ලෝකය පුරා තරුණියන්ගේ උන්මාදය දිනා ගත් කොරියානු නළුවන්.

ලංකාවේ අපි බොහෝ දෙනෙක් කොරියානු ටෙලි නාට්‍ය සහ කොරියන් ෆිල්ම්ස් වල රසිකයන්.ඒ වගේම අපේ කෙල්ලන්ගෙන් “ක්‍රෂ් එක කවුද ” ඇහුවම මුලටම ඉන්නේ කොරියන් නලුවන් කීප දෙනෙක්.ඉතින් අපි හිතුවා ඔබ වැඩියෙන්ම ආදරේ කරන කිහිප දෙනෙක්ගේ නොදන්නා විස්තර ඔබට අරන් එන්න.ඒ ඔබේ කොරියානු උන්මාදය නිසාමයි.

Lee Min ho

මේ දවස් වල The legend of the blue sea බලන අය වගේම Boys over flowers උන්මාදයක් කරගත්තු අයගෙත් සිහින කුමාරයා කියලා ලී මින් හෝ හඳුන්වන්න පුලුවන්.අඩි හයකුත් අඟල් දෙකක් උස ඔහු උපදින්නේ 1987 ජූනි 22. කොරියානුවෙකු වුවත් ඔහු කතෝලික ආගම අදහන්නෙක්. ඔහුගේ රෝල් මොඩල් එක අම්මා කියලා ලී මින් හෝ හැමවිටම කියනවා.තද දුඹුරු ඇස් දෙකක් තියන මේ ආකර්ෂණීය තරුණයා දකුණු කොරියාවේ සෝල් නුවර උපන්නෙක්.කුඩා කාලයේ පාපන්දු ක්‍රීඩකයෙක් වීමේ ආශාවෙන් පෙලුණු ලී මින් හෝ පස්වෙනි වසරේදී වුණු අනතුරකට පස්සේ ඒ සිහිනය අමතක කරලා දමා තියෙනවා.උසස් පාසලේ ඉගෙන ගනිද්දී තමයි ඔහු රංගනයට පිවිසෙන්නේ.මුල්ම රංගනය Secret Campus නම් කතා මාලාවයි. කොහොම වුණත් ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වෙන්නේ ගුජුන් පියෝ තමයි.ලී මින් හෝ තාරකාවක් වෙන්නේ එතැන ඉඳන්.දැන්වීම් රජු ලෙස හඳුන්වන ඔහු ගීත ගායනයටත් දක්ෂයෙක්.Long legged oppa කියලා අන්වර්ථ නාමයක් තියෙන තරමට උස කොල්ලෙක් වුණු ලී මින් හෝ වැඩිය මත්පැන් බොන්න බැරි කෙනෙක් කියල තමයි ආරංචිය.Madam Tuzsauds හි ඉටි රූපයකට හිමිකම් කියන පළමුවැනි කොරියානුවා වෙන්නෙත් ඔහු.අපිට ඔහුව වැඩියෙන් මුණ ගැහෙන්නේ ප්‍රේම කතාවල වුණත් ඔහු වැඩියෙන්ම කැමති ත්‍රිලර් ශානරය නරඹන්න. Never to give up කියන මොටෝ එක ඔහුගේ ජීවිතේ ආදර්ශ පාඨය බව කියැවෙනවා.Park min Young , Bae suzy සමඟ ඔහු ප්‍රේම සම්බන්ධතා පැවැත්වූ බවත් ප්‍රසිද්ධ ඕපාදූප පවසනවා.2018 සිට 2019 අප්‍රේල් වනතුරු ඔහු අනිවාර්යය හමුදා සේවයේ ද නිරත වුණා. ඔබ ආදරය කරන Lee min ho ඉදිරියේ දීත් තිරයේ ප්‍රේමවන්තයා වෙලා ඔබේ සිහින ප්‍රේමය පැහැර ගන්න බව නම් ඒකාන්තයි.

