fbpx

පතොක් මලක ප්‍රේමය -10

ඒ රාත්‍රිය මට නින්ද අහිමි රාත්‍රියකි.යාන්තමට ඇහැ පියවෙන ඕනෑම මොහොතක පසන් ඇස් අද්දරට වී හිනැහෙන්නට පටන් ගත්තේ ය.දැඩි හිස කැක්කුමක් සෑදෙන විට ඔහුට ඇමතුමක් ගෙන ගී ගයන්නට යැයි ඉල්ලූ හිරිමල් යුවතිය මට සිහි විණ.ඔහු ගයයි.හැමදාමත් ගැයෙන්නේ එකම ගීයකි.මම ජංගම දුරකථනයට ඒ ගීතය ගයන්නට හැර දෑස පියා ගතිමි.

“නෙතින් ගලනා කඳුළු වැල් ගංගාවෝ..
සවිය දෙනවා පරදන්න මායාවෝ..
මල් රොනින් මලින් පිරි දිනෙන් දින ගෙවේ..
ආදරේ සදා සුසුම් නොවේ..”

මට දුරකථනය පොළොවේ ගසන්නට තරම් කෝපයක් ඉපදිණ. ආදරේ සදා සුසුම් නොවේයැයි එදවස මිමිණූ පසන් සරනිව අතේ එල්ලාගෙන ආ අන්දම සිහි වෙද්දී හිස ගිනි ගන්නට පටන් ගනී.මම හිස අත් බැඳ ගතිමි.තව සුළු මොහොතකින් මට උණ ගන්නා බව ද මම දනිමි.

සිහියත් අසිහියත් අතර රැය ගෙවෙන්නට ඇත.කේතකී උදෑසනම මගේ නළලට අත තබද්දී විවිධාකාර සිහින දකිමින් සිටි මම නෙත් හැර බැලුවෙමි.

“අනේ චමා..මේකිට හොඳටම උණ..”

ඇය හඬ ගෑවා ය.චමත්කා පැමිණ මගේ හිස මෘදුව පිරිමදින්නට ගත්තා ය.

“ආයේ ඩොක්ට ගාවට යං? ” ඇය මගෙන් අසන්නේ ආදරයෙනි.පසන්ගේ නික්මීම සමඟ මම මනෝ වෛද්‍යවරයෙක්ගේ පිළිසරණ පතන්නියක බවට පත් වූයෙමි.චරිතට සමීප වූ වහා ඒ වදයෙන් නිදහස් වන ගණදෙවි නුවණක් පහළ කරගත් මම “දැන් මට සනීපයි, චරිත ඉන්නවනෙ”කියමින් ගල්පැලෙන බොරු ඇද බාන්නට ගතිමි.එහෙත් මා හිඳින්නේ සුවයෙන් නොවේ.

“මේ නම් උණ..ඊයේ තෙමුණනෙ.එළිය වැටෙනකම්ම අඬන්න ඇති.වැස්සෙ තෙමිලා තෙමිලා..මට තේරෙන් නෑ චමා මේවා…”

කේතකී නැගී සිටියේ එසේ කියමිනි. “මට බේත් එපා..”මම තීරණය කළෙමි. එසේ කියමින් හිසේ සිට පොරවා ගත්තෙමි.

“ඇන්ටිගෙ දෙහි ගහෙන් කොළ ටිකක් කඩන් එන්නංකො මං..ස්ටීම් කරලා පැනඩෝල් එකක් බොමු.අඩු වෙයි..” චමත්කා එසේ කියමින් යන්නට ගියා ය.කේතකී පසන්ටත් සරනිටත් සාප කරමින් කිරි හදන හඬ මට සිනාවක් ද රැගෙන ආවේ ය.

“පහළත් ලෙඩෙක්..ඇන්ටි කොත්තමල්ලිත් දීලා ලුණු මිරිසුත් දුන්නා.රොටී හදනකම් ඉන්න බෑනෙ.මං ආවා..පාන් ගත්තනෙ.චුට්ටක් ෆ්‍රයි කරල දෙන්නං..”

චමත්කා පැමිණියේ අතින් කටින් ඔසවාගෙන ය.ඇය ගෙන ආ දෙහි කොළ තැම්බෙන්නට තබන අතර කේතකී විමසිලිමත් වූවා ය.

“නිසල්ටද විසල්ටද සනීප නැත්තෙ.උං දෙන්නත් ඊයෙ නාගෙන ආවෙ..”

ඇය එසේ අසද්දී මට සැකයක සේයාවක් ඇඳිණි.චමත්කා එය තහවුරු කළා ය.

“අර ධීර අයියා අනේ.උන්දැටත් හොඳටම සෙම ඇවිස්සිලා..අන්න හචිං ඇර ඇර ඉන්නවා..”

චමත්කා එසේ කියද්දී මට දුකක් නොදැනුණාම නොවේ.මහ වැස්සකට තෙමෙමින් මා සන්සුන් කරන්නට ඔහු උත්සාහ කළ අන්දම කෙසේවත් අමතක කළ හැක්කක් ද නොවේ.ඔහු නගරයෙන් බැස යද්දී ද වැහි පොද වැටෙමින් තිබිණ.සමහර විට ධීර නිවසට යන්නට ඇත්තේ ද තෙමෙමිනි.

