ඔබට ඇහෙනවනම් – 11

0
1125

කුලාන් මගේ කුටියට ඇවිදින් අශිකා ට යාබද ව වූ අනිත් අසුනට බර වූයේ ය. ඔහු සිටියේ අසීමිත නිදහසකින් බව මට දැනිණ. ඒ වූ කලී ගගනත සරන තුරුණු විහඟෙකු ගේ චිත්තාකර්ෂණීය නිදහසයි. මම මහත් තෘෂ්ණාවකින් ඔහු දෙස බලා සිටියෙමි. කොන්දේසි විරහිත ව ගැහැනු ආත්මයක් මුළුමනින් වසඟයට ගන්නේ පිරිමියෙකු ගේ ඔය අසීමිත බවයි.

“මං මේ අශිකාත් මෙතන ඉන්නව දැකලයි ආවෙ”

මා ‘ඇයි සර්…මොකක් හරි වැඩක් තියනවද…’ කියා අසන්නට කට ගන්නකොට ම ඔහු ඇසුවේ ය. මගේ ප්‍රශ්නය මම ගිල ගතිමි.

“පිරිමි කතායි ගෑනු කතායි කියල දෙකක් තියෙනව කියල මං අහලා තිබුණා. හැබැයි මේ සමාජෙ අපි පිරිමි කතා කියල හිතපු දේවල් සෑහෙන්න වෙනස්”

“ඒ කිව්වෙ සර්…”

අශිකා උනන්දුව පෙන්වූවා ය. මා ඔහු දෙස බලා සිටි බව ඇත්ත ය. නමුත් ඇසුණු දේවලට වඩා දේවල් නෑසී අපතේ යන්නට ඇත.

“නෑ අශිකා…මේ කම්පනි එකේ ගොඩක් අය එක්ක පහුගිය ටිකේ මං කතා කළානෙ. සමහර පිරිමින්ට පිරිමි කියන්නෙ ඇයි කියල මං තාම හිතනව”

අශිකා තරමක් හඬ නැගෙන සේ හිනැහුණා ය. මම මන්දස්මිතයකින් බිම බැලුවෙමි.

“ඒක අපි තේරුං අරගෙනනං ටික කලක් වෙනව…නේ නිම්නා…”

ඊටත් මා කළේ පුරුදු මන්දස්මිතය නගන එක පමණකි.

“වැඩක් ගැන කතා කරන්න ට්‍රයි කළත් මෙතන ගොඩක් පිරිමි කරන්නෙ කේලං කියන එකනෙ. අරයගෙ වැරදියි මෙයාගෙ වැරදියි…මං විතරයි හරි මං තමයි පොර කියල තමයි හිතන්නෙ…ඒකට මං දැකපු වෙස්ටර්න් කන්ට්‍රීස් වල…”

“ඒකනෙ සර් අපේ රටවල් හැමදාමත් දියුණු වෙමින් පවතින රටවල් ගොඩේ තියෙන්නෙ. එතනිං එහාට අඩියක් තියා ගන්න හරි අමාරුයි”

“ඒ මිනිස්සු අනුං ගැන වචනයක් කතා කරනව තියා වෙන කෙනෙක් දිහා බලන්නෙවත් නැති තරංනෙ. ඒක පුදුම නිදහසක්. මිනිස්සුන්ට ගෞරව කරනව කියන එක වචනයේ පරිසමාප්තියෙන්ම වෙන්නෙ ඒ රටවල”

“අපේ අය මෙච්චර වැරදි කරන්නෙ අනුංගෙ වැරදි දිහාම බලං ඉන්න නිසා වෙන්න ඇති සර්”

“ඇත්තට අපේ ගෑනු ළමයි හොඳයි. තාම මේ කම්පනි එකේ එක ගෑනු ළමයෙක්වත් කේලමක අදහසිං තමං හොඳ වෙන්න මාත් එක්ක වෙන කෙනෙකුගෙ වැරදි කතා කරල නෑ”

“අනිත් අයගෙ වැරදි ගැන එච්චරම උනන්දු වෙන්නෙ වැඩියෙංම වැරදි කරන අය සර්”

කතා කළේ ඔවුන් දෙදෙනා පමණ ය. මා කළේ මඳහසකින් මුව සරසා ගෙන මේසය මත වූ ඔහු ගේ පිරිසිඳු පාට අතැඟිලි දෙස බලා ඉන්නා එක ය. නමුත් ඔහු සිටින මානයේ නිහඬ ව බලා සිටියත් හදවත අමුතු පිරිපුන් බවකින් පිරී යයි.

“නිම්නා”

ඔහු හදිසියේ ම මා ඇමතූයේ බලාපොරොත්තු නොවූ මොහොතක මා සසලවා ගෙන ය. මම ගැස්සී ගිහින්, ඔහු ගේ අතැඟිලි වලින් මුදා ගත් නෙතු ඒ මුහුණ මත විකසිත කළෙමි.