Kim soo Hyun

අනන්තෙන් ආ තරු කුමරා විදියටත් Moon embrassing the sun කතා මාලාවේ ආත්මීය ආදරයක් දරා ගන්නා තරුණ රජතුමා විදියටත් කිම් ලංකාවේ අපිට සමීපයි. ඉතා ඉහළ මිලක් රඟපෑම් වෙනුවෙන් අය කරන කිම් මේ දවස්වල නම් ඉතාම ජනප්‍රිය වෙන්නේ Its okay to not to be okay නිසා.
1988 පෙබරවාරි 16 වැනිදා සෝල් නුවර උපදින කිම් මුලින්ම රඟපෑමට එන්නේ 2007 වසරේ.kimchi cheese Smile නාට්‍යය හරහා. සෙන්ටිමීටර් 180ක් උස කිම්ව වැඩියෙන්ම තරුණියන්ගේ ආකර්ෂණයට ලක් වෙන්නේ අර ලස්සන හිනාව සහ කියුට් පෙනුම නිසා.ඔහු හරිම ආදරේ පිරුණු පෙනුමක් ඇති නළුවෙක්.කිම් මුලින්ම හොඳම නළුවා සම්මානය දිනා ගන්නේ The moon embrassing The sun වෙනුවෙන්.ඇත්තටම ඉන්පසුව තමයි ඔහු ප්‍රේක්ෂක අවධානයට වඩාත්ම ලක් වෙන්නෙත්.චිත්‍රපට කිහිපයකටම දායක වෙලා තියන කිම් ගී ගායනයටත් දක්ෂයෙක්. ඒ වගේම තමයි ඔහු තවම විවාහක නෑ. අතේ ඇඟිලි ගාණට ටිකක් අඩුවෙන් පෙම්වතියන් හිටිය බව නම් පැවසෙනවා. ඔහු බොහොම ආචාරශීලි සහ වැදගත් ඒත් ටිකක් විහිළුකාර තරුණයෙක් විදියටත් ප්‍රසිද්ධයි.ඔහුත් අනිවාර්යය හමුදා සේවයට 2017 සිට 2019 දක්වා එක්වෙලා තියෙනවා.විවිධ සන්නාම තානාපතිවරයකු විදියටත් කිම් කටයුතු කරනවා.

Lee joon gi

භාව ප්‍රකාශනයේ රජු කියලා කොරියානු රංගන ක්ෂේත්‍රයේ අන්වර්ථ නාමය හිමි කරගෙන ඉන්නේ මොහු තමයි. 1982 අප්‍රේල් දහහත් වෙනිදා බූසාන්වල උපන් ඔහු නළුවෙක්,ගායකයෙක් මොඩ්ලර් කෙනෙක් වගේම හොඳ ඩාන්සර් කෙනෙක්.සියොල් කලායතනය නමින් හැඳින්වෙන විශ්ව විද්‍යාලයේ තමයි ඔහු අධ්‍යාපනය හදාරලා තියෙන්නේ.උසස් පාසලේදී හැම්ලට් නාට්‍යය බලලා රඟපෑමට ආසාව ඇති කර ගත් Joon gi 2001 නිරූපණ ශිල්පියෙක් විදියට ක්ෂේත්‍රයට එනවා.ඔහුගේ මුල්ම ප්‍රධාන චරිත නිරූපණය වෙන්නේ The king and the clown කියන චිත්‍රපටිය. හොඳම නළුවා සම්මානය පවා හිමි කරගන්න ඔහුට හැකියාව ලැබෙනවා. My girl ඩ්‍රාමා එක ඔහුට කොරියානු රැල්ලට අයිති නළුවෙක් වෙන්න අවස්ථාව අරන් ආවා.අපි ඔහුට බොහෝ ආදරය කරන්නේ Moonlovers නිසා. කොහොමත් ඉතිහාස කතා වලට ඔහුගේ තියෙන්නෙත් අපූරු සම්බන්ධයක්.හන්බොක් එකට ගැළපෙනම රූපයක් තිබීම එයට හේතුවක් වෙන්න ඇති. භාව ප්‍රකාශනයේ රජු වුණත් ඔහු සැබෑ ජීවිතය තුළ ප්‍රේමය ප්‍රකාශනයට එච්චර දක්ෂ නෑ කියලයි ගොසිප් වල නම් කියවෙන්නේ.දකුණු කොරියාවේ ඉන්න දක්ෂතම සටන් තරුව විදියට අන්වර්ථ නාමයක් තියන Joon gi ට අශ්වයන් පදින්නත් හොඳ හැකියාවක් තියන බව පැවසෙනවා.කොරියානු,චීන වගේම තායි සටන් ක්‍රම හොඳින් හදාරා ඇති ඔහු ඇත්තටම අධ්‍යක්ෂකවරයන්ට හොඳ ඉල්ලමක්.තරමක් වයසින් වැඩිවුණත් මොහුත් යෞවනියන්ගේ උපරිම ආකර්ෂණයක් දිනා ගන්න කෙනෙක්.

