fbpx

පතොක් මලක ප්‍රේමය -21

ධීර සිටියේ මවෙත නෙතු දල්වාගෙන ය. ඔහුගේ ඒ නිවී යන බැල්මේ දැවටී මම මොහොතක් ගෙවීමි.

“ඔයා දැක්කද මං සමහර ස්ටෝල් වලින් ඒ පොත් ලියපු රයිටර්ට කියලා සයින් කරගන්නවා..”

ඔහු හිස සැලී ය.ඇතැමෙකු සමඟ ඡායාරූප පවා මට රැගෙන දුන්නේ ධීර ය.

“මං එයාලව එහෙම දන් නෑ.ඒකයි ඔයාට කතා කරන්න දීලා පැත්තකට වෙලා හිටියෙ.”

ධීර පැවසුවේ ය.මොනවා නැතත් ඇත්ත කියන මේ යෞවනයා ගැන මට පැහැදීමක් ඇති විය.

“මං ආසයි දවසක පොත් ලියන්න.එයාලා වගේ ජනප්‍රිය වෙන්න.මිනිස්සු ආදරේ කරන කෙනෙක් වෙන්න..”

මගේ රචනා වල සිට ඔහුට ලියන දිග ලියුම් ද කාටවත්ම නොපෙන්වා ඔහුටම පමණක් පෙන්වූ අත්පිටපත් ද දැක ඇති පසන් නම් මේ සිහිනය ගැන ඇසූ දවසේ මට ගැළපෙන ප්‍රකාශකයා ද ශානරය ද සියල්ලම තෝරා දෙන්නට දැන සිටියේ ය.

ධීර කළේ සන්සුන් සිනාවක් තිළිණ කිරීම ය.

“ඔය පොත් කියවන කියවිල්ලෙ හැටියට ඔයාට ලස්සනට ලියන්න පුලුවං ඇති…ලියන්නකො.පොත් කරන්න ඔයාටත් පුලුවන් වෙයි.මාත් උදව් කරන්නං..”

කහටක් නැති ඔහුගේ හඬ මට ගෙනාවේ සතුටකි.මා තවත් කුටි කිහිපයකටම ගියේ ඒ සිහිනය ගැන ධීරට දිගින් දිගටම විස්තර කරමිනි.ඔහු සියල්ල අසා සිටියේ ය.අසන්නට යැයි සිතා නොඅසා සිටි ප්‍රශ්නයක් මට සිහි වූයේ හදිසියේ ය.

“ධීර, ඔයා මට උදව් කරන්නං කීවෙ..ඉතින් ඔයා මොකුත් දන්නෙත් නෑනෙ පොත් ගැන..”

ඔහු හිනැහිණ.අනතුරුව පැවසුවේ අමුතු කතාවකි.සැබෑවටම පැවසුවහොත් මල්ලකට දමා තදින් කට ගැට ගසා තිබූ බළලා එළියට පැන බණ්ඩාරනායක ශාලා පරිශ්‍රය පුරා දුවන්නට ගත්තා සේ ය.

“ඔය ක්‍රිකටර්ස්ලා ඉන්නේ.එයාලගෙ වයිෆ්ලා ටීවී ඉන්ටර්විව් පත්තරවල ආටිකල් වලට ඇවිල්ල කියන ඒවා ඔයා දැකල තියද, මං නම් ලංකාවෙ ක්‍රිකට් තියනව කියලවත් දන් නෑ, මෙයා හම්බෙනකම් මං ක්‍රිකට් බලලම නෑ, ඇත්තටම එයා බෝලෙකට ගහලා දුවන්නෙ ඇයි කියල මට ප්‍රශ්නයක්..ඔය සේරම කියල කියන්නෙ ඒ උනාට මං තමයි එයාගෙ ලොකුම හයිය..මම තමයි එයාට උදව් කරන්නේ..”

මට සිනා ආවේ නිතැතිනි.ඔහු මේ කියන්නේ සැබෑවටම පැවසිය යුතු නැති කතාවක බව සිතුණද මට සිනා පහළ වූයේ නිතැතිනි.එහෙත් ඒ සිනාව බිම හැපී බිඳී ගියේ ය.නොදන්නා තරුණයෙකු මගේ ඇඟේ හැපුණේ ද ඔහුගේ අත තිබූ බීම කෝප්පය මගේ උරහිසක වැදී ඇඟට හැලුණේ ද මගේ අතක තිබූ පොත් මල්ල විසිව ගියේ ද ඇසිපිය ලන මොහොතකිනි.වැටෙන්නට ගිය මා අල්ලා ගත්තේ ධීරගේ ශක්තිමත් දෑස ය.ඉක්මන් කෝපය බදා වැළඳ ගන්නා සාරදී වහා එළියට ආවා ය.

“සොරි..මේ ටික අහුලමු..” නාඳුනන තරුණයා එසේ කියද්දී මගේ කෝපය පිටාර ගැලුවේ ය.

“අහුලමු? දෙන්නා එක්ක පාත් වෙලා පොත් ටික අහුලලා ඊට පස්සෙ හින්දි ෆිල්ම් එකක වගේ එක්සිබිෂන් එක පුරා නටන්නත් ඕනද?”

රතිඤ්ඤා පුපුරන්නාක් සේ මා කෑගසද්දී ධීර වහා සියල්ල අසුලා ගත්තේ ය. කල්පනාකාරී නොවීම ගැන තරුණයාට දෙස් දෙමින් මම කියවන්නට ගතිමි.

