මන්දාරම් හැන්දෑවක – 25

නිමාෂාට තම නැන්දණිය ගැන කෝපයක් ඇති නොවිණි.සමානාත්මතාවය සහ අසාධාරණකම් වෙනුවෙන් පෙනී සිටින ඇය එවැනි ගැහැනු දරුවෙකුට සාධාරණයක් ඉටු කරන්නට යන තරිඳු ගැන බියටත් කෝපයටත් පත් වීම මහත් අරුමයක් නොව සාමාන්‍ය මනුෂ්‍යත්වයේ ස්වභාවය බව නිමාෂා දැන සිටියා ය.

“මං දන්න ලේඩි කෙනෙක් හිටියා නිමා ඔයාලගෙ නැන්දා වගේම සල්ලිකාරියක්.සෝෂල් සර්විස් බැඳගෙන කරන්නේ.එයාගෙ පුතත් ජනිඳු වගේ.ලිමිට්ස් නොදන්න රස්තියාදු කාරයෙක්..”

නිමාෂා මේ කතාව ඇගේ කාර්යාලීය සගයෙකු වූ කේතකී සමඟ බෙදා ගත් පසු කේතකී කතාව ඇරඹීය.

“ඉතිං, මේ ගෑනු මනුස්සයා කොල්ලට කියන්නෙ උඹ ඕන තරම් ගොං තැඹිලි බීපං..හැබැයි ගෙදර ගේන්න ඕන රං තැඹිලි ගෙඩියක් කියලා..”

මිතුරියෝ දෙදෙනා එක්ව සිනා සුණහ.

“ඉතිං පුතා රං තැඹිලි ගෙඩියක් ගෙනාවද?” නිමාෂා ඇසුවේ සිනාව අතරිනි.

“ඔව්, ඇත්තටම අම්මා අස්සේ හැදුණු අහිංසක කෙල්ලක්.වෙන එකක් තියා අර සමාජ සේවිකාව සුදු රෙද්දේ චාරිත්‍රෙ පවා බැලුවා. ඒත් පුතා එක්ක සෙක්ස් රිලේෂන්ශිප් තිබ්බ කෙල්ලො සිය ගාණක්වත් ඉන්න ඇති.හැබැයි ඌට බඳින්න ඕන අඹ මලින් උපන් කුමාරියක්..”

කේතකී සිනා පිරුණු මුහුණ කලකිරීම සහිත මුහුණකට හරවා ගත්තා ය.

“වැඩේ කියන්නේ නිමා, ඔය කෙල්ලො ගොඩ අතරේ ඒකත් ජස්ට් ඉන්සිඩන්ට් වෙච්ච කෙල්ලො වගේම බෝයි ෆ්‍රෙන්ඩ් අතින් වර්ජිනිටි ලොස් උනා දැන් අනාගතේම ඉවරයි කියලා ෆේස්බුක් ලේඩීස් ගෘප් වලට නිර්නාමික පෝස්ට් යවන අහිංසක කෙල්ලොත් කොච්චර ඇද්ද”

මේඝාට සාධාරණත්වය ඉෂ්ට කරමින් සැබෑ ප්‍රේමයකින් ඇය සනසාලන බවට තරිඳු ප්‍රතිඥා දුන්න ද ලෝකය සෑමවිටම එතරම් යහපත් නැති බව නිමාෂා සිතුවේ ශෝකයෙනි.

“ඉතිං අර රං තැඹිලි ගෙඩිය දරුවො හදාගෙන එයාලා බලාගෙන හරි පටු ලෝකෙක ඉන්නවා.අර අම්මගෙ බූරු පුතා තාමත් ගොං තැඹිලි රහ බලනවා.”

කේතකී පවසන්නේ කළකිරීම අතරිනි.

“මේ මිනිස්සුන්ගෙ ඔළු හදන එක ලේසි දෙයක් නෙවී කේතු.පොඩ්ඩක්වත් ලේසි නෑ.එයාලා මොන සමාජ තත්වෙ හිටියත් ඔහොමයි.පුතාලාට ඕන නැටුමක්.කෙල්ලො ඉතාම පරිස්සම් වෙලා රස්තියාදුකාර පුත්‍රයෝ වෙනුවෙන් පටලයක් රකින්න ඕන හිතන සමාජයක්නෙ මේක.පොඩි පොඩි ඇඹිටිලි කොල්ලො ෆේස්බුක් දාන කමෙන්ට්ස් ම බලන්න.අපිට ඕන එකක්.උඹලා විතරයි බඩු..ඕකමනෙ කියන්නෙ”

නිමාෂා ට සැබෑවටම මේ සටන් කිරීම වෙහෙස දැනෙන තැන් ඇති වේ.මේ එවැනි මොහොතකි.සාධාරණත්වය ගැන නිතරම ලොවට පෙනෙන්නට වෙහෙසෙන තම නැන්දණියගේ සැබෑ මුහුණ ඈ වෙහෙසට පත් කර තිබිණ.

“අපේ නැන්දා වුණත් කේතු මාමා කරන ඔක්කොම ජහජරා වැඩ දන්නව.අයියලා මල්ලිලා ඒවා එහෙමම කන්ටිනිව් කරත් එයාට කමක් නෑ.ඒත් එයාටත් ඕන එයා වගේ ඇස්කන් පියාගෙන තමන්ගෙ පාඩුවෙ ඉන්න සමන් මල් කුමාරියො ලේලිලා කරගන්න. ඇතෙක් බරට වස්තුවත් අරන් එනවා නම් තවත් කැමතියි.”

එක අම්මා කෙනෙකු එසේ කටයුතු කරද්දී තවත් අම්මා කෙනෙකු මේඝා ගැන ගිනිගත් හදින් පසු වූවා ය.

ඒ වරුණගේ අම්මා ය, වෙද හාමිනේ ය.

“නංගි ජීවිතේ නැති කරගන්න හිතුවා කිව්වම අම්මලා ඒක කොහොම බාර ගනීද වරුණ?”

මාධවී ඒ ගැන තැවුණ ද වෙද හාමිනේ එය තමන්ගේ වරදක් බව සිතුවා ය.

“අම්මෙක් නැති දරුවෙක් වෙච්ච එකේ දුක වේදනාව හිතේ දරා ගෙන ඇතිදැඩි වුණු ළමයෙක්නෙ පුතේ.පුතාව මගෙ දරුවා කරගෙන බාර ගත්තා වගේ මං ඒ දරුවට සෙනේවන්ත වුණේ නැද්ද කියලා හිතද්දි තමයි මගෙ පපුව පැලෙන්න එන්නේ..”

වෙද හාමිනේ ඔසරි පොටින් දෑස් පිස ගත්තේ සිහින් ඉකියක් සහිතව ය.තමන්ගේ දියණිය හදිසි අනතුරකින් අහිමි වූ දා පටන් ඈ ලෝකයේ සියළු දියණියන් ඇගේ කර ගත්තා ය.සර්ප විෂ ඇගෙන් උදුරා ගත් අරුණිගේ වයසේ ම පසු වන මේඝා වෙද ගෙදරට පැමිණියේ වසර ගණනාවකට පසු අරුණිගේ ආදරය රැගෙන බව වෙද හාමිනේ ව්ශ්වාස කළා ය.ඇය මේඝාට අසීමිත ව ආදරය කළේ එනිසා ය.

“අම්මගෙ වැරැද්දක් නෙවෙයි අම්මේ, නංගිට අම්මා කොච්චර ආදරේද.මේ ටිකේ ඉව්වෙ පිහුවේ පවා එයා ආස ජාතිනෙ.තරුණ ළමයෙක්නෙ අම්මා.හිතේ මොනමොනවා හරි තියෙන්න ඇති.”

එහෙත් වෙද හාමිනේ රජරට කලාපයේ ඕනෑම මවක කරන්නාක් මෙන් මේඝා ජයශ්‍රී මහා බෝධියට බාර කර පඬුරක් ගැට ගැසුවා ය.නිදා සිටින මේඝාගේ හිස අත ගාමින් පිරිත් සජ්ජායනා කළා ය.ඉන් මේඝාට යහපත සිදුවෙන බව තරයේ විශ්වාස කළ ඇය “අපි මේ සෙනසුරාදා පාන්දරම මහා සෑයටයි ජය සිරි මා බෝධියටයි ගිහිං එමු පුතේ” කියමින් මේඝා සැනසුවා ය.

“අපේ මහත්තයො, හවස් යාමේ දරුවට දෙහි ටිකක් කපලා යන්තරයක් දාමුද?”

ඇය වෙද මහතාගෙන් විමසුවේ ද කළ හැකි සියල්ල ගැන සැලසුම් සකසමිනි.මේඝා වැනි රූමත් දැරියකට නොපෙනෙන බලවේගයන්ගේ සහ ඇස්වහ කටවහ දොස් පැමිණිය හැකි බව ඇගේ ගැමි ඥානයට කල්පනා විණි.ඒ අතර ඇයට ඈ දන්නා සාස්ත්‍රයක් ද සිහිපත් විණි.නිරන්තරයෙන් අත්හදා නොබැලුව ද දරුවන් වෙනුවෙන් ඇය ජොතිෂ්‍ය කටයුතු වල යෙදෙන්නියකි.

“පුතේ, නංගිගෙ කේන්දරයක් ඔයා ළඟ තියනවද?” ඇය මාධවීගෙන් ඇසුවේ ඒ අදහස සිතේ දරාගෙන ය.පැරණි ලිපි ගොනු ඇවිස්සූ මාධවී කේන්දර කොපියක් සොයා ගත්තේ වෙද හාමිනේ සාස්ත්‍රයට බොරු නොකරන ගැහැනියක බව දන්නා නිසාම ය.

“නින්දා අපහාස විඳ විඳ මේ දරුවා හරි අමාරු කාලයක් පහු කරලනෙ පුතේ..සෑහෙන අපල තිබුණු කාලයක්..”

නැන්දම්මා පවසන්නේ සත්‍යය බැවින් මාධවී නිහඬවම අසා හුන්නා ය.බොහෝ දේ පවසමින් හුන් වෙද හාමිනේ මාධවීගේ මුහුණ දෙස බැලුවේ විස්මය සහිත දෑසකිනි.

“කේන්දරේ හැටියට නංගිට බලවත් මංගල යෝගයක් තියනව පුතේ. හාර මාසයක් වෙන්න කලින් කසාදයක් වෙන්නම ඕන.”

ජනිඳු කොහේ හෝ හිඳ මතු වේවිදැයි බියකින් මාධවී තිගැස්සී ගියා ය.යෝගය මොනතරම් ප්‍රබල වුව ද ජනිඳු මේඝා සොයා පැමිණියහොත් ඉදල අතට ගන්නට සිතමින් ඈ කල්පනාවට වැටුණා ය.

මේඝාගේ මුළු දවසම ගත වූයේ ඇඳෙහි වැතිරී ඔහේ හිඳින්නට ය.සෙනුරි ද සෙනුජ ද කාමරය පුරා තුන්වන ලෝක යුද්ධය ක්‍රියාත්මක කළ ද ඇය වෙනදා මෙන් ඒවාට මැදිහත් වූයේ නැත.මාධවී ද බිනර ද වෙද හාමිනේ ද පමණක් නොව වරුණ සහ වෙදමහතා ද ඇය පියවි සිහියට ගන්නට නිරතුරු උත්සාහ දැරී ය.යසා මුළුතැන්ගෙයට වැදී සිහියට එන හැම රස අහරක් ම පිසුවා ය. එහෙත් මේඝාට පලතුරු යුෂ හැන්දක් තරමට පොවා ගන්නට බොහෝ වෙහෙස දරන්නට සිදු විය.ඇය එතරම් මානසික කම්පනයක් දරා හුන්නා ය.

මේඝා වදෙන් පොරයෙන් නිවසින් පිටතට ගන්නට බිනර සමත් වූයේ හවස් යාමයේ ය.සඳලි ද ඔහුට එක් වූවා ය.මඳක් ඇවිදින්නට යන යෝජනා ප්‍රතික්ෂේප කරමින් ඇය කොහොඹ ගස මුල බංකුවට වී ඔහේ හුන්නා ය.සඳලි ඇගේ හිස අතගාමින් සිටියේ ශෝකයෙනි.බිනර වේදනාව නොපෙන්වා ඉන්නට යත්න දැරී ය.

හුරුපුරුදු මෝටර් රිය වෙද ගෙදර ලී ගේට්ටුවෙන් මතු වෙද්දි මේඝා ඉද්ද ගැසුවා සේ නැගිට ගත්තේ නිවස තුළට යන්නට ය. බිනර තද අතකින් ඈ නවතා ගත්තේ ය.

“ඔහොම ඉන්න..අයියා එන්නේ ඔයාව ගමනක් එක්ක යන්න..”

බිනර සියල්ල දැන සිටි බවක් දැන ගත් මේඝා දෑස් විසල් කර ඔහු දෙස බැලුවා ය.බිනර ප්‍රවේසමෙන් ඇයව යළිත් හිඳ වූවා ය.දිනිඳු රථයෙන් බැස ගත්තේ සිනා සහිත දෑසකිනි

“කොහොමද මේඝා, උදේම ස්විමිං කරන්න ගිහින් හෙම්බිරිස්සාව නැද්ද?” ඔහු ඇසුවේ සුහදශීලිව ය.මේඝා ලැජ්ජාවෙන් බිම බලා ගත්තා ය.

5 3 votes
Article Rating
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments