මන්දාරම් හැන්දෑවක -28

නිමාෂා ඉතා කාර්යබහුල හෝරා අතර පැටලී සිටියා ය.දූෂණ නඩුවක වින්දිතයෙකු බවට පත් කුඩා දැරියක වෙනුවෙන් කළ හැකි සියලුම යහපත කරන්නට ඉටා ගත් ඈ සිටියේ සැකකාරයන් වැරදිකාරයන් කරන්නට හැකි සෑම දෙයම කරමිනි.වසන්ති සල්වතුර,ඇගේ නැන්දණියගේ රුව මතු වූයේ ඒ මොහොතේ ය.

“ෆෝන් එකෙන් පාට් දානවා මිසක් ඔයා මේ නැන්දි උන්නද මළා ද බලනවයැ.”

නිමාෂා නැන්දණියගේ නෝක්කාඩුව දරාගෙන හිනැහී ලිපිගොනු වසා දැමුවා ය.ඇය පැමිණි හේතුව නිමාෂාට පැහැදිලි ය.

“අර මධුර සෙවණ ළමා නිවාසෙ හරියට අඩුපාඩු තියනව නැන්දි.දරුවො සමහරවෙලාවට කන්නෙ පරිප්පුයි බතුයිලු.ඒකට මොනාහරි කරන්න වෙනව”

නිමාෂා බර කතාවකට අර ඇන්දා ය.නමුත් නැන්දණියට ඒවා අසන්නට නුවුමනා බව ඇයට නොවැටහුණා නොවේ.

“ඔයා මාව තේරුම් ගන් නෑ පුතේ. මට ඉන්නෙ කොල්ලොම තුනක් හින්දා මං හිතුවෙ මගෙ එකම මල්ලිගෙ එකම දුවවත් මට මගෙ දුව වෙයි කියල.ඔයත් මට සලකන්නෙ මගෙ ළමයි වගේම තමා..”

වසන්ති සල්වතුරගේ හඬ බිඳී ගියේ ය. නිමාෂා වහා ඈ අසලට පැමිණියා ය.

“අයියෝ නැන්දි.ඔයාගෙ හස්බන්ඩ් හෙටානිද්දා ඡන්දෙත් ඉල්ලන කතාවක් මට ආරංචි.එතකොට අපෙ මේ මිසිස් වීරසේකර ඉන්නෝන ආර්යාවක් වෙලානෙ.මෙහෙම හොටු පෙරල හරියනවයැ..”

නිමාෂා තත්ත්වය සමනය කරන්නට තැත් දැරුවා ය.නමුත් මේඝා ගැන පැවසූ දේවල් සම්බන්ධයෙන් ඈ සිටියේ නැන්දා සම්බන්ධයෙන් පළුදු වූ හදකිනි.

“මම මිසිස් වීරසේකර වෙලා ඉන්නෙ නමටනෙ පුතේ.ඔයා ඒක දන්නවනෙ.ඒකනෙ මං තාම ඔයාගෙ සීයගෙ සර්නේම් එක පාවිච්චි කරන්නෙ..මාමා නිසා කවදාවත් මට සැනසිල්ලක් තිබ්බෙ නෑ.දැන් අයියලයි මල්ලියි හින්දත් නෑ..”

නිමාෂා කිසිත් නොකියා කාර්යාල කාමරයෙන් පිටතට ගියේ තේ හදන්නට කාර්යාල සහයකයාට ඇණවුමක් දෙන්නට ය.ඈ පැමිණියේ මිනිත්තු ගණනකිනි.

“නැන්දි, මාත් දන්න කාලේ ඉඳන් දන්නවා මාමා ගැන.එයා ඔයාට චීට් කරපු තරම ගැන.ඔයාට ඒ කාලෙම මාමාගෙන් අයින් වෙන්න කියලා තාත්තිලා නොකියා හිටියේ නෑලුනෙ.. එහෙම උනානම් ඔයාට අයියලයි මල්ලියිවත් ඉතුරු වෙනවා.”

