fbpx

හේමන්ත සන්ධ්‍යා – 19

තද අව්වක් මහරගම අහස මතින් කාන්දු වෙමින් තිබිණි. අහස තද නිල් පැහැයක් ගත්තේ ය. තැන් තැන් වල සුසුදු වළා කැටිති කිහිපයක් නිසොල්මනේ වැතිර තිබෙනු දකිත හැකි විය. බෝ ගසේ කොළ සිලි සිලි හඬ නංවමින් සුළඟ හා පොර බැදුවේ ය. ඒ සුසිල් සුළඟ නිසා, සූර්ය තාපයෙහි දාහය තවම ඒ හැටි දැනෙමින් තිබුණේ නැත. 

ගුවනි උදේ ආහාර වේල මගහැර යන බව, කලින් ඇය හමු වුණ වතාවේ දී දැන ගත්තා නිකිනි ට සිහි විය. එහෙයින් ම ඕ ඇඳුම් තෝරා ගැනීම පිණිස සාප්පු සවාරියේ යන්නට පෙර ගුවනි කැටුව බොජුන් හලකට ගොඩ වූවා ය. 

“අම්මෝ මිස් මෙතන හෙණ ගණංනෙ කෑම. මං හිතන්නෙ බනිස් ගෙඩියක්ම අටසීයකට දාහකට එහා”

බොජුන් හලේ කෙටි පියගැට පෙළට පිය තබන විට ම ගුවනි කීවා ය. ඇගේ ඇස් සේ ම මුව ද මඳක් විවර වී තිබෙනු දුටු නිකිනි ට සිනහ නැගිණි.

“කමක් නෑ ඉතිං. හැම දාම නෙවෙයිනෙ”

“එක දවසකට වුණත් එහෙම තේරුමක් නැතුව සල්ලි වියදං කරන්නෙ මොකටද මිස්…අපි යං. කන්නම ඕනනං වෙන සාමාන්‍ය තැනකිං කමුකො”

ගුවනි ගේ පෙරැත්තය මත ආපසු හැරෙන්නට නිකිනි ට සිදු විය. කෙසේ වෙතත් ඇගේ ඒ ස්වභාවය ගැන නිකිනි දිගට ම සිනහ වන්නට වූවා ය.

“කන්න නැති මිනිස්සු කොච්චර ඉන්නවද මිස්…මං පොඩි කාලෙ ඇත්තටම වැඩිපුර හිටියෙ බඩ ගින්නෙ. අම්මා කුණු ට්‍රැක්ටරේ වැඩ කරල ඇවිත් රෑට තමයි උයන්නෙ. අපේ ගෙදරට අල්ලපු ගෙදර පෝසත් ගෙයක්. හැම දාම වගේ පාටි. ඒ පාටි ඉවර වෙලා ගේ ඉස්සරහ කුණු බාල්දි වලට දාන කෑම කන්දක් මිස්…බලං ඉඳල හොරෙං ගිහිං මං අර ගන්නව.  සල්ලි හම්බ වුණ කාලෙකවත් මන්නං එහෙම කෑම නාස්ති කරන්නෑ කියල හිතං ඉන්නෙ ඒ මතක වල තුවාල නිසාම වෙන්නැති මිස්. කෑම වෙනුවෙං සල්ලි නාස්ති කරන්නෙත් නෑ. අර අපි ගිය තැන තරුණ ළමයි දාහ දෙදාහ තුන් දාහ දීල බර්ගර් එකක් කනව. අපිට සතියක් කන්න ඒ සල්ලි ඇති මිස්”

“මාත් මීට පස්සෙ එහෙම හිතන්නං. ඔයා කියන එක හරි. කන්න නැති කෙනෙක්ට කෑම එකක් අරන් දෙන එක අර නාස්ති කරන සල්ලි වලිං ගන්න පුළුවන් සතුටක්නෙ”

එවර නිකිනි ගියේ ගුවනි විසින් ඇය ව කැටිව යන ලද අවන් හලකට ය. 

“බලන්න මිස්. මෙතනිං බර්ගර් කීයක් කන්න පුළුවන් ද අර ගානට. කොටිංම ළමා නිවාසෙකට බර්ගර් දානයක් දෙන්න පුළුවන්”

නිකිනි හඬ නගා සිනහ වූවා ය. කටුක ජීවිතයකට හුරු වී සිටීම නිසා ගුවනි ජීවිතය දෙස බලන්නේ වඩාත් ප්‍රායෝගික ඇසකිනි.

සිනහ වෙන නිකිනි දෙස යුවතිය බලා උන්නේ අඩ සිනහවකිනි.

