fbpx

පතොක් මලක ප්‍රේමය -5

“කෝ චරිත?”

රශාන් මට සමීප වී විමසී ය.මම උරහිස් ගැස්සුවෙමි.චරිත කොහේ හෝ සැඟවී මට පාඩමක් උගන්වන බොලඳ රංගනයක නිරත වන බව මට සහතික ය.

“ඌ අද උදෙන්ම යන්න ගියා.ඒකයි ඇහුවෙ.”

රශාන් මට අමතන්නේ සැරෙනි.මම මගේ පුරුදු යක්ෂ බැල්ම නෙත්වලට ගතිමි. මෙවැනි ගැටළු විසඳන්නට අහිංසක කෙල්ලකට නොහැකි ය.

“එයාට මැනේජ්මන්ට් එකේ කෙල්ලක් ඉන්නවනෙ.තව අර වීකෙන්ඩ් කෝස්වලට එන නිළි බට්ටියෙක් පස්සෙත් යනව.ඔය ප්‍රශ්නෙට උත්තර මම දන් නෑ.උන් දෙන්නගෙන් අහගන්න..යන්නං.”

චරිත ඉන්පසු දින දෙකතුනක්ම පෙනෙන්නට සිටියේ නැත.ඔහු කොහේ යන්නට ඇත්දැයි මට ගැටළුවක් නොවිණි.චරිත වැනි සෙල්ලක්කාරයන් කොහොමටත් මේ මහ පොලොවට බර වැඩි බව සිතමින් මම ඔහුගේ කරදරය නිමා වීම ගැන සතුටු වීමි.

“මං ආයේ මෙහෙ පදිංචියට එනව ආන්ටී..නැන්දලගෙ නංගිගෙ එක්සෑම් ඉවරනෙ.”

චරිත නිසා මා හා අමනාප වී ඥාති නිවසකට ගිය චමත්කා කදමලු බැඳගෙන අප වෙත ආවා ය.ඇන්ටී ඇගේ අගනා මල් වගාවෙන් හිස ඔසවා හිනැහුණා ය.නිවසේ සම්පූර්ණ ගාස්තු අප ගෙවන්නේ බෙදාගෙන ය.ඉතින් මෙතැන සිටින කෙල්ලන් ගණන ඇයට සැබෑවටම වැදගත් නැත.නැවතත් අපේ කුඩා ඇනෙක්සිය ආදරය සහ ප්‍රීතියෙන් පිරී යන්නට පටන් ගැනීම මට මහත් සතුටක් විණි.පාඩමක් ඉගෙන ගත් චරිතව පහසුවෙන් අමතක කර දමන්නට චමත්කාට හැකි වීම මොනතරම් සැනසීමක්දැයි මම සිතුවෙමි.

“පසන් අයියා වගේ මාර කොල්ලෙක් ළඟට ඔයාට යන්න තිබ්බ එකම පාර හොඳට එක්සෑම් කරගන්න එක.ඔයා ඒක කරගත්තේ නෑනෙ.දැන් ඉතිං එයා එයාගේ ලෝකෙ හදා ගන්නකොට ඇත්තටම ඔයා කරන්න ඕන අයින් වෙලා ඉන්නෙක..”

මගේ මිතුරියන් මා පසන් අහිමි වී විරහවෙන් උමතු වී සිටියදී එපමණ බණ දේශනා කරන්නට හපනියන් විණි.ඔවුන් මගේ වේදනාව අසා සිටියේ නැත.අත අත නෑර යන්නට යුවතියකට ආරාධනා කර ඈ අතරමඟ අතරමං කර දැමූ විට ඇය උමතු වී යන්නට නොහැකිදැයි පසන් නම් අනාගත වෛද්‍යවරයා අමතක කර දැමූ විත්තිය මට උහුලන්නට හැකි ය.නමුත් මගේම මිතුරියන් ඔහුගේ ක්‍රියාව සාධාරණීකරණය කිරීම මා කැබලි සහසකට බිඳ දැමී ය.

මිත්‍රත්වය යනු තමන්ගේ මිතුරා සමඟ රැඳීම ය.චමත්කා ඉසිලූ දරුණු වේදනාව චරිතට දෙන්නට මට සිතුණේම එනිසා ය.

“දැන් සති දෙකක් තිස්සෙ මේ ගෘප් ප්‍රොජෙක්ට් එකේ චරිතගෙ පාට් එක කම්ප්ලීට් වෙනකං මං බලාගෙන ඉන්නව.මේ මනුස්සයා නෑ.මැසේජ් එකක් දෙන්න විදියකුත් නෑ.මං කම්ප්ලේන් කරන්න යන්නෙ..”

දිනක් හංසනී මහත් කෝපයෙන් කෑගෑවා ය.ගිහාන්, චරිතගේ මිතුරු පිරිසේ වඩා සන්සුන් හාදයා ඈ වෙත ආවේ එවිට ය.

“චරිත මෙහෙන් ගියා හංසි.ඌ කැන්ඩි බ්‍රාන්ච් එකෙන් ඩිග්‍රි එක කම්ප්ලීට් කරනවලු.ආයේ එන්නෙ නෑ..”

හංසනී කෝපත් වූයේ ඇගේ කණ්ඩායම් ව්‍යාපෘතිය ගැන ය.අනෙක් අය මදෙස හැරෙද්දී මම ඉතා උස් හඬින් සියල්ලන් ඇමතීමි.

“එයා එකපාර කරපු අෆෙයාස් කීපයක් මට අහු උනා.මූණ දෙන්න බැරුව ඇති.ඔහොම තමා ඉතින් ඕවා.”

එපමණ ය.මුදු හිතක් කඩා දැමීමේ වරදටත් ප්‍රේමය සමඟ තවත් දේවල් පටලා ගැනීමේ වරදටත් චරිත එසේ වන්දි ගෙවූයේ ය.

දෙසතියක් පමණ ගෙවී ගිය ද ධීර දක්නට ලැබුණේ නැත.ඔහු ඒදැයි බලන්නට මම වැඩිවැඩියෙන් ආහාර ඇණවුම් කර බැලූයෙමි.පහළ මාලයෙන් ද ගෙඋයනෙන් ද හඬක් ඇසෙන සෑම මොහොතකම කවුළුවෙන් එබී බැලුවෙමි.නමුත් ඔහු නොපැමිණියේ ය.ඔහු කොහේදැයි මාලක අයියාගෙන් අසන්නට තරම් මට ශක්තියක් නොවිණි.එක් දිනක් දුටු තරුණයෙක් ගැන එහෙම අසන්නේ කෙසේද?

පිළිකා රෝහලේ නැවතී හිඳින ඥාතිවරියක බලන්නට නිවාඩු දිනයක කේතකීට උවමනා වූ නමුත් මා රෝහල් පරිසරය දැඩිව අප්‍රිය කරන්නියක බව ඈ දැන සිටියා ය.ඒ වෛද්‍යවරියක වීමේ සිහිනය බිඳී ගිය වේදනාවෙන් බව දන්නා කේතකී ඒ ගමනට චමත්කා සූදානම් කරගත්තා ය.ඔවුන්ට යන්නට හැර මම නගරය වෙත ආවේ අම්මාගේ උපන්දිනයට සුබ පැතුමක් තැපෑලට දමන්නට සිතමිනි.තැපැල් කාර්යාලයෙන් එළියට ආ මට දවල්ට කන්නට දෙයක් ඕනෑ වග සිහි විණි.මම සති පොළ පසු කරගෙන හෝමාගම නගරය දෙසට ආවේ කෑම ගන්නට තැනක් සොයමිනි.හදිසියේ නෙත ගැටුණු නාම පුවරුව අප නිතර ආහාර ඇණවුම් කරන බොජුන් හලක වග සිහි වී මම ඒ තුළට ගියෙමි.

මා එවෙලේ ධීර දුටුවේ අහම්බයෙනි.ඔහු අර කබල් මෝටර් සයිකලය නවතා අවන්හල තුළට ආවේ ය.මම මුදල් කවුන්ටරයේ ය.හැරී හිනැහෙන්නට ප්‍රථම ඔහු ආහාර ඇති ස්ථානයට ගොස් බත් බෙදා ගන්නට පටන් ගත්තේ ය.මා මුදල් වෙනුවට කාඩ් පතක් දිගු කිරීම ගැන මුහුණ කොරහක් කරගෙන හුන් ගැහැනිය රකුසියක වෙස් ගෙන ඔහුට හඬ ගැසුවේ ඒ මොහොතේ ය.

“තමුසෙට හැම වෙලාවෙම කියනවනෙ ඔතන තියන හොඳ හොඳ ජාති බෙදා ගන්න එපා කියල.ඇතුළට ගිහින් බෙදා ගන්නවකො..”

ඇය තවත් බොහෝ දේ කියන්නට පෙර ඔහු බිඳ වැටුණු මුහුණින් පිට විණි.ඔහු මා දුටුවා ද නොදන්නා සේ හුන්නා ද මට පැහැදිලි නැත.නමුත් මම වහා කාඩ්පත පසුම්බියට ඔබාගෙන ආපසු හැරුණෙමි.

“මේ මිස්..කාඩ් එක දෙන්න..මේ කෑම එක?”