“සර්…”

“අපි අපේ ඔක්කොම ඒජන්ට්ස්ල එක්ක කතා කරන්න ඕන නිම්නා. ටෙලිෆෝන් එකෙන් නෙවෙයි. දවසක් දාගෙන…පොඩි හොටෙල් එකක් බුක් කර ගෙන…තේරුණාද…අපි පත්තර ගැහුවට විකුණන්නෙ ඒ මිනිස්සුනෙ. ඒ ගෞරවේ එයාලට දෙන්න ඕනෙ”

“මටත් හිතිච්ච දෙයක් තියෙනව සර්”

“ඔව් කියන්න”

“ඒජන්ට්සලට පොඩි ගිෆ්ට් එකක් දෙන්න. මතක හිටින…ප්‍රයෝජනවත් දෙයක්..ඔය…අපේ කම්පනි එකේ නම ගහපු ලොකු කුඩයක් වගේ දෙයක්…”

“වෙරි ගුඩ් අයිඩියා. ඉතිං අපේ මීටින් එක දවසට ඒ ගිෆ්ට් එකත් දෙමු”

“මං එහෙනං කුඩ ටික හදාගන්න කොටේෂන්ස් බලන්නද සර්…”

“ඔව් ඒක කරන්න. එයාලව මෝටිවේට් කරනව කියන්නෙ අපේ ප්‍රඩක්ෂන්ස් වල මූව්මන්ට් එක වැඩි වෙනව කියන එකට”

එහෙම කියමින් කුලාන් නික්ම ගියේ ය. ඒ වුණත් ඔහු ගේ සුසුවඳ තවත් බෝ වෙලාවක් යන තෙක් මට අවකාශයෙහි දැනෙමින් තිබිණ.

කියවන්න :  ඔබට ඇහෙනව නම් - 1

කවදත් මා වැඩ කළේ රාජකාරිය ගැන උනන්දුවෙනි. ආදරයෙනි. නමුත් කුලාන් නිසා එහි අලුත් සතුටක් තැවරුණ සෙයක් දැනිණ. දික්කසාදිත ගැහැනියක වශයෙන් තරුණයෙකු ගැන ඒ විදිහේ හැඟීමකින් පසු වීම, සම්මත සදාචාරවත් සමාජය අනුමත නො කරන්නක් වන්නට පුළුවන. නමුත් මම මගේ රහසිගත සතුටට මායිම් බඳින්නට නො ගියෙමි. ඔහු ව සින්නක්කරේට අයිති කර ගන්නා අදහසක් මා තුළ ඇති නො වන තාක් මේ රහසිගත ලෝභී සිතිවිල්ලෙන් ඔහු ට හෝ මට කිසිදු හානියක් සිදු වන්නේ නැත. 

සෙනසුරාදා ට පුතා ව මට බාර දෙන්නට කසුන් එන්නේ මහරගමට ය. ඔහු ව ගෙන පීසා හට් එකට ගිය මම පුතා ට පීසා එකක් ඇනවුම් කළෙමි. අකල් වැස්සක් කඩා ගෙන වැටුණේ අප එතුළ සිටියදී ය. මා තරමක් කලබල වූයේ මගේ ළඟ කුඩයක් හෝ නොවූ නිසාවෙනි. 

“එහෙනං වැස්ස පායනකල් පීසා එක කමු”

පුතා හුරතලයෙන් කීවේ ය. මම ඔහු ගේ හිස සිප ගතිමි.

“ආච්චියි සීයයි බලං ඉන්නවනෙ පුතා. අපි ට්‍රයිෂො එකක් හරි නවත්තං ගෙදර ගිහිං කමු”

පුතුත් සමග පීසා හට් එකේ පිලට ආ මම බෙල්ල දිගු කරමින් ත්‍රීරෝද රියක් නවතා ගන්නා උත්සාහයේ සිටියෙමි. නමුත් ඒ වෙලාවේ ගිය එකදු රථයක් හෝ නතර කළේ නැත. වැස්සෙන් බේරෙන්නට තිර රෙදි පොරවා ගෙන ගමන් ගත් ත්‍රීරෝද රථ බොහොමයක මගීන් සිටියහ. ඇතැම් රියදුරන් මා දුටුවේ නැත. කැළඹිලි සහගත සිතින්, වැස්ස විසින් සිප ගනු ලබන තාර පාර දෙස බලා සිටියදී එක දිගට රිය නලා හැඬවිණි. මගේ අවධානය ඒ වෙත යොමු වූයේ නැත. වැස්සට පිලෙහි උන් තරුණයෙක් “අර කතා කරනව” කියා කියමින් ඇඟිල්ල දිගු කොට පෙන්වූයෙන්, මම ඔහු පෙන්වූ රිය දෙස බැලීමි. නතර කර ගත් රියෙහි සිට බලා උන්නේ කුලාන් ය.

“සර්”

මට එතැන සිට ම මිමිනිණි. ඔහු එහි එන්නයි හිසින් ඉඟි කළේ ය. මම පුතු ව එකතකින් අල්ලා ගෙන අනිත් අතින් පීසා එක ද ගෙන රිය වෙත දිව ගියෙමි.

“අනේ අපි තෙමිල සර්”

මා රියෙහි නැගුණේ එහෙම කියමිනි. උකුලේ හිඳුවා ගත් මපුතු දෙස කුලාන් නෙතු කුඩා කොට බැලුවේ ය.

“මට පුතාව ලැබෙන්නෙ සැටර්ඩේට විතරයි සර්. මේ පුතාව අරං ගෙදර යන ගමං. එක පාරටම වැස්සක් කඩං වැටෙන්න ගත්තනෙ”

සුසුමක් හෙළමින් ඔහු රිය යළි මගට ගත්තේ ය. 

“ඔයාට බබාලත් ඉන්නවද…”

“පුතා විතරයි. පුතාට අවුරුදු තුනේදි මාව එයාගෙං ඈත් කළේ. දැං මෙයාට අවුරුදු පහයි”

මම මගේ වස්තුව ගේ හිස් මුදුන සිප ගතිමි. ටික දුරක් යන තෙක් රිය තුළ පිරී තිබුණේ නිහඬ බව හා තෙත්බර සිසිලස ය.

“මං පුතාගෙ කස්ටඩි එක ඉල්ලලා කේස් එකක් ෆයිල් කරන්නයි හදන්නෙ සර්. ඩිවෝස් වෙද්දි මට ජොබ් එකක් තිබුන්නෑ. ඒත් දැං එහෙම නෑ කියල උසාවියෙදි ඔප්පු කරන්න මට පුළුවන්නෙ”

අප දෙදෙනා අතර අඩි දෙකකට වැඩි පරතරයක් වූයේ නැත. ඒ නිසා ම මට ඔහු ව ළඟින් දැකිය හැකි විය. කුලාන් ගේ මුවෙහි එක සිනහ පොදක් හෝ තිබුණා නොවේ. නමුත් මම මඳහසක් නගා ගතිමි.

“අශිකාගෙ අක්ක කෙනෙක් ඉන්නවලු ලෝයර් කෙනෙක්. එයා ඩිවෝස් කේසස් වලට එහෙම ෆේමස් කෙනෙක්ලු. අශිකා එයාගෙං උදව් අරං දෙන්නං කිව්වා. මේ දවස් ටිකේ එයා ලංකාවෙ නෑලු. ආව ගමං කතා කර ගන්නයි ඉන්නෙ”

ඒ සා පුද්ගලික කාරණාවක් ගැන ඒ තරම් සරල සැහැල්ලුවකින් ඔහු හා කතා කරන්නට මා පොළඹවා ලූ විශ්වාසය අන්ධ එකක් කියා සිතන්නට කොහෙත් ම මට ඕනෑ නැත. ලෝකයෙහි සමහර දේවල් ක්‍රියාත්මක වන්නේ අදෘශ්‍යමාන වූ වූ බන්ධනයකින් යුතුව ය. කුලාන් ගැන මට දැනෙන විශ්වාසය ඔහු ට මා ගැන දැනෙනවා දැයි මම නොසිතමි. ඔහු ගේ පැත්ත කෙසේ වුණත් මට එහි ප්‍රශ්නයක් නැත. මගේ විශ්වාසවන්ත බව අදහන්නටත් දිගින් දිගට ම බැතිමතියක වෙන්නටත් මම පසුබට නො වුණෙමි.

කියවන්න :  ඔබට ඇහෙනවනම් - 5

“ගෑනියෙක් වෙනව කියන එක දුර්වලකමක් කියල හිතන්න ඕනද සර්…නෑ නේද…මේ ලෝකෙ ඉපදුණ හැම ශක්තිමත් පුතෙක්වම බිහි කළේ අම්ම කෙනෙක්”

කුලාන් බරැති සුසුමක් හෙළුවේ ය. අඩු තරමින් ඔහු මා කියන දෙය අසා ගෙන හිඳීම මට අතිමහත් සැනසිල්ලක් දැනවී ය.

“එක පාරටම කිසි සාධාරණ හේතුවක් නැතුව ඩිවෝස් කරල දාද්දි මට මේ කිසි දෙයක් හිතා ගන්න බැරි වුණා. ජොබ් එකක් නැති නිසා කොහොමත් මං අසරණ වුණා. කසුන් පුතාව මගෙං උදුර ගත්තෙ ඒක වාසිය කර ගෙන. සමහර විට කසුන්ට නෙවෙයි ළමයව ඕන වුණේ. එයාගෙ අම්මට”

“ඒ ඇයි…මට රිද්දන්න. ගෑනියෙක් දන්නව කසාදෙකිං පස්සෙ පිරිමි මොන තත්වෙකට පත් වුණත් ගෑනු ඒක ඉවසගන්නව කියල. දරුවංගෙ නාමෙං. දුරුවොත් නැති වුණහම තමයි අපි සම්පූර්ණයෙන් ම හිස් වෙලා යන්නෙ”

ඒ වෙලාවේ මගේ උගුරෙහි බිඳීමක් මට දැනිණ. ස්වරය හැඬුම්බර වූයේ ය. නමුත් මම හඬන්නට නො ගියෙමි.

“පිස්සු හැදෙනව නේ…”

ඔහු මිමිණුවේ මට නොව ඔහුට ම සේ ය. කොට්ටාවෙන් හැරී රිය මත්තෙගොඩ දෙසට ධාවනය වෙමින් තිබිණි. වැස්සත් වරින් වර උස් පහත් වෙමින් දිගට ම වැස්සේ ය. ඉදිකිරීම් නිම වී නැති මග දිගට බොර දිය එක් වී, ගලා යන්නට තැන් හොයමින් කලබලයෙන් ඒ මේ අත හැරෙමින් ද නැවෙමින් ද පහත් බිම් ඔස්සේ ගලා බැස්සේ ය.

“මාර වැස්සක්නෙ. බබාට මොනා හරි අරන් දෙන්නවත් බහින්න විදිහක් නෑනෙ”

ළමා ආයිත්තම් හා සෙල්ලම් බඩු සාප්පුවක් පසු වෙත්දී රියෙහි වේගය බාල කරමින් කුලාන් කීවේ ය. තමන් ගැන කතා කළ බව දැනී දෝ පුතු මගේ ගෙල වැළඳ කුලාන් ගෙන් වත සඟවා ගත්තේ ය.

“සර් ලොකු උදව්වක් කළේ. අතේ කුඩයක් නැති නිසා ට්‍රයිෂො එකක් නවත්තගන්නවත් විදිහක් නැතුවයි මං හිටියෙ”

“ඒක තමයි මාත් එවෙලෙ අහන්න හිටියෙ. ගෑනු ළමයි කුඩයක් ළඟ නැතුව පාරට බහිනවද…ම්…”

ඒ අකුණ පුපුරා ගියේ අකල් වැසි වහිනා අහසේ නොවේ. අපේ සිව්නෙත් අතර අවකාශයේ ය. කුලාන් ගේ ඇස් මත සුවිශේෂත්වයක් මම දුටිමි. ඒ මින් පෙර මා නො දුටු කරුණාවකි. එය මා උන්මාදයට පත් කරවිය හැකි තරම් බල සම්පන්න බවක් තැවරී ගත් බැල්මක් වුණත්, අකම්පිත බවක් පෙන්වා ගෙන මම දෙතොල් තෙරපා සිනහ වීමි.

වෙනදා මෙන් මත්තෙගොඩ හන්දියේ දී බසින්නට මා සූදානම් වුණත් කුලාන් එවැනි සූදානමක් පෙන්වූයේ නැත.

“කොතනද ගේ තියෙන්නෙ…”

“තව චුට්ටක් ඉස්සරහින් දකුණට තියෙන පාරෙ යන්න ඕනෙ සර්. මෙතනිං බැස්සහම අපිට”

මා කියා නිම වෙන්නටත් පෙර රිය මාවතට හැරවිණි.

“මං ගේ දන්නෑ”

ඔහු ගේ මූණ දෙස බලා ඉන්නා මදෙස නොබලා ම කුලාන් කීවේ ය. 

“අන්න අරක ගේ”

පුතා සතුටෙන් කෑ ගෑවේ ය. 

“ආ…ඔයා දන්නවද…කලින් කියන්නෙපැයි”

රියෙහි වේගය බාල කරමින් කුලාන් පුතු දෙස බැලුවේ ය. කලින් මෙන් ඔහු ගේ බැල්මෙන් සැඟවෙන්නට පුතු මගේ උරහිසෙහි සැඟවුණේ නැත. දෙපියන ම හැර දමා තිබූ පරණ ග්‍රිල් ගේට්ටුවෙන් රිය වත්තට ඇතුලු වී පෝටිකෝවෙහි නැවතිණි. හාන්සි පුටුවේ වැතිර උන් තාත්තා කෙළින් වී බලනු දුටු මහදෙහි අතීතයට අයිති පරණ පුරුදු ගැස්මක් ඇති විය.

3.8 6 votes
Article Rating
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments