අහංකාර නගරේ -20

2
2888

නගරයේ වීදි හෙවන කළ මැයි, මාර, රෝබරෝසියා හා එම කුලයට අයත් වෙනත් තුරු හිස් මලින් වියන් බඳාන්නට වූයේ ය. නාගරික වීදි වල මල් පලස් එලා තිබිණි. යළිත් ගමට ගොස් පැමිණීමෙන් පසු මගේ සිත ද නගරය මෙන් වසන්ත සැනකෙළියක සිරි ගති. ආදරය මෝරා වැඩුණා කියා මට සිතුණේ ය. මා වෙනුවෙන් වද වන්නටත් වග වන්නටත් සිතිජ ඉන්නා බව මට දැනිණ. තමන් ගැන හොයා බලනා පිරිමියෙකු ලෝකයේ කවර තැනෙක හෝ ඉන්නා බව දන්නා එක තරම් නිවනක්, ගැහැනු හිතකට වෙන නැත්තේ ය. 

“සිතිජ වගේ කොල්ලො දැන් මේ ලෝකෙ ඉතුරු වෙලා ඉන්නෙ හරි අඩුවෙන්”

සුරනි කීවා ය. ඇය ට පිරිමින් විෂයේ බොහෝ අත්දැකීම් තිබිණි.

“මුලිංම මං යාළු වුණ කොල්ලා මොණරාගල. ඒක නතර කළා කියමුකො. ඊළඟට කොළඹ ආවට පස්සෙ කැම්පස් එකේ කොල්ලො දෙන්නෙක් එක්කම යාළු වුණා. ගම කොහෙද කියන එක නං අදාල ම නෑ බං ඔක්කොම එවුං එකයි. කෙල්ලෙක් යාළු කර ගත්ත ගමංම උන්ට ඕනෙ කොහෙ හරි පාළු ගුබ්බෑයමකට හරි ෆිල්ම් හෝල් එකකට හරි කොතනකට හරි දක්කගෙන යන්න. උන්ට ලව් කියන්නෙ ඒක තමයි. ඒත් හුඟක් කෙල්ලො හොයන්නෙ ආදරේ කියන දේ. එ් ආදරේ හුඟක් කෙල්ලන්ට කවදාවත් හම්බ වෙන්නෙ නෑ. අන්තිමට උන්ට ඉතුරු වෙන්නෙ ආදරේ කියන්නෙ බොරුවක් කියන අර්ථ දැක්වීම විතරයි. ඇයි ඉතිං බොරු කාරයන්ටමනෙ අහු වෙලා තියෙන්නෙ”

සුරනි ගේ ඇස් වල පශ්චත්තාපයක මඳහසක් විය. ක්ලීනින් සර්විස් එකේ සුපර්වයිසර් වරයාගේ බොරු මායම් වලට රැවටුණා නම් මගේ ඇස් වලටත් උරුම වන්නට තිබුණේ ඒ පශ්චත්තාපය ම බව මම වටහා ගතිමි.

“ඒත් මන්නං හැමදාම හිතනව ආදරේ කියල දෙයක් තියනව කියල. මට හම්බවුණේ නැති වුණාට”

“වයසට ගිහිං වගේනෙ කතා කරන්නෙ. ආදරේ මුණගැහෙන්න තියෙන්නෙ තව ඉස්සරහට වෙන්නත් පුළුවන් නෙ”

“සමහර විට ඔව්. හැබැයි ඔයා වාසනාවන්තයි මෙව්නා. බොරු වළවල් වල වැටෙන්න කලිං සිතිජ වගේ කොල්ලෙක් හම්බ වුණා. ගම් වලින් රස්සාවල් හොයං කොළඹට එන ගෑනු ළමයි ගොඩක් ආපහු ගමට යන්නෙ බඩක් උස්සගෙන. එහෙම නැත්තං ගඟවල් වලයි ලිං වලයි කුණු කාණු පල්ලෙයි ඒ ළමයි අතෑරල දානව. අන්තිමට ඒ කෙල්ලො ආදරේ කියන නමටත් සදහට ම වෛර කරන එවුං වෙනව”

විශ්ව විද්‍යාල සිසුන් පවා මේ ආකාරය ට ප්‍රේමය හා රාගය පටලවා ගත් ජීවිත ගත කරන බව ඇය කීවා ය. ඉතින් සිතිජ කියන්නේ බෝ පරෙස්සමෙන් රැක ගත යුතු මිණි කැටයක් සේ මට දැනිණ. 

