fbpx

පතොක් මලක ප්‍රේමය -15

ටෙලි නාට්‍යවල දකින පන්නයේ දියණියක වන්නට මට සිත් විණි.අම්මා බොහෝ දෑ කියමින් මගේ හිසත් පිටත් පිරිමැද්දද මුනින් තලාව යහනේ වැටී හඬමින් සිටි මම ඈ දෙස ඇහැක් ඇර නොබලන්නට ප්‍රවේසම් වීමි.

“මං ඔයාට නිර්වාන්ව කසාද බඳින්න කීවෙ නෑ මගෙ පුතේ.ඒත් හැමදාම ඔහොම අඬ අඬ ඉඳලා බෑනෙ..අපි පසන්ව අමතක වෙන්න අරිමු..”

අම්මා එසේ කීවා ය.ඇය නැගිට යන්නට ගියේ හඬ බිඳී යද්දී ය.අම්මා ද කොතැනකට හෝ හඬනවාදැයි සිතෙද්දි මට තවත් හැඬිණ.

හඬමින් නින්දට වැටුණු මට ඇහැරුණේ තාත්තා ඇඳ මත හිඳ මගේ හිස අතගාද්දී ය.වහා අවදිව ඔහුට තුරුළු වූ පසු මට දැනුණේ සැනසීමකි.

“පුතා අම්මා එක්ක රණ්ඩු කළාද?”

ඔහු ඇසී ය.මම නැතැයි කියන්නට හිස වැනීමි.තාත්තා මගේ හිස පිරිමදිමින් මොහොතක් ගෙවා දැම්මේ ය.

“නිර්වාන්ලා මෙහෙ එනව කියල අම්මට රණ්ඩු කරන්න ඕන නෑනෙ පුතා.ඒ පුතාගෙ හොඳම යාළුවෙක්නෙ..”

තාත්තා ඉනික්බිති පැවසී ය.ඔහු කිසිවක් නොදන්නවාදැයි මට සැකයකි.නමුත් අම්මා ඔහුට සඟවන රහසක් මේ වහල යට ඇත්තේ නැත.සිය ඉවුම් පිහුම් රහස් පවා බිඳුවකුදු නොසඟවා තාත්තාට හෙළි කරන අම්මාට නිර්වාන්ගේ අම්මා පැවසූ දෙය සඟවා ගන්නට උවමනා නොවන බව මම දනිමි.

“මට නිර්වාන් හැමදාම මගෙ යාළුවා උනාම ඇති..”

මම ඉකිය අතරින් පැවසූයෙම්.තාත්තා ඔහුගේ නිස්කලංක තැන්පත් සිනාව තොල් අතර රඳවා බොහෝ වෙලා නිහඬව සිටියේ ය.මම ඔහුගේ කමිස උරහිසේ නහය ඔබාගෙන ඔහේ සිටියෙමි.

“පුතාට හිතෙනවනම් නිර්වාන් කියන්නෙ යාලුවෙක්ගෙන් එහා යන්න ඕනෑ නැති කෙනෙක් කියල, නිර්වාන් පුලුවං කාලයක් යාලුවෙක්ම වෙලා ඉඳි.වෙන නෑදෑකම් බලහත්කාරෙන් පටවන්න අම්මටවත් මටවත් ඕන නෑ..”

අම්මා කාන්තා විමුක්තිය ඉල්ලා නිවස තුළ කෑගසන්නේ නැත. නිවසේ බොහෝ කාරණා ඇයට ඕනෑ හැටියට කරන්නට තාත්තා දෑතම ඔසවා එකඟ වූ තැන් අපමණ ය.අම්මා ගන්නා තීරණ හොඳම ඒවා බව තාත්තා දැන සිටියේ ය.නමුත් ඔහු නිර්වාන් සම්බන්ධයෙන් මෙසේ විශ්වාසයෙන් පවසද්දී මට දැනුණේ අප්‍රමාණ සැනසීමකි.

“ගෑනු දරුවෙකුට අවුරුදු විස්ස පැන්නම ඉතිං ප්‍රපෝසල් එන එක සාමාන්‍ය දෙයක්.තව ඉස්සරහටත් එයි..අපි බලමු..ප්‍රපෝසල් කොච්චර ආවත් අපේ ගෙදරට අයිති කෙනා හම්බුණාම එයාව පුතාට දැනෙයි..”

අපේ නිවසේ සාමාජිකයෙකු වන්නට සිටි එකම සුදුස්සා පසන් යැයි අම්මා සමඟ නම් තර්ක කරන්නට මට තිබිණ.නමුත් තාත්තා සමඟ එවැනි ජල්ලි අල්ලන්නට මට සිතක් නැත.මම නෙතට උනන කඳුළු වාවාගෙන ඔහේ සිටියෙමි.

