මතක දිගහැරුම 8 – අප්සාරි සිංහබාහු තිලකරත්න

නවවන දිගහැරුම ,

මා දිනපතාම පාසල් යන්නේ හිරෝෂිමාවට පරමාණු බෝම්බ හෙලූ තැන ඉදි කර ඇති කෞතුකාගාරය අසලින් ය .ජපන් ජාතිකයන් වැඩිපුරම සාමය අගය කරන පිරිසක් බවට පත්ව ඇත්තේ එම බෝම්බ ප්‍රහාරයෙන් පසුව ය .

හිරෝෂිමාවට එල්ලවූ එම පරමාණු බෝම්බ ප්‍රහාරය ගැන ඇත්තේ අතිශය දුක්බර සහ ඛේදජනක කතා පුවතකි . එවකට එම බෝම්බ ප්‍රහාරයට හසුවූ ඇතැම් මිනිසුන්ගේ ඇටකටු සහ අළුවත් සොයා ගන්නට ලැබී නැත .ඇතැම් ගල් වල මිනිසුන්ගෙ සෙවණැලි මෙන් සලකුණු සටහන් වී ඇති අතර එම ස්ථාන වල මිනිසුන් සිට ඇති බවට පැවසේ . අදටත් එම ප්‍රදේශයේ ඇතැම් මිනිසුන්ගේ ජාන වලට එම විකිරණ ඇතුල්වී ඔවුන් මිය යන බවට ද මතයක් පවතිනවා . එම ස්ථානයේ වසරකට වරක් සැමරුම් උත්සවයක් පවත්වන අතර එම පරමාණු බෝම්බ ප්‍රහාරය හේතුවෙන් අදටත් මියයන පුද්ගලයන්ගේ නම් එම ස්ථානයේ ඇති පෙට්ටියකට බහා එකතු කරනු ලබයි .

එම පරමාණු බෝම්බ ප්‍රහාරයට ලක් වූ භූමිය කර්කශ වී කිසිදු ජීවයක් හට නොගන්නා බවට පැවසුනද ජපන් ජාතිකයන් එම මතය වෙනස් කර ඇත . දැන් එම ස්ථානයේ විවිධ පැහැයන්ගෙන් යුතු රෝස මල් යායක් පරිසරයට අතිශය සුන්දරත්වයක් එකතු කරමින් බැබලෙමින් සිටියි.

නවසීලන්තයේ මෞරි ජාතික ජසෙන්ඩා තෙවානෝ නැමැත්තියක් අප පාසලේ ඉගෙනුම ලැබීමට පැමිණියාය .ඇය මා සමග සුහද වී මගේ හොඳම මිතුරියක් බවට පත් වූ අතර ඇතැම් සති අන්තවල ඇය අපේ නිවසට ද පැමිණියා ය . ජපන් අම්මා මට පාසල් ගෙන යාම සඳහා ආහාර සකස් කර දී මා අතටත් යම්කිසි මුදලක් දීම පුරුද්දක් කර ගෙන සිටියාය . මා මගේ මිතුරිය සමග පාසල් ඇරී හිරෝෂිමා නගරයේ පිහිටා තිබූ අවන්හල් වෙත ගොස් විවිධ වූ ආහාරවල රස බැලුවෙමු. ඒ වගේම විවිධ සාප්පු වෙත ගොස් ඒවායේ ඇති, මින් පෙර අප නොදැකපු විසිතුරු දෑ නැරඹීමටද අප දෙදෙනාම පුරුදු වී සිටියෙමු . නමුත් කිසි දිනක මා විසින් අනවශ්‍ය දේවල් සඳහා මුදල් නාස්ති කළේ නැත . මුදල් වල වටිනාකම සහ මුදල් ඉතිරි කිරීම සම්බන්ධයෙන් මට ආභාසය ලැබුණේ මගේ ආදරණීය දෙමව්පියන්ගෙනි.

මා විසින් මුදල් ඉතිරි කිරීමේ පුරුද්ද පසුපස සුන්දර කතාවක් ඇත. කුඩා කාලයේ මටත් නංගීටත් කැට දෙකක් තිබුණු අතර අවුරුද්ද පුරාම අප දෙදෙනා එම කැටවලට මුදල් එකතු කළෙමු . එම කැට පිරී අවසන් වූ පසු ඒවායේ ඇති මුදල් රැගෙන තාත්තා අපව ගුණසේන පොත් හල වෙත කැටුව ගොස් අපට පොත් මිළ දී ගන්නට අවස්ථාව සලසා දෙයි.

වර්තමානයේ සමහර දෙමව්පියන් මගහැරෙන වගකීම් සහ යුතුකම් වල අඩුව පුරවා ගැනීම සඳහා විශාල වටිනාකමකින් යුත් මුදල් නෝට්ටු දරුවන් අත තැබීමට පුරුදුව සිටී .නමුත් මගේ අම්මාවත් තාත්තාවත් කිසිම දිනක අපේ කැට වලට දැමීම සඳහාවත් අපට නිකරුනේ මුදල් දුන්නේ නැත . ඔවුන් අප හට තමන්ගේ මහන්සියෙන් මුදල් උපයා ගැනීමේ වටිනාකම ගැන කියා දෙන්නට අමතක කලේ නැත.මුදල් ඉපයීම පිළිබඳ පාඩම ඔවුන් අපට ඉගැන්වූයේද ඉතා අපූරු ක්‍රමයකටය . එකල ගේ අතුගෑම , මිදුල අතු ගෑම ආදී නිවසේ වැඩ කටයුතු නංගිත් මමත් තරඟයට සිදුකරන අතර එවැනි අවස්ථාවන් වලදී අම්මා සහ තාත්තා අප අතට කුඩා මුදලක් ලබා දෙයි . අප විසින් කැට වලට දමා එකතු කළේ එම මුදල් ය .එසේ එකතු කළ මුදල් වල වටිනාකම අපට ඉතා විශාල වූ අතර අපගේ මහන්සියෙන් මුදල් උපයා උපයා ගැනීම සතුට ගෙන දෙන්නක් ද විය .

