හේමන්ත සන්ධ්‍යා -44

විදත් මෝටර් රථය පැදවූයේ කන්ද උඩ රට දෙසට ය. ඔවුන් ට කිසි කලබලයක් වූයේ නැත. නිකිනි ට නතර වී සිරි නරඹන්නට ඕනෑ වූ සියල් තැන් හි විදත් ගේ රිය නැවතිණ. ඔවුන් දෙදෙන ම ළා බාල යෞවනයේ පෙම්වතුන් ගේ තත්වයට සිතින් ගතින් පත් ව සිටින්නට ඇත. 

සිය ජීවිතයෙහි දී පෙම්වතිය ගේ භූමිකාව රඟන මේ දිනය සුවිශේෂ බව නිකිනි දැන සිටියා ය. මේ ආත්ම භවයේ දී මතු කිසි යම් ම දිනෙක ආයේ මේ වගේ දවසක් උදා නො වන්නට පුළුවන. ඒ නිසා සසර පුරාවට මතක හිටින තරම් මතක කන්දක් රැස් කර ගැනීම නිකිනි ගේ අරමුණ වූයේ ය. 

වැව රවුමෙහි විදත් ගේ අතේ එල්ලී ඇවිදිමින් ඕ මත්ස්‍යයන් ට විළඳ කැව්වා ය. අහසෙහිත් පොළොවෙහිත් රෝස පාටින් මල් පලස් එලූ රොබරෝසි වියන මැදින් මල් නො පාගා යන්නට සොඳුරු උත්සාහයක් ගත්තා ය. සිමෙන්ති බංකුවක් මත හිඳ ඔහු ගේ අත තදින්  අල්ලා ගෙන බෝ වෙලාවක් විදත් ගේ මුහුණ දෙස බලා උන්නා ය. ජීවිතයේ ප්‍රථම වතාවට පිරිමියෙකු ට කියා බත් කවා ගත්තා ය. 

“දැං මං ඕන වෙලාවක මැරෙන්න බය නෑ”

විදත් ගේ අතක් සිය දෑතින් ම තද කොට අල්ලා ගෙන නිකිනි මිමිණුවේ අවංකව ම ය.

“මන්නං දැං තමයි මැරෙන්න බය”

විදත් සුසුමකින් අරඹා කීවේ ය.

“ඇත්තට ම ජීවිතේ ගැන පුදුම ලෝබ කමක් දැං දැනෙනව නිකිනි. ආයෙත්නං ඔයාව මග ඇරගන්න බෑ. මග ඇරෙන්න හිතන්නත් එපා”

ඔහු ගේ වයසට ඒ වගේ කතා කොයි තරම් ගැලපේ ද කියා හිතන්න ට විදත් ට ඕන වුණේ නැත. ස්ත්‍රී ඇසුරෙහි ආගන්තුකයෙකු නො වූවා ට ප්‍රේමය ඇසුරේ මේ ඔහු ගේ ප්‍රථම අත්දැකීම සේ ඔහු ට දැනෙමින් තිබිණ.

එදා හැන්දෑවේ යළි ඔබේසේකර මැදුරට පැමිණියේ ප්‍රේමයේ හතර මායිම් ස්පර්ශ කළ පෙම්වතියකි. කිසි දා ක විදත් ගේ පාදපරිචාරිකාව වෙන්නට නො ලැබුණත්, හුස්ම වැටෙන තුරාවට ඒ ප්‍රේමයෙන් හුස්ම ගන්නට ඇය තමන්ට ම සපථ වී සිටියා ය.

“මංජුල ඇවිත් ගියා”

සුමනා අලුත් ම ආරංචිය නිකිනි වෙත ගෙනාවා ය. නමුත් මංජුල වූ කලී තව දුරටත් ඇගේ සිත් හි ගැස්මක් ඇති කළ හැකි චරිතයක් නොවූයේ ය.

“මංජුල කියනව වෙච්ච හැම දේම අමතක කරල අලුතෙන් පවුල් ජීවිතේ ගත කරන්න එයා කැමතියි කියල”

නිකිනි ගේ උදර පෙදෙසෙහි දැවිල්ලක් ඇය ට දැනිණ. 

“ඒ යෝජනාවෙ මමනං වරදක් දකින්නෙ නෑ නිකිනි “

සුමනා ට එසේ කියා කට ගන්නට ලැබුණේ නැත.