ගමේ ගොස් පැමිණීමෙන් පසුව ද සැලොන් එකේ රාජකාරී කටයුතු කෙරී ගෙන ගියේ සාමාන්‍ය පරිදි ය. රෝස් මැඩම් කී පරිදි විශේෂිත ගනුදෙනු කරුවන් කිසිවෙකු ඇය මට හඳුන්වා දුන්නේ නැත.

“ඔයා ඔය බියුටි කල්චර් වලට කැමති නං ඒ ගැන ඉගෙන ගන්න ගමං ඔය ජොබ් එක කරන්න”

සිතිජ මගේ ඔළුවට අලුත් අදහසක් දැමුවේ ය. සැබවින් රෝස් මැඩම් මට මේ රැකියාව ලබා දෙන තුරු මා ගම දී හෝ සැලොන් එකක් තුළට ගොස් නොතිබි බව මීට පෙර ද මම ඔබ ට කියා ඇත්තෙමි. රූපලාවන්‍යය වූ කලී ඩිප්ලෝමා සහතික ලද හැකි වෘත්තියක් බව මා වටහා ගත්තේ, රෝස්මරී ගේ රූපලාවන්‍යාගාරයේ සේවය කළ සමහර යුවතියන් විභාග සඳහා සූදානම් වනු දැකීමෙනි. කාන්තා මුහුණු අත පත ගාමින් පාට ගැල්වීම ගැන ගම දී වූ ආකල්පය ද, එහි වැඩ කරන්නට ගැනීමත් සමග දිය වී යන්නට පටන් ගති. රූපලාවන්‍යය යනු ඉතා සියුම් හා විශාල ආත්ම තෘප්තියක් ලද හැකි කලාවක් බව ක්‍රමයෙන් මම අවබෝධ කර ගනිමින් සිටියෙමි. ඒ නිසා ම සිතිජ ගේ යෝජනාවෙහි ගැඹුරු වටිනාකමක් මට පෙනෙන්නට ගත්තේ ය.

“ඇත්තටම එතන ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනව අයියෙ. මෙතන වැඩ කරන ගමන් පළපුරුද්ද ලබන්න පුළුවන් තමයි. ඒත් ඉතිං කෝස් ටිකක් පිළිවෙලට කරං ගිහිං සහතික ටික ගත්තනං…ඇත්තටම කොච්චර වටිනවද…සැලෝන් එක කරන කෙනාගෙ සර්ටිෆිකේට්ස් ටික පේන තැනක ගහල තිබ්බහම කස්ටමර්ස්ල වුණත් බයක් නැතුව ඒ සැලෝන් එකට එනව”

කියවන්න :  අහංකාර නගරේ -12

“දවසක ඔයා සැලොන් එකක වැඩ කරන්නම ඕන කියල මං කියන්නෑ. ඩිග්‍රි එක කළා ට පස්සෙ ඔයාට වෙන ජොබ් එකක් ට්‍රයි කරන්න පුළුවන්”

“ඒත් ඉගෙන ගත්ත දෙයක් වැඩි වෙන්නෙ නෑනෙ”

රෝස් මැඩම් වෙත ගොස්, ඉල්ලුම් කළ යුතු විභාග අනුපිළිවෙල ගැන මම විමසුවෙමි. ඇය නගා ගත් සිනහවේ වූයේ සමච්චලයකි.

“ඒ ගමන මෙව්නාටත් හිතුණද ඔය මොකක් හරි විභාගෙකට ලියල සැලෝන් එකක් දා ගන්න…මෝඩ වෙන්න එපා ළමයා. ඩිප්ලෝමා එකක් කරපු පලියට කෙනෙක් මහ ලොකු බියුටීෂන් කෙනෙක් වෙනවයි කියල හිතං ඉන්නත් එපා. අනික ඔයා හිතන්නෙ සැලෝන් එකක් පටං අර ගන්නවයි කර ගෙන යනවයි කියන්නෙ ලෙහෙසි සෙල්ලමක් කියලද…ඒකට පොඩි සල්ලියක්ද ඉන්වෙස්ට් කරන්න ඕනෙ…”