ගැහැනිය කවුන්ටරයේ සිට කෑගැසුවා ය.මම නැගිය හැකි අවඥා සහගතම සිනාවක් දෙතොලට ගෙන ඈ ධීර ඇමතුවාට වඩා බොහෝ උස් හඬකින් ඇය ඇමතුවෙමි.

“ඔයා අර බෝයිට කියපුවගෙ හැටියට මෙතනින් කන්න බයයිනෙ.ඇතුළෙ එකක් එළියෙ එකක්.”

මිනිසුන් හැරී බලද්දී මම පිටතට ආවෙමි.ඔහු කොහේ යන්නට ඇත්දැයි සිතද්දී ඔහු වැසුණු රේල් පාර අසලට වී බලා සිටියේ ය.දුම්රිය යන්නට ගිය පසු ඔහු අතුරුදහන් වන බව දන්නා මම වහා ඔහු අසලට ගියෙමි.

“මේ..අර ධීර අයියා.”

ඔහු කළුව ගිය මුහුණින් හිස වැනී ය.සෑම කොල්ලෙකුටම මොනවා හෝ ඇනුම් පදයක් කියන්නට අවස්ථාව එනතුරු බලා සිටින සාරදී ගිනි අව්වේ වාහන තදබදය මැදට වී නොදන්නා කොල්ලෙකුට තමන් කවුදැයි සිහිපත් කරමින් හුන්නා ය.ඇය ගැන අනුකම්පා සිතී මෙන් ධීර මෝටර් සයිකලය පසෙකට ගත්තේ ය.

“මං අයියා එනකොට අර හොටෙල් එක ඇතුළෙ හිටියෙ..මං කෑම එකත් දාලා ආව..ඔයා ඕඩර් එකක් ගන්න ගිය කෑම එකක්ද..ඔහොම කතා කරන උන්ගෙ මූණ කැඩෙන්න ගහන්න ඕන..”

ධීර වික්ෂිප්ත දෑසකින් මදෙස බලා සිටියේ ය.නොනවත්වා කියවන කෙල්ලකට වඩා දැන් මෙතැනින් ගිය දුම්රියේ හඬ අගනා බව ඔහු සිතනවාවත් ද?

“නංගි කෑම ගත්තෙ නැද්ද..අර එහා පැත්තෙ තියනව හොඳ කඩයක්..”

ඔහු එසේ කියද්දී මම ඔහු දෙස බැලීමි.

“මට කේන්ති ගියා..දැන් මොකුත් කන්න ඕන නෑ.මං බෝඩිමට යනව.එතකොට අයියගෙ ඕඩර් එක කැන්සල්ද අද?”

ඔහු තාර උණුව යන මහා මාර්ගය දෙස බලා සිටියේ ය.අනතුරුව මදෙස බැලුවේ ඔහුට පමණක් උරුම ළතෙත් දෑසිනි.

“අද මං ෆුඩ් ඩිලිවරි යන් නෑ නංගි.කැම්පස් ඉඳල ආවෙ.දවල්ට කන්න කියලා හැදුවෙ..”

ඉතින් ඔහු එතැන කෑම බෙදා ගන්නට ගියේ මොන එකකටදැයි මම සිතුවෙමි. නමුත් ඒ කුහුල වැඩි වෙලා තිබුණේ ද නැත.

“ඒ කඩේ අපේ.ඒ කැෂියර් හිටියේ අම්මා.ඔහොම තමයි ඉතිං..කෑගහනව..”

ඔහුගේ දෑස් බොරව යද්දී මට මේ නොදන්නා තරුණයාගේ අතකින් අල්ලා ගන්නට තරම් ඕනෑ විය.කෑම කන්නට හොර කරද්දී බිත්තර බදින,කට්ලට් හදන අපේ අම්මා සහ තමන්ගේ දරුවා බත් පත බෙදා ගනිද්දී නොදන්නා මිනිසුන් ඉදිරියේ ඔහුට ලැජ්ජා කළ ගැහැනිය මම තරාදියකට දමා සිතින් කිරා බැලීමි.වෙළඳාමේ ලාබ පාඩු ගැන මම නොදනිමි.එහෙත් අම්මා කෙනෙකුට එසේ හැසිරෙන්නට හැකි ද?

“අර අතන කෑම හොඳයි නංගි..එතනින් ගන්න.මං යන්නං..”

ඔහු ඒ පිටවෙන්නට හදන්නේ බඩගින්නේ දැයි අසන්නට මට ඕනෑ විණි.ඔහු මදෙස නොබලාම යන්නට ගියේ ය.මහා මාර්ගය අසල ගිනි අව්වේ හිටගෙන මම බොහෝ වෙලා නිනව් නැතිව හුන්නෙමි.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content

error:
1
0
Would love your thoughts, please comment.x
()
x