කසාද බැඳපු කෙනෙක්ට තමන්ගේ partner ගෙ ඇඟ ගැන අයිතියක් තියෙනවද?
“මගේ husband නේ ඒ නිසා එයාට කැමති වෙලාවක මට ලං වෙන්න පුළුවන්.”
අපේ සමාජයේ තාමත් ගොඩක් දෙනෙක් හිතන මේ අදහස ඇත්තටම කොච්චර භයානකද කියලා අපි කතා කරන්නේ හරිම අඩුවෙන්.
කෙනෙක් ඔයාගේ wife හරි husband හරි වුණා කියලා, ඔයාගේ කැමැත්ත හරි අකමැත්ත හරි ඒකෙන් නැති වෙන්නේ නැහැ. “බැහැ” කියන වචනය කසාදයෙන් පස්සේත් “බැහැ”මයි කියන එක අපි අමතක කරන්න නරකයි.
ඒත් මේ සරල කාරණේ තේරුම් නොගත්ත පවුලක් ඇතුළේ තමන්ගේම කැමැත්ත වෙනුවෙන් ෆයිට් කරන්න සිද්ධ වෙන පූජාගේ කතාව තමයි Chiraiya කියන web series එකෙන් අපිට කියන්නේ.
මේ කතාවේ ප්‍රධාන චරිතය පූජා. හොඳට ඉගෙනගත්ත, විවාහ වෙන්න වයස ඇවිල්ලා තියෙන ලස්සන තරුණියක්. දවසක් පූජාට විවාහ යෝජනාවක් එනවා සුකුමාර් පවුලේ බාල පුතා වෙන අරුන්ගෙන්.
සුකුමාර් පවුල කියන්නේ සමාජයේ හොඳ නමක් තියෙන, කීර්තිමත් පවුලක්. ඒ වගේම අරුන් පූජාට පේන්නේ හරිම නිහතමානී, අහිංසක කෙනෙක් විදිහට. ඒ නිසා පූජා වගේම එයාගේ දෙමව්පියොත් මේ විවාහයට කැමති වෙනවා.
ඉතින් හැමදේම හොඳින් සිද්ධ වෙනවා. මංගල උත්සවයත් ලස්සනට ඉවර වෙනවා. පූජා හිතන්නේ දැන් තමන්ගේ ජීවිතේ ලස්සන අලුත් පරිච්ඡේදයක් පටන් ගන්නවා කියලයි.
හැබැයි මංගල රාත්‍රියේ සිද්ධ වෙන දෙයක් නිසා පූජාට තේරෙනවා, තමන් හිතාගෙන හිටපු අරුන් නෙවෙයි ඇත්තටම තමන් විවාහ වෙලා ඉන්නේ කියලා.
ඒ දවසෙන් පස්සේ පූජාගේ ජීවිතේ වෙනස් වෙනවා.

විශේෂයෙන්ම රෑ වෙනවා කියන්නේ පූජාට සතුටක් නෙවෙයි. බයක් ගෙන දෙන හේතුවක් වෙනවා. හැමදාම රෑ වෙද්දි මොනව වෙයිද කියලා බයෙන් ඉන්න තරමට ඇය මානසිකව කඩාගෙන වැටෙනවා. අන්තිමේදී මේ හැමදේම තවත් දරාගන්න බැරි තැනට ආවම පූජා ඒ ගෙදරින් පැනලා යනවා.
හැබැයි මෙතනින් තමයි Chiraiya කතාව ඇත්තටම පටන් ගන්නේ.
මොකද පූජා පැනලා ගියේ ඇයි කියන ප්රශ්නය විතරක් නෙවෙයි,එයාට සිද්ධ වුණු දේ ගැන එයා කාට කියන්නද? කවුද එයාව විශ්වාස කරන්නේ? කියන ප්‍රශ්නත් එක්ක තමයි මේ කතාව ඉස්සරහට යන්නෙ.
කතාව පටන් ගන්නකොටම අපිව අවුරුදු තුනකට කලින් සිද්ධ වුණු සිදුවීමකටත් අරගෙන යනවා. එතන අපිට හම්බවෙන්නේ කමලේෂ් කියන කාන්තාවක් සහ එයාගේ දුව පින්කි.
දවසක් පින්කි එළියේ සෙල්ලම් කර කර ඉන්නකොට ගෙදර පැත්තෙන් කවුරුහරි රණ්ඩු වෙනවා වගේ සද්දයක් ඇහෙනවා. පින්කි ඉක්මනටම අම්මා ළඟට දුවගෙන ගිහින් කියන්නේ,
“අම්මේ, අරගොල්ලෝ මාමට ආයෙත් ගහනවා.” කියලා.
ඒක ඇහුණු ගමන් කමලේෂ් දුවගෙන යනවා. එතනදී තමන්ගේ මස්සිනාට පහර දෙන පිරිස එක්ක එයා රණ්ඩු වෙනවා. හැබැයි ඒ වෙලාවේම එතනට එන පවුලේ වැඩිහිටියෙක් කමලේෂ්ව නවත්තනවා. ගෙදර ආවට පස්සේ එයාලා කමලේෂ්ට හොඳටම දොස් කියනවා. කමලේෂ් කියන්නේ තමන් කළේ හරි දේ වෙනුවෙන් පෙනී සිටීමක් කියලයි.
ඒත් එයාට ලැබෙන උත්තරේ ටිකක් වෙනස්.
“ඔයා දන්නවද දැන් කවුද හරි, කවුද වැරදි කියලා?”
ඒ වචන ටික කමලේෂ්ව නිහඬ කරනවා. “සමහරවිට අරුන් මෙතන වැරදි ඇති.” කියලා කමලේෂ්ට පලවෙනි වතාවට හිතෙන්නෙ අන්න එවෙලෙ. මාමණ්ඩි ඒ විදිහට කියනවත් එක්කම කමලේෂ්ට හොඳටම දුක හිතෙනවා. තමන් හරි දේ වෙනුවෙන් පෙනී ඉන්නවා කියලා හිතාගෙන හිටියත්, තමන්ටම සමීප කෙනෙක් ඒ විදිහට කියන එක එයාට ලොකු වේදනාවක් වෙනවා.
ඊට පස්සේ කතාව අපිව වර්තමානයට අරගෙන එනවා.
උදේම නැගිටින කමලේෂ් දෙවියන් වෙනුවෙන් පූජාවක් කරනවා. ඒ වෙලාවේ එයා හරිම සතුටින් දෙවියන්ට කියන්නේ, අද තමන්ගේ පවුලට අලුත් කෙනෙක් එකතු වෙනවා කියලයි.
ඒ තමයි අරුන්ගේ මනමාලි. වෙන කවුරුත් නෙවෙයි පූජා
පූජාව ඉවර කරලා කමලේෂ් මාමණ්ඩිට තේ එකක් හදලා ගිහින් දෙනවා. කමලේෂ්ට එයාගේ මාමණ්ඩි ගැන තියෙන්නේ ලොකු ගෞරවයක්. මොකද මේ මාමණ්ඩි ඉන්දියාවේ ඉතාමත් සීමිත පිරිසකට පමණක් ලැබුණු පද්ම විභූෂණ සම්මානයෙන් පිදුම් ලබපු, හොඳට ඉගෙනගත්ත කෙනෙක්. ඒ නිසාම ඒ මනුස්සයා කියන දේවල් කමලේෂ්ට ගොඩක් වැදගත්.හැමෝම දැන් ලෑස්ති වෙන්නේ අරුන්ගේ මනමාලිව බලන්න යන්න.
වාහනයට නගින්න කලින් අරුන්ගේ අම්මා කමලේෂ්ගෙන් අහනවා,
“අරුන්ට මේ ගෑනු ළමයා ගැලපෙයි නේද?” කියලා.
ඒකට කමලේෂ් කියන්නේ, “අපේ සම්ප්‍රදායට ගැලපෙනවා නම්, මම එවෙලෙම මේ කසාදෙට කැමතියි.” කියලයි.
ඉතින් කමලේෂ් ඇතුළු පවුලේ හැමෝම පූජාගේ ගෙදරට යනවා. එතනදී පූජා හැමෝටම ඇහෙන්න ලස්සනට සින්දුවක් කියනවා. පූජාව දැක්ක ගමන්ම අරුන් පූජාට කැමති වෙනවා. ඒ අතරේ සුකුමාර් පවුලේ අය පූජාගෙන් එයාගෙ අධ්‍යාපනය ගැනත් අහනවා.
පූජා කියන්නේ තමන්ට විශේෂ ඉංග්‍රීසි උපාධියක් තියෙනවා කියලයි. ඒ විතරක් නෙවෙයි, තාමත් ඉගෙන ගන්නවා කියලත් පූජා කියනවා.
“බැන්දට පස්සෙත් මං ඉගෙන ගන්න එක නවත්තන්නේ නැහැ. මට ලොකු රස්සාවක් කරන්න ඕනේ.”
පූජා ඒක හරිම විශ්වාසයෙන් කියනවා. හැබැයි පූජා මේ දේවල් කියනකොට කමලේෂ්ගේ මුහුණේ නම් පේන්නේ ඒ තරම් කැමැත්තක් නෙවෙයි. ඒ අතරේ පූජාගේ අම්මා එයාට අමුත්තන්ට සංග්‍රහ කරන්න කියනවා. එතකොට කමලේෂ් එකපාරටම පූජාගෙන් අහනවා,
“ඔයා ගාව තියෙන්නේ අත්කපපු සාරි ජැකට් විතරද?” කියලා.
ඒ ප්‍රශ්නයත් එක්ක එතන ඉන්න හැමෝම ටිකක් අපහසුතාවයට පත්වෙනවා. කොහොම වුණත්, කමලේෂ්ගේ දැඩි විරෝධය මැද්දේ අරුන් එයාගෙන් මේ විවාහයට කැමැත්ත ගන්නවා. ඒ වෙනුවෙන් අරුන් එයාට පොරොන්දු වෙනවා, “පූජාව කොහොමහරි අපේ පවුලේ කෙනෙක් විදිහට හැඩගස්වලා ගන්නම්.” කියලා. අන්තිමේදී පූජායි අරුනුයි මුදු මාරු කරගෙන විවාහය තීන්දු කරගන්නවා. ඊට පස්සේ අරුන්ගේ අම්මා පූජාට කියන්නේ කමලේෂ්ට වැඳලා ආශිර්වාද ගන්න කියලයි. හැබැයි පූජා වඳින්නේ වැරදි පැත්තට. එතකොට එතන ඉන්න හැමෝම හිනා වෙනවා. ඒ වෙලාවේ තමයි පින්කි පූජාට කියන්නේ,
“කමලේෂ් කියන්නේ තාත්තා නෙවෙයි, අම්මා. අපේ අම්මට තියෙන්නේ පිරිමි කෙනෙක්ගේ නමක්.” කියලා.
ඉතින් ඒ විදිහට පූජාගේ පවුලයි, අරුන්ගේ පවුලයි එකතු වෙලා සතුටින් දවස ගත කරනවා. හැබැයි ඒ සතුට වැඩි දවසක් තියෙන්නේ නැහැ.