“මං මිස්ගෙං ප්‍රශ්නයක් අහන්නද..”

“අහන්න”

නිකිනි සුරංගනා දැරියක සේ හිනැහුණා ය. ඒ සුරඟන දැරිය ගුවනි ගේ සිත් හි තව දුරටත් ඇති කරන ලද්දේ චමත්කාරයකි.

“මෙච්චර දේවල් වෙද්දිත් මිස් කොහොමද ඔහොම සතුටෙං ඉන්නෙ..”

“උදේට උදේට සතුටු පෙත්තක් බොනවනෙ..”

නිකිනි යළිත් වරක් සිනහ වූවා ය. ඒ සිනහව තුනී වී යන තෙක් ගුවනි විශ්ම ලන්තයට ගිය ඇලිස් වාගේ තුෂ්ණිම්භූතයකින් බලා සිටින්නට වූවා ය. සිනහව තුනී වී ගෙන යත්දී නිකිනි මුහුණට බරපතල පෙනුමක් හා හඬ ට සුසුමක් ගෙන කතා කිරීම ඇරඹුවා ය.

“මං සතුටෙන් ඉන්නෙ මං නිසා ගුවනි. මං වෙනුවෙං…”

නිකිනි ගේ ඇස් ඒ මොහොතේ

දිළිසෙන බවක් ගුවනි දුටුවා ය.

“ඔයා කිව්වනෙ මෙච්චර දේවල් වෙද්දිත් කියල…ඒත් ඇත්තටම මට මොනා වෙලාද නංගි…හරියට හිතුවොත් ඇත්තට ම මට මොනාත් වෙලා නෑ. දුක් වෙන්න මට කිසිම හේතුවක් නෑ. මංජුල ට වෙන සම්බන්ධයක් තියෙනව කියන එක මට ප්‍රශ්නයක් නෙවෙයිද කියල ඔයා හිතයි. ඇත්තටම ප්‍රශ්නයක් වුණා. ඒකනෙ මං ගේ අතෑරල මහ ගෙදර ගියෙ. ආයෙ එන්නත් මට කිසි හේතුවක් නෑ. ගෙදර අයට ඒක ප්‍රශ්නයක් වෙලා නිසයි මං ආයෙ ආවෙ. කෙනෙක්ව හිතිං අත් ඇරියට පස්සෙ ආයෙ එයා ගැන කිසි ලෝබ කමක් දැනෙන්නෙ නෑ ගුවනි. මංජුලට කොහොමත් මං ආදරේ කරල තිබුන්නෑ. හැබැයි මැරි කළාට පස්සෙ මගෙ හස්බන් කියන හැඟීමෙන් එයාට ආදරේ කරන්න මං ට්‍රයි කළා. ඒ වුණාට එයාට කවදාවත් පුළුවන් වුන්නෑ මං ආදරේ කරන පිරිමියා වෙන්න. මගෙ ජීවිතේ සතුට මංජුලගෙන්නං මං කවදාවත් හොයන්නෑ”

නිකිනි  අයිස් කෝපි උගුරු කිහිපයක් බී ගෙන බී ගෙන ගියා ය. සුරංගනා කතාවක් අසා සිටින පොඩි දැරියක ගේ විශ්මය ගුවනි ගේ වත මත තැවරී තිබිණි. 

“දැං මං සතුටු වෙන්නෙ මං ආස දේවල් කරල. එතකොට සතුට කියන දේ අපිට ඕන හැම මොහොතකම අපි ළඟ තියා ගන්න පුළුවන්”

ඒ කතා කළ එකදු වචනයක හෝ බොරුවක් මවා පෙන්වීමක් නොමැති බවත්, කිරි දරුවෙකු ගේ වචන තරම් ඒවා පරම පවිත්‍ර බවත් ගුවනි ට දැනිණි. තමා අතින් මේ ගැහැනියට සිදු වූයේ ගෙවා ගත නො හැකි පාපයක් ය යන හැඟීමෙන් මිදෙන්නටත් ඇය ට පහසු වූයේ නැත.

“සර් ට කැමති වෙනකොට මං දැනං හිටියෙ නෑ මිස් සර් බැඳපු කෙනෙක් කියල. එහෙම දැනං හිටියනං….”

“ගුවනි…දරුවො…”

නිකිනි යුවතිව ගේ අතක් මතින් අතක් තබා කතා කළා ය. 

“අපි ගෑනුනෙ නංගි. ආදරේ වෙනුවෙන් අපි මොනාද කරන්නෙ…අනිත් එක ආදරයක් හිතට එන්නෙ පස් මහ බැලුම් බලල නෙවෙයිනෙ. හිතේ ආදරයක් ඇති වෙනකොට ඒ කෙනා ගැන කිසි දෙයක් අපි දන්නෙ නැති වෙන්න පුළුවන්. ඒ වගේම ආදරයක් හිතට ආවට පස්සෙ ඒ කිසි දෙයක් අපිට වැදගත් නො වෙන්නත් පුළුවන්”

මංජුල විවාහක පුරුෂයෙකු බව දැන ගත් දා, ඔවුන් හමු වූ ලැගුම් හලේ යහන පෙඟෙන තෙක් හැඬුවයුරු ගුවනි ට මතක ය. නමුත් ඒ වෙත්දී ඇය මංජුල මත්තේ හැපෙන පෙම්වතිය පමණක් වූවා ය. ඔහු කවුදැයි නිවැරදි ව තේරුම් යත්දී, ගුවනි තමන් ගැන ම පසු තැවුණා ය.

“මායා බල තියා ගෙනත් කුවේණිට පුළුවන් වුණාද විජයව අඳුර ගන්න…ඒ ඉතිහාසය ආයෙ ආයෙ හැමදාම සිද්ද වෙනව. සරලව ඕක තේරුම් ගත්තහම හරි පහසුයි. බඩ පිරෙන්න කන්න”

මේ ගැහැනිය පුදුමයි කියා ගුවනි සිතුවා ය. ඒ වාගේ පෞරුෂයක් ගොඩ නගා ගැනීම පහසු නැත. ඒපෞරුෂය ඇගේ ඇස් වල ලියැවී තියේ. වත මත සිත්තම් ව තියේ. සිනහව තුළ රැඳී තියේ. ඒ ඒ අංගයන් ගෙන් ඒ පෞරුෂය පිටතට ප්‍රකාශ වන්නේ එය ඇගේ ලේ වල ම කැලතී තිබෙන නිසාවෙනි.

“මට ලස්සන වෙයි කියල හිතෙන ඇඳුං ටිකක් තෝරල දෙන්න”

ගුවනි එක්ක ඇඳුම් විලාසිතාගාරයකට ගොඩ වූ නිකිනි ඉල්ලීමක් කළා ය. ගුවනි ඒ යෝජනාව භාර ගත්තේ ඉතා සතුටෙනි.

“මටනං හිතෙන්නෙ මිස්ට කොයි ඇඳුම ඇන්දත් ලස්සනයි”

“ආ…මං බියුටි ක්වීන්නෙ”

ඒ සිනහවන් උපන්නේ හදවතින් ම ය. ගුවනි තේරූ ඇඳුම් වලින් කොටසක්, ඇගේ සිරුරට ගැලපෙන ප්‍රමාණයන් ගෙන් තෝරා, මුදල් ගෙවූ පසු ඒ බෑගය ඈ අතට පත් කරන්නට නිකිනි වග බලා ගත්තා ය.

“මේ මටද…”

ගුවනි ගේ ඇස් විසල් වූ තිබුණේ සැබවින් ම පුදුමයෙනි. මෙහෙම ගැහැනියක් ඇය ට මේ හමු වුණා ම ය.

“ඔව්. මං තෝරල ගෙනිච්චට  ඔයා කැමති වෙයිද කියල මට ශුවර් නෑනෙ…”

“අනේ…මං කොහොමද මිස් මේව ගන්නෙ…”

“මෙන්න මෙහෙම..”

නිකිනි ගුවනි ගේ අතක් ගෙන ඇඳුම් බෑගය ඈ අතින් තැබුවා ය. ගුවනි ට දැනුණේ ඇගේ පපුව හිර වී ගෙන එනවා මෙනි. උගුරේ රිදුමකුත්, නාසයේ දැවිල්ලකුත්, ඇස් කෙවෙනි වල කැවීමකුත් ඒ හා සමගම ඇය අත් වින්දා ය. දෙනෝ දහක් ගැවසෙන මහ මග ම ඇගේ ඇස් වලින් කඳුළු ඉස්සර වූයේ ය.

“ඔය වයසෙ කෙල්ලො ලස්සනට අඳින්න ඕනනෙ. ඕක මගෙං චූටි තෑග්ගක් විතරයි. ලොකුවට හිතන්න එපා”

නිකිනි එහෙම කීවා ට ඒ වගේ දෙයක් දරා ගැනීම ගැහැනු පපුවකට පහසු නැත. විශ්ව විද්‍යාලයේ දී දේශන අතරේ දීත් ගුවනි ගේ පපුව හැඬුම් බර විණි. ඇය සේදුම් කාමරයකට ගොස් කඳුළු ඇස් සෝදා ගත්තා ය.

