යෝජනා

නිහාරි, යොහාන්ගේ තේ එක අරගෙන කාමරයට එනකොටත් යොහාන් හිටියේ තද නින්දේ. ඔහුට බාධා කරන්න උවමනාවක් නොතිබුන නිසා නිහාරි තේ එක ඇඳ ළඟින් තියලා කාමරයෙන් එලියට ආවේ කාමරය දොරත් වහගෙන.

සෙනසුරාදා දවස නිසා ගෙදර කරන්න වැඩ ඕන තරම් නිහාරි ට තිබුණා. මේ ගෙවෙන්නේ යොහාන් එක්ක විවාහ වෙලා දෙවැනි මාසෙ වුනත් නිහාරි බලාපොරොත්තු උනා තරම් සතුටක් ඒ ජීවිතේ ඇතුලේ නිහාරිට ලැබුණේ නැහැ. යෝජිත විවාහයන් ගැන පැහැදීමක් නොතිබුණත් දෙමව්පියන්ගේ බල කිරීම නිසා යොහාන්ගේ ගෙදරින් ආපු යෝජනාවට කැමති වෙන්නයි නිහාරිට සිද්ධ වුණේ. 

” මං අවුරුදු හයක එෆෙයාර් එකක් බ්‍රේකප් වෙලා ඉන්නේ. ගෙදරට බෑ කියන්න බැරි කමටයි මං මේ ගමන ආවේ “

දෙමව්පියන් එක්ක නිහාරිගේ ගෙදර ආපු පළවෙනි දවසෙම යොහාන් එහෙම කියද්දී මොකක්දෝ හේතුවකට ඔහුගේ අවංක කම ගැන නිහාරි පැහැදුණා. දෙන්නගෙම කැමැත්ත අකමැත්ත විමසන්නවත් නැවතුනේ නැති දෙපාර්ශ්වයේම දෙමව්පියෝ පවුල් දෙකේ ගැලපීම ගැන හිතලා එදා දවසෙම විවාහයට කැමැති වුණා. 

දෙමව්පියන්ට වුවමනා විදිහට ජීවිතයේ හැම දවසක්ම ගෙවපු නිහාරි අලුත් ජීවිතයක් ගැන හීන මවන්න පටන් ගත්තා. මුහුණු පොතට යොහාන් එකතු කරලා තිබුණ ඡායාරූප බලමින් යොහාන් මොන වගේ පුද්ගලයෙක්ද කියලා හිතා ගන්න නිහාරි උත්සාහ කරා. විවාහයට කලින් නිහාරිට යොහාන්ව මුණගැහුනෙ දවස් කීපයක් විතරයි. ඒ කොහොම වුණත් යොහාන් කියන්නේ තමන්ගේ සැමියා වෙන්න ඉන්න කෙනා නිසා නිහාරි යොහාන් තමන් ගැන ඒ තරම් සැලකිල්ලක් නොදක්වන කොටත් ඉවසන්න පුරුදු වුණා.

විවාහයට අවශ්‍ය කටයුතු සූදානම් කරන කොට යොහාන් එක්ක ගමන් බිමන් යන්න විහාරිට සිද්ධ වුණත් ඒ හුඟාක් ගමන් බිමන් වලදී යොහාන් වැඩිපුර කතා කළේ නැහැ. ඒ ඔහුගේ විදිහ කියලා හිතන්න නිහාරි උත්සහ කරා. ඒත් ඇත්තටම සිද්ධ වුනේ තමන්ගේ පරණ පෙම්වතිය ගැන දුක් වෙමින් ඒ මතකයන් එක්ක ජීවත් වෙච්ච එකයි. 

ඒක එහෙමයි කියලා දැනගෙන හිටියත් , යොහාන් ඒ ගැන කෙලින්ම කතා කරත් ඒ කාරණාව තමන්ගේ අනාගතයට මොන තරම් බලපායිද කියල හිතන්න නතර නොවෙච්ච නිහාරි උත්සහ කළේ යොහාන්ට පරණ මතකයන් අමතක කරවලා ඔහුව අලුත් ජීවිතයකට හුරු කරවන්න.

ඒත් විවාහයෙන් මාස දෙකකට පස්සෙත් නිහාරිට ඒ බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න බැරි වුණා.

එකම ගෙදරක ජීවත් වෙලාත් යොහාන් සහ නිහාරි අතර සතුටු දායක කතාබහක් ඇති වුනේ ඉඳලා හිටල විතරයි. අනිත් හැම වෙලාවකම යොහාන් නිහඬව ඉන්න පුරුදු වෙනකොට නිහාරි ඒ හැම දෙයක්ම ඉවසන්න පුරුදු වුණා.

දෙමව්පියන්ගේ ගෙවල් වල යනකොට,යාළුවෙක් මුණ ගැහෙන්න යනකොට ඇරුනම හැම වෙලාවෙම යොහාන් සහ නිහාරි එකම ගෙදර ජීවත් උනේ ආගන්තුකයන් විදිහට.

ඒත් කවද හරි යොහාන් තමන්ට ආදරය කරන්න පටන් ගනියි කියලා නිහාරි හිතුවා. ඒ නිසාම දවසින් දවස දැනෙන දුක හංගගෙන ඉන්න නිහාරි පුරුදු වුණා.තමන් අතින් නිහාරිට වෙන්නේ මොනතරම් අසාධාරණයක්ද කියලා හිතන්න යොහාන් මොහොතකටවත් නතර වුණේ නැහැ.

සති අන්තය නිසා නිහාරිගේ අම්මා නිහාරියි යොහානුයි ජීවත් වෙන ගෙදරට ගොඩ වැදුනේ නොකියාමයි.

” මං මේ ලීලා ඇන්ටිලගේ ගෙදරට ආව ගමන්. සෙනසුරාද නිසා ඔයාලා ගෙදර ඉන්නවා කියලා මං දන්නවනේ. ඒකයි පොඩ්ඩක් ඔලුව දාලා යන්න ආවේ.කෝ යොහාන් ? ” 

” යොහාන් තාම නිදි අම්මා. අද නිවාඩු නේ “

නිහාරි තමන්ගේ අම්මට එහෙම කියනවා ඇහෙද්දිත් යොහාන් හිටියේ අවදියෙන්.ඔහු කාමරයෙන් එළියට නෑවිත් නිහඬවම කාමරය ඇතුළට වෙලා හිටියේ කා එක්ක හරි කතා කරන එක පවා ඔහුට නීරස නිසා.

නිහාරි කඩිමුඩියේ කෑම උයන හැටිත්, ඒ ගමන්ම මුළුතැන් ගෙය අස්කරන හැටිත් ඇගේ අම්මා බලාගෙන හිටියා. පවුලේ එකම දරුවා වුනත් නිහාරී ගෙදර දොරේ වැඩ හැම එකක්ම පුරුදු වෙලා තියෙන විදිහ ගැන ඇය හදවතින්ම සතුටු උනා. ඒත් තමන් බලාපොරොත්තු උනා වගේ සතුටක් තමන්ගේ දියණියගේ මූණේ නෑ කියලයි ඇයට හිතුනේ.

” ඔයා හොඳින් නේද පුතේ ?” 

කෑම මේසයට වාඩි වෙන ගමන් විහාරිගේ අම්මා ඇහුවෙ ඈ දිහා බලාගෙන ඉඳලා බැරිම තැන. නිහාරි හිනාවෙන ගමන් මේසයෙන් වාඩිවෙලා අම්මට බත් බෙදුවා.

” අනේ ඔව් අම්මේ. මං හොඳින් ” 

” ඔයා කන්නෙ නැද්ද ? ” 

” මං යොහාන් කනකොට කන්නම්. නිවාඩු දවසට අපි දෙන්න කන්නෙ එකට. අම්මා කන්නකෝ “

කාමරයේ හිටපු යොහාන්ට මේ කතාව ඇහුනා. මේ ගතවුණ මාස දෙකට එක දවසක් වත් එහෙම වුණේ නෑ කියලා දන්න නිසාම යොහාන් නිහඬවම නිහාරිගෙත් ඇගේ අම්මාගෙත් කතාවට උවමනාවෙන් සවන් දුන්නා.

” යොහාන් ගොඩාක් මහන්සි වෙනවා.ඒකයි මම සෙනසුරාදා ඉරිදාට එයාට පොඩ්ඩක් රෙස්ට් කරන්න ඇරලා ඉන්නේ ” 

” ඔයාව යොහාන්ට බන්දලා දීපු එක ගැන නං මට සතුටු වෙන්න පුළුවන් එහෙනම් “

සතුටින් කෑම කන අම්මා දිහා නිහාරි බලාගෙන හිටියා. තමන් සතුටින් නොහිටියත් අඩුම තරමේ තමන් නිසා තමන්ගේ දෙමව්පියන් හරි සතුටින් ඉන්නවනේ කියලා ඇයට හිත හදාගන්න පුළුවන් වුණා.

” තාත්තයි මමයි බයේ හිටියා ඒත්,මොනා උනත් ඔය proposal ගැන කාටද කියන්න පුළුවන් පුතේ. ඒ උනාට ඔයා සතුටින් ඉන්නවා දැක්කම දැන් හිතනවා අපිට බයවෙන්න දෙයක් නෑ කියලා.මොකද ඔයාටයි යොහාන්ටයි හරියට කතා කරන්නවත් බැරි උනානේ වෙඩින් එකට කලින් ” 

” මාත් ඒ ගැන බයේ හිටිය අම්මා. ඒ උනාට යොහාන් කියන්නේ හරිම හොද හස්බන්ඩ් කෙනෙක්. මේ ගෙදර වැඩ වලට වුණත් එයා මට සෑහෙන්න උදව් කරනවා. එයා හැමදාම ඔෆිස් එක ගාවටත් මාව ගන්න එනවා. එයා හැම වෙලාවෙම කියන්නේ wife කෙනෙක් ගෙදර වැඩ තනියම කරන්න ඕනෙ නෑ කියලා “

කාමරයේ හිටපු යොහාන් පුදුමෙනුත් පුදුමයට පත්වුණා. කවදාවත් උනේ නැති දෙයක් ගැන නිහාරි මෙහෙම අම්මට කියන්නේ කොහොමද කියලා ඔහු කල්පනා කරා.

