සඳක් කළ සක්මන් -21

ඇහැට පෙනෙන මානයේ ළඟින් හිඳ පෙම් කරනවාට වඩා දුරින් හිඳ ආදරය කිරීමේ අමුතු තිගැස්මක් වන බව මම අලුතෙන් ඉගෙන ගනිමින් සිටියෙමි. ජීවිතයේ මා වඩාත් ම සතුටෙන් සිටි දින ටික ඒ ය. ආකාශ් සතියකට දිනක් දෙකක් නුවර ආවේ ය. මම නිදහස් සිතින් ඔහු ගේ ප්‍රේමය විඳ ගතිමි.

“මට පේන්නෙ පූජා ට හෙණහුරාට ඉඳල තියෙන්නෙ නෙරංජලා ගුරුගේ”

උත්පලා සිනහ වූවා ය. 

“දැං කෙල්ල සතුටෙං ඉන්නව. දවසට දෙකට ලස්සන වෙනව”

“ඒ සතුට පවතින්නෙ ඔහොම හොරෙං ලව් කරනකල් විතරයි. ඒ අම්මණ්ඩි දැන ගත්ත දවසක පූජාව රිජෙක්ට් කරන්නෙ ආත්ම ගාණකට සතුට කියන දේ අමතක වෙලා යන්නයි පූජා. අඩු ගානෙ හිනා වෙන්නවත් එදාට මතක් වෙන එකක් නෑ ඔයාට”

ශකිලා ට තිබුණේ වෙන ම නිර්වචනයකි. අප දේවල් දෙස බලන්නේත් ඒවා ගැන තීන්දු තීරණ දෙන්නේත් අප ලබා සිටින අත්දැකීම් මත හිතට ඒත්තු ගන්වන ලද නිර්ණායක ඔස්සේ ය. මම ඔවුන් දෙදෙනා ගේ ම අදහස් වලට සිනහවක් පෑවෙමි. 

හැම හුස්මක ම ආකාශ් රැඳී සිටියේ ය. මම වඩාත් උනන්දුවෙන් මොන්ටිසෝරියේ වැඩ කර ගෙන ගියෙමි.

ගෙදර තත්වය ගැන මා දැන ගත්තේ තාත්තා ගේ දුරකතනය ට කතා කොට අම්මා ගෙනි. තාත්තා නැති වෙලාවල් බලා නංගී ගෙදරට එන්න පටන් ගෙන තිබුණා ය. 

“මොනා වුණත් අපේ පොඩ්ඩිනෙ ලොක්කි. තියෙන දෙයක් කන්න බොන්න දීල යවනව මං ඉතිං. මොකද පන්නගන්න කියලයැ”

අජිත් ගේ ගෙදරට වී නංගී දුක් විඳිනවා ය යන සිතිවිල්ල මා තුළ ද වූයේ ය. අජිත් ගේ මව පොලීසියට පවසා තිබුණේ විවාහ කරවීමට වයස සපිරෙන තෙක් ඇය නංගී ව බලා ගන්නා බවයි. අයාලේ හැදුණ සිය පුතණ්ඩිය නංගී නිසා හෝ යහපත් අතට හරවා ගත හැකි වනු ඇතැයි ඇය අපේක්ෂා කරන්න ට ඇත.

“නංගි පසු තැවෙනවද අමමෙ එයා කරපු දේ ගැන…”

“අනේ මන්දා ලොක්කි…එහෙම දෙයක් කියන්නෙත් නෑ ඉතිං”

“තාත්ත අම්මා එක්ක රණ්ඩු කරන්න ගනීද දන්නෑ නංගි එනව කියල දැන ගත්තොත්”

“අම්මෝ ඔව්. තාත්තා තාමත් නංගි එක්ක පුදුම තරහකිං ඉන්නෙ”

ඒ තරහක් නොව දුකක් බව මම නම් දන්නෙමි. නංගී නික්ම ගියේ තාත්තා ගේ හදවත මත දරුණු තුවාලයක් සිදු කරමිනි.ඒ තුවාලය සුව වන්නට සැලකිය යුතු කාලයක් ගත වනු ඇත. එනමුත් තාත්තා තුළ නංගී කෙරේ වූ ආදරයේ කිසිදු වෙනසක් සිදු නො වනු ඇති බව මට විශ්වාස ය.

නුවර ආ දින වල ම මම නෙරංජලා ගුරුගේ  ට කතා කළෙමි. ඈ හිටියේ විස්සෝප ගතියකිනි. ඒ වෙත්දී ආකාශ් ගේ චර්යාවේ ඇති ව තිබූ වෙනස තුළ ඇය කම්පාවට පත් ව සිටියා ය.