හරියටම සතියකට පස්සේ කමලේෂ් තමන්ගේ නැන්දත් එක්ක කැම්පස් එක පැත්තට ගමනක යනවා. අතරමගදී උද්ඝෝෂණයක් නිසා වාහනය නවත්තන්න සිද්ධ වෙනවා. කමලේෂ් වාහනයෙන් බැහැලා ඉස්සරහට යනකොට තමයි එයාට තේරෙන්නේ, මේ උද්ඝෝෂණය කරන්නේ කවුරු ගැනද, මොන දේකට විරුද්ධවද කියන එක. ඒත් ඒ සිදුවීම පූජාගේ ඉදිරි ජීවිතයටත් සම්බන්ධ වෙයි කියලා කමලේෂ්වත්, පූජාවත් ඒ වෙලාවේ දන්නේ නැහැ.කමලේෂ් උද්ඝෝෂණය කරන කට්ටිය ළඟට ගිහින් අහනවා, “ඔයාලගේ පක්ෂය මොකක්ද?” කියලා. එතකොට එතන ඉන්න ශෝනා කියන ගෑනු ළමයා කියන්නේ “මේක පක්ෂයක් වෙනුවෙන් කරන සටනක් නෙවෙයි. සමලිංගිකත්වය සාමාන්‍ය දෙයක් කියලා පිළිගන්න ඕනේ කියන එක වෙනුවෙන් තමයි අපි මේ සටන් කරන්නේ.” කියලයි.
ඒ වෙලාවේ තමයි කමලේෂ්ට තේරෙන්නේ මේක LGBTQ+ අයිතිවාසිකම් වෙනුවෙන් කරන උද්ඝෝෂණයක් කියලා.
හැබැයි ඒකත් එක්කම කමලේෂ් දකින දෙයක් නිසා එයා තවත් පුදුම වෙනවා.
ඒ උද්ඝෝෂණය අතරේ පූජාත් ඉන්නවා. ඒක දැක්ක ගමන් කමලේෂ්ට හොඳටම කේන්ති යනවා. පාරේ කවුද ඉන්නේ, මොනවද වෙන්නේ කියලවත් බලන්නේ නැතුව පූජාට හයියෙන් කතා කරනවා. ඊට පස්සේ පූජාවත් වාහනයට නග්ගගෙන කෙළින්ම ගෙදර අරගෙන යනවා. ගෙදර ආවට පස්සේ පූජාව කතා කරන්න අරගෙන යන්නේ වෙනම තැනකට.
එතනදී කමලේෂ් පූජාගෙන් කෙළින්ම අහනවා,
“ඔයත් Lesbian කෙනෙක්ද?” කියලා.
පූජා ඒ ප්‍රශ්නෙට හිනා වෙලා කියන්නේ,
“එහෙම දෙයක් නැහැ. මම එයාලා වෙනුවෙන් හඬක් නැගුවා විතරයි.” කියලයි.
හැබැයි ඒ උත්තරෙන් කමලේෂ්ගේ කේන්තිය අඩු වෙන්නේ නැහැ. එයා පූජාට හොඳටම දොස් කියලා, “අපි මේ ගෙදරට හොයන්නේ ලේලියෙක්. කැරලිකාරයෙක් නෙවෙයි.” කියනවා.
ඒක අහලා පූජාත් තරහ ගන්නවා.

“ඇයි? ගෑනුන්ට කිසිම දෙයක් වෙනුවෙන් හඬක් නගන්න බැරිද? ඔයා අඩුම ගාණේ පත්තරයක්වත් බලන්නේ නැද්ද?” කියලා පූජා අහනවා.
එතකොට කමලේෂ් කියන්නේ තමන් පත්තර බලනවා කියලයි. එහෙම කියලා එයා කලබලෙන් කුස්සියේ තිබුණු පත්තරයක් හොයලා අරගෙන පූජාට පෙන්වනවා. හැබැයි පත්තරේ කියවන්න ඕනේ කොහොමද කියන එක ගැන කමලේෂ්ට තියෙන්නේ වෙනස්ම අදහසක්. එයා කියන්නේ, “ගෑනුන්ට මේ පත්තරේ මුල් පිටුව කියවන්න නෙවෙයි තියෙන්නේ. අන්තිම පිටුව තමයි තියෙන්නේ. උයන පිහන හැටි බලන්න. ඒ වගේම අපේ උරුමය තමයි අපිට වැදගත්.” කියලයි.
ඒ කතාව අහලා පූජාට හොඳටම කලකිරෙනවා.
“මං කොහොමද ඔයාලා වගේ නෑනලා එක්ක ජීවත් වෙන්නේ?” කියලා පූජා කියනවා.
ඒකත් එක්ක කමලේෂ් පූජාව තරහෙන් ඇදගෙන ගිහින් අරුන්ගේ අම්මා ඉස්සරහට අරගෙන එනවා.
කමලේෂ් කියන්නේ පූජාට මේ පවුලේ ජීවත් වෙන්න ඕනේ නම්, තමන්ගේ නැන්දම්මාගෙන් කරපු වැරැද්දට සමාව ගන්න ඕනේ කියලයි.
හැබැයි පූජා ඒකට කැමති වෙන්නේ නැහැ.
“මං Lesbian කෙනෙක් නෙවෙයි. මං කිසිම වැරැද්දක් කරලත් නැහැ. ඒ නිසා මං සමාව ගන්නේ නැහැ.” කියලා පූජා කෙළින්ම කියනවා.
ඒක අහලා කමලේෂ්ට හොඳටම කේන්ති යනවා. අන්තිමේදී පූජාගේ අතේ තිබුණු Engagement Ring එක පවා බලෙන් ගලවලා ගන්නවා.
ඊට පස්සේ කතාව ආයෙමත් කමලේෂ්ගේ ගෙදර පැත්තට යනවා.
ගෙදර හැමෝම කමලේෂ්ව වට කරගෙන එයා කරපු දේ ගැන දොස් කියනවා. අරුන් පවා කියන්නේ ගිහින් පූජා එක්ක කතා කරන්න කියලයි.
හැබැයි කමලේෂ් තාමත් ඒකට කැමති නැහැ.
ඒ වෙලාවේ විනාය සුමාර් හැමෝම ඉස්සරහා කියන්නේ කමලේෂ් මේ විවාහයට අකමැති වෙන්නේ වෙන හේතුවක් නිසා කියලයි. ඒ වෙන කිසි දෙයක් නිසා නෙවෙයි පූජා කමලේෂ්ට වඩා ඉගෙනගෙන තියෙන නිසා. පූජා මේ ගෙදරට ආවොත් තමන්ට තියෙන තැන නැතිවෙයි කියලා කමලේෂ් බය වෙලා ඉන්නවා කියලයි විනාය කියන්නේ. ඒක අහලා කමලේෂ්ට හොඳටම ලැජ්ජා හිතෙනවා. මොකද මේ කතාව කියන්නේ පවුලේ හැමෝම ඉස්සරහා. ඒ වෙලාවේම පින්කි දුවගෙන ඇවිල්ලා සතුටින් කියන්නේ,
“පූජා ඇවිල්ලා!” කියලයි.
ඊට පස්සේ කමලේෂ් සහ පූජා ටෙරස් එකට යනවා. කමලේෂ් තාමත් පූජා එක්ක තරහින් හිටියත්, පූජා නම් කලින් වෙච්ච හැමදේම අමතක කරලා එයාගෙන් අහනවා,
“ඔයා මං එක්ක තරහ ඇයි?” කියලා. ඒ වෙලාවේ කමලේෂ් පූජා ළඟට ඇවිල්ලා තමන්ගේ ඇත්තම වේදනාව කියනවා. එයා කියන්නේ තමන් මේ පවුලේ අඩුවෙන්ම ඉගෙනගත්ත කෙනා කියලයි. පවුලේ අනිත් හැමෝම හොඳට ඉගෙනගෙන තියෙන නිසා, සමහර වෙලාවට එයාලා කතා කරන දේවල් පවා තමන්ට තේරෙන්නේ නැහැ කියලා එයා කියනවා.
ඒ විතරක් නෙවෙයි, කමලේෂ් මේ පවුලට විවාහ වෙලා එනකොට අරුන් හරිම පොඩි දරුවෙක්ලු. හරියට තමන්ගේම පුතෙක් වගේ. කමලේෂ්ට පින්කි ඉන්නවා. හැබැයි පින්කි ලැබුණට පස්සේ ආයෙත් දරුවෙක් හදන්න එපා කියලා වෛද්‍යවරු කියලා තිබුණු නිසා,එයාට පුතෙක් ගැන තිබුණු ආසාව ඉෂ්ට වෙන්නේ නැහැ. ඒ නිසාම අරුන්ව එයා තමන්ගේම පුතෙක් වගේ ආදරෙන් හදාගන්නවා. අන්න ඒ නිසා තමයි කමලේෂ්ට බය. පූජා මේ ගෙදරට ලේලි විදිහට ආවට පස්සේ, එයා හොඳට ඉගෙනගත්තු කෙනෙක් නිසා, අරුන්ගෙන් වගේම මේ පවුලෙන් තමන්ට ලැබෙන ආදරයත් අඩු වෙයි කියලා. ඉතින් මෙච්චර වෙලා පූජාට පේන්න තිබුණු කමලේෂ්ගේ තරහට යටින් තිබුණේ වෛරයක් විතරක් නෙවෙයි. තමන්ගේ තැන අහිමි වෙයි කියන බයක්. පූජා මේ වෙලාවේ කමලේෂ්ගේ හැඟීම් ගැන හොඳටම තේරුම් ගන්නවා. මෙච්චර වෙලා තමන්ට විරුද්ධව හිටපු කමලේෂ් ඇත්තටම තමන්ට වෛර කරන නිසා නෙවෙයි, තමන්ගේ තැන අහිමි වෙයි කියන බයෙන් එහෙම හැසිරුණා කියලා පූජාට තේරෙනවා.
ඒ වෙලාවේ කමලේෂ් පූජාට කියන්නේ, “අරුන් හරිම අහිංසක, හොඳ ළමයෙක්. ඒ නිසා අරුන්ව රිද්දන්න එපා. අරුන් පව්.” කියලයි.
ඒ වචනත් එක්ක කමලේෂ් ආයෙමත් හැමෝම ඉස්සරහා පූජාගේ අතට Engagement Ring එක දානවා. ඒ විදිහට පූජාගේ සහ අරුන්ගේ විවාහය ස්ථිර වෙනවා. ඊළඟට කතාව අපිව විවාහයට කලින් දවසට අරගෙන යනවා. අරුන් එයාගේ යාළුවෝ කීපදෙනෙක් එක්ක ඉන්න වෙලාවක, යාළුවෙක් අහනවා,
“Honeymoon එක කොහොමද plan කරලා තියෙන්නේ?” කියලා.
අරුන් කියන්නේ තාම ඒ ගැන ලොකුවට හිතලා නැහැ කියලයි. එතකොට එයාගේ යාළුවෙක් හිනාවෙලා කියන්නේ,
“ඒකට plan කරන්න දෙයක් නැහැ. පිරිමි අපිට ඕන විදිහට තමයි ඒ දේවල් වෙන්නේ.” කියලයි.
ඒ කතාවත් එක්කම එතනට කමලේෂ් එනවා. අරුන් බීබී හිටපු බීම කෝප්පය අරගෙන, කමලේෂ්ටත් වෙනම බීමක් අරගෙන ඇවිත් ටිකක් බොන්න කියලා කියනවා. මුලින් කමලේෂ් ඒකට කැමති වෙන්නේ නැහැ.
හැබැයි අරුන් බල කරලා එයාටත් බීමක් දෙනවා.
ඒ වෙලාවේ කමලේෂ්ගේ හිතේ තියෙන ලොකුම බය ආයෙමත් එළියට එනවා.
එයා අරුන්ට වේදනාවෙන් කියන්නේ, “ඔයා කසාද බැන්දට පස්සේ මාව අමතක කරන්න එපා. හැමදාම මම ඔයාගේ නෑනා කියලා මතක තියාගන්න.” කියලයි.
ඊට පස්සේ එළඹෙන්නේ පූජාගේ විවාහ දවස. අරුන් නම් ඒ දවසේ ඉන්නේ පුදුම සතුටකින්. හැබැයි පූජාට නම් උදේ ඉඳන්ම උණ. එයා හොඳටම අසනීපෙන් ඉන්නේ. මංගල උත්සවය අතරතුරත් පූජාට මේ අපහසුතාවය දැනෙනවා. ඒ නිසා යාළුවෙක්ගෙන් පැනඩෝල් පෙති දෙකක් ඉල්ලගෙන බොනවා. කොහොමහරි විවාහය සතුටින් අවසන් වෙනවා. රෑ වෙද්දි පවුලේ අය සින්දු කියලා, නටලා විනෝද වෙද්දි, පූජායි අරුනුයි කාමරයට යනවා. පූජා තාමත් අසනීපෙන්. අරුන් එයා ළඟින් ඉඳගෙන එයාට ළං වෙන්න උත්සාහ කරනවා. ඒත් පූජා එයාට කියන්නේ, “මම උදේ ඉඳන්ම අසනීපෙන් ඉන්නේ. මට ඇඟට හරිම අමාරුයි.” කියලයි.
හැබැයි අරුන් පූජාගේ තත්ත්වය තේරුම් ගන්නේ නැහැ. අරුන් කියන්නේ එයාට බෙහෙතක් දෙන්නම් කියලයි. ඒත් පූජා තවදුරටත් අරුන්ව ප්‍රතික්ෂේප කරනවා. අන්තිමේදී පූජාට වෙන කරන්න දෙයක් නැති තැන,
“අද බැහැ. මට අමාරුයි.” කියලා පැහැදිලිවම කියනවා.
ඒත් එයාගෙ කැමැත්ත නොසලකා හරිමින් අරුන් එයා එක්ක බලහත්කාරයෙන් ලිංගිකව හැසිරෙනවා. ඒ මොහොතේ පූජාට තමන්ගේම මංගල රාත්‍රිය අසරණව තනිවම විඳින්න සිද්ධ වෙනවා. පහුවදා උදේ පූජාගේ ජීවිතේ වෙලා තියෙන දේ ගැන කිසිම දෙයක් නොදන්න කමලේෂ් නම් හරිම සතුටින් නැගිටලා, පවුලේ ආගමික කටයුතු කරන්න ලෑස්ති වෙනවා. ඒ වෙලාවේ එයාගෙ ඇස් යන්නේ ටෙරස් එක පැත්තට. මංගල ඇඳුම් පිටින්ම පූජා ටෙරස් එකේ උඩට වෙලා ඉන්නවා. පහළ ඉඳන් කමලේෂ් පූජාට කතා කළත්, පූජාට ඒ කිසි දෙයක් ඇහෙන්නේ නැහැ. ඒත් එක්කම කතාව ආයෙත් පෙරදා රාත්‍රියට යනවා. එළිවෙනකම්ම පූජා වෙච්ච දේ ගැන හිත හිත අඬනවා. ඒ අතරේ අරුන් නම් මේ සිදුවීම ගැන කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක්.
“මේවා සාමාන්‍ය දේවල්. අපි විවාහ වුණාම ඔයා මට පොරොන්දු වුණා. අපි ශරීරයෙන් වගේම ආත්මයෙන් බැඳිලා ඉන්නවා. මම භුක්ති වින්දේ මට තියෙන ඒ ශාරීරික අයිතිය. කියලයි.
ඒක අහලා පූජා අඬමින් කියන්නේ, “මම අසනීපෙන් හිටියේ. මට අමාරුයි කියලා මම කිව්වා. මම බැහැ කිව්වට ඔයා මාව බලෙන් කළා.” කියලයි.
ඒක අහලා අරුන් ටිකක් කම්පනයට පත්වෙනවා. හැබැයි ඊළඟට එයා පූජාව කාමරයෙන් එළියට දාලා කියන්නේ,
“මං ඔයාව රේප් කළා නම්, ගිහින් බය නැතුව ගෙදර අයට කියන්න.” කියලයි.
පූජා අඬමින්, “එහෙම කරන්න එපා. මට දැන් හුඟක් අමාරුයි.” කියලා කිව්වත්, අරුන් පූජාව බලෙන්ම එළියට දානවා.
පූජා ගෙදර අය ළඟට ගිහින් වෙච්ච දේ කියන්න උත්සාහ කළත්, එයාට ඇහෙන්නේ වෙන කතාවක්.
පවුලේ ගෑනු අය වට කරගෙන කතා කරන්නේ, “ගෑනියෙක් වුණාම කොහොමද තමන්ගේ සැමියාට යටත් වෙලා ඉන්න ඕනේ” කියන එක ගැන ඒ වචන ටික ඇහුණම පූජාට තේරෙනවා, තමන් කියන්න ආව දේ කියලා වැඩක් නැහැ කියලා. ඒ නිසා එයා ආයෙමත් කාමරයට යනවා. කාමරයට ගිය පස්සේ අරුන් සැරෙන් පූජාගෙන් අහන්නේ,
“කමලේෂ්ට කිව්වද?” කියලයි.
පූජා අහිංසකව කියන්නේ නැහැ කියලයි.
ඒක අහලා අරුන්, “එහෙනම් කමක් නැහැ.” කියලා ආයෙමත් පූජාගෙ කැමැත්ත නොසලකා තමන්ට අවශ්‍ය දේ කරගන්නවා. මේ වෙලාවේ පූජාට කිසිම හැඟීමක් නැහැ. වේදනාවෙන්, අසරණව එයා ඇඳේ වැතිරිලා ඉන්නේ හරියට තමන්ගේ ශරීරයෙන් තමන්ම ඈත් වෙලා වගේ.
ඒත් එක්කම කතාවේ අනිත් පැත්ත අපිට පෙන්නනවා. විනාය කමලේෂ්ට ආදරෙන් සලකනවා. ඒක දැකලා කමලේෂ් හිතන්නේ, “මං කරපු පින් නිසා තමයි මට මේ වගේ හොඳ සැමියෙක් ලැබුණේ.” කියලයි.