ජපන් දරුවන්ට ඉංග්‍රීසි ඉගැන්වීමෙන් , කේක් සෑදීමෙන් සහ අවන්හලක අර්ධකාලීන රැකියාව කිරීමෙන් මා උපයාගත් මුදල් අත්‍යවශ්‍යම දේවල් වලට පමණක් වියදම් කරමින් අනෙක් සියලුම මුදල් මා ඉතිරි කළෙමි . විශේෂයෙන්ම මා ඒ මුදල් ඉතිරි කළේ නැවත ලංකාවට යන දිනක රැගෙන යාමට මට අවශ්‍යව තිබූ බඩු භාණ්ඩ මිලදී ගැනීමේ අදහසිනි .

ඡායාරූප ගැනීම ජපන් ජාතිකයන් අතිශය ප්‍රිය කළ දෙයක් විය . ඔවුන් විසින් සෑම දෙයක්ම ඡායාරූප ගත කළ අතර සිහිවටන ලෙස ඒවා එකතු කිරීමේ පුරුද්දක් ද ඔවුන් සතු විය . ජපානයේ සුන්දර සිහිවටන එකතු කිරීමට මා හටද සිත් වූ අතර මා ඉතිරි කල මුදල් වලින් හොඳ තත්වයේ කැමරාවක් මිලදී ගත්තේ ඉන් පසුවය.

මා CD තැටි මුල්වරට දැක්කේ ජපානයේ දී වන අතර එවකට ලංකාවේ CD තැටි තිබුණේ නැත. පසු කලෙක මා මිලදීගත් CD Player එක අදටත් මා සතුව ඇත. එසේ මා ඉතිරි කරගත් මුදලින් යම් යම් දේවල් මිලදී ගත් අතර ඒවායේ වටිනාකම මට අදටත් දැනෙන්නෙ ඒවා මා ඉතා මහන්සියෙන් උපයාගත් මුදලින් මිලදී ගත් ඒවා නිසාය . ඒ නිසාම එම භාණ්ඩ පලුදු වූවත් මා ඒවා පිළිසකර කරමින් නැවත භාවිතයට ගනිමින් ප්‍රවේසම් කරමි .

මා හට අසීමිතව ආදරය කළ ජපන් අම්මා සහ තාත්තා විසින් ජපානයෙන් සෑම තැනක්ම නැරඹීම සඳහා මා කැටුව ගිය අතර එතරම් ආදරයක් ලැබීමට මා ඉතා වාසනාවන්ත වූ අයෙක් වීමි . Japanese Alps කඳු නැරඹීමට අප වරෙක ගියෙමු. අප එම කඳු මුදුන්වලට ම නැගි අතර , හිම කදු නැගීම සහ හිම සෙල්ලම් මට විශේෂ මතක වේ. ඒවා කිසිදා මගේ මතකයෙන් ඈත් නොවෙන එම ස්ථාන නැරඹීමට මා අධ්‍යාපනය ලැබූ පාසලෙන්ද විනෝද චාරිකාවක් ගිය බව මට මතකය .

මාගේ උපන්දිනයට තෑග්ගක් වශයෙන් ජපන් අම්මා සහ තාත්තා විසින් Tokyo Disneyland නැරඹීම සඳහාද මට අවස්ථාව සලසා දුන් බව කිව යුතුමය.එබැවින් එම වයසේදී මා ලද එවැනි අරුම පුදුම හා සුන්දර අත්දැකීම් වල සතුට ඔවුන්ටද අයිතිය.

ඔවුන් දෙදෙනා මට ලබාදුන් ආදරය සහ සුන්දර අත්දැකීම් බොහෝමය . ජපානයේ උසම ගොඩනැගිල්ලේ ඉහළම මාලයට ද මා ගොස් තිබෙන අතර ,ජපානයේ වූ පන්සල් වලට ද මා ගොස් ඇත. එමෙන්ම ජපන් අම්මා සහ තාත්තා විසින් ජපානයේ මිල අධිකම වීදි වලින් මට ඇඳුම් මිලදී ගෙන දී තිබෙන අතර ඔවුන් නිතරම උත්සාහ ගත්තේ මා සතුටින් තැබීමට ය . ඇත්ත වශයෙන්ම ඔවුන් සමග ජීවත් ජීවත් වූ කාලය තුළ ජීවිතයට බොහෝ අත්දැකීම් එකතු කරගත් මා කාලය ගත කළේ අතිශය සතුටින් ය. එහි ගෞරවය හිමිවිය යුත්තේ ජපන් අම්මා සහ තාත්තා වෙතය.

මතු සම්බන්ධයි

Related Articles

Don't Miss


Latest Articles