම ඉවසීම, ගෞරවය සහ කරුණාවන්ත භාවය ඉගැන්වීමෙන් දෙමාපියන්ට ඔවුන්ව විශ්වාසවන්ත, වගකිවයුතු සහ මානසික වශයෙන් සෞඛ්‍ය සම්පන්න වැඩිහිටියන් බවට පත් කිරීමට හැකියාව ලැබෙනවා.











