මන්දාරම් හැන්දෑවක -11

මේඝා සැනසීම ඇති තැන් සොයන්නට වෙහෙසුණා ය. පොඩි අක්කාගේ කුඩා පුතු ඇගේ තුරුලට නියම විණි.කාර්යබහුල රාජ්‍ය නිලධාරිනියක වූ පොඩි අක්කා මාස නවයක පුංචි සෙනුජව මේඝාට පැවරුවේ ඈ සෙනුජට දෙවැනි අම්මා කෙනෙකු වන බවට විශ්වාස නිසා ය.වෙදගෙදර කටයුතු ද වගාබිම් සහ වතුපිටි ගැන සොයා බැලීම් ද සෙනුරිගේ අතුරුදහන් වීම් සහ කෙළවරක් නැති දඟ වැඩ ද පාලනය කර ගන්නට පැය විසි හතර මදි වී හුන් වෙද හාමිනේ මේඝා පවරන්නට කිසිම අකමැත්තක් නොදැක්වූවා ය.නමුත් කුඩා සෙනුජ් තිස්සේම මේඝාගේ ඇඟේ එල්ලී සිටීම නොරුස්සන අයෙකු ද සිටින බව මේඝාට දැනුණේ ඉක්මනිනි.

“සුදු පුංචි..ඔයා මටනෙ වැඩියෙන් ආදරේ.මල්ලි බබාව කියම්මට දෙන්න..”

ඉනුලි නොයෙක්වර ඇයැදුවා ය.ඈ සිටින මානසික මට්ටම ගැන කාටත් වඩා අවබෝධයක් තිබූ මේඝා ඉනුලිගේ ඉල්ලීම් නැගෙන තැනදීම ඇයට කැව්වා ය, නැහැවූවා ය. ඈ සමඟ එක්ව ගී ගැයුවා ය.සෙල්ලම් ගෙවල් තැනුවා ය.ඉනුලි සිටියෙ සන්තෝසයෙනි.ඇතැම් හවස්වරුවක ආපසු යාමට නොහැකි වග කියමින් ඈ හඬද්දී දිනිඳුට ආපසු හැරී යන්නට සිදු විය.කුඩා දැරිය හොඳටෝම නිදි වගට වරුණගෙන් ඇමතුම ලැබෙන තුරුම ඔහු වෙද ගෙදරට නොඑන්නට ප්‍රවේසම් වූයේ ය.

“සෝමා ඩුබායි යන්න හදනවලු..ආයේ වැඩට එන්න බෑ කියන්නෙ..ගෙදර වැඩපල කර ගන්න නැතත් කමක් නෑ..දූ බලා ගන්න කවුරුම හරි හොයා ගන්න නැතිවෙයිද වෙද මහත්තයා..”

හිරු අවරට යමින් තිබූ මොහොතක දිනක් දිනිඳු එසේ ඇසුවේ කුඩා ඉනුලි මේඝාගේ උරහිසේ නිදා හිඳිද්දී ය.බිනර ඇය රැගෙන ප්‍රවේසමෙන් රිය අසුනක තැබුවේ ය.

“මේ දවස්වල මේ පළාතේ බවලතීලගෙ අලුත්ම රටාව ඕකනෙ. ඔක්කොම යනවා රටවල්වල. මිනිහලා බිබී නහිනව…”

වෙද හාමිනේ නිකටට අත් ගසා ගනිමින් විස්සෝප වූවා ය.මේඝා මඳ සිනා සහිතව බලා හුන්නා ය.ඉනුලිව තමාට බලා ගත හැකි බව වෛද්‍යවරයාට පවසන්නට ඇයට උවමනා විය.නමුත් පොඩි අක්කා සහ වරුණ අයියා ද ඉන්නා තැනක එසේ කියන්නට ඇයට දැනුණේ කෝල බවකි.

“ගේ අස්පස් කරන එකනම් ඉතිං අපේ මහතුවා එවල හරි කරගන්න බැරියැ. දොස්තර මහත්තයා උයන්න පිහින්න මහන්සි ගන්නත් එපා.යසාට වැඩිපුර හාල් හුණ්ඩුවක් තියන්න බැරිකමක් නෑනෙ..”

වෙදා හාමිනේ කළ යුතු දේ ගැන කියවන්නට වූවා ය.

