මුතු බෙලි හදවත – 39වන කොටස

සේනක ට සිය හෘදය සාක්ෂියෙන් ගැලවිය හැකි වූයේ නැත. ඔහු තදින් පසු තැවුණේ ය. විඳවූයේ ය. අත දරුවෙකු දෙස නො බලා ම ඔහු ව ප්‍රතික්ෂේප කොට පලා යා හැකි වූවා ට, උස් මහත් වූ පුත්‍රයෙකු යනු එසේ ඉවත බලා ගත හැකි කෙනෙකු නොවේ. තාත්තා කෙනෙකු හට උස් මහත් වූ පුතෙකු කියන්නේ රජෙකු මෙනි. සේනක විකුම් ගැන හිතුවේ එසේ ය. ඔහු වෙනුවෙන් හෙතෙම  ඕනෑ ම දෙයක් කළේ ය. පොඩි කාලේ සිට ම ඉල්ලන ඉල්ලන දේ දුන්නේ ය. නො දිය යුතු දේ පවා දුන්නේ ය. විකුම් මුරණ්ඩු, හිතුවක්කාර ළමයෙකු වූයේ සේනක ඔහු අරබයා දැක්වූ සහනශීලී ප්‍රතිපත්තිය නිසාම ය. පිරිමියෙකු වශයෙන් සමාජය වැරදි යයි සම්මත කරන ලද දේ කොතෙක් කළ ද තමන් හොඳ තාත්තෙකු යයි සේනක නිතර සිතුවේ ය. විකුම් ලොකු වෙත්දී, එක දවසක් ඉවත බලා ප්‍රතික්ෂේප කළ ගීතා ගේ ළමයා ව සේනක ට අමතක වී ගියේ ය. මුලදී එය අමතක කළ යුතු දෙයක් වුණත්, පසු ව අමතක වී ගිය දෙයක් විය.

සේනක ට යළි ඒ සිද්ධිය මතක් වූයේ පවා ඊයේ ගීතා ගෙදරටම ඇවිත් කළ හෙළි දරව්ව නිසා ය. ඔහු ත් නො දැන ඔහු ගේ ලේ තවත් තැනක වර්ධනය වී තිබේ.

“කොහොමද නොදැන වෙන්නෙ..”

සේනක ගේ ම ඇතුළු හද ගැබ දත් විළිස්සා ගෙන ඔහු වෙත කඩා පැන්නේ ය.

“දැනගෙනයි නොදන්න ගාණට හිටියෙ. දැනගෙනයි අමතක කරල හිටියෙ”

මේ වගේ රහස් කෙනෙකු මියෙන තුරු හෙළිදරව් නොවී ම තියෙනවා නම් හොඳ යයි සේනක ට සිතිණි. අතීතයේ ගීතා ගේ කුසින් උපන් ඒ ළමයා ව ඔහු සිය හදවත තුළ මරා දමා ජීවත් වුණේ ය. විකුම් උපන් වෙලාවේ වුව ඔහු ඒ බව මතක් වෙන්නට සිය හදවතට ඉඩ දුන්නේ නැත. ඒ රහස ඉතින් මුළු ලෝකයට ම රහසක් ව අතීතයේ වැළලී ගොස් හමාර යයි සිතීම ඔහු ට සහනයක් විය.

නමුත් කිසිත් අමතක නොකර ම සොබා දහම ඒ ප්‍රාණියා ට වැඩෙන්නට හැර තිබේ. සේනක ගේ පුත්‍රයෙක්! තවත් විජයවික්‍රම කෙනෙක්!!

නමුත් තවත් විජයවික්‍රම කෙනෙක් වෙනවාට වඩා ජීවිතය එතෙකින් හමාර වෙන එක හොඳ යයි දුමාල් සිතුවේ ය.

“මං ඒ වගේ මනුස්සයෙක්ගෙ ජාන තියෙන මිනිහෙක් කියල හිතනකොටත් මට මං ගැන අප්පිරියයි ආදි”

ඔහු ආදිත්‍යා ට කීවේ ය. ආදි දුමාල් ගේ හිස පිරිමදිමින් සිටියා ය.

“අර ගිරව් දෙන්නගෙ කතාව මතකනෙ…ආරාමෙ පැත්තට වැටුණ ගිරවගෙයි හොරු කණ්ඩායම ඉන්න පැත්තට වැටුණ ගිරවයි…කෙනෙක්ගෙ චර්යාව තීරණය වෙන්නෙ එයාගෙ දෙමව්පියොයි ජාන සංයුතියයි මත නෙවෙයි දුමාල්. එයා ආශ්‍රය කරන සමාජය මත. ඔයා ඔයාගෙ අම්මගෙ දරුවෙක්. අපි එහෙම හිතමු”

නමුත් ඒ වගේ පහසුවෙන් හිතන්නට පුළුවන් කමක් දුමාල් ට නැත. කොහොමටත් තුවාලයේ වේදනාව දැනෙන්නේ තුවාලය තියෙන මිනිසාට යයි කතාවක් තිබේ.

“මට අම්ම එක්කයි තරහ දැන්”

ඔහු ගේ ඇස් වල ආත්ම වේදනාවක සලකුණු විය.

“මොන එහෙකටද ඒ මිනිහගෙ කකුල් දෙක ළඟට ගියේ. මෙච්චර කල් නොහිටිය තාත්තෙක් කියල මිනිහෙක් දැං මට මොකටද…”

“දුමාල්…අම්ම කෙනෙක්ගෙ හිත ගැන මං අමුතුවෙං ඔයාට මුකුත් කියන්න ඕන නෑනෙ…ඔයාට සේනක විජයවික්‍රම මෙහෙම දෙයක් කරල තියෙද්දි…ඔයාගෙ ජීවිතේ ගැන තව දුරටත් අවදානමක් ම ඉතුරු වෙලා තියෙද්දි…ඔයාගෙ අම්ම ඒ මනුස්සයගෙ කකුල් දෙක ළඟ වැඳ වැටිල ඔයාව ඉල්ලනව මිස මොනා කරන්නද…අම්ම වෙන කාගෙං පිහිට ඉල්ලන්නද…එයා ඒ ගමන යන්න තීරණය කරන්න ඇත්තේ වෙන කරන්න දෙයක් නැති කමට දුමාල්…”

“සේනක මාව එක පාරිංම මරල දැම්මනං මීට වැඩිය හොඳයි”

හැම විට ම ජීවිතය කියන්නේ අප හිතන දේ ම නොවේ. අප පතන දේ ම ත් නොවේ. අපට ලැබෙන දේ ය. අපට උරුම දේ ය. තාත්තා කෙනෙකු නැති කම ගැන හදවතින් හඬා වැටුණු දවස් ඕනෑ තරම් දුමාල් ගේ පැටි වියෙහි වූයේ ය. ඇල අයිනේ ගෙවල් පේළියේ ළමයින්ට පවා තාත්තලා සිටියෝ ය. ඒ අතින් ඒ හැම ළමයෙකු ම ඔහු ට වඩා පොහොසත් යයි දුමාල් කී වරක් නම් සිතා ඇත් ද?

නමුත් ඔහු ට කවදාවත් ම තාත්තා කෙනෙකු නො සිටියා නම් හොඳ යයි, මේ වෙලාවේ ඔහු ආවේගයෙන් යුතු ව හිතුවේ ය.

“මුකුත් හිතන්නැතුව ඔයා සනීප වෙන්න. ඔයාගෙ අම්මට වගේම මගෙ හිතටත් සැනසීමක්…දැන් ඉතින්වත් ඔයාට කරදරයක් නෑ කියල හිතන එක”

ආදිත්‍යා එසේ කීවේ අවංකව ම ය.

ඇය ට යමක් මුල සිට ම සිතිය යුතුවා සේ දැනිණ. ඉරණම කියන්නේ සරලව ගත හැකි නීතියක් නොවේ. එය වූ කලී විශ්ව නීතිය ය. මිනිසුන් විසින් හදා ගත්තා වූ නීති වලින් වසං විය හැකි ය. නමුත් විශ්ව නීතියෙන් සැම දා වසං වී සිටිය නො හැකි වේ.

“මොනා වූණත් අපේ මින්දුල වාසනාවන්තයි නේ අක්කෙ…”

ආමන්තා එසේ ඇසුවේ මින්දුල ගේ හිස පිරිමදිමිනි.

“හිතාගෙන හිතාගෙන යනකොට දුමාල් අයිය ගැනත් පුදුම හිතෙනව නේ…”

“ඇයි…”

“දුමාල් අයියයි විකුම් අයියයි ගත්තොත් අහසට පොළොව වගේනෙ අප්ප. මට හිතෙනව ලොකු වෙනකොට මින්දුල කොයි වගේ වෙයිද කියල…කෙළවරෙංම සේනකවත් තියල බැලුවහම…ඇත්තටම හරි අමුතුයි නේ…”

“ජීවිතේ කියන්නෙ ඒ අමුතු දේට තමයි නංගි. අපි මේ ලෝකෙට එන්නෙ ඒ අමුතු කතාවෙ කොටසක් වෙලා යන්න. ඉන්න ටික කාලෙදි කරන දේවල් අපි වටේ ඉන්න අයට කොච්චර බලපෑම් කරනවද කියන එක ගැන තමයි මනුස්සයො විදිහට අපි බලා ගන්න ඕනෙ. අනිත් අයට පොඩියට හරි හොඳ බලපෑමක් වෙන්නයි අපි පුළුවන් තරං මහන්සි වෙන්න ඕනෙ. ඒත් සේනක විකුම් වගේ අය කළේ ම ඒකෙ අනිත් පැත්ත. අනිත් මිනිස්සුනට මොන වළක් කපල හරි ඒගොලො ගොඩ යන විදිහක් තමටි හැමදාමත් ඒගොල්ලො බැලුවෙ. දැං බලන්නකො…සේනක දුමාල්ව ප්‍රතික්ෂේප කරල ඇවිත්. විකුම් මින්දුලව ප්‍රතික්ෂේප කරල ගියා. මේ මිනිස්සු තාත්ත කියන වචනෙ තේරුමවත් දැනං හිටියෙ නෑනෙ නංගි”

ඒ ලේ නෑකම ම ඇති මුත් දුමාල් වූ කලී එවන් පවිටු මිනිසෙකු නොවන බවට විශ්වාසයක් ආදිත්‍යා ගේ සිත් හි වේ. ඒ විශ්වාසය කවදා කොහොම ඇති වූවක් ද කියා කිව නො හැකි ය. ඔවුන් මේ ආත්මයේ දී මේ විදිහේ සබඳතා සහිත ව උපදින්නට ඇත්තේත් පෙර අත් භවයන් හි තිබූ සසර හුරුවක් මත යයි සිතන්නට ආදිත්‍යා කැමති වූවා ය. නැත්නම් ඇය කොහේදෝ සිට සඳසීලී විසින් තෝරා ගනු ලැබ, විකුම් ගේ පතිණිය වී, මින්දුල වන් ඔටිසම් දරුවෙකු ලැබ, කිසි සේත් කිසිවෙකුත් නොදැන සිටි පරිදි විකුම් ගේ ම සොයුරා වන දුමාල් සමගින් පෙමින් බැඳේවිද?

මේ සියලු සංකීර්ණ සම්බන්ධතා නිසා වැඩිපුර ම බිය වී සිටියේ ලලිතා ය.

“අනේ ලොකූ මේව කොතනිං කොහොම කෙලවර වෙයිද කියල මටනං හරි බයයි. ඔය ලොකු ලොකු මිනිස්සු ප්‍රශ්න විසඳන විදිහ හරි වෙනස්. එක අතකට දික්කසාදෙ ලැබුණ එකේ ලොකූ ඔය පවුල් වලින් ඈත් ම වෙලා ගෙට වෙලා ඉන්න. මොන්ටිසෝරි ඕනත් නෑ. මං ගේක වැඩකාරකං කරල හරි ලොකූටයි දරුවටයි කන්න දෙන්නං”

අම්මා ගැන මහත් ශෝකාකූල හැඟීමක් ආදිත්‍යා තුළ ඇති විය. පහුගිය කාලය පුරා ම ඈ සිතුවේ අම්මා ඇය ට ආදරේ නෑ කියා ය. ඈ සිතන්නේ සිය බාල දරුවන් දෙදෙනා ගැන පමණක් ය කියා ය. නමුත් ඇගේ සිත ආදිත්‍යා මැනවින් දුටුවේ අද ය.

“දුමාල් කියන්නෙත් සේනකගෙ පුතෙක්මයිනං…විකුම්ට වැඩි දෙයක් එයාගෙන් වුණත් බලාපොරොත්තු වෙන්න බෑනෙ. සර්පයගෙ පැටව් සර්පයොම තමයි”

ආදිත්‍යා ගේ හිත නො රිදුණා නොවේ. නමුත් ඕ ඒ ගැන ලලිතා ට වැරදි පටවන්නට නො ගියා ය. මිනිසුන් හිතන්නට පුරුදු වී ඇති ක්‍රමයක් තිබේ. මිනිසුන් ජීවත් වන්නට පුරුදු වී ඇති රාමුවක් තියේ. ඔවුන් හිතන්නේ නිවැරදි වන්නේ ඒ රාමුව තුළ වන දෑ පමණක් බවයි. ඇතැම් විට එ රාමුවෙන් පිටත වන දෑ විශ්වාස කරන්නට තරම් ඔවුන් ගේ දැනුම හා අත්දැකීම් මෝරා වැඩී නැත.

