fbpx

හේමන්ත සන්ධ්‍යා – 23

සැමියා ගේ ගෙදර හැර දා ආවාය කියා ඔබේසේකර මැදුරේ ත් නිදහසේ සිටිය හැකි නො වනු ඇතැයි නිකිනි ට සිතුණේ ය. පාලිකා ට කවදත් නිකිනි පේන්නට බැරි විණි. සදිසා කුඩා කල පටන් ම නිකිනි ට හා බිනුරි ට එරෙහි ව පාලිකා ට කේලාම් කීවා ය. අම්මා කෙනෙකු වශයෙන් ඈ කළේ කේලාම් නො කියන සේ දුවට පාඩමක් ඉගැන්වීම නොවේ. දුවගේ තත්වයට හා වයසට ම වැටී නිවුන් දැරියන් කෙරේ ඊර්ෂ්‍යා වඩන එක ය. ඔවුන් ගේ දොස් දකින එක ය. ඇගේ ඒ ගති ස්වභාවයන් අදට ය කියාත් වෙනසක් නැත්තේ ය.

“පාලිකා…කට තිබුණට ඔහේ බෝක්කුව වගේ කියවන්න එපා කියල මං හැම තිනිසෙම කියනව නේද…නිකීට විදත් කතා කරන්න ඇත්තෙ ඊට පස්සෙ. නැත්තං නිකී ළඟ කොයින්ද විදත් ගෙ නම්බර් එකක් …නේද නිකී…”

සුමනා පිළිතුර කටට ම දී ප්‍රශ්නය නැගුවෙන් නිකිනි ට පහසු විය. ඇය ඔව් යි හැඟවෙන සේ හිස යන්තම් සැළුවා ය. පාලිකා කට ඇද කළා ය.

“ඕව හොඳයි ඉතිං අම්මලාටම. කොච්චර වුණත් කසාද බැඳපු ගෑනියෙක් විදිහට නිකිනි ඒ විදිහට විදත් එක්ක කතා කර කර හිටපු එක වැරදියි මන්නං කියන්නෙ. මෙයා අපේ වුණත් අපි හරි වැරැද්ද පිළි ගන්න ඕනනෙ”

නිකිනි හෙමිහිට පුටුවෙන් නැගිට ගත්තා ය. ඊළඟට සිය කාමරය වෙත යන්නට පිය ගැට පෙළ නගින්නට වූවා ය. පාලිකා ට දොස් පවරනු වස් වචන පේළි ගණනින් විත් සුමනා ගේ මුව ළඟ පෙළ ගැසුණත්, ඕ තොමෝ තව දුරටත් කතා කරන්නට ගියේ නැත. මේ වගේ කතා නිසා සිදු වන්නේ නිකිනි ගේ සිත තව තවත් බිඳෙන එක යයි ඇයට සිතිණි.

“ආයෙ නිකිනි ඔය අසමජ්ජාතියගෙ ගෙදරට යන්නෑ. මං ලෝයර්ව යවන්නං ඕකට කතා කරල එන්න”

ඩෙස්මන් එක හෙළා කීවේ ය. සුමනා මූණ නරක් කර ගෙන බලා සිටියා ය.

“ඕකව දික්කසාද කරල දානව. දන්නෑ ඌ මේ අපි කවුද කියල”

“ඩෙස්මන්…අපිට ඉන්නෙ කෙල්ලෙක්. ඔයා ඒක අමතක කරන්න එපා”

සුමනා සියත වූ අන්තිම තුරුම්පුව ද භාවිතා කළා ය.

“ඉතිං…ඉතිං මොකද…අපි ඉල්ලනව හොඳවයිං වන්දියක් උගෙං. ඌ තාම දන්නෑ එහෙනං මගෙ හැටි. මං මේ ඇඳට වැටිල නිසා ඌ හිතන්න ඇති අපේ මුළු පවුලම අබ්බගාත වෙලයි කියල”

ඩෙස්මන් කෝපයෙන් ඇවිළුණේ ය. නිකිනි ඔහු ගේ හිස පිරිමැද්දා ය.

“පප්පා කලබල නොවී ඉන්න. ඔහොම කේන්ති අරං ඉක්මන්ට සනීප වෙන්නත් බැරි වෙයි”

“අපි උඹගෙ ජීවිතේ නාස්ති කරල දැම්ම කෙල්ලෙ”

ඩෙස්මන් ගේ හඬ බිඳිණි. ඔහු සැබවින් ම සිටියේ හිත් වේදනාවෙනි.