“බේබි සිටින්නං අපේ මේඝා මැඩම් කරනවනෙ.. මනමාලයො හොයනවට ගෙදරින් මාරු වෙලා එන්න කලින් මෙයා නර්සරි ටීච කෙනෙක්ලුනෙ. ඒ හින්දා ඉනුලි බලා ගන්න වැඩෙත් ශේප්..”

බිනර වහා කට දැම්මේ ය.තමන්ට කියා ගන්නට උවමනා වූ දෙය වහා කියා දැමු බිනර ගැන මේඝාට ඇති වූයේ පහන් හැඟීමකි.ඇය මේ සති කිහිපයට උවමනාවටත් වඩා ඉනුලිට බැඳී හුන්නා ය.වෛද්‍ය නිවස්නයට අත්උදව්කාරියක පැමිණ ඉනුලි ඇගේ රැකවරණයට බඳුන් වීම ගැන කුමක්දෝ අකමැත්තක් ඇගේ යටි සිතේ රෝපණය වෙමින් තිබිණ.

“ඒක නංගිට කරදරයක් මදූ..”දිනිඳු එසේ පැවසුවේ පොඩි අක්කා මාධවී ට ය. මේඝාට ඒ ගැන දැනුණේ අපහැදීමකි.”එයා ඒක අහන්න ඕන මගෙන්නෙ..” ඇය තනිව මුමුණා ගත්තා ය.කුටු කුටු ගාමින් මිතුරිය පවසන දේ අසන්නට ඕනෑවට බිනර ඇයට වඩා සමීප විණි.

“පොඩ්ඩි ටිකක් මෙන්ටලි වැටිලනෙ මචං මෙහෙට ආවේ..මං හිතන්නෙත් අපේ ජෝඩුව වගේම ඉනුලිත් හිත හදා ගන්න එයාට උදව් උනා..”

වරුණ පැවසුවේ බිනරගේ අදහසට ලකුණු සියයෙන් සියයම පිරිනමමිනි. මේඝාට මොකක්දෝ සංතෘෂ්ඨියක් දැනුණා ය.

“ගෙදර අය එක්ක තරහවුණාට ඉතින් ඉන්නව ඇත්තේ හිත හොඳින් නෙවේනෙ..”මාධවී මේඝාගේ අත් දඬුව අත ගාන අතර පැවසුවා ය. මේඝා හිත් තැවුලක බව දිනිඳු දැන ගැනීමේ ගැටලුවක් ඇත්තේම නැත.නමුත් එය කුමක් අරඹයා දැයි දැනගන්නවාට මාධවීගේ මනාපයක් නොවිණි.ඒ ඕනෑම අක්කා කෙනෙකුගේ හැඟීම ය.

“හිත හදා ගන්නනං මාත් උදව් කරා ඈ.. දවස තිස්සෙ දිවුල් කඩලා දෙන්නයි අඹ ගස්වලට පොලු ගහන්නයි ඇහැටුල්ලන්ට බය වෙනකොට ඒ නයි නෙවෙයි කියල සූලොජි උගන්නන්නයි කීයක් වැඩ ද.. මාත් බේබිසිටින් කරනව බලන් ගියාම..”

බිනරගේ කෙළිලොල් කටහඬ ළා අඳුර මැදින් මතු විණි.සියල්ලෝම උස් හඬින් හිනැහෙද්දී මේඝාට කෝල හැඟීමක් හට ගත්තේ ය.ඈ අත්ල මිටි කර බිනරගේ බාහුවට පහරක් ගැසුවේ ය.

“ඉතිං උඹ නෑවිත් ඉඳපංකො. ඉවරයිනෙ කතාව.” වරුණ සිනාව අතරින් පැවසුවේ ය. “එතකොට මට පාඩුයි..”වෙද මහතා ද බිනරව සරදමට ගත්තේ ය. ඒ උතුරා හැලෙන සතුට දෙස දිනිඳු මඳ වෙලාවක් බලා සිටියේ ය.තලවතුගොඩ මැදුරක ආකාස පියස්සට වී ගී ගයමින් හිනැහුණු දෙසොහොයුරන් දෙදෙනෙකු ඔහුගේ සිතේ ඇඳි මැකී ගියේ වරුණ – බිනර සොයුරන්ගේ සැහැල්ලුව අත් විඳිද්දී ය.

“උදව් නම් සෑහෙන්න කරනව ඇති කියල මටත් හිතුණා.මං උඹව වෙනම අල්ල ගන්නං බිනර.මටත් කතාවක් තියනව.”

