fbpx

පතොක් මලක ප්‍රේමය -13

“මිනිස්සුන්ට එහෙම හප්පන්නෙ පුප්පන්නේ ඇයි සාරා..”

කේතකී නිවසට ගොඩ වූයේ එසේ අසමිනි.මම හප්පමින් පුප්පමින් තව වෙලාවක් ගෙවා දැමූයෙමි.

“මේ මග් එකක් බින්දෙ ඇයි?”

ඇය කුණු බඳුන ද අවුස්සන හැඩකි.තව මොනවා හෝ පොළොවේ ගසන්නට තරම් තරහකින් මා පිරී යන්නට ගත්තේ ය.මගේ රාක්ෂ මුහුණ දුටු චමත්කා වහවහා මාතෘකාව වෙනස් කරන්නට අනුන්ගේ ඕපාදූපයක් කියන්නට පටන් ගත්තා ය.කේතකීගේ උණු කිරි කෝපි සහ චමත්කා සොයා ගත් ඵල රහිත ඕපාදූපය මගේ කෝපය සහමුලින්ම නැති කරන්නට සමත්ව තිබිණ.

“ඊයේ එයා පසන්ව දැක්කනම් අද කෝප්ප නෙවෙයි මේ ගෙදර ජනෙල් වීදුරු පවා බිඳෙන්න පුලුවං කියල උඹට තේරෙන් නැද්ද?”

මා අද අතපසුව ගිය දේශන සටහන් පිරික්සමින් පිටපත් කරද්දී චමත්කා කුටුකුටු ගා බැන වදින හඬ මට ඇසිණ.මම වහා එදෙසට කන අලවා ගතිමි.

“තේරෙන හින්ද තමයි අහන්නෙ.මේක ඉවරයක් වෙන්න ඕන.මනුස්සයෙක් ඔහොම විඳවන්න ඕනද?

කේතකී පවසන්නේ සැබෑ කෝපයෙනි.සැබෑවටම මේ වේදනාව කෙලවර වන දවස ගැන මම සිතන්නට ගතිමි.පතොක් ගසක් හදවතේ දරා හිඳිනවා බඳු හැඟීමක් මට දැනෙයි.සියුම් කටු දහසකින් නැගෙන වේදනාවේ කෙළවරක් නැත.නමුත් තවමත් මල් හට ගනියි.

“පසන් ආයෙ එන්නෙ නෑනෙ..ඕකනෙ ඇත්ත..”

කේතකීගේ හඬ මට සටහන් ලිවීම එපා කළේ ය.ඒ පැහැදිලි සත්‍යය අම්මා හඬමින් මට පවසා තිබේ.තාත්තා බොහෝ කරුණාවෙන් පහදා දී තිබේ.මනෝ වෛද්‍යවරුන් මට තිත්ත වූයේ ඒ සත්‍යය මට වටහා දෙන්නට තැත් කළ හින්දා ය.සරනි ඉඳහිට ඒ සත්‍යය වඩා කටුකව තේරුම් යන අන්දමේ ඡායාරූප මට එවන්නට ක්‍රියා කළා ය.ලෝකයම වටහා දෙන්නට තැත් දරන ඒ සත්‍යය තේරුම් ගන්නට මට උවමනා නැත.

“ඒක ඉතිං මෙයා පිළි ගන්නවද..චරිතයාගෙ සීන් එක මං හිතුවෙ ඇත්තක් කියල.මට කොච්චර රිදුණත් මං හිත හදා ගත්තේ ඒකයි..”

චමත්කා කියද්දී කේතකී හිනැහෙන්නට ගත්තා ය.

“උඹේ මෝඩ මැසේජුයි මොළයක් නැතිකමට යවපු ෆොටෝසුයි මකා ගන්න ඒකි අටෝපු උගුලක් ඒ.මට තේරෙන් නෑ ළං වෙන්නවත් නොදී මේකි කරපු ඒ ලව් එකට චරිතයා අතුරුදහන් වුණේ ඇයි කියල.”