ආදිත්‍යා අම්මා ට ගිරා පැටවුන් දෙදෙනා ගේ කතාව කියන්නට නො ගියා ය. නමුත් ඇයට අම්මා ගෙන් ඇසිය යුතු දෙයක් තිබිණ.

“ඒ කියන්නෙ මගෙ පුතත්…සර්ප පැටියෙක්මද අම්මෙ…”

ලලිතා සතුව දෙන්නට පිළිතුරක් වූයේ නැත. ලොකු දුව මේ කෙටි ජීවිත කාලය තුළ සිත රිදුවා ගත් වාර ගණන වැඩි බව ඇය දනී.

රෝහලෙන් නිදහස් කිරීමෙන් පසුව යළිත් සිය බෝඩිමට යන්නට දුමාල් උත්සාහ කළේ ය. නමුත් ගීතා ට උවමනා වූයේ ඔහු ව ඇගේ ගෙදර ගෙන යන්නටයි.

“මට දැං අමාරුවක් නෑ. වැඩට යන්නැති නිසා තව ටික දවසක් කාමරේට වෙලා ඉන්නනෙ තියෙන්නෙ”

“ඇයි පුතේ හිතුවක්කාර වෙලා අම්මගෙ පපුවට තවත් ගින්දර දෙන්න යන්නෙ…ඇයි පොඩ්ඩක් මේ අම්ම කියන දේට කන් දෙන්න බැරි…”

ගීතා විස්සෝප වූවා ය. ටික සිනකට අම්මා ළඟ හිඳිනා එක හොඳ යයි ආදිත්‍යා ද දුමාල් ට කියා සිටියේ තවමත් පහ නොවූ ඇගේ සිතේ දෙගිඩියාව නිසා ය. සේනක කියන්නේ මොන වගේ මිනිසෙකු දැයි, ඉතා කෙටි කාලයකදී ආදිත්‍යා තේරුම් ගත්තා ය. ඔහු වූ කලී සිය පුත්‍රයා ගේ බිරිඳ ගැන වුව ගෞරවයෙන් හිතන්නට බැරි වූ, ඒ තරමට සිය හැඟීම් පාලනය කළ හැකි බුද්ධියක් හිමි නැති මිනිසෙකි. එහෙව් මිනිසෙකුට කළ නො හැකි යයි දෙයක් තිබිය හැකි ද?

ලලිතා ගේ ජීවිතයේ ඈ වැඩි ම සතුටකින් සිටි දින වූ කලී දුමාල් ව රෝහලේ සිට මුදලාලි ගේ ගෙදරට කැටිව ගිය දිනය ය. දුමාල් ඈ ළඟ උන්නේ ඔවුන් ගේ ජීවිත වල ඉතාමත් කටුක වූ සමයේ දී ය. ඔවුන් දුක් ම වැළඳූ සමයේ දී ය. හොදි මාළු කිහිපයක් සමග දැන් ඇය බත් වේලක් කන්නී ය. එසේ කළ හැකි වූ දා පටන් දුමාල් ඇගෙන් ඈත් වී හිඳී.

ජීවිතයට අහිමි ව තිබූ වසර කිහිපය නැවත හිමි වූ සතුටෙන් ඔද වැඩී ගීතා දුමාල් ට ඇප උපස්ථාන කරන්නට වූවා ය. ඔහු ඈ ළඟ දැවටී උන් අතීතයේ දී සේ අපමණ දාරක ස්නේහයෙන් ඔහු ගේ බත් පත කැව්වා ය. තේ ටික තනා දුන්නා ය. බෙහෙත් ටික අතට දුන්නා ය. රෙදි ටික සෝදා දුන්නා ය. නමුත් මේ සියල්ල කෙරේ නො රිස්සුමට පත් කෙනෙක් ඒ වහළ යට නො සන්සුන් ව සිටියේ ය. ඒ වූ කලී මුදලාලි ය.

“මං ඔය කරදර වල පැටලෙන්න කැමති මිනිහෙක් නෙමෙයි. ඔය ඇමතිල මන්ත්‍රීල එක්ක ගනු දෙනු මගෙ කොහොමත් තිබිල නෑ. මේ වහල යට මට නිදහසේ ඉන්න නැති වෙයිද කියලයි දැං මට බය”