දිනිඳු මෝටර් රථයට නැග්ගේ එසේ පවසමිනි.සිතට දැනෙමින් තිබූ කාරණාවක සැබෑව ගැන ඉක්මනින් බිනරගෙන් විමසන්නට සිතුණු හේතුව වෙද ගෙදර ලී ගේට්ටුව පසු කර යද්දීවත් ඔහුට පැහැදිලි නොවිණ.

“බිනර..ඔයාගෙ ෆෝන් එක ටිකක් දෙනවද. සල්ලි තියනම්..”

එදින රැයේ බිනර ආපසු යන්නට සැරසෙද්දී මේඝා ඇසුවා ය.වරුණ අයියා තරමට විවෘතව අමතන්නට හැකි තරමට කිට්ටුවන්තකමක් බිනර සමඟ ගොඩනැගෙමින් තිබීම ගැන ඇයට දැනුණේ සතුටකි.

“අර බූරුවට කෝල් කරන්නද?”බිනර ඇසුවේ දුරකථනය ඇයට දිගු කරන අතරේ ය.මේඝා හැකි වෙර යොදා ඔහුට රැවුවා ය.

“නෑ මොට්ටයෝ.මගෙ යාලුවා තාරුකාට..” ඇය කිහිපවතාවක්ම තාරුකා ඇමතුමට සම්බන්ධ කර ගන්නට උත්සාහ කළ ද තාරුකා දුරකථනයට ආවේ නැත.

“ඔයාගෙ ෆෝන් එක විසික්කද?”බිනර ඇසුවේ ය.මේඝා සුසුමක් මුදා හැරී ය. රාත්‍රී රජරට සුළඟේ සිහිල අතරට ඒ බර සුසුම ද එක් විණි.

“සිම් එක විසි කරා බිනර..ෆෝන් එකනම් තියනව..”

“දැන් ගොසිප් සේරම ඉවරයි මේඝා.දැන් ෆේස්බුක්කෙකේ උං ඇක්ට්‍රස් කෙනෙක්ගේ පිටක් පෙනිලා සෝක වෙනව.කවි ලියනව.හෙණ ඉල්ලනව..මං ඔයාට කියන්නත් හිටියේ..මේඝාගේ කාලෙ ඉවරයි..” බිනර ප්‍රීතිමත් හඬකින් පැවසුවා ය.අනතුරුව ඔහු බැරෑරුම් හඬකට මාරු විය.

“සෝෂල් මීඩියා ඔනැන්නෙත් නෑනෙ.. මං සිම් එකක් ගේන්නං..ෆෝන් එකට දාගමු..” බිනර එසේ කියමින් පාපැදියට ගොඩ වෙද්දී මේඝාට හදිසියේ යමක් සිහි විණි.

“තාරු කෝල් බැක් කරයිද දන් නෑ බිනර.. එහෙම උනොත් කෝල් කරේ මං කියල පොඩි අක්කට කෝල් එකක් ගන්න කියන්න..” ඇයට එහෙම කියද්දී වාක්‍යය සම්පූර්ණ කළ යුතු කොටසක් ද සිහියට නැගිණ.

“එයා එක්ක මල් කඩන්නෙ එහෙම නෑ.. ඒකිට කොල්ලෙක් ඉන්නව..”

බිනර තාරකා ඇහැරෙන අන්දමේ කොලු හිනාවකින් දෙතොල් සරසා ගත්තේ ය.ඔහු මේඝා දෙස බැලුවේ ඒ සිනාවෙනි.

” ඒ උනාට මට කෙල්ලෙක් නෑනෙ…”

මේඝාට එය විශ්වාසයට ගන්නට අපහසු විය.සමහර වෙලාවට දුරකථනයට ඇහැ අලවාගෙන තනිව හිනැහෙන බිනර ඇගේ දෙනෙතට ඕනෑතරම් හසුව ඇත.

“කෙල්ලෙක් නෑ .බොරු නොකියා ඉන්නව මොට්ටයා!”

බිනර කිසිත් නොකියා මඳ වෙලාවක් හුන්නේ ය.” නෑ කියන්නත් බෑ… මං හෙට කියන්නංකො..”

ඔහු අඳුරට පැන නොපෙනී ගියේ මේඝාට ප්‍රහේළිකාවක් ඉතුරු කර තබමිනි.

5 5 votes
Article Rating
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments