සන්දීපා මේසේ ළඟට එනකල් ඇවිදගෙන ආවේ ආයාසයෙන්.තරුණ ආයතන ප්රධානියාගේ කඩුතුඩු වගේ වචන ඇගේ හදවත ආයේ ආයෙම පාරවනවා. ඒ කඩු තුඩු වලට හේතුවත් ඇය දන්න නිසාම ඇයට වේදනාව දරාගන්න එක පහසු වුනේ නැහැ.
“ ඇයි සන්දීපා.. අදත් බොස් බනිනවාද ?..”
තිළීණි සන්දීපාට අසුනේ ඉඳගන්න උදව් කරන ගමන් ඇහුවේ, කැබින් එක දිහාත් බලන ගමන්. සන්දීපා හිස සැළුවා විතරයි.
“ අනේ මන්දා බොස් එහෙම නරක මනුස්සයෙක් නෙවෙයි..කොටින්ම මෙහෙ අවුල් තියෙන මිනිස්සුන්ටත් හොඳින් කතා කරලා විසඳගන්න බලන්නේ… සුපර්වයිසර්ලාට පවා කියන්නේ මිනිස්සුන්ට කෑ ගහන්නෙපා, කතාබහ කරලා වැඩ ටික කරගන්න කියලා.. එහෙව් එකේ ඔයාට මෙහෙම වද දෙන එකනේ අප්පා හිතාගන්න බැරි … ඊයේ හවස කෑ ගහපු හැටියෙන් මම හිතුවේ ආයේ ඔයාට ඔෆිස් එන්නත් එපා කියාවි කියලා…. කැම්පස් ගියේ අත උස්සලාද කියලා පවා ඇහුවානේ අප්පා.. අපි මේ යන්තම් ජෙනරල් දාගත්ත අය .. ඔයා ෆුල් ෆර්ස්ට් ක්ලාස් එකක්නේ දෙයියනේ.. එහෙම ඔයාට ඔහොම කෑ ගහන එක කාටවත් හිතාගන්න බැහැ…. “
සන්දීපා තිළිනිට කිසිම උත්තරයක් දෙන්න ඉක්මන් වුනේ නැහ. ඒ වෙනුවට කඳුල් පිහිදගෙන ආයෙම වැඩ පටන් ගත්තා. දවල් වරුවම සාමකාමීව ගෙවුණා.
“ සන්දීපා ..මොකක්ද අයිසේ මේ රිපෝර්ට් එක .. වැඩක් එකපාරින් කරන්න දන්නේ නැත්නම් දන්න කෙනෙක්ගෙන් අහගන්නවා.. එක්කෝ මගෙන්ම හරි ඇවිල්ලා අහනව….. මම තමුසේලාට පඩි දීලා තියාගෙන ඉන්නේ මෙව්වා ආයෙ ආයෙම මට කරෙක්ට් කරන්න නෙවෙයිනේ…… මේක ආයෙ මුල ඉඳන් මට බලන්න වෙලානේ…. ඒක කරුමයක් නෙවෙයිද ඕයි ?…..”
මුලු කාර්යාලයම හෙල්ලිලා යන හඬින් කැබින් එකේ දොර ළැඟ ඉඳන් පසන් එහෙම කෑ ගහනකොට සන්දීපා අසුනෙන් නැගිටලා ඉවරයි.
“ පුටුවෙන් නැගිටලා බිම බලාගෙන හිටියාම ඔක්කොම හරියාවි ..”
පසන් අතේ තිබුණ ෆයිල් එක විසි කරා. කෙනෙක් ඒ ෆයිල් එක අහුලලා සන්දීපා ළඟට ගෙනාවා. කට්ටිය එක්ක එකතු වෙලා ෆයිල් එක බැලුවා.
“ඉතින් ඇත්තනේ… මේ බලන්නකෝ ..ඔයා වැරදියට නේ මේ ඔක්කොම දාලා තියෙන්නේ…. බොස්ට තරහ යන එක සාධාරණයිනේ… මේ බලන්නකෝ ප්රොෆිට් රෝ එක එහෙමම මයිනස් නේ ගිහිල්ලා තියෙන්නේ.. එහෙම වෙන්නේ කොහොමද සන්දීපා?..”
සන්දීපාට හිතාගන්න බැරි වුනා. ඇය පරිඝනකයේ සකස් කරලා තිබුණ ලිපි ගොනුව බැළුවා.
“ මේ බලන්නකෝ .. මේකේ තියෙන්නේ ඕක නෙවෙයිනේ.. මම සර්ට මේල් කලේ මේ හදපු එක..ඔය ඩොකියුමන්ට් එක වැරදිනේ ..”
සන්දීපාට එහෙම කියලා ඉවර වෙන්න ලැබුනේ නැහැ, පසන්ගේ ගිගිරුම් හඬ ආයෙම ඇහුණා.
“ දැන් ඔක්කොමටම වට වෙලා ඉන්නවට මම පඩි ගෙවන්න ඕනිද?… තිළීනිට මම දැන් කොහොමට්ටහ් වෝර්නින් ලෙටර් එකක් දෙන්න කියනවා.. බැලුවොත් ඇත්නම් බබ්බු නලවනවානේ ඔෆිස් ටයිම් එකේ….. සන්දීපා අද කීයට වුනත් ගෙදර යන්නේ ඕක හදලා….මම මේල් කරලා ඇති එක්සෙල් එකක් ඒකත් මට කරෙක්ට් කරලා දිලා……..”