ඔහු කුටු කුටු ගාමින් ඔවැනි කතා කීවේ ය. ගීතා උත්සාහ කළේ එවන් කතා නෑසුන සෙයින් ඉන්නට ය. මුදලාලි ඇය ට වො සැලකුවා නොවේ. ඇගේ කරදරකාර ජීවිතය නිමා වූයේ ඔහු හා විවාහ වීමෙන් පසු ය. නමුත් එවන් විවාහයකට යොමු නොවී, දුමාල් දෙපයින් හිට ගන්නා කාලයේ දී ඔහු ත් එක්ක ඉන්නට තිබුණා නේද කියා ඇයට හිතුණ අවස්ථා ඕනෑ තරම් ය. මුදලාලි ඇය ව විවාහ කර ගත්තේ සිය දරුවන් ද දීග දී ඔහු සතු වස්තුව දේපල ඔවුන් අතරේ බෙදා දීමෙන් අනතුරු ව ය. ව්‍යාපාර පවා දැන් පරිපාලනය කරන්නේ පුතුන් ය. හිඳිනා මේ නිවස ද පුතෙකු ගේ නමින් ලියැවී තිබේ. වයස්ගත වීමත් එක්ක එන ලෙඩ දුක් වලට මුදලාලි ට බෙහෙත් හේත් කිරීම හා උපස්ථාන කිරීම ගීතා ගේ රාජකාරිය බවට පත් වී තිබේ.

මින් පෙර දැක නොමැති ඔහු ගේ ජීවිතයේ පැති කඩක් ,දුමාල් ගේ පැමිණීමෙන් පසු ඇය ට පෙනෙන්නට ගත්තේ ය. තමන් හිත රිදවා ගැනීම ගැන නොව ගීතා බිය වූයේ මුදලාලි ගේ වචනයක් නිසා දුමාල් ගේ හිත රිදේවිද කියා ය.

මේ සියල්ල අතරේ මාධ්‍ය වලට වාර්තා කරන්නට අලුත් ම පුවතක් එක රැයක් තුළ බිහි විය. එනම්, ප්‍රකට නිරූපිකාව ශිරෝෂී කෝටිපති ව්‍යාපාරිකයෙකු සමග හදිසියේ ම විවාහ ගිවිස ගත් බවයි.

SmartLady.lk ලිපියක් ඇසුරින් අසන මෙම සරල ප්‍රශ්ණයට නිවැරදිව පිළිතුරු දීමෙන් වටිනා තෑගි දිනා ගැනීමට දැන් ඔබටත් අවස්තාව. මේ මාසයේ Cooking Recipes ඇසුරින් පැනයක් ඔබට ලැබෙනවා.


Cooking Recipes මේ ලින්ක් එකෙන් මේ මාසයේ ප්‍රශ්නයට පිළිතුරු පහසුවෙන් සොයා ගන්න පුලුවන්.


ප්‍රශ්ණය - මුරුංගා තේ සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය මොනවාද?

අනෙක් කොටස්

More Stories

Don't Miss




Latest Articles

සැරිසරන්නී -16

මගේ වත මතට සිනහවක් එන්නටත් ඒ සිනහව වියැකී යන්නටත් ඒ හැටි වෙලාවක් ගියේ නැත. ඒ කාලය පුරා රවීන් මදෙස ම බලා සිටියේ...

අතීත සුළඟ.

බිනරි බොහෝ වෙලාවක් තමන්ගේ ඔන්ලයින් බිස්නස් පේජ් එකට ආව මැසේජ් එකක් දිහා බලාගෙන හිටියා.ඒ පණිවිඩය නාවානම් කියලා ඇය දෙසිය වෙනි පාරටත් හිතන්න...

මතක දිගහැරුම 103 – අප්සාරි සිංහබාහු තිලකරත්න

එකසිය තුන්වන දිගහැරුම ,කොළඹ ප්‍රදේශය පුරාම හෂාන් නොගිය තැනක් නැති තරම් විය.විශාල වශයෙන් ඡන්ද රැස්වීම් පැවැත්වුණු අතර ඇතැම්...

ගැබ් ගැනීමෙන් තොරව ලිංගිකව එක් වීමට සුදුසු දින යෝනි ශ්‍රාව ඇසුරෙන් හඳුනා ගනිමු.

ආර්ථව චක්‍රයේ එක් එක් කාලයේදී කාන්තාවන්ගේ යෝනි මාර්ගයෙන් විවිධ ශ්‍රාවයන් පිටවෙනවා. මෙම ශ්‍රාවයන් සරු දින ඇසුරෙන් හඳුනාගෙන, ඒවා මග හැර...

නිලැසි -24

" බබා එහෙනම් ලෑස්ති වෙන්න ගෙදර යන්න.."තිසරු එසේ පැවසුවේ රාත්‍රී ආහාර ගන්නා අතර ය.හදිසියේ හටගත් රණ්ඩුවක නිමාව එසේ...