නිමාෂාගේ වචන සල්වතුර මහත්මියට රැගෙන ආවේ වේදනාවකි.රැකියාවක් හිමි ස්වාධීන ගැහැනියක නිසා නොයෙල්ව අතහැර දමන්නැයි දෙමාපියන් ද සහෝදරයා ද මුල්ම වරට පවසද්දී දිනිඳු යාන්තම් අවුරුදු තුන පසු කළා පමණි.නමුත් ඈ ඉවසුවා ය.නැවත නැවතත් ඉවසුවා ය.නොයෙල්ගේ ඊළඟ ප්‍රේම කතාව ගැන ආරංචි වෙද්දී තරිඳු කුසට පැමිණ අහවර ය.

“මිනිස්සු හැදෙනකම් බලන් ඉන්න එක අපේ ගෑනු අය කරගන්න මහම මහ වැරැද්දක් නැන්දි.ඕනනම් එක අවස්ථාවක් දුන්නට කමක් නෑ.ඒත් ආයේ ආයෙ චාන්ස් දෙන්න යන එකෙන් වෙන්නේ මොනතරම් වැරැද්දක් ද හිතන්නකො.නැන්දි ඔහේ බලන් හිටියා. ඒකෙන් උනේ පවුල විසිරිලා ගිය එක..”

නිමාෂා කලකිරීම මුසු හඬින් කීවා ය.තාත්තා සහ ඔහුගේ අසම්මත ප්‍රේම සබඳතා ගැන ආරංචි වන සෑම මොහොතකම දිනිඳු ඔහුගේ ශෝකය දිය කරන්නටත් තරිඳු ඔහුගේ කෝපය දිය කරන්නටත් පැමිණියේ නිමාෂාගේ පියා වෙත ය.ඒ තරුණයන් උස්මහත් වූයේ රිදුම් දරා ගනිමින් බව නිමාෂා දැන සිටියා ය. නොයෙල්ගේ මුදලට වහ වැටෙන්නියන් ද ඔහු අතින් බලහත්කාරයෙන් දූෂණය වන්නියන් ද ගැන අඳුරු කතාන්දර ඈට ද ඕනෑතරම් අසන්නට ලැබී තිබිණ.ඇය නීතිය හදාරන්නට සූදානම් වී අම්මාටත් තාත්තාටත් පැවසුවේ එක් දෙයකි.

කියවන්න :  මන්දාරම් හැන්දෑවක - 7

“මේ ලෝකෙ පිරිලා තියෙන්නෙ නොයෙල් මාමා වගේ ජරා මිනිස්සුන්ගෙන් තාත්ති.එහෙම අය නිසා කරදරේ වැටෙන කෙල්ලො වෙනුවෙන් මං සටන් කරනව.මට ජීවිතේ ගැන බයකුත් නෑනේ.ඔයා ඉන්නවනෙ..”

උසස් හමුදා නිලධාරියෙකු වූ “තාත්තාගේ හයිය” යහපත පිණිස යොදා ගන්නට ඇය සමත් වූවා ය.කාන්තා හිංසකයන් නිමාෂා සල්වතුර නම් විසි වයස් කෙල්ලට අංචි අදින්නට නොපසුබට නොවූ නමුත් හේමන්ත සල්වතුර නම් හමුදා නිලධාරියා ඉදිරියේ සසැලුණි.නිමාෂා සටන්කාරිනියකව සටන් වදින්නට නොපසුබට එනිසා ය.නමුත් ඊළඟ සටන යොමු විය යුත්තේ තමන්ගේම මාමාටත් ඥාති සහෝදරයාටත් බව ඇය තීරණය කර අහවර ය.

“නැන්දි හැමදාම ඉස්මුදුනෙ තියා ගත්තේ ජනිඳුව විතරනෙ.පොඩි අයිය කොහොමත් ආයේ ඇමරිකා යයි.ලොකු අයිය ඉන්න තැනක්වත් නැන්දි හොයන් නෑනෙ..ඒ දෙන්නා පරිස්සං කරගන්න බැරි වුණු එකේ ඔයාට ජනිඳුට මීටවඩා හොඳ නරක කියාදෙන්න තිබ්බ..”