අම්මා හැරුණු විට ඒ තරමින් ඈ ගැන හිතූ එකදු ගැහැනියක හෝ ගුවනි ට සිහිපත් කර ගත නො හැකි ය. පොඩි කාලේදී පමණකුදු නොව විශ්ව විද්‍යාලයට එන තුරුත් ඇය ඇන්දේ යාබද පොහොසත් නිවසේ ගැහැනු ළමයින් ඇඳ ඉවත් කරන ඇඳුම් ය. අලුත් ම ඇඳුමක් ඇඟ ලා තිබෙන්නේ ඉතා ම කලාතුරකින් අතේ ඇඟිලි වලින් ගිනිය හැකි තරම් වාර ගණනකි. එහෙව් තත්වයක් යටතේ ඈ කැමති ම මෝස්තර වල මේ තරම් අලුත් ඇඳුම් ප්‍රමාණයක් කියන්නේ ගුවනි ට තවමත් අදහා ගත නො හැක්කකි. එය තිලිණ ලැබුවේ සිය පෙම්වතා ගේ බිරිඳගෙන් වීම ගුවනි ට දරා ගත නො හැකි ම දෙයයි.

ගුවනි ගෙන් සමු ගෙන නිකිනි ත්‍රීරෝද රියකට නැගෙන්නට සැරසෙත්දී ම මඳක් ඈතින් අත්පුඩි හඬක් ඇසිණි. ඒ කිසිවෙකු ඇයට කරන ඇමතීමකැයි නිකිනි සිතුවේ නැත.

“අක්කා…නිකිනි අක්කා”

ඇය වෙත දිව එමින් සිටියේ සහස් ය. 

“ගෙදරද යන්නෙ….”

“ඔව්”

“එහෙනං යං”

සහස් ද ත්‍රීරෝද රිය ට නැග ගත්තේ ය.

“කවුද අප්පා ඒ…”

සහස් ගේ ඇස් වල දඟකාර බවක් විය.

“කවුද…”

“අර ඔයා එක්ක හිටියෙ…ලස්සන ගර්ල් කෙනෙක්. යාළුවෙක්ද…අක්ක කෙනෙක් කියලනං කියන්න එපා හරිද…”

නිකිනි හඬ නගා සිනහ වූවා ය.

“මූ බලහංකො. අර ඈත නේද හිටියෙ…ඒ ළමයවත් දැක්කද…”

“ළමය…එහෙනං අක්ක කෙනෙක් නෙවෙයි නේ…”

“අක්ක කෙනෙක් වුණත් නංගි කෙනෙක් වුණත් වැඩක් නෑ කොල්ලො”

“ඇයි…බුක් ද…”

“දන්නවද ඒ කවුද කියල…”

“දන්නෙ කොහොමද…”

“මංජුලගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්”

නිකිනි ගේ රතදර අතර මඳහසක් විය නමුත් සහස් සිටියේ ඒ කතාව කිසි සේත් ඇදහිය හැකි ව නොවේ.

“අනේ මේ…බයිලානං ගහන්නෙපා හොඳේ”

“ඇත්ත මල්ලා. ඒ තමයි ගුවනි. මට පව් හිතෙනව මල්ලා ඒ කෙල්ල ගැන”

“ඉතිං ඔය දෙන්නා අඳුනනවද…”

“බුක් ශොප් එකේදි මාව දැකල ඇවිත් දවසක් කෙල්ල කතා කළා. ඊට පස්සෙ මට කියවන්න පොත් කන්දක් උස්සං අපේ ගෙදර ආව. මං අද එයාට එන්න කිව්ව…අපි දෙන්නටම ඇඳුං ටිකක් ගන්න”

“අක්ක…”

“ඔයාට පුදුමයිද…අපි දෙන්නම පවතින ක්‍රමය වෙනස් කරන්න ටිකක් ආස අය වගේ මල්ලා. මං ඒ කෙල්ලට හරි කැමතියි”

නිකිනි සැහැල්ලු ලෙස ත්‍රීරෝද රියෙන් පිටත බලා ගෙන, සුළඟ ට හසුව ගසා යන්නට තනන ඇගේ වරල සැකසූවා ය. සහස් තව දුරටත් ඇදෙස බලා උන්නේ පුදුමයෙනි.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content

error:
1
0
Would love your thoughts, please comment.x
()
x