fbpx

මන්දාරම් හැන්දෑවක – 9

“එයා නැති වෙලා අවුරුදු තුනක්.. බබාට අවුරුද්දක්වත් නෑ සමාධි අක්කා නැති වෙද්දි..”

මේඝාගේ හදවත ශෝකයෙන් ගල් ගැසිණ.ඈ දස වියැති දැරියකව හිඳිද්දී අම්මා අහිමි වූ හැටි ඇයට යළි සිහි විණ.මේ කුඩා දැරියට අම්මා අහිමි ව ඇත්තේ මව් උණුසුම ඕනෑම වයසක දී ය.නමුත් තාත්තා තරම් ඉක්මනින් විවාහයක් ගැන නොසිතා කුඩා ළදැරියක රැක බලා ගන්නා වෛද්‍යවරයා ගැන ඇයට ඇති වූයේ ප්‍රසන්න හැඟීමකි.

“අක්කට කැන්සර් එකක් ආවෙ.අර බේරා ගන්නවත් අමාරු එකක්.එකපාරට ආව..ඉක්මනින්ම නැති උනා. හිතන්නවත් කාලයක් උන් නෑ..”

බිනර පවසන්නේ ශෝකි හඬිනි.ඔහු කෑමට ඇති පිරිය ද අහිමිව ගිය අයුරින් කිරිබත් පොඩි කරමින් හුන්නේ ය.

“ගෙවල්වල අකමැත්තෙන්ලු මැරි කරල තියෙන්නෙත්. ඒ දෙන්නට හිටියෙ ඒ දෙන්න විතරයි.පුදුම ආදරේකින් හිටියේ. මෙච්චර මේ පූජා නගරේ හුළඟ වැදෙන මායිමේ ඉඳලා ඒ වෙච්ච අපරාදේ හිතා ගන්න බෑ..”

බිනරගේ ශෝකි ස්වරය මේඝාට අසා හිඳීම පවා අසීරු විණි.ඈ වරින් වර පැමිණ කිරිබත් කටක් කා දිවයන ඉනුලි දෙස බලා සිටියේ වේදනාවෙනි.

“ඔයා ඊයේ ඇහුවෙ ඒ මගෙ අයියද කියල.අයියා වගේ තමයි මේඝා.දිනිඳු අයිය මටත් සලකන්නෙ තමන්ගෙ සහෝදරයට වගේ..එයාට මේ පළාතෙ ඉන්න නෑයො අපි කීප දෙනා විතරයි..ලේ නෑකම් නෑ. ඒත් නෑදෑයෝ වගේ ඉන්නෙ අපි.”

මේඝා දිගු හුස්මක් හෙළුවා ය.ජීවිතය අකාරුණික වූයේ තමන්ට පමණක් යැයි සිතා සිටීම ගැන ඇයට දැනුණේ ලැජ්ජාවකි.වේදනාවන් දරාගෙන කෙසේ හෝ ජීවත් වීම ගැන වෛද්‍යවරයා උගන්වන්නේ අපූරු පාඩමකි.

“මටත් අම්මා නෑනෙ බිනර.මට සමහර වෙලාවට හිතෙනව මං සමහර මෝඩවැඩ කරන්නෙ පාරක් පෙන්නන්න අම්මා කෙනෙක් නැති නිසා කියල. ඒත් අම්මගෙ ආදරේ මට මතකයි. අම්මගෙ සුවඳත් මතකයි..ඒ කිසිම දෙයක් අමතක මේ චූටි දූ ගැන මට හරි දුකයි..”

බිනර කිසිත් නොපවසා මුළුතැන්ගෙයට ගියේ ඉඳුල් පිඟාන ද රැගෙන ය.ඔහු ආපසු එන්නට ගත වූ මිනිත්තු කිහිපයේ ද මේඝා සිටියේ ඉනුලි ගැන දුක් වෙමිනි.වසරක සිඟිත්තියක ව සිටියදී මව් උණුසුම අහිමිව යාම ඇය කෙසේ දරා ගන්නට ඇත්දැයි මේඝාට සිතන්නට අපහසු විය.ඇතැම්විට ඈ අම්මා නම් චරිතය ගැන කිසිවක්ම නොදන්නියක විය හැකි බව මේඝාට කල්පනා විය.

“මෝඩ වැඩ අපි කවුරු අතිනුත් වෙනව මේඝා. සමහර වෙලාවට හවුලෙ කරන මෝඩ වැඩත් අපි හිතා ගන්නව අපි තනියම කරන ගොං වැඩ කියල. කොහොමත් අවුරුදු විසි පහක්වත් වෙනකන් අපි අතින් මෝඩ වැඩ වෙනවා. වෙච්ච දේවල් හිතන්න එපා.”

බිනර යළි පැමිණ එහෙව් කතාවක් පැවසී ය.ඒ වචන කිහිපය අවසන් කිරීමෙන් පසු ඔහු කළේ ඉතා මිත්‍රශීලි සිනාවක් මේඝා වෙත පා කර යන්නට යාම ය.

මේඝාට එක් දෙයක් පැහැදිලි විය.බිනර ඈ ගැන දැන සිටින්නෙකි.ඔහු සමාජ ජාලා පාවිච්චි නොකර හිඳින්නට හේතුවක් නැති නිසා ගෙවී ගිය පැය කිහිපය තමන් හඳුනා ගන්නට ප්‍රමාණවත් බව මේඝාට සිහියට නැගිණ.ඇයට දැනුණේ කම්පිත හැඟීමකි.ඔහු එහෙව් සිදුවීමක් දැන සිටිය ද කාලාන්තරයක් තිස්සේ තමන් හඳුනන පරිදි හැසිරීම ගැන මේඝාට සැකයක් දැනිණ.සමහරවිට ඔහු වරුණ අයියා සහ පොඩි අක්කා නිසා තමන්ට අසෝබන විහිළු කරන්නට හෝ නින්දා කරන්නට පසුබට වෙනවා වන්නට ද හැකි යැයි ඈ සිතුවේ ආහාර රුචිය නැත්තටම නැති වෙද්දී ය.

මේඝා බිනර සමීපයට නොගොස් ඔහු මඟ හරින්නට වග බලා ගත්තා ය.ඔහු තමන් ගැන දන්නේ නම් ඔහු වෙත මුහුණ දීමට ද ඇත්තටම හැකියාවක් නැති බව ඇය දැන හුන්නා ය.ලෝකයෙන් සැඟවීම පසෙකලා ජීවිතය මෙතකින් අවසන් කරන්නට හැකි නම් යැයි සිය දහස්වර සිතමින් මේඝා ගෙවත්තේ කොනක ගසක් යටට වී කල්පනාවට වැටුණා ය.එසේ කෙතරම් වෙලාවක් සිටියාදැයි ඇයට මතක නැත.අහඹු දසුනකින් භීතියට පත් ව කෑගසන්නට සිදු වෙන තුරුම ඇය හුන්නේ ඒ තුරු සිරස සෙවණේ ය. වියළි තණකොළ අතරින් මතු වූ අමුත්තා දුටු ඈ මරහඬ දී කෑගැසුවා ය.වහා එතැනට දිව ආවේ ද බිනර ය.

“නයෙක් බිනර.. නයෙක්.. අනේ අර..”

මේඝාව පසෙකට කළ බිනර සර්පයා දෙස විමසිල්ලෙන් බැලුවේ ය.අනතුරුව කුඩා ගල් කැටයක් ගෙන සත්වයාගේ වලිග කොටසට සියුම් පහරක් එල්ල කළේ ය.සර්පයා තණ බිස්සේ සැඟව යද්දී ඔහු මේඝාට සන්සුන් සිනාවක් තිළිණ කළේ ය.

“ඒ ගැරඬියෙක් මොට්ටයෝ..කෑගහපු හැටියට මං හිතුවෙ තඩි නයෙක් දැකලා කියල..”

අනතුරුව ඒ සන්සුන් සිනාව දඟකාර සිනාවකට හැරිණ.මේඝා කතා කරන්නට වචන සෙවූවා ය.

“මං හිතුවෙ නයෙක් කියල..”

බිනර මේඝා දෙස එක එල්ලේ මඳ වෙලාවක් බලා සිටියේ ය.අනතුරුව ඈ ඇමතුවේ ය.

“නයි කියල ගැරඬින්ට බය වෙලා දුවන්න එපා මේඝා. හොඳ පාරක් වැදුණම උන් දුවනව.නයින්ටයි ගැරඬින්ටයි පොළොන්ගුන්ටයි ඇහැටුල්ලන්ටයි ඔක්කොටොම බය වෙන්න තියා ගන්න එපා.ටිකක් හයියට ඉන්න..”

මේඝා එක්දෙයක් පැහැදිලි කර ගත්තා ය.බිනර මේ කියන්නේ තණ බිස්සේ හුන් සර්පයා ගැන නොවේ.ඒ යටි අරුතක් ඇති කතාවකි.එය පැහැදිලි කරගන්නට ඇයට උවමනා විය.ඇය සිත දැඩි කරගනිමින් මොහොතක් බිනර දෙස බලා හුන්නා ය.

“බිනර..ඔයා මාව දන්නව නේද?”

බිනර මඳක් තිගැස්මට පත් විණි.එහෙත් ඔහු ප්‍රවේසමෙන් තත්ත්වයට මුහුණ දෙන්නට සිතා ගත්තේ ය.

“ඔව්..ඔයා අපේ මේඝානෙ ඉතිං..”

“එහෙම නෙවෙයි බිනර.. ඔයා මේඝා කවුද කියලත් දන්නව.. මං මෙහෙ එන්න හේතුවත් ඔයා දන්නව.” මේඝාගේ හඬ බිඳී ගිය අතර ඇය සිටියේ බොහෝ අවුල්සහගතව ය.තවදුරටත් රජරට රැඳෙන්නට නොහැකි ය.පොඩි අක්කාගේ නමට ද කැළලක් ඇති නොකර වහා පලා යන්නට ඈ තීරණයක් ගත්තා ය.

“මේඝා.. මං ඔයා ගැන ගිය ගොසිප් දැක්ක. අපේ ගෙදර ඉන්න මෝඩ සමයමට උනත් දවසක වෙන්න පුලුවං දෙයක්නෙ ඕක..ලංකාවෙ ඉන්න ගොඩක් ගෑනු ළමයි හිතන්නෙ නැති වෙලාවක වැටෙන තැනක් ඔය.මෙතන දැන් වෙන්න ඕන ඔයා ඒක දන්නෙ කවුද කියල හිත හිතා ගැහෙන එක නෙවෙයි.. දන්නව කියලා දැනෙන මිනිස්සුන්ගෙන් උනත් ඒ කතාව දන්නවද කියල අහන්න නොයා ඉන්න එක.. දැන් මගෙන් ඇහුවට ආයෙ කාගෙන්වත් ඕක අහන්න යන්න එපා..”

මේඝාට ඉකි ගැසෙන්නට පටන් ගත්තේ ය.බිනර ඈ වෙත පැමිණ ඇගේ උරහිසට තට්ටුවක් දැමූවේ මිත්‍රශීලිව ය.

“ඔයා ඕක ගැන හිතන්න එපා. මෙහෙ කවුරුත් ඔයාව මතක තියන් ඉන්නෙ නෑ.. එහෙම මතක තියන් ඉන්න ඇච්චො බැච්චොන්ට උනත් වරුණ අයියට මට උඩින් යන්න බෑ.. ඔයා සේෆ්.ඔන්න ඔය මඟුල අමතක කරන්න..අමාරුයි තමා. ඒත් අපි ඉන්නෙ ඔයාට උදව් කරන්න..”

ඊයේ පාන්දර දුරකථන සිම්පත විසි කර දමන තුරුම ජනිඳුගේ මිතුරන් එවූ අසංවර පණිවිඩ සිහි වූ මේඝා දෙනෙතට උනන කඳුළු පිස දැමුවා ය.බිනර පවසන දේ සහ ඔවුන් පැවසූ දේවල් ගැන ඇය සසඳන්නට ගත්තා ය.බිනර දෙස හිස ඔසවා බැලීමට වූ ලැජ්ජාව ඇය තුළින් පලා ගියේ ය.

“ඔයාට පේනවද අර අඹ වත්ත…”

වෙද ගෙදර මායිමෙන් එහා ඇති සුවිසාල අඹ වත්ත මේඝා දුටුවේ එවිට ය.ඒ කවුරුන් හෝ ක්‍රමවත්ව සිදු කරන වගා බිමකි.ඇය බිනර දෙස විමසුම් බැල්මක් හෙළුවා ය.

“දැන් කරන්න වැඩකුත් නැති එකේ අපි දෙන්නා ගිහින් එතනින් හොරෙන් අඹ කඩනවා කියමු..මුරකාරයා එනකොට මම ඔයාව දාලා දුවනවා. අඹ ටිකත් එක්කම අහු වෙන්නෙ ඔයා.ඒ උනාට හොරා ඔයා විතරක් නෙවෙයිනෙ…ඔයාව හොරකමට එක්ක ගිය මාත් වැරදියි.”

බිනර යළිත් උපමා සහිත කතාවක් පැවසී ය.මේඝා සැනසුම් සිනාවක් බිනරට පා කළා ය.

“තනියම හිත හිතා අඬන්න එපා මේඝා. වැරැද්ද කරපු මිනිහට අඬන්න වෙන කාලෙ ඉක්මනින් එයි.. ඔයා හිනා වෙන්න පටන් ගන්න..අපි ඉන්නවනෙ..”

මේඝා කැටුව නිවස දෙසට එද්දී බිනර ඇයට සිහි කළේ ය.ෆේස්බුක් පිටු පුරා ඇය ගැන ඇති අසංවර නින්දිත කතා ගැන ඇය දන්නේ නම් මේඝාව යථා තත්ත්වයට ගැනීම බොහෝ අසීරු වීමට ඉඩ ඇත.නමුත් මේ මොහොතේ ඇය අත දුරකථනයක් පෙනෙන්නට නැති වීම ගැන බිනර දෙවියන්ට ස්තූති කළේ ය.

“මේඝා.. මං එහෙම දෙයක් දන්නව කියල දැන් අමතක කරන්න.වැරදිලා හරි ගැරඬියෙක් නයෙක් වෙන්න ආවොත් විතරක් මං ඒ ගැන දන්න නිසා ඔයා බයවෙන්න ඕන නෑ කියල මතක් කර ගත්තම ඇති. නැත්නම් ඔය කතාව මෙතනින් ඉවරයි මේඝා..”

මේඝා නිවසට ඇතුළු වූයේ සැනසුමෙනි.බිනර එය පිළිගත් ආකාරය ගැන ඇයට දැනුණේ සැනසීමකි.මෙහි ඈ වටා ජීවත් වන වෙනත් කිසිවෙකු ඒ අමිහිරි කතාව නොදන්නා බව විස්වාස කරමින් ඈ සැනසීමට පත් වූවා ය. එහෙත් ඇගේ අනුමානය නිවැරදි වූයේ නැත.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

error:
0
Would love your thoughts, please comment.x
()
x