සන්දීපා හිස සැළුවා. අනෙක් අය අසුන් වලට ගියා. සති අන්තෙට ගෙදර යන්න සූදානමින් උන්න නිසා තිළිණි සවස පහ වෙනකොටම පිටවුනා. අනෙක් අයටත් සන්දිපා වෙනුවෙන් ඉන්න පුලුවන් කමක් තිබුනේ නැහැ.
“ ඔයාලා යන්නකෝ .. රාජා අංකල් ඉන්නවානේ.. මම වීල් එකක් දාගෙන හරි යන්නම්කෝ …බය නැහැ..”
සන්දීපා හිතේ බයක් නැති බව පෙන්නගෙන එහෙම කිව්වා. ඒත් හිත ඇතුලේ මහ බයක් තිබුණා. වැඩ ටික ඉවර කරලා සන්දීපා බෝඩිමට යන්න පිටත් වුනේ රාත්රී නවයට. ත්රීරෝද රියෙන් බහිනකොටම පසන්ගේ මෝටර් රිය වගේ මෝටර් රියක් මද දුරකින් නවත්තලා තියෙනවා සන්දීපා දැක්කතෝ එය ඇස් මායාවක් කියලා හිතාගත්තා.
“ සර් කීයටවත් එයිද මාව පරෙස්සම් කරන්න එයා ඉන්නේ මාව මරන්න තරම් කෝපෙන් .. ඒක කවදාවත්ම ඉවර වෙන එකක් නැහැ… මට මෙතන ජොබ් එක නැති කරගන්න බැහැ…ඒ හින්දා එයා කොයි තරම් මට වද දුන්නත් මම ඉන්නම වෙනවා..
අනෙක් අතට …. එයා දන්නේ නෑනේ මම ඇයි එයාව දාලා ආවේ කියලා.. එයා කවදාවත් තේරුම් ගන්න එකකුත් නැහැ……”
සන්දීපා එහෙම හිත හිතා මුලු රෑ තිස්සේම ඇඬුවා.
“ ඔන්න .. අද බොස් නෑලු .. චෙක් සයින් කරන්න ඇනෙක්ස් එකට එවන්න කියලා..”
සන්දීපා පහුවෙනිදා කාර්යාලයටම එනකොටම තිළිණි කිව්වේ හිනාවෙවී. සන්දීපාට ඒ හිනාවට සැහැල්ලු හිනාවක් දෙන්න පුලුවන්කමක් තිබුනේ නැහැ.
“ සතුටු වෙන්න සන්දීපා … අද ඔයාට නිදහස් පාඩුවේ ඉන්න පුලුවන් … හිනාවෙනවාකෝ වදේ ..”
තිළිණි එහෙම කිව්වාට, සන්දීපාගේ පපුවේ ඇමිණෙන වේදනාවක් තිබුණා. ඒ වේදනාවට හේතුව ඇයට වැටහුනත්, එය සදාකල් වේදනාවක් නොවී නවතාගන්නේ කොහොමද කියලා ඇයට වැටහුනේ නැහැ.
හවස් වෙනකොට චෙක් අත්සන් කරන්න ගිය අය කාර්යාලයට පණිවිඩයක් අරගෙන ආව.
“ බොස්ට ඩෙංගු පොසිටිව් වෙලා.. ලේසි වෙන එකක් නැහැ මේ පාර… ඉස්සෙල්ලත් දෙවතාවක්ම හැදුනලුනේ.. අපි ඒත් කිව්වේ ගෙදර යන්න කියලා.. එහෙම යන්නත් බැරිලු … සර්ගේ අක්කාට බබෙක් ලැබිලා සති දෙකලුනේ.. එහෙ අයටත් බෝවේවි බයලු …. සර්ගේ යාලුවොත් කිට්ටුවක නැහැලු ….. ඒත් රෑට කවුරු හරි ගෙන්නගන්නවා කිව්වා.. මට නම් හිතුනේ ඒ නිකන් මූනිච්චාවට කිව්වෙ කියලා…. අපිට ඇඟවෙනවාට වගේ ……”
….”
සන්දීපා පරිඝනකය දිහාව බලාගෙන උන්නේ ඇස් කෙවෙනි රත්වෙලා තියෙද්දි. පොඩි අසනීපෙකදි වුනත් ඔහු කොහොම කලබල වෙනවාද කියලා සන්දීපා හොඳින්ම දන්නවා.
“ පවු ඉතින් … අනේ එ උනාට මේ කෙල්ලට පුදුම වදයක්නේ දුන්නේ..ඕම හරි ඒවා ගේ තරම ඉගෙනගන්න එක හොඳයි ..”
තිළිණි එහෙම කියනකොට ඇයව නවත්තන්න සන්ද්පාට ඕනි වුනත්, ඇය තමන්වම ආයාසයෙන් පාලනය කරගෙන උන්නා.
එදා හවස බෝඩිමට ගියත්, සන්දීපාට කිසිම දෙයක් කරන්න හිතක් තිබුනේ නැහැ. පහුවෙනිදා කාර්යාලයට ආවමත් ඇයට තිබුනේ ඒ හා සමානම මානසිකත්වයක්.
“ අද චෙක් සයින් කරන්න යන්නේ නෑලුද ?..”
අන්තිමේදි සන්දීපා තිළීණිගෙන් එහෙම ඇහුවත් තිලිණි සන්දිපාට බැණැ වැදුනා විතරයි.
“ ගියා නැතා උඹට මොකෝ .. උඹ හිතේ සැණසීමෙන් වැඩ ටික පුරුදු වෙයන් ..වැඩ හොඳට ලයින් අප් කරගනින් ..”
මතුවට