නිමාෂා කෝපත්ව කියවාගෙන ගියා ය.ජනිඳුගේ හැසිරීම් ගැන සොයා බැලුවානම් මේඝා වැනි වේදනා විඳින්නියක් බිහි නොවන්නට තිබිණ.නමුත් දැන් ජනිඳුව නිවැරදි කිරීම අපහසු ය.

“මං ඔයාව මුණ ගැහෙන්න ආවේ ජනිඳු නිසා තමයි නිමාෂා..මට චූටිපුතා අර වීඩියෝ එක ගැන කිව්වා.”

වසන්ති මහත්මිය ඕනෑම පැලැන්තියක මවකට පහසුවෙන් පිවිසිය හැකි “පුතාගෙ වැරැද්දක් නෑ” මුහුණතට පිවිසෙමින් හුන්නා ය.

“මං ඒ කෙල්ල ගැන හොයලා බැලුවා.කැන්සර් හොස්පිටල් පැත්තෙ ගෙවල් තියෙන්නෙ.අම්මා නැති කෙල්ලක්.චාරෙකට හැදුණා වෙන්න බෑ.නර්සරි එකක ටීච් කරාලු.එතන අයත් කැමැත්තක් නෑ.සල්ලිකාර තාත්තලගෙ කරේ එල්ලෙන්න ගියාලු හරියට.”

ගැමි ගැහැනියකටවත් තරම් නොවන අන්දමේ ඕපාදූප කියවා යන නැන්දණිය දෙස නිමාෂා බලා සිටියේ අපුලින් ය.

“ඕව ජනිඳුගෙ යාළුවෝ ෆේස්බුක් දාපු ගොතපු කතානෙ නැන්දා. මං දන්න තරමට මං හොයපු තරමට එතැනින් ඇත්ත මේඝාගෙ අම්මා නෑ කියනෙකයි ඒ ළමයා නර්සරි ටීච කෙනෙක් කියන එකයි විතරයි.මේඝා අහිංසක වැදගත් ළමේක්..”

නිමාෂා දෙස සෝපහාසයට හුරු බැල්මකින් බැලූ වසන්ති සල්වතුර වඩා වැදගත් ඕපාදූපය කියන්නට නිමාෂාට නැඹුරු වූවා ය.

“ඔයා හිතනවද චූටි මල්ලි ඔය වීඩියෝ කරනව වගේ වැඩ කරයි කියල.කොලුකමට එහෙමෙහෙ ගිහින්නම් තමා.ඒ කෙල්ල දැනගන්න එපැයි නොයා ඉන්න..වීඩියෝ කරගෙන තියෙන්නේ ඒ කෙල්ලලු..ඊට පස්සෙ පුතා සම්බන්ධෙ නවත්තන්න යද්දි ඒවා ඉන්ටර්නෙට් එකට දාලලු..”

කියවන්න :  මන්දාරම් හැන්දෑවක -11

නිමාෂා උස් හඬින් හිනැහුණා ය.ලේ නෑකම නොවූවා නම් මේ ගැහැනියට තදින් බැන වදින්නට තරම් කෝපයකින් තමා දැවෙමින් ඇති බව ඇයට දැනිණ.

“නැන්දි, අර නූගත් නැන්දම්මලා වගේ මගෙ පුතා හරි කතාව මට කියන්නෙපා ඕකේ. ජනිඳු තාම ඉන්නෙ ඒ ගර්ල්ට තර්ජනය කරන ගමන්.ඒ ළමයා සූසයිඩ් කරගන්න ට්‍රයි කරනවා.ඇත්තටම තරිඳු අයියා ඒ ළමයා මැරි කරනවනං මං කැමති.මොකද ඒ ළමයට එහෙම හොඳ මනුස්සයෙක් ලැබෙන්න ඕන.ඔයා චූටි මල්ලිව තවතවත් නරක් කරන්න ගිහින් දවසක ඌ වැටෙන්න ඕන හොඳම අමාරුවෙ වැටෙනව කියලනම් අමතක කරන්න එපා..”