මා ඇසූ පුංචි පැනයට ඇය ඒ තරම් දිග පිළිතුරක් දෙන්නට හේතුවක් සිතා ගන්නට මම අපොහොසත් වූයෙමි. ඊටත් වඩා රෝස් මැඩම් ඒ ගැන ඒ තරම් නො සන්සුන් හෝ උදහස් වන්නට කාරණා කිම? ආයතනයේ වැඩ කරන ගෑනු ළමයින් වැඩිපුර උනුන් සමග සබඳතා පැවැත්වූයේ නැත. ඒ වුණත් වෙන කාගෙන් හෝ ඒ ගැන දැන ගත යුතු යයි මම සිතා ගතිමි.

“මෙතන වැඩ කරන කාත් එක්කවත් පුද්ගලික සම්බන්ධකම් තියා ගන්න ඕන නෑ. මෙතන යාළුවො නෑ කියල මතක තියා ගන්න”

මා මෙහි පැමිණි මුල් ම දිනයේ රෝස් මැඩම් කීවා ය. අනිත් සේවිකාවන් ද එසේ උනුන් අතර දුරස්ථ භාවයක් පවත්වා ගන්නට හේතුව එය වන්නට ඇත. රෝස් මැඩම් සැලෝන් එකට එන පාරිභෝගිකයන් සමග කිසිදු ගනු දෙනුවක් නො කළා ය. ඇය සිටියේ කාර්යාල කාමරයේ ය. නමුත් එහි වන විශාල රූපවාහිනී තිරයකට සම්බන්ධ කරන ලද කැමරා පද්ධතියක් ඔස්සේ, නිරන්තර ඕ සැලෝන් එක තුළ වන කටයුතු ගැන නෙතු යොමා උන්නා ය. ඇගේ අණ පණත් බිඳින්නට සේවිකාවන් බිය වූවේ, රැකියාව නැති කර ගන්නට ඇති නො කැමැත්තෙනි. නමුත් ඔවුන් සියලු දෙනා රෝස් සමග හොඳ හිතකින් පසු නො වන බව, කල් යත් ම මම වටහා ගතිමි. සීසීටීවී කැමරා වලට දර්ශනය නො වන සේ ඔවුහු ඇය ට විරුද්ධ ව කසු කුසු ගෑහ. රෝස්මරී මා නො දන්නා හේතුවකට ‘අපේ මෙව්නා’ ලෙස මා හැඳින්වීම නිසා මා ඉන්නා තැනක එසේ නො කරන්නට මුලදී ඔවුහු ප්‍රවේසම් සහගත වූහ. නමුත් කල් යාමේ දී මා ඇගේ ඔත්තු කරුවෙකු නො වන බව ඔවුන් තේරුම් ගන්නට ඇත.

“ඇයි මැඩම් කිව්වෙ නැද්ද ඔයා කරන්න ඕන එග්සෑම් ගැන මොනවත්”

මා එකියක ගෙන් විමසූ වෙලේ ඇය කීවා ය. මම නිහඬ ව සිටියෙමි.

“එයා එහෙම තමයි. එයා කැමති නෑ කවුරුවත් කොලිෆයිඩ් බියුටීෂන්ස්ල වෙනවට”

ඇය කීවේ එපමණකි. 

සිතිජ සමගින් ඔහු ගේ අම්මා ගැන කේලාම් කියන්නට මට කවදාවත් ඕනෑ වූයේ නැත. ඔහු අසන හැම දිනෙක ම මා කීවේ ඇගේ හොඳ ම ය. ඇය මට ගෙවන වැටුප කෙතරම් දැයි ඇසූ වෙලේ නම් මට ඔහු ට ඇත්ත නො කියා බැරි විය.

“ඔය වගේ සොච්චං ගාණක් ගෙවලද අපේ අම්ම අහිංසක ගෑනු ළමයිව ඔච්චර මරෝල වැඩ ගන්නෙ…”

සිතිජ ගේ වත රතු වූයේ ය. එසේ වන්නේ ඔහු කෝපයට පත් අවස්ථා වල බව දැන් මම දන්නෙමි.