“මේ වෙලාවෙ පූජාත් ළඟ පාතක නැති එක මට හරි පාඩුවක්. පූජා අයියට කෝල් එකක් දීල එයාගෙ හිතේ තියෙන්නෙ මොකද්ද කියල දැන ගන්න බලන්න. මං ඇහුවට කිසි දෙයක් කියන්නෑ”

ඇය තව දුරටත් මා කෙරේ අසීමිත විශ්වාසයක් රඳවා ගෙන හිඳීම මගේ හිතට බරක් මිස පහසුවක් වූයේ නැත. ආකාශ් මා බලන්නට නුවර එන්න පටන් ගත්තා ට පස්සේ, මම මේ බව ඔහු හා පැවසීමි.

“දැං අවුලක් නෑ. මං ඩ්‍රිංක්ස් වලට පුරුදු වෙයි කියන බය තමයි අම්ම ට තියෙන්න ඇත්තෙ”

ඔහු කීවේ සරල ලෙස ය. නමුත් මට ඒ කාරණය ඒ සා සරල ලෙස ප්‍රතික්ෂේප කළ නො හැකි වූයේ ය.

“මට ආන්ටිට කෝල් එකක් දීගන්න බැරුව ඉන්නෙ දෙන්න උත්තරයක් නැති නිසා. එයා අහයි මං ඔයාට කතා කළා ද කියල. මෙහෙම කතා නොකර හිටියහමත් එයා හිතයි මං මෙච්චර ඉක්මනට එයා කරපු උදව් අමතක කරන්න තරං ගුණමකු කෙල්ලෙක් වුණා කියල”

“ඔයා ඕන දෙයක් ගැන හිතනව වැඩියි අනේ”

කියමින් ආකාශ් මගේ අතක් අල්ලා ගත්තේ ය. 

“අම්ම ගැන ඔයා මෙච්චර වද වෙනව කියල දන්නවනං එයා කවදාවත් ඔයාව ලේලි කර ගන්න අකමැති වෙන්නෑ”

ආකාශ් ගේ ඇස් මත වූයේ බලාපොරොත්තු සහගත සිනහවකි. ඔහු වූ කලී සැප විඳිමින් හැදුණ දරුවෙකු බව මෙතැනදී අමතක කළ නො හැක. ඔහු ට කිසි දා ක ජීවිතයේ බරක් දැනී නැත. දුකක් දැනී නැත. ඇතැම් විට වගකීමක් ද දැනී නැතිවා විය හැක. නමුත් මම යමක් කමක් තේරෙන්නට පටන් ගත් දා සිට ම ජීවිතය මොන තරම් බරක් දැයි වටහා ගත හැකි දේ ට මුහුණ දුන් කෙල්ලක වෙමි. ඒ නිසා ම නෙරංජලා ගුරුගේ වගේ කෙනෙකු ගේ කරුණාව වැරදියට වටහා ගන්නට තරම් බොළඳ කමක් මට නැත. ඇගේ කරුණාව, සිය පුතු ට මා වන් පවුල් පසුබිමක් ඇති කෙල්ලක සරණ පාවා දීම තෙක් පුළුල් ව විහිදේවියි මම සිහිනයෙනුදු නො සිතමි. 

කෙසේ වෙතත් මා දෙගිඩියාව මත පසුබාමින් සිටියදී නෙරංජලා ම මට කතා කළා ය.

“මට හිතුණා පූජා බිසී ඇති කියල. කෝල් එකක්වත් නැති වෙනකොට”

හිතට දැනුණ අපහසුතාවය වචන කරන්නට මට නො වැටහෙන තරමි. මම තදින් දෙතොල් සපා ගෙන ඇස් දෙක ද තර කොට පියා ගතිමි.

“අනේ ආන්ටි…මං කතා කරන්නයි හිටියෙ…හොස්ටල් එකට ආවට පස්සෙත් වැඩනං ඕන තරංනෙ…”

“මට තේරෙනව පූජා. ඔයා ඉතිං නිකං ඉන්න ගියා නෙවෙයිනෙ….ජොබ් එකකටනෙ ගියේ. කොහොමද දරුවො ඉතිං…”

“අනේ ඔහේ ඉන්නව ආන්ටි. ඉක්මනට ගෙදර ඇවිත් යන්න ඕනත් කියල මං හිත හිතයි ඉන්නෙ මේ”

ඇය ට එසේ කීවා ට මගේ යටි හිත ක්‍රියා කළේ වෙන ම ආකාරයකට ය. මාසයකටත් වැඩි කාලයක් ගත වී ත් ගෙදර යන එක පමා කරන්නට මම හේතු සොයමින් සිටියෙමි. පුංචිවට වුව ලද ප්‍රථම වැටුපෙන් අම්මා ට ත් තාත්තා ට ත් ඇඳුමක් ගෙන යන්නට හිතේ වූයේ බරපතල ආශාවකි. නමුත් ආකාශ් ව සති පතා නුවර ගෙන්වා ගත් බවට වරදකාර හැඟීමක් ඇති ව නෙරංජලා ට කෙසේ මුහුණ දෙන්න ද යන ගැටළුව මවෙත වූයේ ය.

“මාත් මේ දළදා මාළිගාවට බාරයක් වෙලා යන්න එන්නයි කියල හිත හිතයි ඉන්නෙ. එහෙනං පූජා ගෙදර එන්න දවසක් දාගෙන කියන්න. එතකොට ඔයාට අපිත් එක්කම එන්න පුළුවන්නෙ”

ඇගේ එ් ප්‍රකාශය මගේ හිතට තවත් ගින්නක් අවුළුවා ලන්නට සමත් විය.

ඒ පුවත ඇසූ උත්පලා සේ ම ශකිලා ද හොඳට ම සිනහ වන්නට වූහ.

“ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී කිව්වලු. පූජාටත් වෙන්නෙ මාර මාර දේවල් තමයි”

“එක අතකට පූජා ලකී ගර්ල් ද කියලත් හිතෙනව. කවුද දන්නෙ නෙරංජලා ඇත්තටම කැමතිද කියල පූජාව ලේලි කර ගන්න”

“මං එහෙම හීන දකින්න බයයි”

සිනා සී කීවත් මගේ පපුව පත්ලේ දුකක් විය. දුක අතරින් සිනහ වී හිඳීම අමාරු ද ලෙහෙසි ද කියන ප්‍රශ්නය කෙනෙකු මගෙන් විමසූවොත් ලබා දිය හැකි පිළිතුර කුමක් දැයි මම නො දනිමි. මා හැමදාමත් කළේ කඳුළු හංගා ගෙන සිනහ වෙන එක ය. නැත්නම් කඳුළු සල සලා සිනහ වෙන එක ය. ඒ වුණත් එය පහසු ද අසීරු ද කියා කිසි දා ක මා සිතා නොමැත. 

එදා හැන්දෑවේ උත්පලා හා ශකිලා සමග මහ නුවර නගරයට ගොස් මම අම්මා ට හා තාත්තා ට ත් නංගීටත් ඇඳුම් මිල දී ගතිමි. ආකාශ් ට මුදල් පසුම්බියක් ද නෙරංජලා ගුරුගේ ට මලින් බර දම් පාට ඇන්තූරියන් මල් බඳුනක් ද ගත් පසු හිතට දැනුණේ සතුටකි.

පසු දා සෙනසුරාදාවක් වූයෙන් උදෙන් ම නුවරට ළඟා වන බව නෙරංජලා මට කීවා ය. මම සුදු වතින් සැරසී ගෙන බලා සිටියෙමි. උදේ අටයි තිහ වන විට පාසලේ ගේට්ටුව ළඟ ආකාශ් ගේ රිය නැවතිණ. නෙරංජලා වහා බැස මගේ කොපුල් සිප ගත්තා ය. මම ඇයට ලස්සනට ඇසිරූ ඇන්තූරියන් මල් බඳුන තිලිණ කළෙමි.

“මගෙ ෆස්ට් සැලරි එකෙං ආන්ටිට චූටිම චූටි තෑග්ගක්”

“අනේ…තෑග්ගක් ලොකු වෙන්නෙ ඒක ලබන කෙනා කොච්චර සතුටු වෙනවද කියන එක මතයි පූජා. ඔයා මාව හරියටම තේරුං අරගෙන මං වැඩිපුරම සතුටු වෙන තෑග්ගක් අරං තියෙන්නෙ. ඔයාට කවදාවත් වරදින්නෑ පුතේ. කිරි උතුරනව වගේ ඔයාට හරියන්න ඕනෙ”

මගේ ඇස් තෙත් වී ගෙන ආ තරමි. ආකාශ් රියේ ඉදිරි කැඩපතින් මදෙස බැලුවේ ය. මම කඳුළු අතරින් පුරුදු සිනහව පෑවෙමි.

“ආ…”

මම ආකාශ් වෙත, ඔහු වෙනුවෙන් මිල දී ගත් තිලිණය දිගු කළෙමි.

“මේ මොකද්ද…”

“අයියට ගත්ත ප්‍රසන්ට් එක. හැබැයි චූටි දෙයක් හොඳේ. මට ලොකු සැලරි එකක් ලැබෙන්නෑනෙ”

“ලොකු සැලරි එකක් නො ලැබුණත් පූජා ලොකූ සතුටකිං ඉන්න බව පේනව. වටින්නෙ ඒකයි දරුවො”

දළදා වඳින්නට රිය නැවතෙත්දී ආකාශ් එය දිග හැර බැලුවේ ය. මවෙත ට සිනහවකින් සංග්‍රහ කළ ඔහු එවෙලේ ම පරණ පසුම්බිය ඇද එහි වූ මුදල් හා වෙනත් අවශ්‍ය දෑ අලුත් පසුම්බියට දමා ගත්තේ ය. 

“මං මේ කල්පනා කළේ…කොහොමද පුතේ ඔයා ගාණට පූජාගෙ හොස්ටල් එක ළඟට ම ඇවිත් නැවැත්තුවෙ කියල”

නෙරංජලා ගේ ඒ කතාව, සාමකාමී සුහද කතාවක් මැද්දට හෙලූ බෝම්බ ප්‍රහාරයක් සරි විය. මම ත් ආකාශුත් මුහුණෙන් මුහුණ බලා ගතිමු.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles