fbpx

හේමන්ත සන්ධ්‍යා – 21

දෙපා අභියස ම බෝම්බයක් පුපුරා ගිය සෙයින් නිකිනි කම්පිත ව බලා සිටියා ය. මංජුල දුරකතනය සිය සවනට ගත්තේ යක්ෂාවේෂ වූ මිනිසෙකු ගේ විලාශයෙනි. නිකිනි ඒ තරමට තැති ගත්තේ ඔහු විදත් ට කුමක් පවසනු ඇතදැයි බියෙනි. ඇයට නම් මොනවා කීවත් කම් නැත!

“කවුද මේ….”

මංජුල හඬ තානය වඩාත් දැඩි කොට ඇසුවේ ය. 

“මංජුල…මං කවුද කියලනං ඔයා දන්නෙ නෑ. හැබැයි මං ඔයාව දන්නව”

“මොකද්ද මිනිහො කියන්නෙ…කවුද උඹ…”

“මංජුල…මොකද්ද මේ කරන්නෙ…ඒ අපි චූටි කාලෙ ඉඳලම දන්න මිත්‍ර බාප්පගෙ යාළුවෙක්”

“ඉතිං මොන මගුලකටද ඕයි මේ ගෑනිට කතා කරන්නෙ…දන්නෙ නැද්ද මේ ගෑනි බැඳලයි කියල…ආ ..”

“මංජුල…වැදගත් විදිහට කතා කරන්න”

නිකිනි ගේ හඬ අතිශය අවිහිංසක හා බැගෑපත් වූයේ ය. ඇය බෙහෙවින් කලබල වී සිටියා ය. ලජ්ජාශීලී ව සිටියා ය. මංජුල මේ මොහොතේ හැසිරෙන ආකාරය විදත් ට අපහසුවක් දැනවීම පිළිබඳව නිකිනි අතිශය සංවේගයට පත් වූවා ය.

“වැදගත් විදිහට කතා කරන්නෙ මොකටද යකෝ හොර මිනිස්සුන්ට…ආ…කසාද මිනිහ ගෙදර නැති වෙලාවල් බල බල අනුංගෙ ගෑනු එක්ක පැය ගණං ෆෝන් එකේ එල්ලිල ඉන්න එවුංගෙ මොන වැදගත් කමක්ද යකෝ…”

“මංජුල…හරියට කිසි දෙයක් දන්නෙ නැතුව නිකං චෝදනා කරන්න එපා”

“අයිසෙ මේ…තමුසෙ මොකා වුණත් මට උපදෙස් දෙන්නනං එන්න එපා. හිටපං…මං අද උඹව අල්ලගන්නං”

මංජුල එසේ කීවේ නිකිනි දෙසට තර්ජනාංගුලිය දිගු කරමිනි.

“මංජුල ඔය කෙල්ලට පාඩුවෙ ඉන්න දීපං”

විදත් දැඩි ව අවධාරණය කළේ ය. ඒ වචන ටික මංජුල ගේ පපුවෙහි වැදිණි. මහ ගල් කුලක් සේ හැපී මාරක තුවාල සිදු කරන ලදී. ඒ තුවාල වල ලැජ්ජාව හා හින මානය මතින් හෙතෙම විෂකුරු සර්පයෙකු සේ කිපුණේ ය.

“බැල්ලි…තෝ එහෙනං මේකයි නටපු නාඩගම නේ…”

“මංජුල නිකිනිට අත තියන්න එපා. එහෙම වුණොත් මං තෝව මරනව දැනගනිං. උඹ මාව යකා කර ගෙන නිකං අපරාදෙ මැරුං කන්න එපා”

මංජුල ගේ කනේ තිබුණ සිය දුරකතනයෙන් නැගී ආ විදත් ගේ ඒ ඉලෙක්ට්‍රොනික හඬ පැහැදිලි ව ම නිකිනි ගේ සවන් වැකිණි. ඈ තුෂ්ණිම්භූත ව බලා සිටියා ය. කිසිත් සිතා ගත නො හැකි ය. කිසිවක් ම නිරවුල් කර ගත නො හැකි ය.

මංජුල දුරකතන සම්බන්ධය බිඳ දමා දුරකතනය නිකිනි උන් දෙසට විසි කළේ ය. ඇය වහා ම එය සියතට ගත්තා ය. යකෙක් සේ නිකිනි වෙතට පැන ගත් මංජුල ඇගේ මුහුණට හා හිසට පහර කිහිපයක් එල්ල කළේ ය. නිකිනි දෑතින් හිස බදා ගත්තා ය. ජීවිතයේ කිසි ම දිනෙක ඇය  පිරිමියෙකු ගේ එවන් ප්‍රහාරයකට ගොදුරු වී නැත. හෙණ ගෙඩි හිස මත පාත් වන්නා සේ ඇයට වේදනා දුන්නේ ය. නමුත් ඕ හඬනු තබා කෙඳිරියකුදු පිට නො කරන්නට වග බලා ගත්තා ය.

“බොහොම ලස්සනයිනෙ පූස් පැටියා වගේ ඉඳගෙන කරන වැඩ”

නැන්දම්මා ගේ වදන් උළුවස්සට පිටතින් නිකිනි ට ඇසිණ. මේ සියල්ල පසු පස ඉන්නේ ඇය යයි මංජුල ගේ පහර වල රිදුම් අතරේ ම ඇය ට සිතිණි.

“මේ කොල්ල පිටම වැරදි පටව පටව සීතා දේවි වගෙයි රඟපෑවෙ. දැං ඔය හැදියාව රෙද්ද පල්ලෙන් බේරෙන්නෙ”

“බැල්ලි….තෝ මහ ජරා නැහැදිච්චම බැල්ලියෙක්”

මංජුල නිකිනි ගේ කෙස් වැටියෙන් අල්ලා ඇද්දේ ය. කෙස් වැටිය ඔහු ගේ අතට ගැලවී ඒ යයි ඇය ට සිතුණ තරමි. ඔහු ඇද්ද ඇදිල්ලට නිකිනි ඔහු වෙතට ඇදී ගියා ය. මංජුල ඒ අයුරින් ඇය ව කෙස් වැටියෙන් ඇද ගෙන කාමරයෙන් පිටතට ගියේ ය. ඊළඟට ආලින්දය දිගේ ප්‍රධාන දොර දෙසට ඈ ඇද ගෙන යන්නට වූයේ ය. නිකිනි දුරකතනය අතේ ගුලි කර ගෙන සිටියා ය.

“වැරදි වැඩ කරනකොට ඔහොම දඬුවම් විඳින්න වෙනව. පහු ගිය ටිකේ මටත් කට ගගහ හරී සතුටෙන් හිටියෙ ඕකටනෙ…”

නැන්දම්මා ගේ මුහුණේ වියරු සතුටක් තිබෙනවා නිකිනි දුටුවා ය. 

“බැහැපං බැල්ලි දොට්ට. තෝ වගේ නැහැදිච්ච එකියක් ගෙයි දාගෙන කන්න දිදී තියා ගත්තට මට ගහන්න ඕන යකෝ…ආයෙ මේ ගෙදර හතර මායිමට එන්න ඕන නෑ උඹ. පලයං මකබෑවිල”

කියමින් මංජුල නිකිනි ව කෙස් වැටියෙන් ම ඇද දොට්ට දැමුවේ ය. ඇය මිදුලේ දුරකට විසි වී ගොස් වැටුණා ය. අතක් බිම හැපුණු වේගයට කැඩී ගියා බඳු වේදනාවක් ඇති විය. ඒ වේදනාව දත් මිටි කා ඉවසා ගෙන ම ඕ නැගිට ගත්තා ය.

“දෙන දෙයක් කාල වෙන දෙයක් බලං ඉන්නෙ නැතුව මගුල් විසේ ගැහුව…”

මංජුල ගේ කන් අඩිය රත් වන්නට පහරක් දෙන්නට තිබුණා නම් හොඳයි කියා නිකිනි ට සිතුණේ ඒ වෙලාවේ ය. ගතෙහිත් සිතෙහිත් සියල වේදනා කැක්කුම් අමතක කොට ඕ ඔහු දවා ලන බැල්මක් හෙළුවා ය. මුවට ලේ රස දැනුණේ ඒ වෙලාවේ ය. නිකිනි ගේ තොල් පටක් පුපුරා ලේ බින්දු කාන්දු වෙමින් පැවතිණ.

“මොකද යකෝ මට රවන්නෙ…”

මංජුල වෙඩි කෑ ඌරෙකු මෙන් කෑ ගැසුවේ ය. නිකිනි සිනහවක් පෑවා ය. ඒ සියලු නින්දා අපහාන පරිභව හා පහර දීම් අතරේ දීත් ඕ සිනහ වන්නට සමත් වී සිටියා ය. 

ඒ සිනහවෙන් මංජුල වඩාත් වියරු වැටෙන්නට ඇත. 

“පල යන්න මගෙ දෑහැට නොපෙනි”

ඔහු දඩාස් ගා දොර වසා දැමුවේ ය.