” මම තාත්තත් එක්ක දවසක එන්නම්කෝ. එතකොට පුළුවන්නේ ඔයාලත් එක්ක දවසම ඉඳලා කාලා බීලා යන්න.මම කෑම ටිකකුත් උයාගෙනම එන්නම් “

” මේ වැඩත් එක්ක අපිට ඒ පැත්තේ එන්න බැරි වුණානේ අම්මේ. වෙඩින් එකට නිවාඩු ගත්ත නිසා අපි දෙන්නට තාම වැඩ ටිකක් වැඩියි. හෙමින් සැරේ පැත්තේ එන්නම් කියලා තාත්තට කියන්න. යොහාන්ලගේ ගෙදරත් තාම හරියට යන්න බැරි වුණා අපිට “

නිහාරිගේ අම්මා කෑම කාලා ඉවර වෙලා පිටත් වුණේ පුදුමාකාර හිතේ සන්තෝසෙකින්.තමන්ගේ එකම දියණිය සාර්ථක පවුල් ජීවිතයක් ගත කරනවා කියන සතුට ඇගේ හිතේ අඩුවක් නැතුව තිබුණා වගේම දියණියගේ ජීවිතය ගැන තමන් ගත තීරණය හරියටම හරි කියන සතුටත් ඇයට තිබුණා.

අම්මා පිටත් වෙලා ගියාට පස්සේ ආපහු කෑම මේසයෙන් වාඩිවුණු නිහාරී කල්පනා කරන්න පටන් ගත්තා. කාමරයේ දොර ගාවට ආපු යොහාන් දොර රෙද්ද මෑත් කරලා මේසයේ වාඩිවෙලා කල්පනා කරන නිහාරි දිහා බැලුවේ දුකෙන්. 

නිහාරි තමන්ගේ අම්මට බොරුවට වුනත් කියන්න ඇත්තේ තමන් ඇත්තටම ගෙවන්න බලාපොරොත්තු උන පවුල් ජීවිතේ කියලා යොහාන්ට හිතුණා. තමන්ගේ අතින් මේ තරම් අසාධාරණයක් වෙලා තියෙද්දිත් ඇය ඒ ගැන වචනයක් වත් නොකියා නිහාරි තමන්ගේ පවුල ගැනයි තමන්ගේ ආත්ම ගරුත්වයයි ගැන හිතලා අම්මා ඉදිරියේ හැසිරුන විදිහ ගැන යොහාන් ආයෙ ආයෙම හිතුවා.අවුරුදු ගානක් තමන්ට ආදරය කරලා තමන්ව අතෑරල ගිය පෙම්වතිය නිසා තමන්ගේ වර්තමානයයි උදා වෙන්න තියන අනාගතයයි අඳුරු කරගන්නේ ඇයි කියලා යොහාන්ට පළවෙනි පාරට හිතෙන්න පටන් ගත්තා.

ලොකු හුස්මක් ගත්ත යොහාන් කාමරයෙන් එළියට ඇවිල්ලා ඒ වෙනකොටත් කෑම මේසේ වාඩිවෙලා කම්මුලට අතක් තියාගෙන කල්පනා කරන නිහාරි ළඟ නතර වුණා.

” මට සමාවෙන්න නිහාරි “

යොහාන් ළඟට එනකම්ම දැක්කේ නැති නිසා නිහාරි ඒ වචන ඇහෙන කොටම තිගැස්සුනා.ඊට පස්සේ වාඩිවෙලා හිටපු තැනින් නැගිටලා යොහාන් දිහා බලාගෙන හිටියා.

” මෙච්චර දුකක් හිතේ තියාගෙන ඔයා ඒ ගැන වචනයක්වත් නොකියා ඔයාගේ අම්මා ඉස්සරහා මාව හොඳ මනුස්සයෙක් කරලා පෙන්නුවා. මාස දෙකක් තිස්සේ ඔයා මේ ගෙදර ඇතුලේ විඳපු දුක කොච්චරද කියලා මට හරියටම තේරෙන්නේ දැනුයි නිහාරි ” 

නිහාරි යොහාන්ගේ අත් දෙකෙන්ම අල්ල ගත්තෙ දෑස් වලින් සතුටු කඳුළු බේරෙනකොට. තමන්ගේ ඉවසීමට හරිම වටිනාකමක් ලැබෙන්නේ දැන් කියලා නිහාරිට හිතෙන්න පටන් ගත්තේ ඊළඟ තත්පරයේදී. 

More Stories

Don't Miss


Latest Articles