කේතකී කියන්නේ සිනාව අතරිනි.මට කෝපය අමතකව සිනාවක් නැගිණ.චරිත එකිනෙකාට රහසේ ආදර සම්බන්ධතා කිහිපයක් පවත්වාගෙන ගිය බවත් ඒ සියල්ල මා දැනගත් පසු ඔහු පත් වූ අපහසුතාවය සුළුපටු නැති බවත් දෙමිතුරියන්ට කියන්නට සිතිණ.මා නැගී සිටියේ එයට ය.නමුත් කේතකී යළි කියවන්නට ගත්තේ මා එතැනම හිඳුවමිනි.

“පසන් අමතක කරන්න පුලුවන් මට්ටමේ කොල්ලෙක් අත ළඟම ඉඳලත් මේකිට ඇස් පේන්නෑනෙ..”

ධීර සම්බන්ධයෙන් මට ඇති වන හැඟීම් ගැන ඈ දැන ගත් ආකාරය ගැන මට ඇති වූයේ කුකුසකි.

“මට තේරෙන්නෙත් නැත්තේ නිර්වාන් ඕක ගැන අහන් නැතුව මොන කෙහෙම්මලක් කරනවද කියල..”

චමත්කාගේ හඬ මගේ හිස කරකවන්නට සමත් විණි.නිර්වාන් මට හිඳින එකම මිතුරා යැයි මම තරයේ විශ්වාස කළෙමි.නමුත් ඔහු හිඳින්නේ මා ගැන ප්‍රේමයක් සහිතවයැයි පිළිගන්නට මට නුවුමනා ය.මිත්‍රත්වයට ආදරය හරස් විය යුතු නැත.

“මේකි අර යස්සය ගැනම දොඩවනකොට නිර්වාන්ට වෙන දෙයක් කියන්න වෙලාවක් තියනවද?”

චමත්කා විස්සෝප වන හඬ ඇසේ.මම කෝපයෙන් සඳළුතලයට ගියෙමි.ධීර තවමත් අර බංකුව මතට වී කල්පනාවේ ය.

“පාඩං කරන්න තියන වෙලාව නාස්ති කරගන්න එපා..” මම ඔහුට දැනමුතු පණිවිඩයක් ලියා යැවීමි.දුරකථනය දෙස බැලූ ඔහු සිහින් හිනාවක් නගා ගත්තේ ය.

“ඔහොම කේන්ති ගන්න එපා.අතීතෙ එල්ලිලා ඉන්න මිනිස්සුන්ට සැනසීමක් නෑ..”

එසේ ලියා එවූ ඔහු නිවස තුළට යන්නට ගියේ ය.

නිර්වාන් සහ ධීර තරාදියකට දමා කිරා මැන බලන්නට මට සිතිණ.බොහෝ බාහිර සාධක අතරින් ඉහළ ලකුණු හිමි කරගන්නට නිර්වාන් සමත් වන බව මා නොදන්නවා නොවේ.එහෙත් ධීර සිතේ පැටලවෙන්නේ ඕනෑවට වැඩි වේගයෙනි.
හඳුනා ගත් කෙටි කාලය තුළ ඔහු ගැන ඕනෑවට වඩා සිතෙන්නේ ද ඔහු සම්බන්ධ කාරණා සොයා බලන්නට සිතෙන්නේ ද ඔහු කියන දේවල් ගැන කෝපය හට ගන්නටත් හේතුව ගැන සිතමින් මම බොහෝ වෙලාවක් ගෙවීමි.

මේ හැඟීමට ප්‍රේමය යැයි නමක් දෙන්නට මට නුවුමනා ය.ප්‍රේමය යළි මා තුළ පිපෙන්නට ඉඩ නොදිය යුතු බව මම දැන සිටියෙමි.පසන්ව සිතෙන් ඉවත් නොකර තව කෙනෙකු වෙත බැඳෙන්නට මට සිහිනෙකින්වත් නොහැකි ය.චරිත වැනි මිනිසෙකුට පාඩම් ඉගැන්වීම සහ එය අතර සෑහෙන දුරක් ඇති බව මම සිතුවෙමි.නිර්වාන් ද ධීර ද එවැනි පරීක්ෂණ සඳහා යොදා ගන්නට සැබෑවටම හොඳ වැඩි ය.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content

error:
0
Would love your thoughts, please comment.x
()
x