ඇස් දෙක තද කොට පියාන නිකිනි ලොකු හුස්මක් ගත්තා ය. ඒ සිදු වීම සැබෑවක් ද නැත්නම් සිහිනයක් ද කියා  නිශ්චය කර ගැනීමේ අවශ්‍යතාවයක් ඇය ට විය. ඕ දෑස් පිස දමා හොඳින් බැලුවා ය. හැන්දෑව අඳුරට හැරෙමින් තිබේ. නමුත් තව ම රාත්‍රිය උදා වී නොමැත්තේ ය. ඇය තමන් දෙසට බැල්මක් හෙළුවා ය. ඇගේ දෙපයේ පාවහන් යුවලක් හෝ නැත්තේ ය. ඈ හැඳ සිටින්නේ ගෙදරට ඇඳ උන් චීත ගවුමකි. කම්මුල් වලත් ඇස් මතත් තව ම නො වියළුණ කඳුළු පැල්ලම් ය. මංජුල විසින් ඇද දැමීම නිසා, වරල පිස්සියක ගේ සෙයින් අවුල් වී තියේ. ඒ මදිවාට තොල් වල ලේ කාන්දු වන පැල්මකි. මේ විදිහට පාරට බසින්නේ කෙසේ දැයි නිකිනි සිතුවා ය.

ඇය ට මහත් අසරණ හැඟීමක් දැනිණ. දෛවයේ කොතැන හෝ තැනෙක මෙවන් නාට්‍යයක පිටපතක් ද ලියැවී ඇති බවක් මීට පෙර ඈ දැන සිටියේ නැත. 

ජංගම දුරකතනය ට පණිවිඩයක් ආවේ ය. ඇය ට විදත් සිහි විය. සිතුවා සේ ම ඒ ඔහු ය.

“නිකිනි”

පිටුව මත ලියැවී තිබිණි. පපුව දැවී යනවා ඇය ට දැනිණ. ඔහු හෙමිහිට හිස පිරිමදිනා සුවය ඇය ට දැනිණ.

“මං හොඳිං”

ඇය එපමණක් ලීවා ය. ප්‍රශ්නය තවත් නරක අතට හැරෙතැයි බිය නිසා විදත් දැන් නො අමතන බව නිකිනි දනී. එය ඇය ට සැනසීමක් වූයේ ය. මේ වෙලාවේ ඔහු හා කතා කළ නො හැකි ය. එසේ කළ හොත් ඇගේ මුළු ආත්මය ම ඔහු පාමුල දිග හරින්නට සිදු වනු ඇත. නිකිනි හිත පාලනය කර ගත්තා ය. 

යන්නට තිබෙන්නේ එක ම එක තැනකි. ඒ ඔබේසේකර මැදුර ය. නමුත් පති කුලයෙන් පිටුවහල් කරනු ලැබූ ගහැනියක සේ කෙසේ එහි යන්න දැයි නිකිනි ට සිතා ගත නො හැකි ය. ඇය ට නැන්දනිය පාලිකා සිහි විය. ඇගේ විසකුරු වදන් සවන් ළඟ ඇසෙන්නා මෙනි. කලින් වතාවේ නිකිනි එහි ගියේ හිස කෙළින් තබා ගෙන ය. නමුත් අද චූදිතයෙකු ලෙස ය.

නමුත් වෙන කොහේ කියා යන්නද? ඩෙස්මන් අංශභාගයෙන් ඔත්පල වී සිටිය ද ඔහු ගේ කරුණාබර දෑස් ඈ වෙත නො වෙනස් ව යොමු වෙන බව නිකිනි දනී.

ඕ දුරකතනය ගෙන සහස් ට ඇමතුමක් ගත්තා ය.

“මල්ලා…කොහෙද ඉන්නෙ…”

“මං මේ යාළුවො සෙට් එකක් එක්ක නුගේගොඩ අක්ක. ඇයි…”

“මල්ලා ට්‍රයිෂෝ එකක් අරං නාවල ගේ ළඟට එනවද…ප්ලීස්…”

“හරි මං එන්නං. විනාඩි පහක් දෙන්නකො”

සහස් ගේ හිස ගිනි ගත්තා සේ විය. නිකිනි ආවාට ගියාට එවැනි ඉල්ලීමක් නො කරන බව ඔහු ඉඳුරා දනී. කුමක් හෝ අයහපත් යමක් සිදු වී තිබිය යුතු ය. සහස් වහා ම මිතුරන් ගෙන් සමු ගෙන ත්‍රීරෝද රියකට ගොඩ වූයේ ය.

ඇගේ බාහිර ස්වරූපය එසේ නො වන්නට නිකිනි කිසි සේත් සහස් ට එන්නට කියන්නේ නැත. ත්‍රීරෝද රියක නැගී ඔබේසේකර මැදුර වෙත යනු ඇත. නමුත් මේ විදිහට කුළී රියක නැගෙන්නට තරම් මේ රට ස්ත්‍රීන් විෂයේ ආරක්ෂිත එකක් නො වන බව ඇය මැනවින් දනී.

සහස් එහි පැමිණෙන්නට ගත වූයේ ඉතා සුළු විනාඩි ගණනකි. මංජුල ගේ නිවස ආසන්නයෙන් ගුරු පාරේ බලා උන් නිකිනි ත්‍රීරෝද රිය නැවතෙත්දී ම ඊට ගොඩ වූවා ය.

“මොකද්ද වුණෙ අක්කා..ඇයි මේ..”

ඇගේ විලාශයෙන් සහස් තරමක් තැති ගත්තේ ය.

“මුකුත් නෑ මල්ලි අපි යමුකො. අපි යන ගමං කතා කරමු”

“ඔයාගෙ තොලත් පැලිල නේද…මොකද්ද වුණේ කියල කියන්න අක්ක”

“මුකුත් නෑ අපි යංකො”

සහස් ත්‍රීරෝද රියෙන් බසින්නට සැරසිණි.

“මංජුල ගෙදර ඉන්නද…මං මිනිහත් එක්ක කතා කරලම එන්නං. ඔයා මේ විදිහට යන්න හේතුවක් තියෙන්න ඕනනෙ. ඒක අපි දැන ගන්නත් ඕනනෙ”

“එපා මල්ලි එපා. කිව්වහම අහල අපි යංකො. මං යන ගමං කියන්නංකො”

“ඒ වුණාට ඔයාව නිකංම මෙහෙම අරං යන්න බෑ. ඌත් එක්ක කතා කරල එන්නං මං”

“අනේ වඳින්නං මල්ලා යං. පිං සිද්ද වෙයි යමුකො. මං ඔයාට හැම දේම කියන්නං”

නිකිනි සහස් ට රියෙන් බසින්නට නොදී ඔහු ව තර කොට අල්ලා ගෙන සිටියා ය. අන්තිමට ඇය ට අවනත වන්නට ඔහු ට සිදු විය.

“මංජුල එනකොට විදත් මාත් එක්ක ෆෝන් එකෙන් කතා කර කර හිටියා. ඒකට කේන්ති ගිහිං මංජුල මට ගහල මාව ගෙදරින් දොට්ට ඇදල දැම්මා”

“විදත් අංකල්…”

සහස් ගේ ඇස් වල තැවරුණේ නුහුරකි. විදත් නිකිනි සමගින් කතා බහ කරන බවක් මීට පෙර ඔහු දැන සිටියේ නැත.

“විදත් අංකල් ඔයාට කතා කරනවද…”

“මේ සැරේ එද්දි මං එහෙ ගෙදර හිටියනෙ. එයා කියපු නිසානෙ ග්‍රැනී මාව ආයෙ මංජුලගෙ ගෙදර එක්කං ගියෙත්. ඉතිං ආයෙ රට ගිහිං ටික දවසකට පස්සෙ මතක් වෙලා මට කතා කළා. ග්‍රැනීගෙංම තමයි මගෙ නම්බර් එක ඉල්ලං තිබුණෙත්. ඉඳ හිට කතා කරල ෆැමිලි ලයිෆ් එක කොච්චර කම්ප්ලිකේටඩ් දෙයක්ද කියල මට කියනව. මගෙ හිත හදනව. මංජුලගෙ අම්ම ඒ ගැන මංජුලට කේලං කියලද කොහෙද…”

සහස් නිහැඬියාවකට පිලිපන්නේ ය. මේ වගේ පවුල් ප්‍රශ්නයකට මැදිහත් වන්නට නො ගිය එක යෙහෙකැයි ඔහු ට සිතිණ. මොනවා වුණත් මංජුල මේ විදිහට නිකිනි ට පහර දී ඇති එක අනුමත කළ නො හැකි ය. ගෙදරට එන තුරුත් ඔහු සිටියේ කල්පනාවේ ය.

නිකිනි ව දුටු සුමනා ඔබේසේකර තැති ගත්තා ය. සිය දියණියක වේවා මිණිපිරියක වේවා මේ ආකාරයට තොලින් කටින් ලේ පෙරා ගෙන, හිස කේ අවුල් කර ගෙන, පයට පාවහනක් නැති ව මහ ගෙදර එන එක අම්මා කෙනෙකු ට දරා ගත නො හැකි ය. බලා සිටිය නො හැකි ය.

“අනේ නිකී…”

ඕ තොමෝ මිණිපිරිය වැළඳ ගත්තේ හරියට ම හේතුව නො දනිතත් නිකිනි මෙහෙම පැමිණ තිබෙන්නේ සැමියා සමගින් ඇති කර ගත් ප්‍රශ්නයක් මත බව තේරුම් අර ගෙන ය.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

error:
3
0
Would love your thoughts, please comment.x
()
x