“මොකද වුණේ මල්ලි..”
මා විසල්ට සමීප වූයේ එසේ අසමිනි. නිසල් තදබල කෝපයකින් මදෙස බැලී ය.
“අක්කගෙ මස්සිනා නෙළල..මේක මාරම කරුමයක් උනා.මං හිතුණොත් ඕකගෙ අඬු දෙකතුනක්ම කඩල දානව..”
හදවත කෝපයෙන් උතුරා යද්දී ඔසුවලින් යටපත් කරමින් හුන් ඉක්මන් කෝපය මගෙන් ඉවතට ආවේ මට නොදැනී ය.මා ධීරට කිසිම බැඳීමක් නැත.ඔහු මිතුරෙකු පමණි.සියල්ලන්ම ඔහු මගේ පෙම්වතා බව සිතීම ම මට ගෙනාවේ මහා කෝපයකි.
“මට මස්සිනාලා නෑ නිසල්..අඩුම තරමේ මට කොල්ලෙක්වත් නෑනෙ..ඒ හින්දා නිකං ලෝකෙ නැති නෑකම් කියන්න එපා. මනුස්සකමට විසල්ට මොකද බලන්නනෙ පහළට ආවේ. විකාර කතා කියනකොට මටත් කේන්ති යනවා..”
නිසල් ධීරගේ මල්ලි සමඟ කෝපයෙන් සිටි බව ඇත්තකි.නමුත් ඔහුට ඉතා ආදරයෙන් සලකන මා එක්වරම කඩා පැනීම ගැන නිසල් සැබෑවටම ගැස්සී ගියේ ය.මා ඔහු මට අමතන හඬ ද නෑසුණා මෙන් එන්නට ආවෙමි.
කාමරයට පැමිණ මම බොහෝ වෙලාවක් එහෙමෙහෙ සක්මන් කළෙමි.ධීරට හදිසියේ සමීප වීම මා කරගත් අනුවණම දෙයක් බව මට හැඟෙන්නේ දැන් ය.ඔහුගේ අම්මා අමුතුම වර්ගයේ කාන්තාවකි.ඇය උජාරු මෝඩ කතා කියමින් අපේ ගෙදර සෝපාවේ ඉඳගෙන ඉන්නා අන්දම මවා ගත්තෙමි.ඕනෑම සුළු කාරණාවකට දබර කරන ධීරගේ මල්ලි වැනි තරුණයෙකු අපේ තාත්තාගෙන් හොඳ දෙකක් අසා ගන්නට ඇති ඉඩකඩ ගැන අනතුරුව මම සිතන්නට ගත්තෙමි. පසන් නිසා ගොඩ නැගෙන්නට මට කොපමණ කාලයක් ගත වූවා දැයි අමතක කර දමා නැවතත් මිරිඟුවක් පසුපස යන මා ගැන මට දැනුණේ දුකකි; කේන්තියකි.
“අපේ ෆ්‍රෙන්ඩ්ෂිප් එක පටන් ගත්තා ඉක්මන් වැඩී ධීර.අපි ළං වෙනවත් වේගෙ වැඩියි.ඔයාගෙ යාළුකම මට වදයක් වෙන්න පටන් අරන්.ධීර, අපි ආයේ යාළුවෝ නෙවෙයි…”
මා සමඟ පොත් ප්‍රදර්ශනයට ගොස් කාලය නාස්ති කරගත්, වෛද්‍යවරයා හමු වන්නට උපක්‍රමශීලිව මා රැගෙන ගිය, මට බෙහෙත් බොන්නට මතක් කරන තරුණයාට එසේ ලියා යවන්නට තරම් මම අසංවේදී වීමි.නමුත් මට එසේ නොකර ඉන්නට ද සිතුණේ නැත.
ඔහු සිනා මුහුණක් පමණක් එවා තිබිණි.එය සමච්චලයට සිනාසෙන මුහුණ වූවා නම් මට ඔහු හා රණ්ඩුවක පැටලෙන්නට තිබුණ ද ඔහු එවූයේ මඳ සිනාවක ලකුණ ඇති ඉමොජියකි.
“මම ඇත්තටම කීවේ..” කතාව දිගට ගෙන යන්නට උවමනා වූ මම ලියා යැවීමි.ඔහු බොහෝ වෙලාවක් යමක් ලියන අන්දම මට දිස් වෙන්නට පටන් ගත්තේ ය. ඔහු මා වෙනුවෙන් කළ කී දෑ ලියා එවනවා විය යුතු ය.මට දැනුණේ කුරිරු සතුටකි.කාලයකට පසු කොල්ලෙකු හා දබර කරන්නට ලැබීම ම සතුටකි.
“අපේ අම්මා නිසා ඔහොම වුණු බව මම දන්නවා.ගීත්මි වගේ හොඳ ගෑනු ළමයෙකුත් මට නැති කරේ අපේ අම්මගෙ හැසිරීම්.ඉතින් ඔයා වගේ හදිසි කුණාටුවක් නැති වෙන එක සිම්පල් වැඩක්.පරිස්සමින් ඉන්න නංගි.වෙලාවට බේත් බොන්න..”