“වරදක් දකින්නෑ නෙවෙයි අම්මෙ වෙන්න ඕන හොඳම දේ ඒක”

කොහේදෝ සිටි පාලිකා ඒ කතාවට මැද්දෙන් පැන්නා ය.

“පවුලක් කඩල අලුතෙන් පවුලක් හදනවයි කියන එක හපන් කමක්ද…කවුද දන්නෙ ඒ පවුලත් කැඩිල යයිද කියල…මංජුල කැමතිනං සමාදාන වෙන්න ඒකට ඉඩ දෙන්න අම්මෙ. නැතුව මේ මේගොල්ලංගෙ හිත් දුවන දුවන හැටියට වැඩ කරන්න පුළුවන් කමක් නෑනෙ”

සුමනා පාලිකා ට පිළිතුරු දෙන්නට නො ගියේ, ඉන් නිකිනි ගේ හිතේ කෝන්තරයක් ඇති වන බැවිනි. පාලිකා ගේ අරමුණ සදිසා ව විදත් ගේ කරේ එල්ලා ඕස්ට්‍රේලියාවට යැවීම බව දැන් සුමනා දන්නී ය. නිකිනි ට විදත් හා විවාපත් විය නො හැකි ය යන මතය ඉදිරිපත් කරනවා නම්, සදිසා විෂයේත් එය වලංගු ය. මන්ද යත් සදිසා වූ කලී නිකිනි ටත් වඩා වසර දෙක තුනකින් බාල වන බැවිනි.

සුමනා කියන්නේ පාලිකා මෙන් කන්නට ඕනෑ වූ විට කබර ගොයාත් තල ගොයා කර ගන්නා ආකාරයේ ස්ත්‍රියක නොවේ. නිකිනි ට අකැප විදත් ව සදිසා ගේ විදේශගත වීම සඳහා ඉත්තෙකු කර ගන්නවා දකින්නට ඇය ට කොහෙත් ම ඕනෑ නැත. ඒ නිසා පාලිකා සිටිනා තැන සිට නිකිනි ගේ ප්‍රශ්නය දෙස බලන්නට සුමනා කිසි සේත් උනන්දු වූයේ නැත.

නමුත් මංජුල ගේ මේ යෝජනාව සුමනා තුළ අලුත් ප්‍රබෝධයක් දනවන හේතුවක් බවට පත් වී තිබේ. විවාහ ජීවිතයක් කියන්නේ මොන තරම් සංකීර්ණ වූ සම්බන්ධයක් ද කියා සුමනා ට වෙන කෙනෙකු වෙතින් පාඩම් උවමනා නැත. ඩෙස්මන් සමගින් ඇගේ විවාහය සිදු වූ මුල් යුගයේ එය තනිකර ම ප්‍රශ්න ජාලයක් වූයේ ය. සුමනා ඉංග්‍රීසි ගුරුවරියකි. ඩෙස්මන් ව්‍යාපාරිකයෙකි. ඔහු ගේ ලෝකය පුළුල් වූ අතර ඇගේ ලෝකය අතිශය පටු එකක් විය. මේ නිසා ම දෙදෙනා අතරේ ඇති වූ ගැටුම් වල කෙළවරක් නොවී ය. නමුත් විවාහක බිරිඳක ගේ ඉවසීම ගැන ඇය ඕනෑ තරම් අවවාද අනුශාසනා ලබා තිබුණි. අනිත් අතට ගුරුවරියක වශයෙන් ඇය සමාජයට ආදර්ශමත් චරිතයක් විය යුතු වූයේ ය. ප්‍රශ්න අතරේ ම දරුවන් ගණන තිදෙනෙකු දක්වා වර්ධනය විය. ඒ නිසා මොන ප්‍රශ්න තිබුණත් ඒ විවාහයෙන් පිටතට යාමක් ගැන සිතන්නට හෝ ඇය ට හැකි වූයේ නැත.

ඩෙස්මන් හා සුමනා යනු කවදාවත් රන් රස සේ පෑහුණ යුවලක් නොවේ. විවාහයේ මුල් වසර තුන හතර තුළ ඒ නො ගැලපීම් බරපතල ගැටුම් ලෙස වර්ධනය වූ හැටි සුමනා ට මතක ය. නමුත් කාලය ගත වී යත්දී හා ඒ කාලය තුළ උනුන් හා මුහු වෙමින් උනුන් ව වටහා ගත්දී, නො ගැලපීම් ගැලපීම් බවට පත් වූයේ නැතත් ඒ නො ගැලපීම් වලට ඔරොත්තු දෙන්නට ඔවුහු පුරුදු වූහ. 