“සොරි මචං..මෙයා චුට්ටක් හෙඩේක් එකක් හැදිල හිටියේ.විසි වෙලා වැටුණම කේන්ති යන්න ඇති.” ධීර තරුණයා පිටත් කර හැරියේ ය.අනතුරුව මගේ අත අල්ලා ගත් ඔහු ප්‍රදර්ශන භූමියෙන් පිටතට ආවේ ය.කෝපය ඇවිස්සුණු පසු එය පාලනය කරගන්නට ශක්තියක් නැති මම රිය තදබදයට ද මුහුණට වැටෙන හිරු එළියට ද ස්පීකර් සහ වාහන නලා ශබ්දයට ද නොනවත්වාම කෝප ගතිමි.ත්‍රීරෝද රියකින් බස් නැවතුමට එනතුරු ද එතැනින් එකසිය තිස් අටකට නැග හිඳ ගන්නා තුරුද ධීර මගේ අත අතැරියේ නැත.කෝපයෙන් තනිව දොඩවන මට වදනකුදු පිළිවදන් දුන්නේ නැත.එහෙත් ඔහු ඉතා ප්‍රවේසමෙන් මගේ අත අල්ලා ගෙන සිටියේ ය.මගේ කටේ සද්දය වැඩිවෙද්දී ඉතා සෙමින් අත පිරිමැද්දේ ය.මා සන්සුන් වූයේ මට ද නොදැනී ය.

ගමනක සතුට අමතක කළ මම බස් රියේ වීදුරුවට හිස ගසාගෙන ඔහේ වාහන තදබදය දෙස බලා හුන්නෙමි.

“සොරි..”

අනතුරුව එසේ කියන්නට මට සිතුණේ බසය කිරුළපන ද පසු කරද්දී ය.ධීර හිනැහුණේ ය.මට හඬන්නට ඕනෑ විය.ඔහු දුරකථනයෙන් මොනවාදෝ පිරික්සන බව මට පෙනිණ.

“සාරා..නංගි..” නුගේගොඩ ද පසුවෙද්දී ධීර ඉතා සෙමින් මා ඇමතී ය.මම හිස හරවා ඔහු දෙස බැලීමි.

“පසන්ගෙ බ්‍රේකප් එක නිසා ඔයා මොනව හරි ට්‍රීට්මන්ට්ස් ගත්තද..”

මම අත් තදින් පිරිමදිමින් බොහෝ වෙලාවක් හුන්නෙමි.ධීරට පිළිතුරු ලබා ගැනීම හදිසි නැත.ඔහු ජංගම දුරකථනය එහෙමෙහෙ හරවමින් ක්‍රීඩාවක ය.

“දැන් ගන් නෑ..මට සනීපයිනෙ..” මා කතා කළේ වචන දමා ගසමිනි.ධීර ඉතා සුන්දරව හිනැහිණ. අනතුරුව ඔහු පාසල් යන කාලයේ කොලු රංචු සමඟ කළ විවිධ දඩබ්බරකම් ගැන මට කියන්නට පටන් ගත්තේ ය.තාරුකා අක්කාගේ හිත ගන්නට මාලක අයියා විඳි කරදර ද කොහේටවත් නැති ධීර ඒ පණිවිඩ නිසා අසරණ වූ හැටි ද අසමින් මම කෝපය අහකට දමා හිනැහෙන්නට ගතිමි.

ධීර මා ඇරලවන්නට ආවේ ය.අද රාත්‍රිය ගෙවෙන්නේ මාලක අයියා සමඟ කියමින් ඔහු මා සමඟ ගේට්ටුවෙන් ඇතුළු විණි.චමත්කා සදළු තලයේ බලා හුන්නා ය.ඇය සමඟ නම් මේ ගමන බෙදා ගන්නට පවා හැකි ය.එහෙත් ධීර සමඟ පොත් ප්‍රදර්ශනයට ගිය ගමනක් රහසක් ව තබාගෙන හිඳීමට මම තීරණය කළෙමි.ධීර මුණ ගැසුණේ නගරයේ දී බව කියන්නට පුළුවන.

හතේ කණිසම ද පසුව ඇති බැවින් හාත්පස තිබුණේ අඳුරෙනි.බරාඳයේ විදුලි පහනක් යට සිට ගත් ධීර මට ඇමතී ය.

“අනිද්දා ඔයාට ලෙක්චර්ස් නැත්තං හවස තුනට විතර පොඩි ගමනක් යංද?”

ඒ කොහේදැයි නොඅසාම හිස වැනු සාරදී ගැන පුදුම වෙමින් මම අපේ නිවසට යන්නට පඩි නැංගෙමි.දුරකථනය නාද වූයේ එවිට ය.ඒ නිවස තුළ හිඳින කේතකී හෝ අපේ අම්මා විය හැකි ය.මා ප්‍රවේසම්සහගත දැයි අසන්නට විය යුතු ය.එහෙත් ඒ අම්මා හෝ කේතකී නොවේ.

පඩිපෙළ නැග ගන්නට බැරි තරමට මගේ දෙපා අවසඟව ගියේ ය.ඒ අංකයෙන් මට ඇමතුම් එන්නේ ඇයිදැයි සිතමින් මම ගැහෙන අතින්‍ එය ඇමතීමි.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

error:
0
Would love your thoughts, please comment.x
()
x