ඒ වගේම එයාට පූජා ගැනත් හිතෙනවා.
“පූජත් හරිම වාසනාවන්තයි. අරුනුත් විනාය වගේම හොඳ කොල්ලෙක්.”
කමලේෂ්ට තාමත් හිතාගන්න බැහැ, තමන් හිතාගෙන ඉන්න “හොඳ කොල්ලා” තමන්ගේම ලේලියට මොනවා කරලා තියෙනවද කියලා. ඒ අතරේ පූජා කාමරයෙන් එළියට එනවා.
මංගල ඇඳුම් පිටින්ම එයා නාන්න පටන් ගන්නවා. ආයෙමත් අපිට පේන්නේ ටෙරස් එක උඩ ඉන්න පූජාව.
මේ පාර නම් කමලේෂ් බය වෙලා එයා ළඟට දුවගෙන යනවා. පූජා සම්පූර්ණයෙන්ම තෙමිලා. කමලේෂ්ට වෙච්ච දේ හිතාගන්න බැහැ.
“අරුන් එක්ක රණ්ඩු වුණාද?” කියලා එයා අහනවා. ඒත් ඒ ප්රශ්නය අහපු ගමන් පූජා බිමට නිකන් කලන්තෙ දාලා වගේ වැටෙනවා. එයා අඬාගෙන කමලේෂ්ට කියන්නේ, “මාව ගෙදර එක්කගෙන යන්න.” කියලයි. කමලේෂ් පූජාව ගෙදර එක්කගෙන යන්න කලින් එයාට තේ එකක් හදලා දෙන්න කියනවා. හැබැයි පූජා තාමත් කමලේෂ්ට ඇත්තටම සිද්ධ වුණු දේ කියලා නැහැ. ඒ නිසා කමලේෂ්ගේ හිතේ පූජා ගැන පොඩි තරහක් ඇති වෙනවා. මොකද, පූජා මෙච්චර අඬන්නේ ඇයි කියලා කමලේෂ්ට තාමත් තේරෙන්නේ නැහැ. ඉතින් කමලේ පූජා හදලා දීපු තේ එක බීලා බලලා කියන්නේ ඉඟුරු රහ හරියට ඇවිල්ලා නැහැ කියලයි. එහෙම කියලා තේ කෝප්පය ආයෙත් පූජා අතට දෙනවා. හැබැයි පූජා ඒ වෙලාවේ ඉන්නේ සිද්ධ වෙච්ච දේ ගැන හිත හිතා. ඒ නිසා කමලේෂ් දීපු තේ කෝප්පයත් එයාගෙ අතින් ලිස්සලා බිමට වැටෙනවා.
ඒ අතරේ කමලේෂ් හිතාගෙන ඉන්නේ ගෙදර අනිත් අය නැගිට්ට ගමන් පූජාවත් එක්කගෙන යන්නයි. හැබැයි කොච්චර වෙලාවක් බලාගෙන හිටියත් කවුරුවත් නැගිටින්නේ නැහැ. ඒ නිසා අන්තිමේදී කමලේෂ් පූජාව ස්කූටියට නග්ගගෙන එයාගෙ ගෙදරට එක්කගෙන යන්න පිටත් වෙනවා. ගෙදරට ආව ගමන් පූජා තමන්ගේ අම්මව ඇදගෙන කුස්සියට යනවා. එතනදී එයා ඊයේ රෑ වෙච්ච දේ ගැන සම්පූර්ණ විස්තරය අම්මාට කියනවා. ඒ වගේම පූජා කියන්නේ තමන්ට මේ කසාදය තවදුරටත් ඕනේ නැහැ කියලයි. හැබැයි පූජාගේ අම්මා ඒක අහලා එයාව තේරුම් ගන්න උත්සාහ කරනවා වෙනුවට කියන්නේ,
“ගැනියෙක් වුණාම ඔය දේවල් විඳදරාගන්න ඕනේ. ඕවා සාමාන්‍ය දේවල්.” කියලයි. ඒ විතරක් නෙවෙයි. ඊයේ කසාද බැඳලා අදම ගෙදර ආවොත් නෑදෑයෝ මොනවා හිතයිද කියලත් අම්මා කියනවා. ඒ වගේම පූජා ආපහු නොගියොත්, එයාගෙ මාමා පොරොන්දු වෙලා තිබුණු විදිහට පූජාගේ මල්ලිට හොඳ රස්සාවක් හම්බ වෙන්නේ නැහැ කියලත් අම්මා මතක් කරනවා. මේ වෙලාවේ පූජාට දැනෙන්නේ පුදුම අසරණකමක්. මොකද තමන්ට සිද්ධ වෙච්ච දේ ගැන තමන්ගේම අම්මාගෙනුත් කිසිම සහයක් ලැබෙන්නේ නැහැ කියලා එයාට තේරෙනවා. පූජා කොච්චර කිව්වත් තමන්ට ආපහු ඒ ගෙදර යන්න බැහැ කියලා, අම්මා කියන්නේ අරුන්ගේ පවුල හොඳ පවුලක් කියලයි. ඒ වගේම පූජා ආපහු ගියොත් මල්ලිටත් හොඳ රස්සාවක් ලැබෙනවා කියලා කියමින් එයාව ආපහු යන්න පොළඹවනවා.
කොහොමහරි, ඊයේ රෑ වෙච්ච දේ නිසා පූජා තාමත් හොඳටම වේදනාවෙන් ඉන්නේ. ඒත් ඒ වේදනාව ගැන වැඩි තැකීමක් නොකරන අම්මා, කමලේෂ් එක්ක පූජාව ආපහු අරුන්ගේ ගෙදරට යවනවා. ඒ දෙන්නා ස්කූටියෙන් යන අතරේ කමලේෂ්ගේ ෆෝන් එකට අරුන්ගෙන් කෝල් එකක් එනවා.
අරුන් කලබලයෙන්ම අහන්නේ, “පූජා ඔයා ළඟ ඉන්නවද?” කියලයි.