“පප්..පා…මගෙ ජීවිතේ නාස්ති වෙන්න මං ඉඩ දෙන්නෑ පප්ප. ඩිවෝස් එකක් කියන්නෙ ජීවිතේක එන්ඩ් එක කියල හිතන්න තරං දුර්වල කෙල්ලෙක් නෙවෙයි මං. ලස්සනට මගෙ ජීවිතේ හදාගෙන මං පප්පට පෙන්නන්නංකො. පප්පල මාව විශ්වාස කරං හිටියහම ඇති”

මීට පෙර කිසි දා ක දැනී නැති විදිහේ චිත්ත ශක්තියකින් යුතුව ය නිකිනි කතා කළේ. තොල් පට පුපුරා ඇගේ සාමාන්‍ය පෙනුමේ වෙනසක් වී තිබුණා ට, ඒ ඇස් දැඩි අධිෂ්ඨානයකින් යුතුව දිළිසුණේ ය. 

ගහකට වුව අනවශ්‍ය අතු ඉති වේ නම් කපා දැමිය යුතු ය. එම ගසෙහි වඩාත් නිරෝගී වර්ධනයක් බලාපොරොත්තු විය හැක්කේ එවිට ය. ජීවිතයත් එසේ යයි කිව නො හැකි ද? එහි යහ පැවැත්මට අයහපත් ලෙස බලපෑම් කරන්නා වූ සාධක ඉවත් කොට දැමූ විට ජීවිතය වඩාත් සශ්‍රීක හා නිරෝගී වනු ඇත. විවාහය කියන්නා වූ බැඳීම ජීවිතයට අනවශ්‍ය අත්තක් සේ නම් එය ඉවත් කොට මිස ඒ ජීවිතයට සිය ගමන යා නො හැකි ය.

එදා දවස නිකිනි කාමරයට වී උන්නේ තොලෙහි වූ ඉදිමුම නිසා ය. කැඩපත ඔස්සේ ඈ දුටු ඇය, උදේ ම ගුවනි හමුවට ඒ විදිහට ගිය එක ගැන පසුතැවිලි ද වූවා ය. හැන්දෑ වන විට ඉදිමුම මඳක් සමනය වී තිබිණි. නිකිනි අලුත් හුස්මකින් පෙනහලු පුරවමින් සඳැල්ලට වී පිටත බලා සිටියා ය. පහල සිට ඉහල බැල්කනිය තෙක් ලනුවක් දිගේ ඉහළට ආ නිල් පාට මල් රෑන් එල්ලෙන මල් වැල මේ දින වල මල් බර වී තිබේ. ලොකු සුවඳක් නැතත් තුනී මකරන්ද පුසුඹක් ඉන් විහිදෙන්නේ ය. බමර සේනා මේ කාලයට ගුම් නද දෙමින් සඳැල්ල වටා කරක් ගසති. බමරුන් ට මල් සමය ගැන පන්ති ගොස් ඉගෙන ගන්නට උවමනා නැත!

“මං හිතුව ඇඳ බදාගෙන නිදිද දන්නෑ කියලත්”

පිටුපසින් ඇසුණ හඬ සහස් ගේ ය.

“උදේ මං යනකොටත් අක්ක නිදි”

“රෑ වෙලයි නින්ද ගියේ. ඇහැරුණෙ ගුවනි ඇවිත් කියල ග්‍රැනී  කතා කළාමයි”

“ගුවනි….එයා මෙහෙ ආවද…”

සහස් දඟකාර බවක් හැඟවූයේ ය. නිකිනි ඔහු වෙතට නෝක්කාඩු බැල්මක් හෙළුවා ය.

“ඒ ගමන මේකාට මොකද වෙලා තියෙන්නෙ…”

“ඇයි අප්ප ඉතිං ලස්සන ගෑනු ළමයෙක් ගෙදර එනකොට අපි හිටියෙ නෑ කියන්නෙ කොච්චර පාඩුද… කොහෙද ඉතිං…අක්කල හිටියට මල්ලිලව කලිං දැනුවත් කරන්නෙ නෑනෙ”

“පාලිකා නැන්දා මාව සම්බෝල දායි හොඳේ”

සහස් හඬ නගා හිනැහුණේ ය. මේ සෙවනේ ගෙවී ගිය ඔවුන් ගේ ළමා විය හා බැඳුණු මතක පෙළක් නිකිනි ගේ හිත වටා කඳවරු බැඳ ගත්තේ ය. යළි කවදාවත් ඒ අතීතය නැවත කැඳවා ගත නො හැකි ය. ඒ සැහැල්ලුව අතීතයට පමණක් අයිති ව තිබි එකක් සේ දැනේ. නිකිනි සුසුමකින් නිවුණා ය.