අන්තිමේ අදටත් ඔවුහු අත්දැකීම් බහුල අඹු සැමිවරු ලෙස එක් ව ජීවත් වෙති. පහු වෙත්දී ඔවුන් අතර වූයේ එක ගෙදරක ජීවත් වීමේ පුරුද්දක් බව සුමනා ට මතක ය. 

මංජුල ව අතැර විදත් වෙත ගියා ය කියා නිකිනි ට ඊට වඩා වෙනස් අත්දැකීමක් ලද හැකි වෙතැයි සුමනා ට සිතිය නො හැකි ය.

“මං කියන්නෑ මංජුල කරපු දේ හොඳයි කියලවත් මංජුල හොඳයි කියලවත්. හැබැයි නිකිනි ට මංජුලත් එක්කම සෙට්ල් වෙන්න පුළුවන් නං වඩාත් හොඳයි කියන එකයි මට පේන්නෙ”

හැකි තාක් නිකිනි ගේ සිත් හි රිදීමක් ඇති නො වන සේ කතා කරන්න ට සුමනා ප්‍රවේසම් සහගත වූවා ය.

“දරුවො. විදත් කියන්නෙ දැනටමත් වයස පණහකට කිට්ටු පිරිමියෙක්”

සුමනා එය කීවේ හඬ බෙහෙවින් බාල කොට නිකිනි ගේ සවනට ද ලං ව රහසක් කියන්නා මෙනි. 

” මටත් තිහකට ළඟයිනෙ ග්‍රැනී”

නිකිනි ඇගේ වයස මතක් කොට සිටියේ සුමනා එක්ක නො මනාපයකට නොවේ. විදත් ගේ පණහකට ආසන්න වීම ඇයට ගැටළුවක් වී නො මැති බව නො කියා කියන්නට ය. පාලිකා රොස් වූවා ය.

“අනේ ඇත්තට දැං හැදෙන නෑම්බියොත් එක්ක කතා කරන අපිටයි බූවල්ලෙන් තලන්න ඕනෙ. විදත්ගෙ වයස නෙවෙයි මෙතන තියන ප්‍රශ්නෙ නිකිනි. ඔයාට පවුලක් තියනව. ඔයාට පුළුවන් නං මංජුලගෙ හොර මනමාලිව ඔයාගෙ හොඳම යාළුව කර ගන්න…ඇයි මංජුලව හස්බන් විදිහට පිළිගන්න බැරි…”

නිකිනි ට දැනුණේ ඇය අහසින් පොළොවට වැටුණාක් මෙනි. පාලිකා ඉදිරිපත් කොට තිබෙන්නේ පහසුවෙන් බිඳ හෙළිය නො හැකි තර්කයකි.

“ඔයාගෙ හිතේ මුල ඉඳලම විදත් ගැන පිස්සුවක් තිබිල තියෙනව. ඒකයි මේ හැම ප්‍රශ්නෙකටම මුල. ඒක නිසයි ඔයා කසාද ජීවිතේ අවුල් කර ගන්නෙ. මංජුල වුණත් ඔය තත්වෙට වැටෙන්න ඇත්තෙ ඒක නිසයි”

“නැන්දා මේ…නිකං බොරු චෝදනා කරන්න එපා”

නිකිනි විදුලියක් සේ නැගී සිටියා ය. සිය දිවියෙහි කිසි දාක ඔබේසේකර මැදුරේ වැඩිහිටියෙකු වෙත ඇය ඒ විදිහට වචන වලින් දමා ගසා නැත.

“මංජුල අයාලෙ යන්න මගෙ කිසි වැරැද්දක් හේතු වුණෙ නෑ. හැබැයි දැන්නං මට මංජුල ළඟට යන්න ඕන කමකුත් නෑ. මොන හේතුවක් නිසාවත් මං එහෙම කරන්නෙත් නෑ”

දැඩි ආවේගයකින් එසේ කියා දැමූ නිකිනි කාමරය වෙත ගියා ය. 