“නිර්වාන් මේ ගෙදරට අයිති කෙනා කියල මටත් හිතෙන් නෑ පුතා.එයා හරිම හොඳ යාලුවෙක් තමයි.ඒත් මගෙ අතින් අතෑරල පුතාව බාර දෙන්න නිර්වාන් සුදුසුයි කියල මම හිතන්නෙත් නෑ.කොල්ලා හොඳ ඉලන්දාරියෙක්.ඒත් පුතාව ජීවිත කාලෙටම දරා ගන්න නිර්වාන්ට පුලුවං වෙයි කියන්න මට අමාරුයි..”

මම වහා හිස එසැවූයෙමි.තාත්තා ද සිතන්නේ ඒ එකම සුදුස්සා පසන් බවද?

“පසනුයි ඔයයි අතරේ යාලුකමක් තියනව කියල අම්ම කියද්දිත් මං ඕකම හිතුව.පසනුත් හොඳ ළමයෙක්.ඒත් ඔයාල දෙන්නගෙ ගතිගුණ සෑහෙන්න දුරට එක වගේ හින්දා ඉවසීම දරාගැනීම ගැන ගැටළු එයි කියල මං හිතුවා. ඒ හිතිවිල්ල වැරදුණෙත් නෑ.ඒකයි පසන්ට ආයේ කතා කරන්න අම්මා උත්සාහ කරාට මං ඉඩ නොදුන්නේ..”

තාත්තා කාමරයෙන් යන්නට ගියේ එසේ කියා ය.මට හිතන්නට බොහෝ දේවල් ඉතිරි කිරීමෙන් පසුව ය.

හඬමින් කාමරයට ආ මොහොතේ දුෂ්ට වැඩ කරන්නට එපා යැයි බැන වැදී නිර්වාන්ට යැවූ පණිවිඩය නිරික්ෂණය කරන්නට මට සිතිණ.සිතුවා වාගේම ඔහු ඒ ගැන විමසා එකම එක පණිවිඩයක් එවා තිබුණි.එය කියවූ මට සිනා පහළ විණි.

“ඔයාගෙ පෙන් එකනම් මං ගාව තමයි.ඒකට ඔහොම කැත විදියට සාප කරන්න එපා..”

ඔහු ද නොදන්නා කාරණාවක් ගැන ජල්ලි ඇල්ලුවා නම් මොනවායින් මොනවා වෙන්නට තිබුණාදැයි මම සිතිමි.ඔහුට මා ගැන සිතක් ඇති බව චමත්කා සහ කේතකී දැන සිටියි.නමුත් අම්මා මා බලන්නට එන්නට ගත් තීරණය ඔහු නොදන්නා හැඩකි.මම ඔහු කලබල වූ කාරණය දෙස යළි යළිත් බලමින් හිනැහීමි.

තාත්තා නිවැරදි ය.මොනවා නැතත් නිර්වාන් හොඳ මිතුරෙකි.

ධීර මට පණිවිඩයක් එව තිබුණේ රෑ බෝ වී ය.”නිවාඩුව සරුදැයි” අසා ඔහු එවා තිබූ පණිවිඩයට මම කිසිත් නොලියා අපේ ගෙඋයනේ ඵල බර වූ ගස් වල ඡායාරූප කිහිපයක්ම යැවීමි.එසේ යවන්නට හිතුණේ කිමදැයි කවුරුන් හෝ ඇසුවා නම් මට දෙන්නට පැහැදිලි උත්තරයක් ද නැත.ධීර හදවත් පේළියක් එව්වේ ය.ඔහු පළතුරු රැගෙන එන්නට කියාවි යැයි මම සිතිමී.නැත! තවත් විස්තර විමසුවේ නම් “මාලක අයියා එක්ක දවසක එන්න” කියන්නට තරම් මට සිතක් විණි.නමුත් ඔහු හදවත් පේළියක් එවා නිහඬ ය.තව දුරටත් සංවාද කරන්නට නුවුමනා බව මම සිතීමි.ඔහු කතා කරවන්නට මෙතරම් අසීරු ද?

“ඔයා හරි ලකීනෙ..සිරීපාදෙ පේන්නේ නැද්ද ඔයාලට?”

ඒ පණිවිඩය ආවේ බොහෝ වෙලාවකිනි.මම ඒ අන්ධකාරයේ කාමරයේ කවුළුව හැර දමා සිරිපා මළුවේ විදුලි පහන් සේයාරුවට ගත්තෙමි.ඒවා පෙනෙන්නේ බොහෝ ඈතිනි.නමුත් මම ඒ සේයාරුව ඔහුට යැව්වෙමි.

“ඉස්සර මමයි ලොකු අම්මයි හැම වාරෙම යනව..” ඔහු ඒ පණිවිඩය අවසානයේ කඳුළු මුහුණක් තබා තිබුණේ ය.දෙවරක් නොසිතා මම ඔහුට පිළිතුරු යැවීමි.

“අපි ආයේ යං..”

ඔහු නැවත හදවතක් පමණක් එවා තිබුණේ ය.මේ කොලුවා කුමන වර්ගයේ එකෙකුදැයි සිතමින් මම රෑ කළුවරට නෙත අලවා ඔහේ සිටියෙමි.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content

error:
0
Would love your thoughts, please comment.x
()
x