“විදත් කකා කළේ නැද්ද ඊට පස්සෙ…”

නිකිනි වහා හිස හරවා සහස් දෙස බැලුවේ ය. යෞවනයා ඇගේ නෙත් බැල්මට හසු වන්නට සිය දෑසට ඉඩ නො තබා ඈත අරමුණක් වෙත දල්වා ගත් බැල්ම ඇතිව සිටියේ ය. වෙනදා ට විදත් ගැන දොඩත්දී සහස් අනිවාර්යයෙන් ම විදත් අංකල් යන විශේෂණ පදය යෙදුවේ ය. පෙර දා සැඳෑවේ දීත් ඔහු එහෙම කළ බව නිකිනි ට මතක ය. නමුත් මේ මොහොතේ සහස් ‘අංකල්’ කියන පදය හැලුවේ ඇයි? ඔහු එහෙම කළේ හිතා මතා ම ද නැත්නම් ඉබේ එසේ කියවිණි දැයි නිකිනි ට සිතා ගත හැකි වූයේ නැත.

“රෑ කතා කළා”

කෙසේ වෙතත් එය මග හැර යා නො හැකි ප්‍රශ්නයකි. ඊට පිළිතුරු දිය යුතු ව ම තිබි නිසාවෙන් නිකිනි කෙඳිරුවා ය.

“එයා මිත්‍ර බාප්පටයි ග්‍රැනීටයි කතා කරල වෙච්ච දේ කියන්නං කිව්ව. මංජුලටත් කතා කරන්නද ඇහුව. මං කිව්ව එපා කියල”

සහස් නිකිනි ගේ මූණ දෙස ම බලා සිටියා ය. ඇගේ ඇස් පිය නැලැවෙන ලතාවත් ඔහු හඳුනයි. සහස් ගේ අතේ ම ඒ කාලේ කොල්ලන් නිකිනි ට කළ ප්‍රේමාරාධනා ඔහු ට තවම මතක ය. නිකිනි ඒ එකකුදු පිළි ගත්තේ නොවේ. ඒ අතරේ ඉතා කඩවසම්, උගත් සේ ම ධනවත් තරුණයෝ සිටියහ. ඒ කවුරුන් වුව ඈ ප්‍රතික්ෂේප කළේ එක ම ආකාරයකට ය. නිකිනි මංජුල හා විවාහ වන්නට නැමැත්ත දුන්නේ ද ඒ දේහ ලක්ෂණ වලින් ම බව සහස් ට සිහි කර ගත හැක. නමුත් මේ මොහොතේත්, ඊයේ සන්ධ්‍යාවේ දී ත්, විදත් ගැන කතා කරත්දී ඇගේ මුහුණේ වූයේ සහස් දැක ඇති හිස් හැඟීම නොවේ. එය පරිපූර්ණත්වයකි. පිරිමියෙකු පිළිබඳව කතා බහ කරත්දී නිකිනි වෙතින් එවන් පූර්ණ ස්ත්‍රීත්වයක් දකිත හැකි වූ ප්‍රථම අවස්ථාව මේ බව තේරුම් ගන්නට බැරි තරම් සහස් දැන් පොඩි ළමයෙකු නොවේ.

“ඔය….විදත් කතා කරපු පළවෙනි වතාවද…”

“නෑ”

ඉතා සිහින් හඬකින් එහෙම කියන ගමන් නිකිනි බිම බැලුවා ය. 

“මංජුල හිතන විදිහෙ දෙයක් විදත් ගෙ හිතේ තියෙනවද….”

“අනේ නෑ මල්ලා. එයා කවදාවත් එහෙම හැඟීමකින් මාත් එක්ක කතා කරල නෑ. එයා දෙපාරක්ම ඩිවෝස් වෙච්ච කෙනෙක් නිසා මට හැම තිස්සෙම කිව්වෙ ලෝකෙ තියෙන වටිනම දේ පවුල  කියලයි”

නිකිනි තරමක් කලබල වී ඇති බවක් පෙනිණ. කෙසේ වෙතත් මිදුලේ එකට වැටී සෙල්ලම් කළ පොඩි එකා මේ මොහොතේ මල්ලී කෙනෙකු නොව සිය වැඩිමහල් සහෝදරයෙකු සේ නිකිනි ට දැනුණ බව නම් ඇත්තකි. ඔහු කෙරේ මීට පෙර කිසි දා ක නො දැනී තිබූ ආකාරයේ බය පාක්ෂික බවකින් නිකිනි ගේ හදවත ගැහිණ.