“එයාටත් එකපාරටම ලෙඩ වෙන්නේ ඇයි ඒ?”

කේතකී කියද්දී චමත්කා කිචිබිචි ගා හිනැහුණා ය.නමුත් ධීර මා නුගේගොඩ සිට  නිවසට ඇරලවූ කතාව රහසකි.එය ඔවුන් දැන ගත යුතු නැත.

“දන් නෑ අපි බලමුකො කේතු.ඉස්සරහටත් අපි මෙතන..මේ මාලකයියගෙ ගෙදර..”

චමත්කා කියවීම නතර කළේ මා මුහුණ කොරහක් කරගෙන මුළුතැන්ගෙයට එද්දී ය. මට සිනා යන්නට ආවද ධීර මෙහි මාතෘකාවක් කර ගන්නට මට ඕනෑ වූයේ නැත.

කේතකීත් චමත්කාත් ඇඳ පැළඳ යන්නට යනතුරුම මම නිදා ගත්තෙමි.චමත්කා කොත්තමල්ලි කෝප්පය බලහත්කාරයෙන් පොවන්නට කටයුතු කළේ ද මට බනිමිනි.ඊයේ වැස්ස මගේ සෙම් අමාරුව උත්සන්න කර ඇති බව අම්මාට ඇමතුමක් දී පවසා මා දුරකථනයේ අන්තර්ජාල සබඳතාවය විවෘත කළෙමි.මැසේන්ජර් පණිවිඩ කිහිපයක් ම පැමිණියේ ය.

ධීර! ඒ සියල්ල ඔහුගෙනි.

“මට අමාරුවක් නෑ.පොඩ්ඩක් හෙම්බිරිස්සාව..”

ඔහු මගේ සැපදුක ඇසූ පණිවිඩ ගොන්නට මම එකම එක පණිවිඩයක් තැබීමි. ඔහුට කොහොමදැයි අසන්නට මට කම්මැලි ය.හදිසියේ ඔහුගේ සිනාව මසිත පැහැර ගත් බව ඇත්තකි.නමුත් පොතක් කියවන්නට මෙලෝ ඇල්මක් නැති අපිළිවෙල කොල්ලෙකු පසන් උණුසුම් කළ හදවතේ ලැගුම් ගන්නට ඉඩක් නැත.

“ඔය පසන් මාරම මාර කොල්ලෙක් නිසා තමයි සාරා ඔයා ඔය තාම විඳවන්නෙ.ඔයාලා දෙන්නගෙ මාර කෙමෙස්ට්‍රියක් තිබ්බෙ.ඒ වගේම එකෙක් ආයෙ හම්බෙයිද කියලයි මට බය..”

අතීතය පෑරෙනවාට බියෙන් මා අතැර දැමූ පාසල් මිතුරියන් අතරින් බලහත්කාරයෙන් මා අමතන රුවින්දි දිනක් පැවසූ අන්දම මට අමතම නොවේ.

සැබෑවකි! පසන් මගේ සිරුරේ කොටසක් තරමටම දැනෙන්නෙකි.දකුණු අත ගලවා ඉවත් කර කෘත්‍රිම අතක් සවි කළහොත් මට ඉන් අත් වන පහසුවක් නැත.

පසන් වැනි ජීවිතයට සමාන ප්‍රේමවන්තයෙකු හුන් තැන ධීර සරදමට මෙන් රැඳවීමම විහිළුවක් නොවේදැයි මම සිතන්නට ගතිමි.චරිතව දැඩි රැවටීමකට ලක් කරන්නට මා වැය කළේ කෙටි පණිවිඩ පමණකි.චමත්කාගේ කෝපයට ලක් වීමට අපහසු බව කියමින් මම ඔහුට අතකින් අල්ලන තරමට නිදහසක් නුදුන්නෙමි.එය තනිකරම සැලසුමකි.

“ඔයාට ආයේ හොඳ කෙනෙක් ලැබෙන්න ඕනමයි..” චමත්කා නිරන්තරයෙන් මතුරන මන්තරය සිහි කළ මම පසන් මෙන් ආත්මීය සහකරුවෙකුට වඩා කෙනෙකු සෙවීමේ අසීරු බව ගැන සිතීමි.

“බෙහෙත් ගන්න යන් නැත්තේ ඇයි?”ධීර යළිත් පණිවිඩයක් එවා තිබිණ.

පසන්ගෙන් මියෙනතුරු හදවත මිදෙන්නේ නැත.නමුත් හදවත රවටා ගන්නට මේ තරුණයා සම්බන්ධයකට පොළඹවා ගන්නා හදිසි ආශාවක් මට හට ගත්තේ ය. ඔහු කොහොමටත් බිඳුණු මිනිසෙකි.මා කාලය ගෙවා ගන්නට ඔහුට සමීප වී මේ නගරයෙන් නික්මෙන් දා ඔහු වෙත මතක ඉතිරි කර යාම ඔහු අමුතුවෙන් බිඳෙන්නට හේතු වන්නේ ද නැත.

පසන් නිසා හැඟීම් මිය ගිය ආත්මාර්ථකාමී යුවතියක එසේ කුහක සහ ආත්මාර්ථකාමී සිතුවිල්ලක පැටලීමට ගත්තා ය.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

error:
0
Would love your thoughts, please comment.x
()
x