“අනේ කළබල කරන්න එපා අයියෙ. මැඩම්ගෙන් ඕව ගැන අහන්නත් එපා. එතකොට දැනගන්නව මං ඔයාට කියලයි කියල. ඇයි ඒ කිව්වෙ කියල හොයන්න පටන් ගත්තොත් මට ජොබ් එක විතරක් නෙවෙයි ගෙදර ඉන්න එකත් නැති වෙයි”

එදා මා ඔහු නතර කර ගත්තේ එහෙම කියමිනි. එහෙව් එකේ ඇය මේ විදිහට වැඩ කරන ළමයින් ගේ මග අවුරනු පිණිස කටයුතු කරනවා යි දැන ගත හොත් සිතිජ උරණ වනු ඇත. ඒ අම්මා හා පුතා අතරේ පවතිනවාටත් වඩා හිත් බිඳීමක් ඇති නො කළ යුතු නිසා මම මේ බව ඔහු ට නො කියා සිටියෙමි.

“මෙව්නා එන්න මාත් එක්ක අපේ අනිත් තැනට ගිහින් එන්න”

පසු දා රෝස් මැඩම් මා සිය කුටිය වෙත කැඳවා කීවා ය.  ඇය සතුව තවත් රූපලාවන්‍යාගාරයක් වන බව මීට පෙර මා දැන සිටියේ නැත.

කියවන්න :  අහංකාර නගරේ -03

“එතකොට මීට පස්සෙ මං වැඩ කරන්නෙ ඒ සැලෝන් එකේද මැඩම්…”

ඕනෑ ම දෙයක් ප්‍රශ්න කරන පුරුද්ද ට මම ඇසුවෙමි. ඇය කේන්තියක් ආරූඩ කර ගත්තා ය.

“ප්‍රශ්න අහන්නෙ නැතුව මං කියන දේ කරන්න ළමය”

මුල දී මා කෙරේ ඇය දැක්වූ කරුණා ගුණය දැන් කොහේ දැයි සොයා ගත නො හැකි ලෙස අතුරුදන් ව ඇති සැටියෙකි. රූපලාවන්‍ය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලා ගැන විමසූ වෙලේ පටන් මා කෙරේ ඇගේ උදහස තීව්‍ර වී ඇති සැටියක් පෙනෙන්නට තිබේ.

රෝස්මරී ගේ රියෙහි නැගී අපි මල් පලස් එලූ මාර්ග දිගේ ගියෙමු. නමුත් මට නිවැරදි ව මං සලකුණු සිත් හි රඳවා ගත හැකි වූයේ නැත. ගමනාන්තය ලෙස සනිටුහන් වූයේ ස්පා මැජික් ලෙස නාම පුවරුවක් දැරූ ගුහාවක් වන් පිය ගැට පෙළකට විවර වන දොරටුවකි. එම ගුප්ත පෙනුමක් ඇති ගොඩනැගිල්ලේ පහළ මහල ගබඩා සංකීර්ණයක් ලෙස භාවිතා වන්නක් සේ පෙනිණි. පිය ගැට පෙළ අඳුරු වූයේ ය. රතු පාට විදුලි එළි විහිදුවන චීන ලන්තෑරුම් කිහිපයක් එහි පෙළට එල්ලී තිබුණේ ය. අභිරහස් ගුහාවකට රාංගා යන අමුතු හැඟීමක් මට දැනෙමින් තිබිණි. රෝස්මරී කඩිනම් ගමනින් ටක ටකස් හඬ නගමින් පිය ගැට පෙළ නැග ගියා ය.

එය විසිතුරු ලෝකයක් සේ බැලූ බැල්මට පෙනිණ. ලස්සන ගෑනු ළමයින් කිහිප දෙනෙක් ලහි ලහියේ ඔබ මොබ සැරූහ. පිළිගැනීමේ අසුනෙහි මිහි බට සුරඟනක් කිකිනි හඬින් දුරකතනය ට කතා කරමින් සිටියා ය. රෝස් ව දුටු ගමන් ඕ නැගිට ගත් අතර, රෝස් ඇය ගැන නො තකමින් කඩිසර ගමනින් ඇවිද ගියා ය. ඇය ගියේ කුඩා කුටියකට ය. අර සුරඟන සී ආර් පොතක් ද ගෙන අප පසු පස කාමරයට ගොඩ වූවා ය. 