“ඒත් ඔයාගෙ හිතේ එයා ගැන විශේෂත්වයක් තියෙනව නේද…”

මහ සයුර මැද්දට පතිත වූවා බඳු කැළඹීමකින් ක්ෂණික ව නිකිනි ගේ හුස්ම හිර වී ගියේ ය. ඒ මොන විදිහේ ප්‍රශ්නයක් ද? එහි කිසිදු අනුමානයක් වූයේ නැත. ඔහු ට නිසැක ලෙස එහෙම දැනෙන බවත්, එය සනාථ කර ගන්නට පමණක් මේ ප්‍රශ්නය අසන බවත් සහස් ගේ වත මත ලියැවී ඇති සෙයක් නිකිනි ට දැනිණ.

“මල්…ලා…”

ඇගේ ඇස් වල භීතියක හෝ සන්ත්‍රාසයක සේයා විය. ඒ ඇස් සාමාන්‍ය ප්‍රමාණයට වඩා මහත් වී තිබුණේ ය. නමුත් කිසි සේත් ඇගේ ඇස් සිය ප්‍රකාශය ප්‍රතික්ෂේප නො කරනවායි සහස් ට දැනුණේ ය.

සිය හදවතට පමණක් සීමා වී තිබූ, බොහෝ දුරට විදත් ට වුව ඉඟියක් දැනී ඇතැයි ඇය නො සිතූ අතිශය පෞද්ලික හැඟීමක් සහස් විසින් අනාවරණය කර ගැනීම ගැන මුලින් ම නිකිනි තැති ගත්තා ය. ඇය භීතියට පත් වූයේ එබැවිනි. නමුත් එසැනෙන් ඕ යථා තත්වයට පත් වූවා ය. ඈ ඉදිරියේ ඉන්නේ සහස් ය. ඔහු කවුදැයි ඈ තරම් හොඳින් ඔහු ගේ මව් වන පාලිකා වුව නො දන්නවා විය යුතු ය. එක බඩ වැල කඩා ගෙන නාවාට අයියා වගේ දැන් මේ ඈ ප්‍රශ්න කරන්නේ ඇගේ මල්ලී ය. ඒ සිතිවිල්ල නිකිනි ගේ දෙතොල් අතර මඳහසක් තවරන්නට හේතුවක් විය.

“එයා මුලිංම මගෙ හිතේ චමත්කාරයක් වුණේ අපිත් එක්ක පොඩි එකෙක් ගාණට වැටිල එයත් සෙල්ලං කරපු ඉස්සර කාලෙයි මල්ලා. කොටිංම කියනවනං මං ලොකු ළමයෙක්වත් වෙලා නැති තරං පුංචි කාලෙ. ගෑනු ළමයෙක්ගෙ හිතේ ඒ වයසෙදි ඇඳෙන පිරිමි රූපයක් මැරෙනකල් ම අමතක වෙලා යන්නෑ මල්ලා”

සහස් කම්පිත ව ගියේ ය. ඔහු කොහෙත් ම සිය ප්‍රශ්නය ට මෙවන් පිළිතුරක් බලාපොරොත්තු වූවා නොවේ. ඔහු හිතුවේ නිකිනි ගේ පවුල සමාදාන කරවනු වස් විදත් නිකමට කතා කළ බව ය. පවුල් ජීවිතයේ ප්‍රශ්න වලින් හෙම්බත් වී සිටි නිකිනි, හදිසියේ පහළ වූ දෙවියෙකු සේ පෙනී සිටි විදත් ට සිය දුක කියන්නට දෙවරක් නො සිතූ බව ය. මංජුල ගේ දුෂ්ටකම් දැක තිබි ඇය, දුරකතනය ඔස්සේ ඇදී ආ විදත් ගේ කරුණාව කෙරේ වසඟ වූ බව ය. ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ වන ඕනෑ ම පිරිමියෙකු, වෙනත් පිරිමින් ගේ බිරින්දෑවරුන් ගේ දේවතා එළිය වන්නට සමත් බව සහස් දැන සිටියේ ය. විදත් එවන් රංගනයක නියැලෙන්නට ඇති බවත්, නිකිනි- කතරට වට දිය පොදක් කෙරේ කතරක් වසඟ වන්නේ යම් සේ ද එසේ ම විදත් කෙරේ ආශක්ත වන්නට ඇති බවත් සහස් සිතුවේ ය. 