Lee jong suk

I Can hear your voice, Pinocchio වගේ ඩ්‍රාමා නිසා ලී ජොන්ග් සක් අපිට සමීපයි.කොරියානු නළුවෙක් සහ නිරූපණ ශිල්පියෙක් වන ලී ජොන්ග් 1989 සැප්තැම්බර් 14 දකුණු කොරියාවේ උපන් කෙනෙක්.සෙන්ටිමීටර් 186ක් උස ඇති ලී ජොන්ග් කඩවසම් කොල්ලෙක්.ළාබාලම නිරූපණ ශිල්පියා හැටියට සම්මානයක් අරන් තමයි ඔහු ක්ෂෙත්‍රයට එන්නේ. කොහොම නමුත් දැන් ඔහු නළුවෙක්.ප්‍රේම සම්බන්ධතා කිහිපයක් නිසා හති වැටිලා ඉන්න ලී ජොන්ග් ට දැනට පෙම්වතියක් ඇත්තේ නෑ කියලා කීවත් ඔහුට ජනප්‍රිය නිළියන්ගේ නම් ඈදිලා ගොසිප් හැදුණේ නැතුවම නෙවෙයි.
තමන්ගේ පවුලට ගොඩක් ආදරේ කරන ඔහු තාත්තට බය කොල්ලෙක් කියල තමයි කියවෙන්නේ.නංගිටත් මල්ලිටත් තාත්තා ආදරේ කරාට තමන්ට ඒ තරම් ආදරේ නැති වුණු නිසා ඔහු නිහඬ තරුණයෙක් වූ බව ලී ජන්ග් පවසනවා.පියා නිසා අකමැත්තෙන් ටයිකොන්ඩෝ ඉගෙන ගන්නත් ඔහුට සිද්ධ වෙලා තියනවා. පියානෝ ප්ලේ කිරීම පොත් කියවීම වගේ විනෝදාංශ තියන ඔහුට තාත්තා නිසා සටන් ක්‍රම හදාරන්න වීමත් එක් අතකට මානසික හිරිහැරයක් වූ බවයි පැවසෙන්නේ. ඒ වගේම ලී ජන්ග් මතින් තොර තරුණයෙක්.දැඩි ජනප්‍රිය නළුවෙක් වන ඔහුගේ ජනප්‍රියම නාට්‍යය වෙන්නේ W නාට්‍යය. 2019 සිට 2021 වෙනතුරුම ඔහු අනිවාර්යය මිලිටරි පුහුණේ නිරත වුණා. ඉතින් ආයේම ඔහුගේ රංගනයන් අපිට බලා ගන්න පුලුවන් වෙයි.

මේ ඔබ ඇත්තටම ආදරේ කරන කොරියන් නළුවෝ කිහිප දෙනෙක් ගැන ඔබ නොදන්න විස්තර කිහිපයක්.මේ අයගේ නාට්‍ය සහ ෆිල්ම් වල නම් විස්තර ඇතුව නොලීවත් අන්තර්ජාලය හරහා ඔබට ඒ ගැන දැනුවත් වෙන්න පුලුවන්.ඉතින් මීට වඩා ඔබ ආදරේ කරන වෙනත් කොරියන් නළුවෝ ඉන්නවා නම් ඒ අය ගැන පහළින් කමෙන්ට් එකක් දාලම යන්න.කොරියන් සිනමාව සහ ටෙලි නාට්‍යය ගැන තව තව විස්තර ඉදිරියේ දී කතා කරමු.

ඔබේ අදහස් අපිට ගොඩාක් වැදගත්.

Related Articles

Don't Miss


Latest Articles