එපමණක් කී නිමාෂා මෝටර් රථයේ යතුර ද රැගෙන පිටතට එන්නට ආවා ය.නැන්දණියගෙන් මිදී කොහේ හෝ යන්නට ඇයට උවමනා විණි.

මේඝා උදෑසන අවදි වූයේ කම්මුලක සිහින් තෙතක් තැවරෙද්දී ය. වෙලාව උදෑසන දහයට ද ආසන්න බව ඔරලෝසුවේ සටහන් වෙද්දී ඈ වහා නැගිට ගත්තා ය.බෙහෙත් මත නින්ද ළං කර ඇති බව සිතමින් ඇඳෙන් බසින්නට ගිය මේඝා දෙස ඇගේ කම්මුලට තෙත් හාදුව තැවරූ සිඟිත්තිය බලා සිටියේ දිදුලනා නෙත්වලිනි.

“පුංචිට දැන් සනීපයිද? තාත්ති බේයියන් දුන්නද?”

මේඝා ඉනුලිව ඔසවා ගත්තා ය.තමන්ගේ ආදරය දිනාගත් සුදු පුංචීට අසනීපයක් නැතිබව වටහා ගත් කුඩා දැරිය සන්තෝසයෙන් නෙත් දල්වා ගත්තා ය.

“දැන් සනීපයි රත්තරං..ඔයා ගිහිං සෙනුයි මල්ලියි එක්ක සෙල්ලං කරන්නකො..මං වොෂ් එකක් දාගෙන එන්නං අපි චිත්‍ර අඳිමු..”

මේඝා නාන කාමරයට වැදුණේ සන්සුන් සිතකිනි.හදවත නැවත ක්‍රමයෙන් සන්සුන් වෙමින් පවතින බව ඇයට දැනිණ.ඒ ප්‍රීතියෙන් ඔද වැඩෙමින් මේඝා මුළුතැන්ගෙය දෙසට ඇදුණා ය.මව්වත් සිනාවකින් ඈ පිළි ගන්නට වෙද හාමිනේ එහි නොසිටිය ද යසා පුළුල් සිනාවක් නඟා ඈ දෙස බැලුවා ය.

“පුංචි නෝනා,කිරි එකක් හදන්නද නැත්තං නෙල්ලි හදලා දෙන්නද?” යසා සියළු වැඩ නවතා ඇසුවා ය.මේඝාට සෙනසුරු අපල බහුල බවත් නොකා නොබී ඉන්නටත් රෝගී වන්නටත් ඉඩ ඇති නිසා නිරන්තරයෙන් ඇය ප්‍රිය කරන ආහාර සාදා දිය යුතු බව වෙද හාමිනේ සිහි කළේ ඊයේ ය.යසා එය හිතේ අලවාගෙන හුන්නා ය.

“මට බත් ඕන යසා..බඩගිනි…”

මේඝා පුටුවකට ඇද වැටුණේ එසේ කියමිනි.

“කිරි එකක් බීලා ඉමු.හිස් බඩනෙ.පුංචි නෝනා මුණ ගැහෙන්න දැන් දෙපැයක් විතර තිස්සෙ අමුත්තෙකුත් බලන් ඉන්නව ආං…”

යසා කියද්දී මේඝා කුහුලට පත් වූවා ය.එතරම් වෙලාවක් ඇය වෙනුවෙන් මඟ බලන්නේ කවුදැයි දැන ගන්නට වහා සාලයට යන්නට ඇයට ඕනෑ විය.

3.7 6 votes
Article Rating
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Madhushika
1 month ago

අනේ තව චුට්ටක් දිගට කතාව දාන්නකෝ.. චුට්ටයිනේ තියෙන්නේ..