බෝම්බය පුපුරා ගියේ එය එසේ නො වන බව වැටහෙන්නට ගත්දී ය. විදත් කියන්නේ නිකිනි ලොකු ළමයෙකු වන්නටත් පෙර සිට රහසේ පෙම් කළ පුරුෂයා බව දැන ගත්දී ය.

සහස් ගේ උඩු තොල මත දහ බිඳු රෑනක් මතු වී තිබිණි. ටික වෙලාවක් ගොළු ගැහී එතැනට වී සිටි ඔහු, “අපි පස්සෙ කතා කරමු අක්කා”කියා ගෙන යන්නට ගියේ ය.

නිකිනි තව දුරටත් සැහැල්ලුවට පත් ව සිටියා ය. ඇය ට ඈ පමණට ම සහස් විශ්වාස ය. විදත් හෝ නො දන්නා ඔහු  පිළිබඳ රහස සහස් ඉදිරියේ හෙළිදරව් වීම ගැන ඇය බිඳකිනුදු පසු තැවිලි නොවුණා ය.

“කතා කරන්න පුළුවන් ද?”

යනුවෙන් විදත් වට්ස් ඇප් පණිවිඩයක් තබා තිබෙනු නිකිනි දුටුවේ රාත්‍රී අහර කිස කාමරයට පැමිණි විට ය. දොර වසා දමමින් ම ඕ “පුළුවන්” කියා ලීවා ය. එසැනෙන් දුරකතනය හැඬවිණි.

“ගොඩක් වෙලා මං මැසේජ් කරල”

ඒ හඬ නෝක්කාඩුවක් නොවේ.

“දැනුයි මං රූම් එකට ආවෙ”

“ඉතිං…”

නිකිනි මඳ සිනා පෑවා පමණි. එක අතකට මේ හීනයකි. අනිත් අතට මේ හීනයක් හැබෑ වීමකි. මේ ආදරණීය මිනිසා සමග මේ විදිහට සැතපුම් දහස් ගණනක් දෙපස හිඳ හෝ කතා කරන්නට ලැබෙතැයි ඇය සිහිනයකිනුදු සිතා තිබුණේ නැත.

“මොකද තත්වෙ…මංජුල කතා කළේ නැද්ද…”

නිකිනි දිගු සුසුමක් හෙළුවා ය. ඒ සුසුමේ අග හෙමිහිට මිමිණුවා ය.

“ගිය සැරේ මාස ගාණක් ඉඳලත් කතා කරපු නැති කෙනා මේ එක දවසට කතා කරයිද…”

“මට මහ අවුල් අප්ප…මං නිසානෙ මේක වුණේ”

“මේක කොහොමත් වෙන්න තිබුණ දෙයක්”

“ඩෙස්මන් අංකල්ට මාත් එක්ක යකා නැගල ඇති”

“පප්පා කිව්වා ලෝයර්ව යවනව කියල. ඩිවෝස් එක ගන්න”

“කලබල වෙන්නෙපා නිකිනි”

“මං ආයෙ ජීවත් වෙන්න එපා කියලද කියන්නෙ…”

“කෙල්ලෙ…ඔයාට කොහොමද මට හිතෙන දේවල් කියන්නෙ…”

“මං මේකට ෆේස් කරන්න ලෑස්තියි. ප්ලීස්…මාව ආයෙත් ඒ පැත්තට තල්ලු කරල දාන්න හදන්නෙපා”

ඇය ට රිදෙමින් තිබුණේ ය. උගුර හා පපුව අතරේ දරුණු වේදනාවක් හිර වෙවී තිබුණේ ය. නිකිනි මුව මඳක් විවර කොට හුස්ම ගත්තා ය. වැරදි ගමන් සගයෙකු සමග දුර ගමනක් යාම පහසු නැත. තනිව ඒ ගමන යන එක ඊට වඩා බෙහෙවින් පහසු ය. මේ වතාවේ දුර්වල දියාරු කෙල්ලක සේ දිය නොවී දැඩි ව තීරණ ගන්නට ඇය හිත දැඩි කර ගත්තා ය.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

error:
2
0
Would love your thoughts, please comment.x
()
x