කමලේෂ් කියන්නේ, “ඔව්, අපි දෙන්නා ගමනක් ගිහින් එන ගමන් ඉන්නේ.”
කියලයි. ඒත් අරුන් ඒ ගැන වැඩි විස්තර අහන්නේ නැහැ. එයා කියන්නේ ඉක්මනට ගෙදර එන්න කියලයි. මොකද Honeymoon එකට යන්න බඩු ලෑස්ති කරගන්න තියෙනවා. ඒ වෙලාවේ පූජා කමලේෂ්ට කියනවා වාහනය නවත්තන්න. එයාට Washroom එකට යන්න ඕනේ කියලයි කියන්නේ. ඊට පස්සේ පූජා ලක්රෝ නගර සභාව පැත්තට ඇවිදගෙන යනවා. කමලේෂ් පස්සෙන් ගිහින් කියන්නේ, “Toilet එක තියෙන්නේ ඔය පැත්තේ නෙවෙයි.” කියලයි.
හැබැයි ඒ වෙලාවේ පූජා එකපාරටම අතුරුදන් වෙනවා. කමලේෂ් ඒ පාර දිගේ කොච්චර හෙව්වත් පූජාව හොයාගන්න ලැබෙන්නේ නැහැ. අන්තිමේදී එයාඅ ගෙදරට ඇවිල්ලා මේ සිද්ධිය හැමෝටම කියනවා. ඒක අහලා පවුලේ අය කමලේෂ්ගෙන් අහන්නේ,
“ඔයා තමයි මේ පවුලේ වැඩියෙන්ම වගකීමෙන් වැඩ කරන කෙනා. යතුරක්වත් ලේසියෙන් නැති කරගන්නේ නැති ඔයා කොහොමද පූජාව නැති කරගත්තේ?” කියලයි.
ඒ අතරේ අරුන්ගේ අම්මා අරුන්ටත් හොඳටම දොස් කියනවා. එයා කියන්නේ,
“ඔයා මොනවාහරි කරන්න ඇති. ඒක තමයි පූජා අපිටත් නොකියා උදේ පාන්දරම ගිහින් තියෙන්නේ.” කියලයි.
ඊට පස්සේ හැමෝම එකතු වෙලා පූජාව හොයන්න පටන් ගන්නවා.
කමලේෂ් ශෝනාගේ NGO එකට ගිහින් පූජා අතුරුදන් වෙච්ච සිද්ධිය ගැන කියනවා. ඒක අහපු ගමන් ශෝනා එතන ඉන්න අනිත් ගෑනු ළමයින්ට කියන්නේ පූජා ගැන තොරතුරක් හොයන්න කියලයි. ඒ අතරේ කමලේෂ් ශෝනාගෙන් අහනවා,
“මෙතන මොකද වෙන්නේ?” කියලා.
එතකොට ශෝනා පැහැදිලි කරන්නේ එයාලා කාන්තාවන් වෙනුවෙන් හඬ නගන සංවිධානයක් කියලයි. කාන්තාවකගේ ආරක්ෂාවට සම්බන්ධ ඕනෑම ප්‍රශ්නයක්, ලිංගික හිංසනයක් හෝ වෙනත් අසාධාරණයක් ගැන කතා කරන්න ඕනේ කෙනෙකුට මෙතනට එන්න පුළුවන් කියලත් ඇය කියනවා. ඒක අහලා කමලේෂ් අහනවා,
“ඒවා මෙතන කිව්වම මොකද වෙන්නේ?” කියලා.
ශෝනා එයාලා ඒ වගේ ප්‍රශ්නවලට මැදිහත් වෙලා කාන්තාවන්ට උදව් කරන විදිහ ගැන පැහැදිලි කරනවා. ඒත් කමලේෂ් තාමත් හිතන්නේ ගෙදර ඇතුළට වෙලා හිටියා නම් මේ කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ කියලයි.
“ගෙදර අස්සට වෙලා හිටියා නම් ඔය මුකුත් වෙන්නේ නැහැනේ.” කියලා එයා කියනවා.
ඒ වෙලාවේ ශෝනා කමලේෂ්ගෙන් අහන්නේ,
“ගෙදර ඇතුළෙම ආරක්ෂාවක් නැත්නම් මොකද කරන්නේ?” කියලයි.
ඒ ප්‍රශ්නයට කමලේෂ්ට දෙන්න උත්තරයක් නැහැ. එයා නිශ්ශබ්ද වෙනවා.
ඒ අතරේ තවත් ගෑනු ළමයෙක් ඇවිල්ලා කියන්නේ පූජා ගැන තාමත් කිසිම තොරතුරක් හොයාගන්න බැරි වුණා කියලයි.
ඊට පස්සේ කමලේෂ් සහ ශෝනා පූජාව හොයන්න ලක්රෝ නගර සභාව පැත්තට යන්න පිටත් වෙනවා.
ස්කූටියෙන් යන අතරේ ශෝනා කමලේෂ්ට කියන්නේ පූජා පොඩි කාලේ ඉඳන්ම තාත්තගේ දැඩි නීති රීති මැද්දේ හැදුණු කෙනෙක් කියලයි.
ඒ නිසා පොඩි දේකටත් බය වෙන කෙනෙක්. එහෙම කෙනෙක් මේ විදිහට ගෙදරින් පැනලා යන්න නම්, ඒකට අනිවාර්යයෙන්ම ලොකු හේතුවක් ඇති කියලයි ශෝනා කියන්නේ. ඒ වෙලාවේම ශෝනාට කෝල් එකක් එනවා. පූජා ඉන්න තැනක් ගැන තොරතුරක් ලැබිලා. ශෝනාත් කමලේෂ්වත් ඒ තැනට යනවා. වාහනයෙන් බැහැපු ගමන් කමලේෂ් ශෝනාගෙන් අහන්නේ එයා කවදා ඉඳන් මේ වගේ ඇඳුමක් අඳින්නේද කියලයි. මොකද ශෝනා දැන් ඉන්නේ පිරිමියෙක් වගේ පෙනෙන විදිහට. හැබැයි ශෝනා ඒ ප්‍රශ්නයට උත්තර දෙන්නේ නැහැ. එයා කෙළින්ම පාක් එක ඇතුළට යනවා. එතනදී තමයි පූජාව හොයාගන්නේ. ශෝනා පූජා ළඟට ගිහින් එයාව සන්සුන් කරලා කතා කරන්න පටන් ගන්නවා.
“මට තේරෙනවා ඔයාට මොකක්හරි ලොකු දෙයක් වෙලා කියලා. හැබැයි ඔයා කිසිම වෙලාවක හිතන්න එපා ඔයාට ඔයා විතරයි ඉන්නේ කියලා. ඔයාගේ ආරක්ෂාව වෙනුවෙන් අපි වගේ මිනිස්සු ගොඩක් ඉන්නවා.”
කියලා එයා පූජාව සැනසෙනවා. ඒ වෙලාවේ කමලේෂ් පූජාව හොයාගෙන එතනට එනවා. කමලේෂ්ව දැක්ක ගමන් පූජා ඉබේම නැගිටිනවා. ශෝනා පූජාට කමලේෂ් ඇහෙන්නේ නැති විදිහට කියන්නේ, “ඔයාගේ නෑනා ටිකක් අමුතු වුණාට එයා හොඳ කෙනෙක්.” කියලයි. එහෙම කියලා ශෝනා පූජාව වැළඳගෙන එතනින් යනවා. ඊට පස්සේ කමලේෂ් පූජා ළඟට ගිහින් ආදරෙන් කතා කරනවා.
“මෙහෙම පැනලා යන්න තරම් ඔයාට මොකක්ද වුණේ? බය නැතුව මට කියන්න. මං ඉන්නවා.” කියලා එයා පූජාට කියනවා.
අන්තිමේදී පූජා තමන්ගේ හිතේ හිර කරගෙන හිටපු දේ කමලේෂ්ට කියනවා.
“ඊයේ මං අසනීප වෙලා හරිම අමාරුවෙන් හිටියේ. මට ඒකට කිසිම හැඟීමක් තිබ්බේ නැහැ. ඒත් ඔයාගේ මස්සිනා මාව රේප් කළා.” කියලා පූජා කියනවා.
ඒ වචන ටික ඇහුණ ගමන් කමලේෂ්ට හොඳටම කේන්ති යනවා. එයා පූජාගේ කම්මුලට හයියෙන් පහරක් ගහනවා. ඊට පස්සේ පිළිකුලෙන් වගේ පූජා දිහා බලලා අහන්නේ,
“ඔයා කොහොමද ඔහොම දෙයක් කටක් ඇරලා කියන්නේ? අනික අරුන්ට කොහොමද ඔහොම චෝදනා කරන්නේ?” කියලයි.
ඊටත් පස්සේ කමලේෂ් තවත් උදාහරණයක් දීලා අහනවා, “මගේ අල්මාරියෙන් මගේ සල්ලි මම ගත්තොත්, ඒකෙන් මං හොරෙක් වෙනවද? ඔයාට මාව හොරෙක් වගේ පේනවද?”
ඒ ප්‍රශ්නයත් එක්කම පූජාට තේරෙනවා, තමන් විඳපු දේ ගැන කමලේෂ්ට තාමත් තියෙන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් අවබෝධයක් කියලා.
ඉතින් මෙතනින් පස්සෙ වෙන්න මොකද්ද කියලා මම ඔයාලට කියන්න යන්නෙ නෑ. මොකද මේක ෆිල්ම් එකක් නෙවෙයි වෙබ් සීරීස් එක්ක හන්දා ටිකක් දිග කතාවක්. ඒ වගේම සමාජයේ අදටත් වෙන, හැම ගැහැනියක්ම, හැම ගැහැනු ළමයෙක්ම වගෙ බලන්නම ඕන කතාවක් කියලා මම මේක mention කරන්න කැමතියි.
මේ වෙබ් සීරීස් එක බලද්දි අපිට පූජාගේ කතාව විතරක් පේන්නේ නැහැ. අපේ සමාජයේ කසාදයක් ඇතුළේ තමන්ගේ කැමැත්ත, වේදනාව, බය පවා පැත්තකට දාලා “ගෑනියෙක් වුණාම මේ දේවල් දරාගන්න ඕන” කියලා නිහඬ කරපු ගොඩක් ගෑනුන්ගෙ කතාත් මේක ඇතුළේ පේන්න ගන්නවා.
කසාදයක් කියන්නේ කෙනෙක්ට තවත් කෙනෙක්ගේ ජීවිතය ගැන හෝ ශරීරය ගැන අයිතියක් ලැබෙන එක නෙමෙයි. ආදරේ කියන්නේ අයිතියක් නෙමෙයි, ගෞරවයක්. කැමැත්ත කියන්නේ කසාදයෙන් පස්සේ අහිමි වෙන දෙයක් නෙමෙයි.
ඒ නිසා Chiraiya කියන්නේ නිකන් තවත් ආදර කතාවක් බලනවා වගේ බලලා ඉවර කරන්න පුළුවන් කතාවක් නෙමෙයි. මේ කතාව බලන අතරේ, අපි කවදාවත් ප්‍රශ්න නොකරපු “කසාදයක් ඇතුළේ ගැහැනියකට කොච්චර දේවල් නම් දරාගන්න වෙනවද?” කියන ප්රශ්නය ගැනත් ටිකක් හිතන්න වෙනවා.
ඒ නිසා මේ කතාව බලන්න.
පූජා වෙනුවෙන් විතරක් නෙමෙයි, තමන්ගේ වේදනාවට වචනයක් දෙන්න බැරිව නිහඬව දරාගෙන ඉන්න හැම ගැහැනියක් වෙනුවෙන්ම කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා.