“පාලිකා හැම එකටම කට දාන්න එන්න එපා”

සියලු නො රිස්සුම් පාලිකා පිටින් හරිමින් සුමනා ද කාමරයට ගියා ය. නමුත් නිකිනි සමග කතා කොට කෙසේ හෝ ඇගේ හිත යළි මංජුල වෙත නම්මා ගැනීමේ ඇගේ අදහස යටපත් වූවා නොවේ.

“මන් දන්නෑ මගෙ ඉරණම කොයි විදිහට ලියවෙන්න තියෙනවද කියල. ඒත්…මට ආයෙ මංජුල ළඟට යන්න බෑ. ආදරේ කියන්නෙ මොකද්ද කියල එක මොහොතකට හරි විඳ ගත්තට පස්සෙ…ආත්ම හතක් තනියම හිටියත් මට ආයෙ මංජුල වගේ කෙනෙක් ඕන නෑ”

නිකිනි විදත් ට ගතු කීවේ හැඬූ කඳුළෙනි. ඔහු ගේ පපුව මත මහ කන්දක බර පැට වී තිබිණි. තවමත් ඇගේ නීත්‍යානුකූල පුරුෂයා මංජුල ය. නමුත් ඔහු ට සිතුණොත් කවුරු එරෙහි වුව ද ඔහු ඈ කැටි ව යන බව විදත් දනී. නමුත් ඊට පෙර, කතා බහ කොට යමක් විසඳා ගත හැකි දැයි බැලිය යුතු ය.

විදත් මංජුල ගේ ගෙදරට යන මං සලකුණු අසා ගත්තේ සහස් ගෙනි.

“මාත් එන්නද විදත් අයියෙ…”

විදත් ව එහි තනි ව යවන එක ගැන යම් කුකුසක් සහස් වෙත විය.

“ඕන්නෑ බං. මට මේක මූ එක්ක තනියම විසඳ ගන්නයි ඕනෙ”

“හරි. අයිය එහෙනං ගිහිං කතා කරන්නකො. හැබැයි ඉවසීමෙං. ඕකේ…”

“නැති වෙලා යන්නම පුළුවන් දේ ඕක තමයි. බලමුකො”

විදත් මංජුල හමු වන්නට ඔහු ගේ නිවෙසට යන බවක් නිකිනි දන්නේ නැත. සහස් හෝ විදත් ඒ බවක් කියන්නට නො ගියේ ඇය අනවශ්‍ය කලබලයකට පත් වෙතැයි සිතුණ බැවිනි. 

විදත් යත්දී මංජුල සිටියේ විශ්ව විද්‍යාලයට යන්නට සූදානම් වෙමිනි.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

ශරදාකාසේ -33

පංචලී පුතෙකු බිහි කළා ය. පෞද්ගලික රෝහලක සුව පහසු ලෙස ඒ අත්දැකීම විඳ ගන්නට ශාරද ඇය ට අවස්ථාව උදා කර දී තිබුණේ...

කුඩුකේඩුකම්

"අම්මේ,මම දැක්කනෙ දෙව්මි පිරිමි ළමයෙක් එක්ක බස් ස්ටෑන්ඩ් එකේ ඉන්නවා." චතුරි ගෙට ගොඩ වුණේ එහෙම කියාගෙන.විශ්ව විද්‍යාලයේ ඉඳලා කාලෙකට...

වැටකොළු පොතු අපතේ නොදා සැකසිය හැකි ආහාර

මේ බොහොම අසීරු කාල පරිච්ඡේදයක්.ගෘහණියන් හැටියට අපිට කිසිවක්ම අපතේ යවන්නට මේ කාලයේ බැහැ.එළවළු පිරිමසාගෙන ඉවුම් පිහුම් කරන්න අපි හුරු වෙන්න ඕනෑ.ඒ නිසාම...

හිමගිරි අරණ -18

"මම හිතුණොත් පාරමීට කියනවා මං ගැන බලාපොරොත්තු තියා ගන්න එපා කියලා." රවිඳුගේ ඒ වචන හිමාෂා තිගැස්මට ලක් කරන්නට සමත්...

(අ)හිමි සිහින -122

දින කිහිපයක්ම ඔබට අහිමි සිහින ගෙන එන්නට නොහැකි වීම ගැන මුලින්ම අපි ඔබෙන් සමාව ඉල්ලා සිටිනවා.යම් අපහසුතා කිහිපයක් නිසා තමයි ඔබ මඟ...