“ආර් කේ ගෙ අපොයින්මන්ට් එකක් තියෙනව නේද අද…”

රෝස්මරී සී ආර් පොත දිග හරිමින් ඇසුවා ය.

“ඔවු මැඩම්. තව පැය කාලකින් කස්ටමර් මෙහෙ ඉඳියි”

සුරඟන සිය රිදී පැහැති අත් ඔරලෝසුව දෙස බැලුවා ය.

“ගුඩ්. කාවද එතනට ප්ලේස් කරල තියෙන්නෙ…”

“රෝෂිනී ව මැඩම්”

“මේ මෙව්නා. මෙව්නාව කස්ටමර් ට ඉන්ට්‍රඩියුස් කරල පොඩ්ඩක් එයාට වැඩේ කරං යන්න කියල දෙන්න කියල රෝෂිනී ට කියන්න”

“ඕකේ මැඩම්”

“ඊයේ ඉන්කම් එක ඩිපොසිට් කළා නේද…”

“ඔව් මැඩම්. අද උදේ බෑන්ක් එකට යැව්ව”

“ඕකේ. මං අද ටිකක් බිසී. මෙව්නා…”

“මැ…ඩම්…”

මගේ හඬ බිඳී යනවා මට ම දැනිණ. මොකක්දෝ අමුත්තක් මගේ ගැහැනු ඉවට හසු වෙමින් නො වෙමින් තිබුණේ ය. 

“මං කලින් කියල තිබුණෙ…අපේ වැලියුබල් ම කස්ටමර්ස්ල ගැන. මෙතනට තමයි එයාල එන්නෙ. දෙයියන්ට වගෙයි එයාලට සලකන්න ඕනෙ. මොකද ඒ අය නිසයි මේ කාටත් සැලරි ගෙවාගෙන අපිට මේ බින්නස් එක කරං යන්න පුළුවන් වෙලා තියෙන්නෙ. මෙව්නාගෙ සර්විස් එක එයාලගෙ හිතට අල්ලනව කියන්නෙ…ඔයා දුක් වින්ද කාලෙ ඉවරයි ළමයො. ගුඩ් ලක්!”

කියා ගෙන රෝස්මරී ලැසි ගමනින් නික්ම ගියා ය. මම අන්ද මන්ද ව බලා සිටියෙමි. 

“රෝෂිනී ට ජෙලස් හිතෙයි. ඔයාව එතනට රීප්ලේස් වෙනවට”

පිළි ගැනීමේ අසුන හිමි සුරඟන කීවා ය.

“ඇත්තටම මෙහෙ මොකද වෙන්නෙ…”

මම ඉතා පැහැදිලි ව ඇගෙන් ප්‍රශ්න කළෙමි.

“ආර් කේ එනව. එයා තමයි කස්ටමර්”

ඇය කලබලයෙන් කීවා ය. දේහධාරී පුරුෂයෙකු බරට අඩි තබා ඇවිද එමින් සිටියේ ය. සුරූපිනියක ඔහු පසු පස ඉක්මන් ගමනින් ආවා ය.

“රෝෂි”

පිළිගන්නා සුරඟන රහසිගත ස්වරයකින් කතා කළා ය. සුරූපිනිය නො කැමැත්තෙන් සේ නතර වූවේ කලබලයෙනි.

“මෙව්නා. කස්ටමර් ට ඉන්ට්‍රඩියුස් කරන්න කිව්වා.”

සුරූපිනිය ගේ මූණ අඳුරු විණි. ඔවුන් ගේ සන්නිවේදන භාෂාව වෙනස් ය කියා ඒ අව් අස්සේ මට සිතිණ.

“යන්න”

සුරඟන ඉඟි කළා ය. වෙන්නේ කුමක්දැයි දැන ගන්නා කුහුල් සිත ට ඉඩ දෙන්නට හෝ මා යා යුතු යයි මම ක්ෂණික ව තීරණය කළෙමි.

5 3 votes
Article Rating
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
දිල්හාරා ❤️
19 days ago

අයියෝ අහිංසක කෙල්ල ❤️

Chamira
18 days ago

👍