එපමණකි.ඔහු මගේ කම්මුලට ගැසූ පරිදි තදබල වේදනාවක් මා පෙළන්නට විණි.මා ඇස් වසාගෙන ගුලි වී නිදන්නට උත්සාහ ගත්තෙමි.නමුත් නින්ද අහලකවත් නැත.දෑස් උතුරා ගලා යද්දී මා ඇඳේ පෙරළෙමින් ඔහේ පැය දෙක තුනක් ගෙවා දමන්නට ඇත.
“සාරා..අන්න නිසල් කතා කරනවා..”
කේතකී කාමරයට එබුණේ එසේ කියමිනි. නිසල්ගේ කෑගැසීම නිසා සියල්ල අවුල් ව තිබිය දී පවා මම ඔහු දකින්නට ගියේ දෝතින්ම මුහුණ පිසදා ගනිමිනි.
“අක්කා..ඔයා අඬල නේද සොරි..”
මගේ ඉදිමුණු මුහුණ දෙස බලමින් නිසල් කියන්නේ ශෝකයෙනි.අඩ අඳුරේ පවා මා හඬා ඇති බව ඔහු දකින්නට ඇත. ඒ ඔහු පැවසූ දේ ගැන උපන් කෝපයෙන් බව ද නිසල් මල්ලී සිතන බව මම දනිමි.මා නිසල් සමඟ තරප්පු පෙළෙහි හිඳ ගත්තේ මඳ සිනාවක් හෙළා ය.
“භාතිය මල කරුමයක් වෙලා අක්කේ.ඒ නිසා මට යකා නැගල හිටියෙ. ඇත්තටම මේවට ධීර අයියා පලි නෑ.අඩුම භාතිය කියන්නෙ අයියගෙම මල්ලියෙක්වත් නෙවෙයිනෙ අක්කෙ..”
ඒ මා කලින් නොඇසූ පුවතකි.මම ගල් ගැසී නිසල් දෙස බැලීමි.ධීර කියන්නේ හදාවඩා ගන්නා දරුවෙක් ට ද? නැතිනම් අර විකාර සහගත ස්ත්‍රිය ඔහුගේ කුඩම්මා ද?
” ඔය ධීර අයියලගෙ අම්මගෙ ෆැමිලිය මේ පළාතෙ සල්ලිකාරම මිනිස්සු අක්කො.ඒත් ඔය ඇන්ටි එයාලගෙ කඩේක වැඩ කරපු මනුස්සයෙක් එක්ක යාලු වෙලා..පොඩි කාලෙ..ඒ භාතියගෙ තාත්තා..”
නිසල් අපබ්‍රංසයක් දිග හැරියේ ය.මම අසා හිඳින්නට පටන් ගත්තෙමි.
“ඊටපස්සෙ පවුලෙ අය බලහත්කාරෙන් ධීර අයියගෙ තාත්තට ඇන්ටිව බන්දල දීලා. ඒත් ධීර අයිය ලැබෙනකොටත් භාතියගේ තාත්තා එක්ක සම්බන්දෙ අරන් ගිහිල්ල තියනව ඇන්ටි.ධීර අයියලගෙ තාත්තා ඩිවෝස් වෙලා..පස්සෙ ඇන්ටි භාතියලගෙ තාත්තව බැඳලා. වැඩේ කියන්නෙ අක්කේ භාතියලගෙ තාත්තා ධීර අයියට ආදරෙයි.ඇන්ටිගෙ තමයි වෙනස්කම් තියෙන්නෙ”
මගේ හිස ගිනි ගත්තේ ය.එවැනි වේදනාසහගත අතීතයක් සහ වර්තමානයක් දරා හිඳින තරුණයෙකුට මීට පැය කිහිපයකට පෙර මම ද බැන වැදුණෙමි.මට හඬන්නට ඕනෑ විය.
“ධීරට පුලුවංනෙ තාත්තා ගාවට යන්න..”
මට තරම් හදිසි විසඳුම් කිසිවෙකුටත් කල්පනා වන්නේ නැත.
“ඒ අංකල් රටෙත් නෑ අක්කේ.ආයේ මැරීඩ්ලු. වසන්තා ඇන්ටි ඉන්නකම් සල්ලි එව්වලු අයියට.දැන් ධීර අයියා ගන්නෙ නැතුව ඇති අක්කේ..”
තවත් බොහෝ දෑ කියවමින් සිටි නිසල් මල්ලී මගෙන් සමාව ඉල්ලා යන්නට ගියේ ය. ඔහුට දෙන්නට සමාව ඉතිරිව තිබුණ ද මට දෙන්නට සමාවක් මා ළඟ නොවී ය.
ධීර, බිඳ වැටුණු දරුවෙකු වූ ඔබව මා ද බිඳ දමා අවසන් ය.මගේ කමකට නැති වචන යළි ඇද ගන්නට නොහැකි කමින් පීඩිත වූ මට කළ හැකි වූයේ ඉකි ගසමින් හැඬීම පමණකි.